, දඹදිව වන්දනා දඹදිව වන්දනා - BUDDHIST PILGRIMAGE TOURS TO INDIA: භාරතයේ බුදුසමය මර්දනය කිරීමේ ඓතිහාසික පසුබිම ඉතිරි කොටස

ක්‍රි.පූ. 6 වැනි සියවසේ සිට ක්‍රි.ව. 11 වන සියවස පමණ වන තෙක්‌ භාරතීය අධිරාජ්‍යයන්හි, දේශපාලන ප්‍රවණතා, යුද්ධ රාජ්‍ය මර්දනය මෙන්ම බාහිර ආක්‍රමණ, බෞද්ධ දර්ශනය මර්දනය සඳහා මැදිහත් වූ ආකාරය...

.

භාරතයේ බුදුසමය මර්දනය කිරීමේ ඓතිහාසික පසුබිම ඉතිරි කොටස

ක්‍රි.ව. 7 වන සියවස ආරම්භ වන විට, භාරතයේ දීර්ඝ සංචාරයක්‌ නිම කළ චීන ජාතික දේශාටකයන් වහන්සේ නමක වූ හියුං සැංග් (Hsuan Tsang) හිමියන්ගේ චාරිකා සටහන් හා නිරීක්‌ෂණ එම වකවානුව වන විට භාරතයේ බෞද්ධ දර්ශනයේ ව්‍යාප්තිය හා සමකාලීන අභියෝග ගැන ප්‍රබල සාක්‌ෂි සපයයි. වයඹදිග භාරතයෙන් (වර්තමාන ඇෆ්ගනිස්‌ථානය) උපමහද්වීපයට ඇතුළු වන සැංග් හිමියෝ කාශ්මීරය ද, පසුව බිහාරය, වරන්ගල්, තමිල්නාඩුව, මහාරාෂ්ට්‍රය, ගුජරාටය හා සින්ද් දේශය ආදී ප්‍රදේශ ආවරණය කරමින් කළ සංචාරය එක්‌තරා ආකාරයකින් සමස්‌ත උපමහද්වීපය ම ආවරණය කිරීමක්‌ සේ සැලකිය හැකි ය. උන්වහන්සේ නිරීක්‌ෂණය කළ පරිදි ඒ වන විට තක්‌ෂිලාවේ හා ගාන්ධාර දේශයේ (වර්තමානයේ උතුරු පකිස්‌ථානු පන්ජාබයේ හා නැගෙනහිර ඇෆ්ගනිස්‌ථානයේ පිහිටා ඇත) 7 වන සියවස වන විට බෞද්ධ ආරාම සියයකට ආසන්න ප්‍රමාණයක පන්දහසක්‌ පමණ භික්‌ෂූන් වහන්සේ වැඩ වාසය කර ඇත. ලිච්ඡවීන්ගේ අගනුවර වූ ශ්‍රාවස්‌තිය (වර්තමාන උත්තර් ප්‍රදේශයේ පිහිටා ඇත.) අබෞද්ධ ග්‍රහණයට නතුව පැවතිණි. එය බුදුන් වහන්සේ චතුර්මාස 24 ක්‌ ගෙවූ ඓතිහාසික ස්‌ථානයක්‌ බව බෞද්ධ ඉතිහාස ග්‍රන්ථ පෙන්වා දෙයි. කපිලවස්‌තුව අතහැර දමන ලද ජනශූන්‍ය භූමියක්‌ ව තිබූ අතර, ආක්‍රමණ හා ගැටුම් හේතුවෙන් එය නටඹුන් වී ගිය ප්‍රදේශයක්‌ ලෙස දිස්‌විණි. සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ කුසිනාරාවෙහි බෞද්ධ ආරාම සංඛ්‍යාව 30 දක්‌වා පහළ බැස තිබූ අතර, ජෛන හා ශිව විශ්වාස සම්ප්‍රදායන් ප්‍රබලව ව්‍යාප්තව තිබිණි. මෞර්ය අධිරාජ්‍යය වූ මගධයේ (වර්තමාන බිහාර් හා බටහිර බෙංගාල ප්‍රාන්ත ආශ්‍රිත ව පිහිටා ඇත.) ආරාම පනහක භික්‌ෂූන් වහන්සේ දසදහසක්‌ වාසය කරනු සැංග් හිමියෝ දුටහ. නාලන්දා විශ්ව විද්‍යාලය ඇතුළු බෞද්ධ අනන්‍යතාව සහිත බොහොමයක්‌ යටිතල පහසුකම් එහි ඉතිරි වී තිබිණි.

