, දඹදිව වන්දනා දඹදිව වන්දනා - BUDDHIST PILGRIMAGE TOURS TO INDIA: සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 36 - 40

ක්‍රි.පූ. 6 වැනි සියවසේ සිට ක්‍රි.ව. 11 වන සියවස පමණ වන තෙක්‌ භාරතීය අධිරාජ්‍යයන්හි, දේශපාලන ප්‍රවණතා, යුද්ධ රාජ්‍ය මර්දනය මෙන්ම බාහිර ආක්‍රමණ, බෞද්ධ දර්ශනය මර්දනය සඳහා මැදිහත් වූ ආකාරය...

.

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 36 - 40

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 36

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාවේ 36 වන කොටසයි අද ඔබ අතට මේ පත්වන්නේ. මෙම ලිපි මාලාව ආරම්භයේ සිට කොටස් වශයෙන් එකතු කරගෙන දෙතුන්වර කියවා සිත් පහන් කර ගන්නා බවද අපි දනිමු. විශේෂයෙන් මෙයට පෙර දඹදිව වන්දනාවේ යෙදුණු සැදැහැවතුන්ගේ මතකය යළි අවදි වී නැවතත් වන්දනාවේ යෙදෙන අයුරු හදවතට දැනෙනවා ඇති. එමෙන්ම මෙතෙක් දඹදිව වන්දනාවේ යෙදීමට කුමක් හෝ බාධාවක් පැමිණි අයටද සිය දිවිමඟ පහන් කර ගැනීමට මෙය මහඟු අත්වැලක් වනු ඇත.

ආනන්ද බෝධීන් වහන්සේ
“බුදුසරණ” පසළොස්වක අව අටවක, අමාවක, පුර අටවක යන සතරපෝයටම නිකුත් වන හෙයින් සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව ද ඒ සතර පෝදාම නිකුත්වන “බුදුසරණ” පුවත්පත්හි ඡායාරූප ද සමඟ පළ වේ. ඉදිරි සතර පොහෝ දිනවලදී ද බුද්ධ භූමි වන්දනාවේ අපි සමඟ නිරතවීමට කාරුණිකව ඇරැයුම් කරමු.
දෙව්රම් වෙහෙරේ වැඩ සිටින ආනන්ද බෝධීන් වහන්සේ ජේතවන පුදබිමේ ඇති ස්ථාන අතරින් ඉතා විශ්වාසනීය අන්දමින් හඳුනාගෙන ඇති ස්ථානයකි. එමෙන්ම බෞද්ධ ලෝකයේ ගෞරවයට පාත්‍ර වූ අති පූජනීය ස්ථානවලින් එකකි. රෝපණය කළ තැන් පටන් වර්ෂ 2500ක් තරම් පැරැණි මෙම බෝධිය අදත් ජේතවනයේ නැගෙනහිර සීමාවට ආසන්නයේ නිරුපද්‍රිතව විරාජමාන වේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලයේ රෝපණය කළ බෝධියයි. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවසන සමයේ දහස් ගණන් උපාසක උපාසිකාවෝ උදේ සවස බුදුරජාණන් වහන්සේ පිදීමට ජේතවනයට පැමිණියහ. සමහර දිනෙක උන්වහන්සේ ජේතවනයේ වැඩ නොසිට වෙනත් දුරබැහැරක වැඩම කළ අවස්ථා විය. එබඳු අවස්ථාවල එම සැදැහැතියන්ට බුදුරජාණන් වහන්සේට පිදීමට අවකාශ නොලැබිණි.
මේ ගැන කල්පනා කළ අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුවන් බුදුරජාණන් වහන්සේට මේ බව සැලකර උන්වහන්සේ විහාරයේ වැඩ නොසිටින විටකදී ඒ වෙනුවට පූජා කළ හැකි දෙයක් ඉල්ලීය. ශාරීරික, පාරිභෝගික, උද්දේශික ලෙස ත්‍රිවිධ චෛත්‍යයන්ට තමන් වහන්සේ වෙනුවට පූජා කළ හැකි බව දේශනා කළ බුදුරජාණන් වහන්සේ ඒ වන විට පහසුවෙන් ලබා ගත හැකිව තිබූ පාරිභෝගික වස්තුවක් වූ බුද්ධත්වයට පැමිණීමට මහෝපකාරී වූ බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ඵලයක් ගෙන ජේතවන භූමියේ රෝපණය කරන ලෙස දැන්වීය.

පැන් පහසු වූ කුටිය
සෘද්ධිමතුන් අතරින් අගතැන්පත් වූ මුගලන් හිමියන් සෘද්ධියෙන් බුද්ධගයාවට වැඩම කොට ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ඵලයක් තමන් වහන්සේ පිළිගෙන සැවැත්නුවරට වැඩම කළේ ය. අනේපිඬු සිටුතුමා විසින් මෙය රෝපණය කරන ලෙසට රජු ඉල්ලීය. ඒ අනුව අනේපිඬු සිටුතුමා විසින් මෙය රෝපණය කරන ලදී. ආනන්ද හිමියන්ගේ සංවිධානත්වයෙන් බෝධිරෝපණය සිදුකළ නිසා මෙය ‘ආනන්ද බෝධිය ලෙස හඳුන්වන බව සිංහල පූජාවලියේ ද බෝධි වංශයේ ද සඳහන් වේ. පසුව ආනන්ද හිමියන්ගේ ඉල්ලීම අනුව බුදුරජාණන් වහන්සේ මෙම බෝධීන් වහන්සේ වඩාත් පූජනීයත්වයට පත් කිරීම සඳහා එක් රාත්‍රියක් මහා කරුණා සමාපත්ති සුවයෙන් බෝධි මූලයෙහි වැඩ සිටි සේක. එලෙසින් රෝපිත මෙම බෝධිය අදත් නිරුපද්‍රිතව පවතී.
දැන් මෙම බෝධියට නැගෙනහිරින් ස්ථූප දෙකක් තිබුණ තැන් ඇත. එම ස්ථූපයන්ගේ පදනම් සහ ධාතු ගර්භයක් දැකිය හැක. කැණීම් සිදු කිරීමේ දී මේවා තුළ රත්තරන් කැබලි හා ධාතුන් වහන්සේ හමු වී ඇත.
ආනන්ද බෝධි වන්දනා ගාථාව
“සුරෝපිතං සුදන්තේන - සම්බුද්ධෝ නාපි සේවිතං
ආනන්ද බෝධි නමෝයං - දුමින්දං සිරසා නමාමි”

