, දඹදිව වන්දනා දඹදිව වන්දනා - BUDDHIST PILGRIMAGE TOURS TO INDIA

ක්‍රි.පූ. 6 වැනි සියවසේ සිට ක්‍රි.ව. 11 වන සියවස පමණ වන තෙක්‌ භාරතීය අධිරාජ්‍යයන්හි, දේශපාලන ප්‍රවණතා, යුද්ධ රාජ්‍ය මර්දනය මෙන්ම බාහිර ආක්‍රමණ, බෞද්ධ දර්ශනය මර්දනය සඳහා මැදිහත් වූ ආකාරය...

.

දඹදිව වන්දනා චාරිකා



භාරතයේ බුදුසමය මර්දනය කිරීමේ ඓතිහාසික පසුබිම

මහාචාර්ය පී. සංකරනාරායනන් ප්‍රකාශ කරන ආකාරයට වෛදික දර්ශනයේ හා ආගමේ "කැරලිකාර දරුවා" වූ බෞද්ධ දර්ශනය, දෙවියන් හා ආත්මය ප්‍රතික්‌ෂේප කරමින්, වෛදික චින්තනයේ අක්‌මුල් සිඳ දැමීමට පටන් ගැනීම තම පැවැත්ම සම්බන්ධයෙන් එල්ල කරගත් බරපතළ තර්ජනයකි. එනිසා බෞද්ධ දර්ශනයට වෙනත් දේශයන්හී රැකවරණය හා පිළිසරණ පැතීමට සිදු වූ බව ද සංකරනාරායනන් වැඩිදුරටත් පවසයි. වර්තමාන ඉන්දියාවේ බෞද්ධ ජනගහනය 0.8% ක්‌ පමණක්‌ වන අතර, සිද්ධාර්ථ කුමරුන් උපන් ප්‍රදේශය පිහිටි වර්තමාන නේපාලයේ බෞද්ධ ජනගහනය 10.7% ක්‌ පමණ වේ. භාරතය පමණක්‌ නොව සමස්‌ත ලෝකය පුරාම අති දැවැන්ත දාර්ශනික බලපෑමක්‌ කිරීමට සමත් වූ බෞද්ධ දර්ශනය දෙවන සහශ්‍ර වර්ෂය පමණ වන විට භාරතයෙන් සහමුලින්ම පාහේ තුරන් වී යැම, පර්යේෂකයන් ඉදිරිපිට ඉතිරි කර ඇත්තේ විශාල ප්‍රශ්නාර්ථ ලකුණකි. බෞද්ධ දර්ශනය භාරතයේ එකම දාර්ශනික සම්ප්‍රදාය හෝ ආගම නොවී ය. එය, ඇතැම් කිතුණු හා ඉස්‌ලාම් සමාජවල මෙන් සමස්‌ත සමාජයම "අරක්‌ ගත්" දාර්ශනික සම්ප්‍රදායක්‌ නොවූයේ ය. බුදුන් වහන්සේ ජීවත් ව සිටි කාලයේ උන්වහන්සේ මුහුණ දුන් මතවාදීමය හා භෞතික ප්‍රහාරයන්, ප්‍රාග් බෞද්ධ හා සමකාලීන භාරතීය සමාජ ව්‍යහයේ බහු ආගමික හා බහු සංස්‌කෘතික හැඩය, සංකීර්ණතාව පිළිබිඹු කරයි. එහෙත් චීනයේ දී කොන්ෆියුසියස්‌ දර්ශනය, ජපානයේ ශින්තෝ දහම මෙන්ම සෙසු නැගෙනහිර ආසියානු රටවල ආගමික විශ්වාස හා මුසු වෙමින්, ගැටෙමින් බෞද්ධ දර්ශනය ස්‌ථාපනය වුවද, එය ප්‍රදූර්භූත වූ භූමියේ ම ඊට අත්ව ඇති ඉරණම, සමාජ පර්යේෂකයන් ඉදිරිපිට ඇති ඉහත කී ප්‍රශ්නාර්ථයට ඔබ්බෙන් විශ්මයාර්ථ ලකුණක්‌ ද එකතුකරයි. මෙම ලිපියේ අරමුණ ගේල් ඕම්වේද්, ඒ. එල්. බෂාම්, ඇන්ඩ්‍රේ විනික්‌, රිචර්ඩ් ඊටන් ආදී විද්වතුන් කිහිප දෙනෙකුගේ ශාස්‌ත්‍රීය අධ්‍යයන හා මතවාද පදනම් කරගනිමින්, භාරතය තුළ බෞද්ධ දර්ශනය ඛෙදනීය ලෙස මර්දනයට ලක්‌වීමේ ඓතිහාසික පසුබිම විමර්ශනය කිරීමයි.