මෙම වකවානුව වන විට පල්ලව, චෝර, පාණ්‌ඩ්‍ය රජ පෙළපත්වල පාලනයට නතුව පැවැති දකුණු ඉන්දියානු ප්‍රදේශවල බෞද්ධ දර්ශනය තම පැවැත්ම පිළිබඳ දරුණු අරගලයක නිරතව සිටියේ ය. වර්තමාන ආන්ද්‍රා ප්‍රදේශ් හි වඩාත් වෙරළබඩට වන්නට පිහිටි විජයවඩා නගරය ආසන්නයේ අමරාවතියේ (මෙය සතවාහන රාජධානියයි) ඉතා අසීරුවෙන් ආරාම විස්‌සක වැඩ වසන භික්‌ෂූන් වහන්සේ දහසක්‌ පමණ සැංග් හිමියෝ දැක ගනිති. තමිල්නාඩුවේ කන්ජිපුරම් හි ආශ්‍රම සියයකට වැඩි ගණනක භික්‌ෂූන් වහන්සේ දස දහසක්‌ පමණ වැඩ වාසය කළහ. දකුණු මහාරාශ්ට්‍රයේත් එපමණම පිරිසක්‌ ද, මධ්‍යම මහාරාශ්ට්‍රයේ ආරාම පනහක භික්‌ෂූන් වහන්සේ පන්දහසක්‌ ද, ගුජරාටයේ ආරාම සියයක භික්‌ෂූන් වහන්සේ දෙදහසක්‌ ද වැඩ වාසය කර තිබේ. වර්තමාන පකිස්‌ථානයට අයත් සින්ද් දේශය ක්‍රි.ව. 7 වන සියවස පමණ වන විට ථෙරවාදය ව්‍යාප්ත ව තිබූ ප්‍රදේශයකි. එහි ද ආරාම සියයකට වැඩි ප්‍රමාණයක භික්‌ෂූන් වහන්සේ දසදහසක්‌ පමණ වැඩ වාසය කරනු සැංග් හිමියෝ නිරීක්‌ෂණය කරති.

බෞද්ධ දර්ශනය මර්දනයට ලක්‌වීමේ විවිධ ක්‍රමෝපායික සූත්‍රයන් පරීක්‌ෂා කිරීමේ දී ඉහත සංඛ්‍යා ලේඛන මත නිර්මාණය වන භූමී දර්ශනය ඔස්‌සේ ඉස්‌මතු වී පෙනෙන කරුණු ගණනාවක්‌ තිබේ. ඉන් පළමුවැන්න, බෞද්ධාගමික පිළිගැනීම් අනුව අනාගත බෞද්ධයකු විසින් දැක, සිත පහදවා ගත හැකි ස්‌ථාන සියල්ල ම පාහේ ඉතා උපක්‍රමශීලී ලෙස විනාශයට පත්කරමින් පැවතීමයි. එම ස්‌ථානවල නිර්මාණය කළ යුද ගැටුම් ඒවා ජනශූන්‍ය භූමි බවට හා නටඹුන්වලට පමණක්‌ සීමා වූ ස්‌ථාන බවට පත්කර තිබිණි. දෙවැන්න, තක්‌ෂිලාව, ගාන්ධාරය පමණක්‌ නොව, ථෙරවාදය ප්‍රබලව පැවැති සින්ද් දේශය ද යටත් පිරිසෙයින් වර්තමාන ඉන්දියානු සිතියම තුළ පවා නැත. ඒවා, ඊනියා සංරක්‌ෂිත ලෙස හෝ ලෝක උරුම ලෙස හෝ පවතින්නේ, කවර සමාජ ආගමික අනන්‍යතාවක්‌ සහිත දේශයන්හි දැයි පරික්‌ෂා කිරීම අත්‍යාවශ්‍ය නොවේ. එහෙත් නෂ්ඨාවශේෂකරණය අහම්බයක්‌ නොවන බව වටහා ගැනීම වැදගත් ය.

බෞද්ධ සමාජය ප්‍රාග් බෞද්ධ භාරතීය සමාජ ක්‍රමය තහවුරු කිරීම සඳහා නිර්මාණය වූවක්‌ නොවේ ය. එය මානව විමුක්‌තිය සඳහා භාරතීය සමාජ ක්‍රමය පමණක්‌ නොව, ඕනෑම ප්‍රපංචයක්‌ ප්‍රශ්න කිරීම අරමුණු කරගත්, වඩාත් ලෝකෝත්තර පරමාර්ථ සහිත දාර්ශනික සම්ප්‍රදායක්‌ ලෙස විග්‍රහ කර ගැනීම වඩාත් යුක්‌ති යුක්‌ත වෙයි. එහෙයින්ම කිසිදු පාර්ශ්වයකට වන්දිභට්‌ටකම් කිරීම බෞද්ධ දර්ශනයේ ක්‍රමවේදය නොවී ය. එහෙත් බ්‍රාහ්මණ ආගම හා සෙසු විශ්වාසයන් භාරතීය සමාජ ක්‍රමයේ ගාමක බලවේගයන් බවට පත්ව සිටි බමුණන් විසින් තම පැවැත්ම උදෙසා අවශ්‍යයෙන්ම විකෘති කරනු ලැබුවා වූ දාර්ශනික සම්ප්‍රදායක්‌ විය. එය ඉතා ප්‍රබල ලෙස එදිනෙදා ජනජීවිතය හා බැඳී පැවතිණි. බ්‍රාහ්මණ ආගම සිය වර්ණාශ්‍රම ධර්ම ඔස්‌සේ ලෞකික ජන ජීවිතයේ සෑම අස්‌සක්‌ මුල්ලක්‌ සම`ග ම බැඳී පැවතියේ ජනතාවට පූජකයන්ගේ සහය නොලබා සිටිය නොහැකි විය. දාර්ශනිකව බෞද්ධ මතවාදයේ එල්බ සිටියෝ තම දෛනික වත්පිළිවෙත් සඳහා බ්‍රාහ්මණික අභිචාරයන්හි නියෑලූණු බව ඉතිහාසඥයෝ පෙන්වා දෙති. ඩී.ඩී. කෝසම්බ්ගේ මාක්‌ස්‌වාදී විග්‍රහය සමයාන්තර වශයෙන් සමබර නොවූව ද භාරතයේ ප්‍රධාන ජීවනෝපාය වූ කෘෂිකර්මයේ සී සෑමේ සිට සෑම කුදුමහත් කටයුත්තක ම තිබූ බ්‍රාහ්මණික ආගමික කේන්ද්‍රීයත්වය ඔහු සාධනීය ව පරීක්‌ෂා කරයි.