පැන් වැළඳූ ළිඳ
බුදුරජාණන් වහන්සේ හතළිස් පස් අවුරුද්දක් වූ බුද්ධ කාලයෙන් වසර 19 ක්ම වස් කාලයන්හි වැඩ වාසය කළ අති පූජනීය ගන්ධකුටිය හඳුනාගෙන ඇත. එමෙන්ම සියලු බුදුරජාණන් වහන්සේලා විසින් අත් නොහරින තැන් හෙවත් අවිජහිත ස්ථාන හතරෙන් එකකි. ජේතවනාරාමයේ ගන්ධ කුටිය. අනේපිඬු සිටුතුමා විසින් පූජා කරන ලද ජේතවනාරාමයේ දී දක්නට ලැබෙන වැදගත්ම කොටස මෙයයි. දැනට මෙහි දක්නට ඇති කොටස් වලින් ප්‍රධාන කොටස් දෙකකි. එනම් බුදුරදුන් සැතපීම සඳහා පාවිච්චි කර ඇති බවට සිතිය හැකි ස්ථානය පිහිටි තැන ඇති කුඩා කුටිය හා ඊට ඉදිරියෙන් ඇති තරමක් විශාල ආලින්දයකි. සියලු බුදුරජාණන් වහන්සේලා විසින් අත් නොහරින අවිජහිත ස්ථානයක් වන සැතපෙන ඇඳෙහි කකුල් හතර පිහිටි ස්ථානය තිබී ඇත්තේ මුලින් කී කුඩා කුටියෙහිය. බුදුරජාණන් වහන්සේ ඒ තුළ සිංහසෙය්‍යාවෙන් සැතපුණු සේක.
ඉදිරියේ ඇති ආලින්දය වැනි පළල් කොටස වෙන් වී තිබී ඇත්තේ දෙවි දේවතාවුන් වහන්සේලාට ද බුදුරජාණන් වහන්සේ හමුවීමට විශේෂයෙන් පැමිණෙන අයට ද ධර්ම දේශනා කිරීමටයි. රාත්‍රියේ මධ්‍යම යාමයේ බුදුන් වහන්සේගේ දින චර්යාව වෙන්වී තිබුණේ දෙවියන්ගේ ප්‍රශ්න විසඳීමටය. ජේතවනය ආලෝක කරගෙන පැමිණෙන දෙවියන් ගැන පරාභව, මහා මංගල, චන්ද, සූරිය ආදී සූත්‍ර වලින් ද සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ ඇති සූත්‍රවලින්ද කියවේ. එසේම සැවැත් නුවර ධම්මික උපාසක, ජානුස්සෝනි බ්‍රාහ්මණයා කෝකාලික භික්ෂුව කොසොල් රජු ආදීන් ද පැමිණියේ මෙතැනටය. දැනට දක්නට ඇත්තේ ගන්ධ කුටියේ පදනම හා කෙටි බිත්ති කොටසක් පමණි.

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 37

දඹදිව බුද්ධ වන්දනාවේ යෙදෙන විට සැවැත්නුවර නව ජේතවනාරාම විහාරයේ ඇති බිතු සිතුවම් නැරඹීමට කල්පනා කළෙමු. එය අංක පිළිවෙළින් ලියා දක්වමි. එම විහාරයට ඇතුළු වී මේ සිතුවම් රාමු දෙස මොහොතකට බලන්න.

1. ජේතවන උයන මිලදී ගැනීම.

අනේපිඬු සිටුවරයා රන් කහවණු අතුරා ජේත කුමාරයාගෙන් ඉඩම ලබාගන්නා අයුරු. කරත්තවල පටවාගත් රන් කහවණු බිම අතුරන අයුරු පැහැදිලි වේ. (සිතුවම් අංක 06, 07)

2. ආනන්ද බෝධිය රෝපණය කිරීම.

බුදුරජාණන් වහන්සේගේ උපදෙස් පරිදි මුගලන් මහරහත් හිමියන් විසින් බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධියෙන් ගෙන ආ බෝ ඵලය ආනන්ද හාමුදුරුවන් හා අනාථ පිණ්ඩික සිටුවරයා විසින් රෝපණය කිරීම. බුදුරජාණන් වහන්සේ ද, මුගලන් සහ සැරියුත් මහ රහතන් වහන්සේලා කොසොල් රජතුමා හා මල්ලිකා දේවිය බලා සිටීම. (සිතුවම් අංක 08)

3. පූර්වාරාමය කරවීම.

විශාඛාව විසින් තම මේල පළඳනාව විකුණන ලද මුදලින් නගරයේ නැගෙනහිර දොරටුව අසල පූර්වාරාමය කරවා බුදුරජාණන් වහන්සේට පූජා කරන ලදී. බුදුරජාණන් වහන්සේ එහි වස් කාල 06ක් වැඩ වාසය කළ සේක. මුගලන් රහත් හිමියෝ උපදෙස් දෙති. විශාඛාව සේවකයන්ට අණ කරයි. සේවකයෝ ලහි ලහියේ වැඩ කරති. (සිතුවම් අංක 09)

4. චක්ඛුපාල හිමියන්ගේ කතාව


ජේතවනාරාම පින් බිම

බුදුරදුන් කිසා ගෝතමියට පිහිට වීම
පෙර සංසාරයේ කරන ලද පවුකම් ඵලදීම මඟින් ඇස් අන්ධ වීම හා කරන ලද පින් ඵල දී රහත් භාවයට පත් විය. චක්ඛුපාල හිමියන්ගේ ඇස් අන්ධ වීම සහ රහත් වීම එකවර සිදුවිය. (සිතුවම් අංක 10) චක්ඛුපාල හිමි සක්මන් භාවනාවේ යෙදෙන අයුරු නිරූපණය වේ.

5. මට්ටකුණ්ඩලීගේ කතාව

තම පියාගේ අධික මසුරුකම නිසා මරණයට පත් වීමට මට්ටකුණ්ඩලීට සිදුවිය. නමුත් බුදු රදුන් කෙරෙහි සිත පහදා ගනිමින් දෙව්ලොව උපදින ලදී. (සිතුවම් අංක 11 ) මට්ටකුණ්ඩලී ඇඳේ වැතිර සිටින විට බුදුරදුන්ගේ ඡායාව මට්ටකුණ්ඩලීගේ ඉදිරිපස බිත්තියේ ඇඳී ඇත.

6. කාලි යක්ෂණියගේ කතාව

පෙර ආත්ම භවයන්හි සිට එන වෛරය නිසා දරුවන් මරා කයි. තම දරුවා බේරා ගැනීම සඳහා තම දරුවා රැගෙන බුදුරජාණන් වහන්සේ හමුවට යයි. එමනිසා දරුවා බේරා ගැනීමට හැකියාව ලැබිණි. (සිතුවම් අංක 12) බුදුරජාණන් වහන්සේ දම් සභා මණ්ඩපයේ දහම් දේශනා කරයි. දරුවා සමඟ මව ද පසක සිටියි. කාලි යකින්නද ඉදිරියෙන් සිටියි.