බෞද්ධ දර්ශනය මර්දනයට ලක්‌වීම පිළිබඳ ව විවිධ මත, ප්‍රතිමත රාශියක්‌ දැකගත හැකි වුවද ඒවා සඳහා පාදක කර ගැනීමට ප්‍රමාණවත් ඓතිහාසික ලේඛනමය ආනුභවික සාක්‌ෂි සොයා ගැනීමට අපහසු වී ඇත්තේ පාලි, සංස්‌කෘත, බෞද්ධ ලේඛන ප්‍රමාණවත් පරිදි සංරක්‌ෂණයට ලක්‌ව නොමැති බැවිනි. සංරක්‌ෂිත බ්‍රාහ්මිණික ලේඛනවල බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රමාණවත් කරුණු ඇතුළත් වන්නේ ද නැත. උදාහරණ වශයෙන් කිසිදු බ්‍රාහ්මිණික ලේඛනයක්‌, ගුප්ත රාජ වංශය පිළිබඳ සාධනීය, ප්‍රමාණවත් කරුණු දැක්‌වීමක නොයෙදෙයි. අශෝක රජු සඳහා ඒවායේ ඉඩකඩ වෙන්ව නැත. ක්‍රි.ව. 12 වන සියවසේ දී කාශ්මීරයේ ජයසිම්හ රජ සමයේ දී කළ රාජතරංගනිය පමණක්‌ ප්‍රමාණවත් පරිදි අශෝක ගැන සාකච්ඡා කරන්නේ ජයසිම්හගේ බෞද්ධ පසුබිම නිසා ය. ඊනියා බ්‍රිතාන්‍ය ඉතිහාස විග්‍රහයන් කරපින්නා ගත් ඉතිහාසඥයෝ, හින්දු ඉන්දියාව, මුස්‌ලිම් ඉන්දියාව, බ්‍රිතාන්‍ය ඉන්දියාව ආශ්‍රයෙන්, පුරාතන, වැඩවසම් හා බ්‍රිතාන්‍ය ලෙස ඉතිහාසය යුග ගත කරතත්, ඒ කිසිදු තැනෙක බෞද්ධ ඉන්දියාවක්‌ ගැන සඳහන් නොකිරීමට "ප්‍රවේශම්" වෙති. මහාචාර්ය රොමිලා තාපර් පවසන පරිදි ඉතිහාස කතාව ගොඩනැ`ගීම සඳහා "පුරාණ ග්‍රන්ථ" භාවිත කළ හැකි වුවද, ඒවා බොහෝමයක්‌ රාජකීය වංශාවලීන්ට පමණක්‌ සීමා වීම ගැටලුවකි. එහෙයින් එදා මෙදාතුර බුදුසමය කාලානුරූපව මුහුණ දුන් අභියෝග, විපරිනාමයන් පිළිබඳ ව කිසියම් ආනුභවික සාක්‌ෂියක්‌ ලබාගනු පිණිස දේශාටකයන්ගේ, ඉතිහාස කතාකරුවන්ගේ ලේඛන, දින සටහන් පරීක්‌ෂා කිරීමට පර්යේෂකයෝ පෙළඹී සිටිති. එසේම එම විශ්ලේෂණ වඩාත් සමාජ හා මානව විද්‍යාත්මක මුහුණුවරක්‌ ගෙන තිබීම විශේෂයෙන් වැදගත් වන්නේ, යට කී පරිදි බහු සංස්‌කෘතික, වාර්ගික සමාජ අනන්‍යතාවක්‌ සහිත ඉන්දියාවේ දාර්ශනික මතවාදයක, ආගමික විශ්වාස සම්ප්‍රදායක පැවැත්ම එකී සංස්‌කෘතික සංකීර්ණතා විසින් තීරණය කරනු ලබන බැවිනි. ඉතිරි කොටසට...

චමිල ලියනගේ
හයිද්‍රබාද් විශ්වවිද්‍යාලය ඉන්දියාව