ක්‍රි.පූ. 6 වැනි සියවසේ සිට ක්‍රි.ව. 11 වන සියවස පමණ වන තෙක්‌ භාරතීය අධිරාජ්‍යයන්හි, දේශපාලන ප්‍රවණතා, යුද්ධ රාජ්‍ය මර්දනය මෙන්ම බාහිර ආක්‍රමණ, බෞද්ධ දර්ශනය මර්දනය සඳහා මැදිහත් වූ ආකාරය අවශ්‍යයෙන් ම විමර්ශනය කළ යුතුය. උතුරු හා වයඹදිග භාරතයේ කුෂාණ අධිරාජ්‍යය බෞද්ධ දර්ශනය සඳහා විශේෂ අනුග්‍රහයක්‌ දැක්‌වූ අධිරාජ්‍යයක්‌ ලෙස ප්‍රසිද්ධ ය. කුෂානය හුදු ඉන්දීය අධිරාජ්‍යයක්‌ නොවී ය. එය ඉතිහාසඥයන් හඳුනා ගත්තේ මධ්‍යම ආසියාව තෙක්‌ ව්‍යාප්තව පැවැති ජගත් මට්‌ටමේ අධිරාජ්‍යයක්‌ ලෙස ය. බාමියන් බුදු පිළිම ඉදිකිරීම, කුෂානයේ පාලකයකු වූ කණිෂ්ක රජුගේ කාලයේ හිමාල දුර්ගය ඔස්‌සේ ක්‍රි.පූ. 65 දී පමණ චීනයට ධර්මරක්‌ෂ හා කාෂ්‍යප මාතාංග භික්‌ෂූන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත කණ්‌ඩායම් පිටත් කර හැරීම, කුෂාණ අධිරාජ්‍යයේ බෞද්ධත්වය ප්‍රකට කරයි. එහෙත් කුෂානයට එරෙහිව නැගෙන හූනා රාජ්‍ය වංශික ආක්‍රමණ කුෂාණ බෞද්ධ ප්‍රබෝධය විනාශ කරන්නේ ය. ප්‍රාග් බෞද්ධ කාශ්මීරයේ අබෞද්ධයන්ගේ සහයෙන් උග්‍රවන ප්‍රහාර කෙළවර වන්නේ, හූනා අධිරාජ්‍යයකු වූ මිහිරකුල විසින් තක්‌ෂලාව හා ගාන්ධාරය මුලුමනින් ම විනාශ කර දැමීමෙන් පසුව ය. ශ්‍රී සම්බුද්ධ ශරීරය ආදාහනයෙන් පසුව දන්ත පුරයේ (වර්තමාන ඔරිස්‌සාවේ) තැන්පත් කෙරුණු දළදා වහන්සේ කාලිංග රජකු වන ගුහාසීවයන් අතට පත්වීමෙන් පසු ඔහු බෞද්ධයකු වීම ද, ඒ හේතුවෙන් කාලිංගය ආක්‍රමණයට පැමිණි පාණුඩු රජු ද දළදා ප්‍රාතිහාර්ය දැක බෞද්ධාගම වැළඳ ගැනීම ද, මේ තත්ත්වය නොරිස්‌සූ ක්‌ෂීරධාර රජු හා ඔහුගේ පුතුන් මුලුමහත් දන්තපුරය ම විනාශ කිරීම, රජ ගැටුම් බෞද්ධ දාර්ශනික පුනර්ජීවනය අඩපණ කිරීම පිළිබඳ තවත් සාක්‌ෂියකි. ශිව භක්‌තිකයකු වූ ශශංක රජු ක්‍රි.ව. 6 වන සියවසේ දී ශ්‍රී මහ බෝධීන් වහන්සේ කපා දැමීම, බෞද්ධ ස්‌මාරක, ශෛල ස්‌ථම්භ මෙන්ම පිළිම විශාල වශයෙන් විනාශ කිරීම ද, මේ අතර ප්‍රමුඛත්වය ගනී. එසේම මහායාන බෞද්ධ දාර්ශනිකයකු වූ නාගාර්ජුනයන්ගේ ම`ග පෙන්වීම යටතේ විදර්භා ප්‍රදේශයේ කඳුකර භූමියක ඉදිවූ (වර්තමාන මහාරාශ්ට්‍රයේ) බෞද්ධ ගුහා විහාරය පළමු වන ක්‍රිෂ්ණරාජ රජු මුලුමනින් ම විනාශ කර දැමීය.