7. අරුනුවන් මැටි හා කඩුපුල් මල් ගෙන ඒමට ගිය දුගී සේවකයාගේ කතාව

ජනපද චාරිකාවේ යෙදුණු කොසොල් රජු සුන්දර ස්ත්‍රියක් දැක ඇය පිළිබඳව රාගය උපදවාගෙන ඇයගේ ස්වාමියා රාජ්‍ය සේවයට සම්බන්ධ කරගෙන ඔහුට අරුනුවන් මැටි හා කඩුපුල් මල්ගෙන ඒමට නියෝග ලැබිණි. ඔහු මේවා රැගෙන එන විට රජු නුවරට ඇතුල් වන දොරටු වසා තිබූ නිසා බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් ධර්මය අසා සිත පහදා ගත්තේ ය. (සිතුවම් අංක 16) බුදුරදුන් අබියස කොසොල් රජු හා මල්ලිකා දේවියත් ඊට පසෙකින් සේවකයාත් සිටියි.

8. යමක මහා ප්‍රාතිහාර්යය

තීර්ථකයන් නිරන්තරවම බුදුරජාණන් වහන්සේට අපහාස කළහ. එම හේතුව පදනම් කරගනිමින් බුදුරජාණන් වහන්සේ තෙවන වරට යමක මහා ප්‍රාතිහාර්යය පා ඉන් අනතුරුව තම මවට දහම් දෙසීම සඳහා තුසිත දෙව්ලොවට වැඩම කළ සේක. (සිතුවම් අංක 24) ගන්ධබ්භ වෘක්ෂය අබියස යමා මහා පෙළහර පෑම. නිගණ්ඨයන් හිස් ලූ ලූ අත දිව යාම හා මිනිසුන් සාධුකාර දීම මෙහි සිතුවම් වේ.

9. විඩූඨභ රජු විසින් ශාක්‍ය සංහාරය කිරීම.

තමන්ට ශාක්‍යයන් අවමන් කිරීම නිසා අධික කෝපයට පත් විඩුඩභ ශාක්‍ය සංහාරය සඳහා තෙවතාවක් ම උත්සාහ කළ ද බුදුරදුන්ගේ මැදිහත්වීම නිසා එය අසාර්ථක විය. නමුත් හතරවන වරට සූදානම් වී ශාක්‍යයන් මරා දමන ලදී. ඉන්පසු අචිරවතී වැලි තලාවේ නවාතැන් ගත්හ. මහා ජල කඳක් පැමිණ විඩූඩභ හා පිරිස ගසාගෙන ගොස් විනාශ වූහ. (සිතුවම් අංක 15) විඩූඩභගේ යුද සේනාව අචිරවතී ගඟේ ගසාගෙන යන අයුරු සිතුවම් වේ.

10. පූතිගත්තතිස්ස හිමිගේ කතාව

කිසිවකුගේ පිහිටක් නොමැති ව සැරව ගෙඩිවලින් මුළු ශරීරයම වැසී තිබුණු තිස්ස භික්ෂුවට උපස්ථාන කරමින් බුදුරජාණන් වහන්සේ ගිලානෝපස්ථානය බුදුන්ට කරන උපස්ථානයක් බවට ප්‍රකාශ කරමින් තිස්ස භික්ෂුව නහවා පිරිසුදු කර ධර්මය දේශනා කරමින් උතුම් රහත් භාවයට පත් කරන ලදී. (සිතුවම් අංක 14) බුදුරජාණන් වහන්සේ පූතිගත්තතිස්ස හිමිට උවටැන් කරයි. ආනන්ද හිමියන්ද භාජනයක් අතැති ව ළඟින් සිටී.

11. අංගුලිමාල කතා පුවත

සැවැත්නුවර සිටි අහිංසක කුමරු හට තම ගුරුවරයාට ගුරු පඬුරු පිණිස ඇඟිලි පූජාවක් සිදු කරන්නට නියම විය. මේ නිසා මිනිසුන් මරා ඇඟිලි කපන නිසා ඔහු අංගුලිමාල විය. මිනිසුන් 999 දෙනෙකු මරා ඇඟිලි දහස සම්පූර්ණ කිරීමට තව ඇඟිල්ලක අවශ්‍යතාවය තිබූ අතර මව මරා හෝ එම ඇඟිල්ල ලබා ගන්නට උත්සාහ දරන්නට පෙර බුදුරජාණන් වහන්සේ එම ස්ථානයට වැඩම කර අංගුලිමාල දමනය කර උතුම් රහත් හිමි නමක් බවට පත් කළ සේක. (සිතුවම් අංක 22 ) මහ වනය මැද බුදුරජාණන් වහන්සේ පසුපස අංගුලිමාල ලුහුබඳී. අංගුලිමාලගේ මව පසෙකින් පැමිණෙයි.

12. පටාචාරා කතා පුවත

සැවැත්නුවර ධනවත් පවුලක විසූ පටාචාරා තම මාලිගාවේ සේවකයකු සමඟ හොර රහසේ පැන ගොස් දරුවන් ලබා අචිරවතී ගඟෙන් එගොඩ වාසය කළා ය. තම දෙමාපියන් බලන්නට සැවැත්නුවරට පැමිණෙන විට ඇයට තම ස්වාමියා හා දරු දෙදෙනා ද අහිමි ව තිබූ අතර සැවැත්නුවරට පැමිණෙන විට තම පියා, මව හා සහෝදරයා ද ඇයට අහිමි ව තිබුණි. සම්පූර්ණ මනස ම විකෘති වී ඇය පිස්සියක් බවට පත් විය. (සිතුවම් අංක 19) අචිරවතී නදියේ දරුවෙකු ගසාගෙන යන අයුරු, තවත් දරුවකු උකුස්සකු ඩැහැගෙන යන අයුරු හා ස්වාමියාට නයෙක් දෂ්ඨ කිරීමෙන් මියගොස් ඇති ආකාරය සිතුවම් ව ඇත. තවද එම සිදුවීම් නිසා සිහිවිකල් වූ ඇය දිවයන අයුරු ද දකුණු පස දම් සභා මණ්ඩපය තුළ බුදුරජාණන් වහන්සේ පටාචාරාවට ධර්මය දෙසන අයුරු ද සිතුවම් වල ඇත.

13. කිසාගෝතමී කතා පුවත

අප්‍රමාණ දරු සෙනෙහස නිසා තම මියගිය පුතු තුරුලු කරගනිමින් බෙහෙත් සොයා සැවැත්නුවර පුරා ඇවිද අවසානයේ දී බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ දරුවාට සුවය ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර බුදුරජාණන් වහන්සේ දරුවා සුව කරන්නට නො මළ ගෙයකින් අබ මිටක් අරන් එන්න යයි දෙසූ සේක. මේ නිසා අබ සොයා ගිය කිසාගෝතමියට මරණය සැමට පොදු බව දැන තම මියගිය පුතු සොහොනකට දමා නැවත ජේතවනාරාමයට ගොස් බණ අසා උතුම් රහත් තෙරණියක් බවට පත් වූවා ය. (සිතුවම් අංක 20) බුදුරජාණන් වහන්සේ දම් සභා මණ්ඩපයේ වැඩ වාසය කරන විට කිසාගෝතමිය මළ දරුවා රැගෙන පැමිණ ඇති අයුරු සිතුවම් ව ඇත.

14. කොසොල් රජුගේ බිරිඳ, මල්ලිකා බිසවට දුවක් ලැබීමේ කතා පුවත

කොසොල් රජු නිතර නිතර බුදුරජාණන් වහන්සේ හමුවීමට ජේතවනාරාමයට යන එන අතර පැමිණ බුදුරජාණන් වහන්සේ හා සුහද පිළිසඳරක යෙදෙන්නට විය. රාජපුරුෂයෙකු පැමිණ මල්ලිකා බිසවට දුවකු ලැබුණු බව කියා සිටි අතර රජු මහත් කනස්සල්ලට පත්ව සිටී. නමුත් බුදුරජාණන් වහන්සේ ස්ත්‍රීන්ගේ වටිනාකම දක්වමින් “ධීතු සූත්‍රය” දේශනා කළ සේක. (සංයුක්ත නිකාය) (සිතුවම් අංක 21) වම් පස මල්ලිකා දේවියට දුවක් ඉපදීම දකුණු පස රාජපුරුෂයන් හා පණිවිඩකරු රජුට පණිවුඩය දැන්වීම රජතුමා කනස්සල්ලෙන් පසුවීම හා බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කිරීම.

15. චිංචි මානවිකාව බුදුරදුන්ට අපහාස කිරීම.

බුදුරජාණන් වහන්සේගේ කීර්ති නාමයට අවමන් කිරීම සඳහා තීර්ථකයන් චිංචි මානවිකාව යොදාගත් අතර ඇය බුදුරජාණන් වහන්සේට අපහාස කිරීම සඳහා දරු ගැබක් ලෙස දර මිටියක් කුසේ බැඳ තමන්ට දරු ගැබක් ඇති බවත්, එම දරුවාගේ පියා බුදුරජාණන් වහන්සේ බවත් කියා චෝදනා කළාය. බලාසිටි මිනිසුන්ට පුදුම උපදවමින් ශක්‍ර දෙවියන් පැමිණ. දරුගැබ ලෙස මවාපෑ දර මිටියේ රැහැන් පොටවල් කපා දමන ලදී. මේ නිසා ලැජ්ජාවට පත් ඇය දුවන්නට වූවා ය. අවසානයේ දී බුදුරජාණන් වහන්සේට අපහාස කිරීමට පැමිණි ඇය අවීචි මහා නරකයට ඇදගන්නා ලදී. (සිතුවම් අංක 23) බුදුරජාණන් වහන්සේ දම් සභා මණ්ඩපයේ වැඩ සිටින අතර චිංචි මානවිකාව බුදුරජාණන් වහන්සේට චෝදනා කරයි. මිනිසුන් පුදුමයෙන් බලා සිටියි.

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 38

බුදුරජාණන් වහන්සේට ලැබෙන ලාභ සත්කාර අන්‍ය ආගමික තීර්ථකයින් ඉවසුවේ නැත. බුදුරදුන්ට අවමන් කිරීමට තරුණ කාන්තාවක් වූ චිංචිමානවිකාව යොදා ගැනීම සඳහා තීර්ථකයින් විසින් ඇයට උපදෙස් දුන්හ. චිංචිමානවිකාව සෑම දවසකම නිවසෙහි සිට ඉතා හොඳට හැඳ පැළඳ උදයට, හවසට ජේතවනාරාමයට එන යන අයුරින් හැසිරෙන්නට විය. මේ ආකාරයට ඇය ටික දිනක් මේ ක්‍රියාව සිදු කරමින් මාස දෙක තුනක් නොපෙනී සිටින ලදී. එක් දිනක් විශාල පිරිසක් බණ අසන්නට දම් සභා මණ්ඩපයට රැස්වූ විට චංචිමානවිකාව නමැති මේ ස්ත්‍රිය බඩට දරමිටියක් බැඳ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන තැනට පැමිණ තම හඬ අවදි කරන ලදී.
“ගෞතමයාණෙනි, දැන් බණ කිව්වා ඇති. ඔබට දාව මගේ කුසේ ඉන්න දරුවාටත් මටත් යමක් කරන්න. ඉන් මඟ අරින්නේ ඇයි? ඔබ වහන්සේට විවේක නැතිනම් මට මගේ කටයුතු කර ගැනීම සඳහා විශාඛාව හෝ කොසොල් රජතුමාට මේ කටයුතු පවරන්න” යැයි බුදුරදුන්ට අවමන් කළාය.
බුදුරජාණන් වහන්සේ මේ සෑම දෙයක්ම මනාව අසා තුෂ්නිම්භූතව සිටින මිනිසුන් විමතියට පත්කරමින්
“නැගණිය මදක් ඉවසන්න. ඔබත් මමත් මේ කාරණය පිළිබඳව හොඳින් දන්නෙමු”.
යැයි දෙසූහ. මෙසේ අවමන් කරනවාත් සමගම ශක්‍ර දෙවියන් මීයෙකුගේ වේශයෙන් පැමිණ ඇය බඩ බැඳ සිටි දරමිටියේ ලණුව කපා දමන ලදී. මෙය දුටු මහජනයා ඇයට පහර දෙන්නට විය. ඇය දුවන්නට විය. ඇයට ජේතවනාරාමයෙන් එලියට යන්නට වූයේ නැත.