ටිබෙට්‌ බෞද්ධ ඉතිහාසඥ තරනාථ (ක්‍රි.ව. 16-17) බෞද්ධ දර්ශනයට එරෙහි රාජකීය හිංසනයේ තීරණාත්මක සන්ධිස්‌ථාන තුනක්‌ පැහැදිලි කරයි. පළමුවැන්න, මෞර්ය යුගය අවසානයේ රජු මරා බලය පැහැරගත් පුෂ්‍යමිත්‍ර නම් බ්‍රාහ්මණික වංශිකයා තවත් තීර්තකයන් පිරිසක්‌ සම`ග එක්‌ව මධ්‍ය දේශයේ සිට ජලන්ධාරය දක්‌වා විහාර ආරාම රාශියක්‌ ගිනි තැබීම හා උගත් භික්‌ෂූන් ඝාතනය කිරීම ය. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස බොහෝ භික්‌ෂූන් වහන්සේලා පණ බේරාගැනීම සඳහා වෙනත් රටවලට පලා ගියහ. දෙවැන්න, බෞද්ධ විරෝධී මිහිරකුල රජු විසින් 6 වන සියවසේ දී මගධය ආක්‍රමණය කර නාලන්දාව මුලුමනින්ම විනාශ කිරීමයි. තෙවන සහාසික අපරාධය, දකුණු ඉන්දීය ක්‍රිෂ්ණරාජ ප්‍රදේශයේ (වර්තමාන කර්නාටකයේ) තමන් සතුව අධිස්‌වාභාවික අග්නි බලයක්‌ ඇතැයි කියාගත් බමුණන් පිරිසක්‌ ආරාම 84 ක්‌ හා බෞද්ධ පොත්පත් ගිනිබත් කිරීමයි. විදර්භා ගුහා පන්සල විනාශ කළ පළමුවන ක්‍රිෂ්ණරාජ එහි තම ජය සංකේතවත් කිරීමට විචිත්‍රවත් කෛලාශ දේව මන්දිරයක්‌ ඉදිකළේ ය. පසුකාලීන ව අරාබි ජාතික වෙළෙන්දෝ ක්‍රිෂ්ණරාජ ඇතුළු රාෂ්ට්‍රකූට රාජ වංශය පරමාදර්ශී ඉන්දියානු පාලකයන් ලෙස හඳුන්වා දුන්හ. මෙම විනාශයන්ට නොදෙවැනිව, ක්‍රි.ව. 10 හා 11 වන සියවස්‌වල දී දකුණු ඉන්දියානු චෝල රාජවංශය බෞද්ධ හා ජෛන විශ්වාසයන්හි එල්බගෙන සිටි ප්‍රජාවන් අතර ශිව වෛශ්නව ආගමික ප්‍රචාරය ඉතා ආක්‍රමණශීලී අයුරින් ගෙන ගියේ ය.

බෞද්ධ දර්ශනයට එරෙහි රාජ්‍ය මර්දනය සෑම විටම යුද්ධ හෝ හිංසනයම නොවීය. විටෙක එය උපක්‍රමශීලී දේශපාලන න්‍යාය පත්‍රයක්‌ ලෙස ක්‍රියාවට නැංවුණු බව හඳුනාගත හැකි ය. බෞද්ධ ආරාම හා භික්‌ෂූන් වහන්සේ මර්දනයේ ඉලක්‌ක බවට පත්වීම උන්වහන්සේලාගේ අනාරක්‌ෂිත බව වර්ධනය කළේ ය. ආක්‍රමණවල දී භික්‌ෂූන් වහන්සේ බෞද්ධ දර්ශනයට පක්‌ෂ පාලකයන් වි රාජධානි වෙත පලා ගියහ. මෙම තත්ත්වය පාලකයන්ගේ ශාසනික අනුග්‍රහයට වඩා ශාසනය පාලකයා මත යෑපිය යුතුය යන සුසමාදර්ශීය වෙනස සමකාලීනව ස්‌ථාපනය කළේ ය. ජනපදනමින් මිදීම, බෞද්ධ දර්ශනයේ සමාජයීය පැවැත්ම බරපතළ ලෙස අභියෝගයට ලක්‌ කළේ ය. ක්‍රමක්‍රමයෙන් බෞද්ධ දර්ශනය පාලක ප්‍රභූන්ගේ සිවුපසයෙන් යෑපීම අරඹත් ම, එතෙක්‌ පොදු ජනයා තුළ තිබූ ශාසනික බැඳීමෙන් අත්මිදීම ද ඇරඹීය. පාලක හා ප්‍රභූ අවශ්‍යතා ඉටු කිරීම ද ශාසනික කාර්යයක්‌ විය. ඩී.ඩී. කෝසම්බ් පෙන්වා දෙන ආකාරයට සැංග් හිමියන්ගේ දේශාටන සටහන්වල දළදා වහන්සේ ප්‍රදර්ශනය කළ අතීත අවස්‌ථාවක්‌ ගැන සඳහන් වේ. එහිදී දළදා වහන්සේ දැකබලා ගැනීම සඳහා ජනයාට රන් කැබැල්ලකින් මිල ගෙවීමට සිදුවී තිබේ.

ක්‍රි.ව. 7-8 සියවස්‌වල දී හා ඊට පෙර බොහෝ පාලකයන් බෞද්ධ මෙන්ම, බ්‍රාහ්මණ ආගමික සම්ප්‍රදායන්ට අනුග්‍රහය දක්‌වා තිබේ. එහෙත් පොදුජන සමාජයේ මතවාදීමය ස්‌ථානගතවීම්වලට සමගාමීව රජවරු ද බෞද්ධ දර්ශනය සඳහා ස්‌වකීය අනුග්‍රහය සීමා කිරීමට කටයුතු කර තිබේ. උතුරු ඉන්දියානු කාර්කෝට, ප්‍රාතිහාර, දකුණේ රාශ්ට්‍රකූට, පාණ්‌ඩ්‍ය, පල්ලව ආදී රාජකීයයෝ එකහෙළාම බෞද්ධ දර්ශනය පිළිබඳ දැක්‌වූ සුළු හෝ අනුග්‍රහය නතර කොට, ප්‍රාදේශීය ආගමික විශ්වාස, ප්‍රධාන බ්‍රාහ්මණික විශ්වාස සම`ග අනුකූල කිරීමට කටයුතු කළහ. බෞද්ධ දර්ශනය වෙත දැක්‌වූ අනුග්‍රහය සීමා කිරීමෙන් නොනැවතුණු පාලකයෝ අන්‍යාගමිකකරණය තීව්‍ර කෙරෙන ප්‍රතිපත්ති තෝරාගත්හ. ශූර රාජ්‍ය පාලකයන් වූ බමුණන්ගේ උපක්‍රම, අනුශාසනා ලෙස ලද රජවරු බමුණන් හඳුන්වා දුන් නව, පළාත්, ප්‍රාන්ත, ප්‍රාදේශීය පාලන ආකෘති, ක්‍රියාත්මක කළ අතර, පරිපාලනයේ දී මෙන්ම දේශපාලනයේ දී ද ප්‍රධාන ප්‍රවාහය තුළ බ්‍රාහ්මණ ආධිපත්‍යය තහවුරු කළහ. තම පැවැත්ම තහවුරු වන වැඩවසම් පාලන ආකෘතිවලින් සතුටට පත්වූ බ්‍රාහ්මණයෝ, යාග, හෝම, නම්බුනාම ආදියෙන් රජුන් පිදූහ. වැසියාගේ ප්‍රධාන ජීවනෝපාය සඳහා රජුගෙන් ලැබිය යුතු ඉඩම් හා සෙසු සහනාධාරත්, කෘෂි තාක්‌ෂණය බෙදාදීමත් ආගමික මුහුණුවරක්‌ ගත් අතර, බ්‍රාහ්මණ ආගම වැළඳ ගන්නා වැසියන් සඳහා වැඩි වරප්‍රසාද, වරදාන ලැබිණි. බෞද්ධ භික්‌ෂූන් වහන්සේ දේශපාලනයට රජුව මැදිහත් නොවූහ. උන්වහන්සේ අවශ්‍ය විටෙක පාලකයාට අනුශාසනා කළා මිස පුරෝහිතකම් කළේ නැත.