ජේතවනාරාමයේ භික්ෂු ආරාම
මහ පොළොව පළාගෙන අවීචි මහා නරකාදියට ඇද වැටුනි. අද නව ජේතවනාරාමයේ ඉහළ මහළයට ගොස් බලන හැමදෙනාටම වගුරු බිමක විශාල වළක් දැකිය හැකිය. ඊට මදක් නුදුරින් දේවදත්ත හිමි අවීචි මහා නරකාදියට ඇදගත් ස්ථානයක්ද යැයි විශ්වාස කරනු ලබන දසුනක් ද දැකිය හැකිය.
බුදුරජාණන් වහන්සේට වෛර කරන ලද භික්ෂූන් වහන්සේ වූයේ දේවදත්ත හිමියන්ය. බුදුරජාණන් වහන්සේට ගල් පෙරළීම, නාලාගිරි ඇතු පිටත් කිරීම, දුණු හේවායන් යෙදීම ඇතුළුව බොහෝ දෙය කරමින් වෑයම් කරන ලද නමුත් උත්සාහය අසාර්ථක විය. ඉන් පසුව ජේතවනාරාමයේ වැඩ වාසය කරන ලද භික්ෂුන් වහන්සේලා 500 නමක් රැගෙන වනගත විය. නමුත් සැරියුත් හාමුදුරුවෝ මේ 500 දෙනාටම දහම් දේශනා කර ජේතවනාරාමයට වැඩමවාගෙන එන ලදී. දේවදත්ත තෙරුන් බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලේ සෙලවීම භික්ෂු සංඝයා භේද කරවීම වැනි ආනන්තරීය පාප කර්මයන් සිදු කර ගත්හ. දරුණු අසනීප තත්ත්වයකට පත්වූ උන්වහන්සේ තම ගෝල පිරිසට කථා කොට තමන් බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් සමාව ගැනීමට සූදානම් බවත් ඒ සඳහා තමන් රැගෙන යන ලෙස ගෝල පිරිසට දන්වා සිටි අතර ගෝල පිරිස යහනාවක (ඇඳක) තබා ඔසවාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ජේතවනාරාමය කරා ගෙන ආහ. ඉතා දුර බැහැරක සිට පා ගමනින් ම පැමිණි නිසා පිරිසට මහන්සි වැඩි නිසා ජේතවනාරාම දොරටුව ළඟ තිබුණූ පොකුණ අසල දේවදත්ත හිමියන් සිටි යහනාව (ඇඳ) තබා පිරිස වෙහෙස නිවා ගැනීමට නෑමට පටන් ගත්හ. දෙව්දත් තෙරුන්ද ඇඳෙහි ඉඳගෙන දෙපා මහ පොළොවට තබාගෙන සිටියේය. දෙව්දත් කළ අකුසල් නිසා පොළොව පැළී උරහිස දක්වා ගිලී ගියේය. තම ඥාතිවර බුදුරජාණන් වහන්සේට කරන ලද අකුසල් සිහිවිය. ක්‍රමයෙන් ගිලි ගොස් නිකට පොළොවෙහි හැපෙන තරමට ගිලිණි, ඉබේම දෙව්දත් හට බුදු ගුණ සිහිපත් විය.
ඉමෙහි අට්ඨෙහි තමග්ග පුග්ගලං
දෙවාති දෙවං නර දම්මසාරථිං
සමන්ත චක්ඛුං සත පුඤ්ඤ ලක්ඛණං
පණෙනි බුද්ධං සරණං ගතොස්මි
මේ ගාථාව කියවා අවසන් වනවාත් සමගම, කම් පල දෙමින් මහා ගිනි දැල්ද සමගින් අවීචි මහා නරකාදියට ඇදගත්හ.
දේවදත්ත හිමි සහ චිංචිමානවිකාව ගිය අවීචි මහා නරකය
මිනිස් ලොව උපදිනා අප සැමවිටම කල්පනා කරන්නේ ඉතා හොඳ නිවැරදි ජීවිතයක් ගත කිරීමටයි. නමුත් ඇතැම් පුද්ගලයන් කරන වැරදි ක්‍රියා කාරකම් නිසා ඔවුනට යාමට අට මහා නිරයක් සහ පේ‍්‍රත ලෝක දොළහක්ද වශයෙන් දුක් විඳීමට ස්ථාන ඇත. එහි ඇති දරුණුම ලෝකය අතරට එකතුවන්නා වූ අවීචි මහා නරකය කුමක්ද? දේවදත්ත හිමි එමෙන්ම බුදුරජාණන් වහන්සේට අපහාස කළ චිංචිමානවිකාව ඇදගත් තැනයි.
මේ නරකයෙහි එක් බිත්තියකින් නැගෙන ගින්න අනෙක් බිත්ති දක්වා ගමන් කරන්නේය. පොළොවෙන් නැගෙන ගිනි ජාලාව උඩ පියන්පත දක්වා ද උඩ පියන් පතෙන් නික්මෙන ගිනි ජාලාව පොළොව දක්වාද ගමන් කරන්නේය. සත්වයෝ නිතරම එම සදිසාවෙන්ම එන ගිනි දැල්වලින් වෙලී දැවෙන අතරක් නැතිව එහි සත්වයෝ වෙසෙති. ගිනිදැල්වලින් හා දුක්වලින්ද සත්වයන්ගෙන්ද, අතරක් නැති බැවින් ඒ නරකය අවීචිය නම් වේ. මෙම කරුණුද ලියා පළ කරන්නේ ඔබ යන වන්දනා ගමන තව තවත් අර්ථවත් කර ගනිමින් පාප ක්‍රියා නොකොට යහපත් ජීවිතයක් ගත කරන්නට මග කියා දීමටයි.
අවීචි මහා නරකාදියට යාමට සිදුවන අකුසල අතර මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, සංඝ භේදය, බුදුන්ගේ ඇඟේ ලේ සෙලවීම යන පංචානත්තරිය පාප කර්ම කළවුන් බෝසතාණන් වහන්සේලාගේ ජීවිතය නැසුවෝද, ගුණවතුන්ගේ ජීවිතය නැසුවෝද, වෙහෙර විහාර බිඳ දමන්නන්ද, බෝගස් විනාශ කළවුන්ද රත්නත්‍රයට අයත් වස්තුව පැහැරගන්නවුන්ද මිත්‍ර ද්‍රෝහීහුද, භාර්යාවන්ට අපරාධ කළෝද , බොරු කීවෝද, සුරාපානය කළවුන් ද මිසදිටු ගැත්තෝ ද, නිතර ගින්නෙන් දැවෙන මේ අවීචි මහා නරකාදියේ උප්පත්තිය ලබයි. දේවදත්ත හිමි සහ චිංචිමානවිකාව අවීචියට ගිය ස්ථාන දෙස බලා ඔබ අදිටන් කරගත යුත්තේ සියලු පාප කර්ම වලින් අත්මිදී නිවැරදි ජීවිතයක් ගත කරනවා යන අධිෂ්ඨානයයි.