රට අභ්‍යන්තර තත්ත්වය මෙසේ පවතිද්දී බෞද්ධ දර්ශනයේ මර්දනය සඳහා වූ බාහිර පසුබිම නිර්මාණය වන ආකාරය විමසා බැලීම ද අත්‍යවශ්‍යය. ක්‍රි.ව. 769-815 වකවානුවේ බෙංගාලය කේන්ද්‍ර කරගත් පාල රජ පරපුර, විශේෂයෙන්ම ධර්මපාල රජු වර්තමාන ඇසෑමය, නේපාලය වැනි ප්‍රදේශ පවා සියතට ගනිමින් සිය රාජධානිය පුළුල් කර ගත්තේ ය. වික්‍රමශීලා විශ්වවිද්‍යාලයේ සාර්ථකත්වය, ටිබෙටයට බෞද්ධ දර්ශනය ව්‍යාප්ත වීම, මෙම බෞද්ධ අධිරාජ්‍ය වර්ධනයේ රජු ප්‍රතිඵල වූ අතර, සමස්‌ත නැගෙනහිර ආසියාවේ ම බෞද්ධ වෙළෙඳ ජාලය හැසිරවූ මධ්‍යස්‌ථානය ද බෙංගාලය ම විය. උප මහද්වීපය වටා උත්සන්න වන මුස්‌ලිම් බලය ගැන සැලකිලිමත් වන ලලිතාදිත්‍ය රජු, ඩෙකෑනයේ හා ඔරිස්‌සාවේ සිට ඩාඩිස්‌ථාන් හා ටර්කස්‌ථාන් (වර්තමාන උතුරු පාකිස්‌ථානු හා ඊසානදිග ඇෆ්ගනිස්‌ථාන ප්‍රදේශයත්, කසකස්‌ථානයේ දකුණු ප්‍රදේශයත්) දක්‌වා තම බලය ව්‍යාප්ත කරගන්නේ බටහිරින් රෝමය දක්‌වා වන ඉන්දියානු වෙළෙඳ මාර්ගය ආරක්‌ෂා කර ගැනීමට ය. හින්දු භක්‌තිකයකු වුව ද බෞද්ධාගමට විරුද්ධ නොවන ලලිතාදිත්‍ය රජු වෙහෙර විහාර පවා කරවූ බව තවත් චීන දේශාටකයන් වහන්සේ නමක වූ ඕකොන්ග් හිමියෝ පවසා ඇත. බෞද්ධාගමට පක්‌ෂපාත රජවරුන් ආක්‍රමණය කිරීමට මාන බලමින් සිටි අන්තවාදී රජවරුන්ට සහය දීමට උප මහද්වීපයේ දේශපාලන ගතිකත්වය නිරීක්‌ෂණයෙහි නිරත වූ මුස්‌ලිම් ආක්‍රමණිකයෝ පසුබට නොවූහ. ඇන්ඩි්‍ර වින්ක්‌ පෙන්වා දෙන්නේ භාරතය තුළ බෞද්ධ දර්ශනය මර්දනය සාර්ථක වන්නේ, ඊට රාජ අනුග්‍රහය ලැබුණු නිසා බව ය. රට අභ්‍යන්තර ව්‍යාකූලතාවන්, බාහිර මුස්‌ලිම් ආක්‍රමණිකයාගේ හැසිරීමෙන් උත්සන්න වූ බව පෙන්වා දෙන වින්ක්‌ ප්‍රතිබෞද්ධ බලවේග මුස්‌ලිම් ආක්‍රමණිකයන් සම`ග සන්ධාන ගත වූ අයුරු විස්‌තර කරයි. දහනව වන සියවසේ දී හින්දූත්ව සංකල්පය සම`ග නිර්මාණය වන මුස්‌ලිම් - හින්දු අන්තවාදී ගැටුමට වඩා හාත්පසින් ම වෙනස්‌ කතාන්තරයක්‌ ඉතිහාසය පිරික්‌ෂා කිරීමේ දී අපට හමුවේ. ඓතිහාසික ව මුස්‌ලිම් හා බ්‍රාහ්මණ ආගම් අතර යම් ගැටුමක්‌ පැවතියේ වුවද මුස්‌ලිම්වරුන් වෙත බෞද්ධ දර්ශනය ඊට හාත්පසින් ම වෙනස්‌, වඩාත් ප්‍රබල අභියෝගයක්‌ එල්ල කර තිබිණි. ඒ මෙම විශ්වාස සම්ප්‍රදායන් දෙකම ධර්මදූත මෙහෙවරෙහි නියෑලෙන ආගම් නිසා නොවේ. ඊට එක ම හේතුව භාරතය කේන්ද්‍ර කරගත් බෞද්ධ වාණිජ ජාලය බටහිරින් පර්සියාව, ගී්‍රසිය දක්‌වාත්, නැගෙනහිරින් චීනය හා සෙසු අග්නිදිග ආසියානු රටවල් කරාත් ව්‍යාප්ත ව තිබීම ය. වින්ක්‌ විග්‍රහ කරන ආකාරයට, බ්‍රාහ්මණ ආගම සමාජමය වශයෙන් ආක්‍රමණශීලී ව නැ`ගී ඒමත්, භාරතීය වෙළෙඳ ඒකාධිකාරය අත්කර ගැනීමට මාන බලන මුස්‌ලිම්වරුන්ගේ සහය භාරතයේ පාලනය මුලුමනින් ම හින්දු පාලකයන් සතු විය යුතුය යන අන්තවාදී මතයේ එල්බගත් අධිරාජ්‍ය වෙත ලැබීමත් බෞද්ධ දර්ශනයෙහි පැවැත්ම දුර්වල වීමට තදින්ම බලපෑවේ ය. එම ව්‍යාපෘතියෙන් මුස්‌ලිම්වරුන් අපේක්‌ෂා කළේ භාරතයේ සමස්‌ත ආර්ථික නිෂ්පාදනයේ වාණිජ කළමනාකරණය සියතට ගැනීම ය. ක්‍රි.ව. 12 වන සියවසේ දී ඕදන්තපුරය හා වික්‍රමශීලා විශ්වවිද්‍යාලය තුර්කි හමුදා විසින් විනාශ කර දැමීම බෞද්ධ කේන්ද්‍රස්‌ථානවලට එරෙහිව ඇතැම් භාරතීය රජවරු මුස්‌ලිම් හමුදා බලය ලබාගැනීම සඳහා ඇති එක්‌ සාක්‌ෂියකි.

ක්‍රි.ව. 7 වන සියවසට පසුව සිදුවන මුස්‌ලිම් ආක්‍රමණවලින් විපතට පත්වන හින්දූන්ට වන්දි ගෙවීමට හෝ වෙනත් සහන සැලසීමට පාලකයෝ කටයුතු කළ ද විපතට පත්වූ බෞද්ධයන් සම්බන්ධයෙන් එබඳු වැඩපිළිවෙළක්‌ නොවී ය. රිචර්ඩ් ඊටන් (1991(2000)සඳහන් පරිදි බ්‍රාහ්මණික පාලකයන් විසින් බටහිර බෙංගාලයේ නොසලකා හරිනු ලැබූ ප්‍රජා කණ්‌ඩායම් (කුල හෝ ගෝත්‍රික කොටස්‌) ඉතා පහසුවෙන් ඉස්‌ලාම්කරණයට ලක්‌වේ. නැගෙනහිර ආසියානු වෙටෙළඳ ජාලයේ මර්මස්‌ථානය වූ බෙංගාලය ද බෞද්ධ ප්‍රදේශයක්‌ ව පැවතිණි. බහුතර කෘෂිකාර්මික හෝ ධීවර ප්‍රජාවන්ට අනුග්‍රහය දැක්‌වීමට බ්‍රාහ්මණික පාලකයෝ හිතාමතාම කටයුතු කරන්නේ, ක්‍රි.ව. 10 හා 12 වන සියවස්‌වල කර්නාටකයේ සේන රජු බ්‍රාහ්මණ ආගම බෙංගාලයේ පැතිරවීමට ගත් උත්සාහය එතරම් සාර්ථක නොවීම නිසා විය හැක. මේ අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගන්නා මුස්‌ලිම්වරු එම ප්‍රජාවන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට පසුබට නොවූවාහූ ඔවුන් ඉස්‌ලාම්කරණයට ද ලක්‌කළාහූය.