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 39

දඹදිව වන්දනාවේ යෙදෙන වන්දනාකරුවන්ට අනාථ පිණ්ඩික සිටු මාලිගය සමීපයේ වූ අංගුලිමාල ස්ථූපයේ නටබුන් දැකිය හැකිය. සිටු මාලිගයේ දන් වළඳා ආපසු ජේතවනාරාමය බලා වඩින අංගුලිමාල මහරහතන් වහන්සේට මහ මඟ අසල එක් නිවාසයක ගැබිනි මවක් දරු ප්‍රසූතිය සඳහා දැඩි සේ වේදනා විඳීනු දැක ඒබව බුදුරජාණන් වහන්සේට පවසා ඇයට පිහිටවන ලෙස ඉල්ලා සිටින ලදී. බුදුරජාණන් වහන්සේ ඇයට පිහිටවන ලෙස පවසා ඇයට දේශනා කරවීම පිණිස අංගුලිමාල මහරහතන් වහන්සේට අංගුලිමාල පිරිත දේශනා කරන ලදී. අංගුලිමාල රහතන් වහන්සේ එම නැගණියට එම පිරිත දේශනා කරමින් සත්‍ය ක්‍රියා කළේ ය. දරු ප්‍රසූතිය කිසිදු වේදනාවකින් තොරව සිදු විය. එම ස්ථානයේ ඉදිකරන ලද චෛත්‍ය අංගුලිමාල චෛත්‍ය ලෙස ප්‍රසිද්ධ විය. අදටත් වන්දනාකරුවන්ට එය දැක වැඳ පුදා ගත හැකි වේ.

අනේපිඬු සිටු මාලිගාව

සැවැත්නුවරට යන පින්වත් ඔබ සිත් තුළට සිහිපත් වන පළමු නාමය නම් සුදත්ත හෙවත් අනාථ පිණ්ඩිකස්ස සිටුවරයා යි. ඊට හේතුව කෝටි පනස් හතරක් වියදම් කරමින් ජේතවනාරාමය බුදුරදුන්ට පූජා කරන ලද නිසා ය. බුදුරජාණන් වහන්සේ දකින්නට දිනකට තෙවරක් ජේතවනාරාමයට ගිය සිටුවරයා දිනපතා දුගී මගී යාචකයන්ට දන්සලක් ද පවත්වාගෙන යන ලදී. එතුමා ඉතාමත් ශ්‍රද්ධාවන්ත බෞද්ධ උපස්ථායකයකු නිසාම බුද්ධ ශාසනයේ අග්‍ර දායකයා ද විය. දැනට හමු වී ඇති මාලිගාව එතුමාගේ බවට රාහුල සාංකෘත්‍ය යන පඬිතුමා හඳුනාගෙන ඇත. එම මාලිගාව තුළ රන් කහවණු තැන්පත් කරන ලද බවට සිතිය හැකි ගබඩා තුනක් පිහිටා ඇත. එතුමාගේ මන්දිරය අසළ අංගුලිමාල ස්ථූපය පිහිටා ඇත. තවද අනේපිඬු සිටු මාලිගාවට යාබදව විශාඛාවගේ නිවස පිහිටා තිබූ බවට ද සිතිය හැකිය. නමුත් සිටුතුමාගේ නිවසේ නටබුන් තිබුණ ද විශාඛාවගේ නිවසේ නටබුන් දක්නට නැත. අනේපිඬු සිටුතුමාගේ සත් මහල් ප්‍රාසාදයකින් යුක්ත මාලිගාවේ එක් මහලක් පමණක් දැනට දැකිය හැක. ජේතවනාරාමය සාදා බුදුරජාණන් වහන්සේට පූජා කිරීමට තරම් ඔහු වාසනාවන්ත විය.
ගන්ඩබ්බ චෛත්‍යය

අංගුලිමාල ස්තූපය

අනාථපිණ්ඩිකස්ස මාලිගාව
ජේතවනාරාමයේ සිට කිලෝමීටරයක් පමණ ගිය පසු ප්‍රධාන මාර්ගය අසල උස් කඳු ගැටයක් මත මෙම ගන්ඩබ්බ චෛත්‍යය පිහිටා ඇත. මෙය ඉතා වැදගත් සිදුවීමක් වූ ස්ථානයකි.
බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරද්දී සැවැත් නුවර සිටි ධනවතුන් පිරිසක් මේ ලෝකයේ රහතුන් සිටීදැයි දැන ගැනීමට සඳුන් ලීයෙන් පාත්‍රයක් කරවා රියන් හැටක් උස කණුවක තබා මෙය අහසින් ඇවිත් ගන්නේ කවුරුද? උන්වහන්සේට අප සලකමු යැයි සාකච්ඡා කළහ. නිඝන්ඨනාථ පුත්ත ඇතුළු පිරිස මේ සඳහා මහා වෙහෙසක යෙදුනාහ.
ඔවුන් රහත් නොවූයෙන් එකී කාරණාව සඵල වූයේ නැත. මේ බව ජේතවනාරාමයේ වැඩ සිටි පිණ්ඩෝල භාරද්වාජ රහතන් වහන්සේට දැන ගන්නට ලැබිණි. පිණ්ඩෝල භාරද්වාජ රහතන් වහන්සේ අහසින් පැමිණ පාත්‍රය ලබා ගත්තේ ය. මේ කාරණාව දැනගත් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ලාභ, සත්කාර ලබා ගැනීම පිණිස ප්‍රාතිහාර්යය නොපාන ලෙස නීතියක් පැනවූහ. පසුව එම ස්ථානයට වැඩම කරන ලද බුදු හාමුදුරුවෝ අන්තිම වරට යමා මහ පෙළහර පෑ සේක. ප්‍රාතිහාර්යය පෑමේ දී විසිරුණු ජලය නිඝණ්ඨයන්ගේ දූවිලි තැවරී තිබුණු ශරීරවල වැටීමෙන් පුල්ලි ඇති වී අමුතුම දර්ශනයක් දැකීමට ලැබිණි. මහත් ලජ්ජාවට පත් ඔවුහු හිස් ලූ ලූ අත පැන ගියහ. අනතුරුව බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ හත්වන වස් කාලය ආරම්භ කිරීම සඳහා තවුතිසා දෙව්ලොවට වැඩම කරන ලදී. අදටද මේ ස්ථානයේ ධර්මාශෝක රජතුමා විසින් ගොඩනඟන ලද ස්ථූපය විශාල කඳු ගැටයක් මත දක්නට ඇත.
ජෛන මන්දිරය (නිඝණ්ඨාරාමය)
අනාථපිණ්ඩික සිටුතුමාගේ මන්දිරය දකින්නට යන සියලු දෙනාට ම ප්‍රධාන පාරේ දකුණු පැත්තෙන් මෙම ගොඩනැගිල්ල පිහිටා ඇත. ජෛන මහා විහාර නිඝණ්ඨනාථ පුත්ත උපන් ස්ථානය ලෙසට සමාජය තුළ මතයක් ඇත. නිඝණ්ඨ ආගම එවකට භාරතයේ පහළවූයේ පරම අවිහිංසාවාදී ආගමක් ලෙසිණි. මොවුන් තමන්ගේ ඇඟ දරන වස්ත්‍රාභරණයන් පවා ගලවා දැමූහ. වස්ත්‍රාභරණයන් ඔවුන් සොයනා විමුක්ති මාර්ගයට බාධා ගෙන එන බව ඔවුන්ගේ මතය විය. වර්තමාන ඉන්දියාව තුළ අදටත් නිඝණ්ඨ කොටස් දෙකක් දැකිය හැකි වන අතර ඒ සේතම්භර හා දිගම්බර වශයෙනි. සේතම්භර උඩු කයට ඇඳුම් නොගන්නා අතර පහළ කොටසට ඇඳුම් අඳියි. දිගම්බර කොටස සම්පූර්ණයෙන් ම ඇඳුම් නොඅඳියි. මොවුන් සැමගේ ම අදහස පරම විමුක්තිය කරා යාමයි.
රාජකාරාමය ( භික්ෂුණී ආරාමය)
පසේනදී කොසොල් රජතුමා විසින් භික්ෂුණීන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා මේ ආරාමය සැවැත්නුවර දකුණු දෙසින් වූ භූමියක සාදා ඇත. බුදුරජාණන් වහන්සේ පස්වන වස් කාලය තුළ විශාලා මහනුවර කූටාගාර ශාලාව තුළ මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු පන්සියයක් කාන්තාවන් පැවිදි කරන ලද්දේ ඔවුන් අෂ්ඨ ගරු ධර්ම පිළිගත් නිසාය. එහි එන එක් කරුණක් නම් භික්ෂුණීන් වහන්සේලා භික්ෂූන් ඇති ප්‍රදේශවල වැඩ වාසය කිරීමයි. නමුත් අන්ධ වනයේ වැඩ සිටින විට උප්පලවණ්ණා මෙහෙණින් වහන්සේට එතුමියගේ මස්සිනා කෙනෙකු වූ නන්ද නම් මානවකයා විසින් බලහත්කාරකම් කළ පසු බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුණීන් වහන්සේලාට සම්පූර්ණයෙන් ම ආරණ්‍ය වාසය තහනම් කරන ලදී. මේ නිසා නගරයට පැමිණි භික්ෂුණීන් වහන්සේලා උදෙසා කොසොල් රජු විසින් ප්‍රජාපතී ගෝතමිය ඇතුළු භික්ෂුණීන් වහන්සේලාට රාජකාරාම විහාරය පූජා කරන ලදී. බුදුරජාණන් වහන්සේ භික්ෂූණීන් වහන්සේලාට අවවාද කිරීම සඳහා නන්දක හිමියන් පිටත් කරන ලදී. නන්දක හිමියන් විසින් භික්ෂුණීන් වහන්සේලාට නන්දකෝවාද සූත්‍රය දේශනා කරන ලදී. බුදුරජාණන් වහන්සේ භික්ෂුණීන් උදෙසා සංයුක්ත නිකායේ එන සහස්ස සූත්‍රය දේශනා කළ සේක.