විනාශ වී ගිය බෞද්ධ සිද්ධාස්‌ථාන, පුදබිම් ඝන වනාන්තරවලින් වැසී යාමට හෝ පොළොව තුළ වැළලී යැම ඇරඹී තිබිණි. එහෙත් 19 හා 20 වන සියවස්‌වල භාරතය ආක්‍රමණය කරන බ්‍රිතාන්‍ය ජාතික සොරු ඉස්‌සර වූහ. ඉතා වැදගත් පුරාවස්‌තූන් සිය දහස්‌ ගණනක්‌ දැන් බ්‍රිතාන්‍ය

කෞතුකාගාරවල ප්‍රදර්ශන භාණ්‌ඩ හෝ පෞද්ගලික පුරාවස්‌තු එකතුන් බවට පත්වන්නේ ඒ යටත්විජිතවාදී මංකොල්ලයේ ප්‍රතිඵලයක්‌ වශයෙනි. බෞද්ධ දර්ශනය මර්දනය, දේශපාලන කරුණු මතම තීරණය වී සිදුවූවක්‌ පමණක්‌ ම නොවේ. ඊට බලපෑ තවත් සමාජ කාරණා ගණනාවකි. ප්‍රාග් බෞද්ධ භාරතීය සමාජය තුළ පීඩනයට ලක්‌ව පීඩා විඳිමින් සිටි ජනයා බෞද්ධ දර්ශනය වැළඳ ගැනීම නිරායාසයෙන් ම සිදුවිය. එය සමාජමය වශයෙන් බෞද්ධ දර්ශනයේ ප්‍රතිරූපය කෙරෙහි බලපා ඇත්තේ වෙනස්‌ අයුරකිනි. භාරතීය මහා සමාජය, බෞද්ධ දර්ශනය පහත් කුලයේ මිනිසුන්ගේ දර්ශනයකැයි අයුක්‌ති සහගත ලෙස අර්ථකථනය කිරීමට පෙර කී කාරණය හේතු විය. සමකාලීන භාරතීය මහා සමාජය බෞද්ධයන් "නීච" මිනිසුන් ලෙස සැලකූ බව කෞටිල්‍යගේ අර්ථ ශාස්‌ත්‍රය ද පිළිගනී. මහාරාෂ්ට්‍ර ඉතිහාසඥ බී.ජී. ගොකාලේ පෙන්වා දෙන ආකාරයට වියරු ලෙස නැ`ගී ආ බ්‍රාහ්මණ අන්තවාදයට බොහෝ බෞද්ධයෝ බිලිවූහ. කුලීනයන් බෞද්ධාගම සම`ග ගනුදෙනු කිරීමට එනිසා මැලි වූ අතර, බෞද්ධ දාර්ශනික ම`ග පෙන්වීම් බලමුලු ගැන්වෙන සූරාකෑමට ලක්‌වන දිළිඳු ජනතාව වැඩවසම් සමාජ ක්‍රමයට අභියෝගයක්‌ විය. බ්‍රාහ්මණ ප්‍රජාව වඩාත් භීතියට පත්වූයේත්, කුපිත වූයේත් සූරාකෑමට ලක්‌වන ප්‍රජාවන් සවිබල ගැන්වීමේ දී ඇතැම් බ්‍රාහ්මණික මතවාද බැහැර කිරීමට බෞද්ධ දර්ශනය කටයුතු කළ බැවිනි.