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 40

තුන්බිය දුරු කළ විසාලා මහනුවර

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාවේ 40 වන කොටසයි මේ. වජ්ජි රට (විසාලා මහ නුවර) පිහිටීම හා පසුබිම
වජ්ජි (වෘජ්ජි) රට වජ්ජි, විදේහ, ලිච්ඡවී, නාතික ආදි ගෝත්‍ර අටක ක්ෂත්‍රියන් ගේ සමානච්ඡන්දයෙන් පාලිත විය. ඔවුන්ගෙන් විදේහ, ලිච්ඡවි ගෝත්‍ර දෙකෙහි වූවෝ සෙස්සනට වඩා ප්‍රකට වූ බලවත්තු යැයි හැඟේ. මෙයින් ලිච්ඡවීන්ගේ ප්‍රධාන නගරය වේසාලී (වෛශාලි) පුරයයි විදේහයන්ගේ ප්‍රධාන නුවර මිථිලාවය. නාතිකයන්ගේ අගනුවර කුන්ද පුර (කුන්දග්‍රාම) යි බුද්ධ කාලයේදි විසාලා පුරය ඒ සියලුම වජ්ජි රටේ අග නගරය විය. වජ්ජි ජනපදයේ සිමාවෝ කවරහුදැයි නොපැනේ. මෙහි සමූහ ආණ්ඩුවක් පැවති බව හැගේ.

වේසාලි පුරය

මේ වජ්ජි ජනපදයේ අගනුවරයි වජ්ජිගාම යැයිද මෙයට නම් වීය. ගංගා නදියෙන් තුන් යොදුනකින් ඈත උතුරු දිග පිහිටියේය. රජගහ පුරය මින් යොදුන් අටෙකින් මෑත ගංගා නදියෙන් දකුණූ දිග පිහිටියේය. මේ නුවරට පිටිපසැ මහා වනයට හිමාලය තෙක් පැතිර පැවැත්තේය. එහි භාග්‍යවතුන් වහන්සේට වැඩ සිටීමට විහාරයක් විය. ලිච්ඡවි රජහු 7707 දෙනෙක් විශාලා පුරයෙහි මැ නැවැති රාජ්‍ය පාලන කටයුතු වල යෙදුණහ. මේ නගරය සමීපයේ උදේන චේතිය ගෝතමක චේතිය. සත්තම්බ චේතිය සාරන්දද චේතිය, චාපාල චේතිය යන චෛත්‍ය ස්ථානයන්හිද අම්බපාලි වනයෙහිද භාග්‍යවතුන් වහන්සේ වැඩ විසූ සේක. මෙය වර්තමානයෙහි ගණ්ඩකි නම් නදිය අද්දරැවු බෙසාර් නම්පුරයයි.

බේළුව ග්‍රාමය

භාග්‍යවතුන් වහන්සේ අන්තිම වස විසූ ස්ථානය මෙය වේ. මෙය පිහිටියේ වෛශාලි පුර සමීපයේය. මේ වේණුව ග්‍රාම නමින්ද සංස්කෘත බෞද්ධ පොත්හි සඳහන් වේ. භණ්ඩග්‍රාමයද වජ්ජි රටෙහි ගමෙකි.

කෝට් ග්‍රාමය

මෙය කුන්දග්‍රාම කුන්දපුර යන නම් වලින්ද ප්‍රකට වීය. විසාලා පුර ළඟ පිහිටියේය. නාතික (ඥාතික ) ගම් දෙකින් මේ කෝට්ග්‍රාමය එකෙකි. නිගණ්ඨනාත පුත්තයන්ගේ පියා මෙහි ආධිපත්‍ය දැරුයේය.

විසාලා මහනුවර හා සම්බන්ධ විශේෂ කරුණු හා ආගම්

ප්‍රබලව පැවැති වජ්ජි ජනපදය භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් තුන්වන වර්ෂය පමණ මගධාධිපති අජාසත්ත රජ බලය ලබාගත්හ. එතැන් පටන් වජ්ජි රටත් මගධ දේශයට යටත් පළාතක් විය.
භාග්‍යවතුන් වහන්සේ පහළ වන්නට සියවස් කිහිපයකට පෙර පාර්ශ්වනාථ නම් ජෛන සමය පැතිරැ පැවැත්තේය. නිගණ්ඨනාතපුත්තයන් පහළ වු පසු වඩාත් ඒ පැතිරැ ගියේය. මෙයට වැඩියෙනුත් හේතු වුයේ නිගණ්ඨනාත පුත්තයන් එහි සම්භාව්‍ය ක්ෂත්‍රියයකු වීමය. (ලිච්ඡවී රාජ පරම්පරාවෙහි ඥාත (නාත) පෙළපතේ එවකට අධිපතිව සිටි කුන්ද (කෝටි) ග්‍රාමවාසි සිද්ධාර්ථව නම් ක්ෂත්‍රියයාගේත් තද්භායර්යා විදේහදත්තා (ත්‍රිශාලා) නම් චේතක් ලිච්ඡවී රජු දු වූ ) ක්ෂත්‍රියාණියගෙත් පුත්‍ර වර්ධමාන මහාවීර යන නමින් ප්‍රකට නිර්ග්‍රන්ථ ඥාත පුත්‍රයා (නිගණ්ඨනාතපුත්තයා) එසමයෙහි පහළවැ මහා ශ්‍රාවක පිරිසක් ඇතිවැ සිටි ජෛන ශාස්තෘවරයායි.

විසාලා නුවර බුද්ධකාලීන පසුබිම


විසාලා නුවර ධාතු ස්ථූපය
බුද්ධ කාලයේ පැවති සොළොස් මහා ජනපද අතර වජ්ජි ජනපදය විශේෂ තැනක් හිමි කරගත්හ. එහි අගනගරය වූවේ විසාලා මහ නුවරයි. පැටිනා නගරයේ සිට විසාලා මහ නුවරට ඇත්තේ කිලෝ මීටර් 56 ක දුරකි. රජගහනුවර සිට කිලෝ මීටර් 102 කි.
පැටිනා නාලන්දා යන ස්ථානයන් බිහාරයේ දකුණූ ප්‍රදේශයේ පිහිටි අතර විසාලා මහ නුවර පිහිටා ඇත්තේ උතුරු බිහාරයේය.ගංගා ගඟින් එතෙර වීම සඳහා කිලෝ මීටර් 7 1/2ක පාලමක් චීන සමූහාණ්ඩුව විසින් මහත්මා ගාන්ධිතුමාට උපහාරයක් පිණිස ගාන්ධි සේතුම් නමින් තනවා ඇත. ගාන්ධී පාලමෙන් එතෙර වී විසාලා මහ නුවරට යා යුතුය. බුදු හිමියන්ගේ කාලයේ විසාලාව මහ නුවරක් ලෙස හැඳින්වුනත් අද එය වෛශාලී නමින් හැඳින්වෙන සාමාන්‍ය ග්‍රාමයකි. එහෙත් බෞද්ධ සැදැහැතියන්ට මෙහි ඇති වැදගත්කම අති විශාලය. සොළොස් මහා ජනපදයන් අතර විශිෂ්ටත්වය හිමි කරගත් වජ්ජි ජනපදයේ අග නගරය වූයේ විසාලා මහ නුවරය.
බුදුරජාණන් වහන්සේ ඉතාමත් පි‍්‍රය කරන ලද රාජධානියකි. ඊට ප්‍රධාන හේතුව ලිච්ඡවී රජවරුන්ගේ රාජ්‍ය ව්‍යවස්ථාව සප්ත අපරිහානි ධර්මය පදනම් කොට සකස් වී තිබුණාහ.
මෙයින් වජ්ජි ජනපදය වැදගත් වන්නේ එය ලෝකයේ පළමු වැනි සමුහාණ්ඩුව පිහිටි ජනපදය වූ නිසාය. ලිච්ඡවී රජ දරුවන්ගේ මනා පාලනයෙන් හෙබි මේ ජනපදයට අප තථාගතයන් වහන්සේගේ ඉමහත් පැසසුමට ලක් විය. මෙහි පාලන ව්‍යවස්ථාව අද දවසේ වුවද හැදෑරීම අගනා කාර්යයක් වනු ඇත. රටවැසියන් මහත් සැනසීමෙන් හා සාමයෙන් ජීවත් වූහ. රූප ශෝභාවෙන් පමණක් නොව උසස් ගුණාංගයන්ගෙන්ද ඔවුහු දෙවියන් හා සමාන වු ශ්‍රේෂ්ඨ පාලකයෝ පිරිසක් වූහ. ලිච්ඡවීන්ගේ රාජ ව්‍යවස්ථාව සප්ත අපරිහාණිය ධර්මය පාදක කොටගෙන සැකසිණි.

විසාලා නුවර ඇති සිංහයෙකු සහිත අශෝක කුළුණ
විසාලා මහ නුවර එකල ඉතා රමණීය වැව්පොකුණු ආදියෙන් සුසැදි අලංකාර නගරයක් විය. එහි විචිත්‍රභාවය බුදු මුවින් ම විස්තර කර ඇත.
බුද්ධත්වයෙන් පස්වන වස්කාලය අප තථාගතයන් වහන්සේ විසාලාවට වැඩම කළහ. පස්වන වස් කාලය ගත කළේ විසාලා වේ කූටාගාර ශාලාවේය. අදත් එහි නටබුන් ඔබට දැකගත හැකිය.
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර අතර මහා සිහනාද, තේවිජ්ජ , මහාලි, චුල්ල සච්චක, මහා සච්චක , වජ්ඡ ගොත්ත සුනක්කත්ත යන සූත්‍ර විසාලා මහනුවර වැඩ වාසය කරන සමයේ දේශනා කරන ලදී.


බුද්ධ කාලයේ විසාලා මහනුවර තුන් බියක් පැතිරිණි. වැසි නැති වීමෙන් දුර්භික්ෂය හට ගත්තේය. වසංගත රෝග පැතිර ගියේය. අමනුෂ්‍ය උවදුරුද ඇති විය. මේ තුන් බිය නැති කිරීමට විසාලා මහනුවරට වඩින්නැයි ලිච්ඡවී රජවරු බුදුරදුරන්ට ආරාධනා කළහ.