කේරලයේ බිහිවූ අධිශංකරාචාර්යගේ (ක්‍රි.ව. 788-820) අද්වෛත වේදාන්ත දර්ශනය ඉතා ආක්‍රමණශීලී ලෙස ශිව හා වෛශ්‍යව ආගමික සම්ප්‍රදායන් සමස්‌ත සමාජය පුරා ව්‍යාප්ත කිරීමට ගත් උත්සාහයන්ට පසුකාලීනව, මධවාචාර්ය, රාමනුජාචාර්ය ආදීන්ගේ සහය ද ලැබිණි. මේ දාර්ශනික මැදිහත්වීම්, බෞද්ධ දාර්ශනික ඉගැන්වීම් කෙරෙහි කොතරම් අහිතකර ලෙස බලපෑවේ ද යන්න වින්සන්ට්‌ ස්‌මීත් වැනි ඉතිහාසඥයකු පෙන්වා දෙයි. බුදුන්වහන්සේ විෂ්ණු දෙවියන්ගේම දස අවතාරයෙන් ම එකක්‌ ලෙස පිළිගැනීමත් සම`ග ම ඉන්දියානු මහා සමාජය තුළ බෞද්ධ දර්ශනය කෙරෙහි තිබූ "නීච" ආකල්පය වෙනස්‌ වූයේ යෑයි ද, එහෙයින් එය පැවැත්ම සම්බන්ධයෙන් සාධනීය තත්ත්වයක්‌ යෑයි කෙනෙකුට තර්ක කළ හැක. බෞද්ධ දර්ශනයේ වඩාත් ජනප්‍රිය ආගමික ලක්‌ෂණවලින් ආඪ්‍ය වූ මහායාන සම්ප්‍රදාය තුළ මෙබඳු මතවාද රාශියක්‌ පවතින අතර ඒ සියල්ල ප්‍රාදේශීය ඇදහිලි විශ්වාස සම`ග බෞද්ධ දර්ශනය බද්ධ කිරීමට ගත් උත්සාහයන් විය හැක. උදාහරණ වශයෙන් නාගාර්ජුනයන්, දුර්ගා වන්දනාවට තම දාර්ශනික ඉගැන්වීම තුළ වැදගත් තැනක්‌ ලබාදුන්නේ ය. පැවැත්ම කෙසේ වුවත්, එබඳු මිශ්‍රවීම් සමස්‌ත දාර්ශනික හරයට සැලකියයුතු රනාත්මක බලපෑමක්‌ ඉන් එල්ල වූ බව පිළිගත යුතුව තිබේ. දකුණු ඉන්දියාවේ ජනප්‍රිය වූ භක්‌ති ව්‍යාපාරය, භාරතයේ උසස්‌ කුල විසින් ස්‌පර්ෂ නොකළ යුතු යෑයි බැහැර කර තිබූ මිනිසුන් අතර ජනප්‍රිය ආගමික ව්‍යාපාරයක්‌ විය. එය අනිවාර්යයෙන් ම බෞද්ධ ආභාෂය ලබන්නට ඇති පිළිවෙතක්‌ යෑයි ඉතිහාසඥයෝ අනුමාන කරති. (මහායාන වත්පිළිවෙත් තුළ භක්‌ති ව්‍යාපාරය අනුකූල කරගෙන තිබිණි.) කෙසේ වෙතත්, ඉන්දීය ඉතිහාසඥ නීලකාන්ත ශාස්‌ත්‍රී පවසන්නේ, සමස්‌ත භාරතය ම ජෛන හා බෞද්ධ ආධිපත්‍යයට යටත් වේය යන බියෙන්, බ්‍රාහ්මණික නායකයෝ ශිව හා විෂ්ණු භක්‌ති ව්‍යාපාර හා ප්‍රතිබෞද්ධ භක්‌ති ව්‍යාපාර දෙසට උපක්‍රමශීලීව ජනතාව යොමු කළ බව ය.

කෙතරම් අභියෝග මධ්‍යයේ වුවද සම්බුද්ධ පරිනිර්වාණයෙන් සහශ්‍ර වර්ෂයක්‌ ගත වූ පසුව පවා බෞද්ධ දර්ශනය භාරතීය සමාජයේ තීරණාත්මක සාධකය ලෙස හඳුනාගත හැකි ව තිබිණි. අභිචාරමය වශයෙන් කෙසේ වෙතත්, දෘෂ්ඨිමය වශයෙන් එබඳු කේන්ද්‍රීය ස්‌ථානයක තිබූ බෞද්ධ දර්ශනය, ඊළ`ග සහශ්‍ර වර්ෂය අවසාන වත්ම ඉතා ශීඝ්‍ර ලෙෂ දේශපාලන, අධ්‍යාපන, වාණිජ්‍ය, පොදුජන ජීවිතය ආදී සෑම සමාජ අවකාශයකින් ම වියෑකී යාම අහම්බයක්‌ නොවේ. ඒ ඉතා උපක්‍රමශීලී ව, පදනම මෙන්ම පැවැත්ම ද විනාශ කිරීමට අවශ්‍ය යාන්ත්‍රණ, ආර්ථික, දේශපාලනික, සමාජ සංස්‌කෘතික යන සෑම අංශයකින් ම දියත් වීම නිසා ය. පී. සංකරනාරායනන්ගේ මතය ගැන යමක්‌ අවසානයට එකතු කිරීමට සිතේ. සැබෑ විප්ලවවාදීන් තම පැවැත්මට දෙන්නේ දෙවැනි තැන ය. ඔවුහු පළමු තැන තම අරමුණ සඳහා ලබා දෙති. අරමුණ වෙනුවෙන් අනාගත පැවැත්ම නොව, ජීවිතය පවා කැප කිරීමට සැබෑ විප්ලවවාදීහු මැලි නොවෙති. ඊට ඕනෑතරම් උදාහරණ ලෝක ඉතිහාසයේ ඇත. එහෙයින් බෞද්ධ දර්ශනය නමැති මේ කැරලිකාර දරුවා, ඉතා අවශ්‍යම ජයග්‍රහණ රැසක්‌ සම`ගින් භාරතීය උපමහද්වීපයේ දෙපයින් සිටගෙන විශ්වය ම සෙලවීමට සමත් වූ බව අවධාරණය කරනු කැමැත්තෙමි.

චමිල ලියනගේ
හයිද්‍රබාද් විශ්වවිද්‍යාලය ඉන්දියාව