, දඹදිව වන්දනා දඹදිව වන්දනා - BUDDHIST PILGRIMAGE TOURS TO INDIA: සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 16 - 20

ක්‍රි.පූ. 6 වැනි සියවසේ සිට ක්‍රි.ව. 11 වන සියවස පමණ වන තෙක්‌ භාරතීය අධිරාජ්‍යයන්හි, දේශපාලන ප්‍රවණතා, යුද්ධ රාජ්‍ය මර්දනය මෙන්ම බාහිර ආක්‍රමණ, බෞද්ධ දර්ශනය මර්දනය සඳහා මැදිහත් වූ ආකාරය...

.

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 16 - 20


විදුලි පුටුවෙන් පව්ව තරණය කිරීම                    , ගිජ්ජකූට පර්වතය

ගිජ්ජකූට පර්වතය

මේ ප්‍රදේශය යෝධ ගිජුලිහිණියන් වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශයකි. එම නිසා යෝධ ගිජුලිහිණියකු අත්තටු විහිදා සිටින අයුරින් පර්වතය පිහිටා තිබෙන නිසා මේ පර්වතයට ගිජ්ජකූට යන නාමය ලැබී ඇත. ජාඨාගිරි නමින්ද මේ පර්වතය හඳුනාගෙන ඇත. අවට පරිසරය ඉතා රමණීය භාවනාවට ඉතා සන්සුන් නිසංසල බවත් නිසා බුදුරජාණන් වහන්සේ ඉතා පි‍්‍රය කරන ලද සුන්දර ස්ථානයකි.
අදත් එහි යන වන්දනා කරුවන්ට එහි ඇති නිසංසල පරිසරය සිතට ගතට අපූරු සුන්දරත්වයක් මවයි.
බිම්බිසාර මහරජතුමන් විසින් බුදුරජාණන් වහන්සේට කඳු මුදුනට ළඟාවීමට පහසුව පිණිස පඩිපෙළක් තනා දුන් අතර එහි පඩි කිහිපයක් අදටත් දැකගත හැකිය.
බුදුරජාණන් වහන්සේ රජගහනුවර දී සූත්‍රදේශනා රැසක් දේශනා කර ඇත. ඒ අතර ආටානාටිය, කස්සපසිහනාද, ජීවක, මහා සකුලදායි නත සූත්‍ර දේශනා කර ඇත. ආනන්ද හිමියන්ද වැඩ සිටි ලෙනද මෙහි පිහිටා ඇත. ගිජ්ජකූට පර්වතයට යාමට ඉතා හොඳින් සකස් කරන ලද මාර්ගයක් වත්මන්හි ඇත. එහි මුදුනට ගොස් අනන්ත බුදුගුණ සිහිපත් කරමින් බුදුන් වැඳ සිත පිරිසුදු කරගනිමින් වන්දනා ගමන සාර්ථක කර ගත හැකිවේ.

මද්ද කුච්චිය

ගිජ්ජකූට පර්වතයට යන අතර මග මේ ස්ථානය පිහිටා ඇත. මද්දකුච්චිය යන නමින් නාම පුවරුවක්ද දැකගත හැකිය. දේවදත්ත ගල් පෙරළීමෙන් බුදු හිමියන්ගේ ශ්‍රී පතුලේ මහපටැඟිල්ල කුඩා ගල් පතුරකින් තුවාල වූ පසු මුලින්ම රැගෙන ආවේ මද්දකුච්චියටය.
දීඝ නිකායේ මහ පිරිත් පොතේ එන ආටානාටිය සූත්‍රය දේශනා කරන ලද්දේ ගිජ්ජකූට පර්වතයේ සිටය. එක්දිනක් රාත්‍රියේ සතරවරම් දෙව් මහරජවරු ගිජ්ජකූටයට පැමිණ තථාගතයන් වහන්සේ බැහැදැක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ ආරක්ෂාව පිණිස ආටානාටිය නම් ආරක්ෂා පිරිත උගන්වන ලෙස ඉල්ලා සිටින ,සතරවරම් දෙවියන් වෙනුවෙන් වෛශ්‍රවණ, දෙව් මහ රජු එය බුදුහිමියන්ට ඇසෙන සේ සජ්ඣායනා කළේය. මෙය යක්ෂ පේ‍්‍රත කුම්භාණ්ඩ ආදින්ගෙන් මෙන්ම ලෝක ධාතුවෙහි පවත්නා අදිසි බලවේගයන්ගෙන්ද සිදුවන විපත් උපද්‍රව වළකාලීමේ ශක්තියක් ඇති පිරිත් සූත්‍රයක් බව අනුදැන වදාරමින් අප තථාගතයන් වහන්සේ ගිජ්ජකූටයේදී ආටානාටිය සූත්‍රය අනුමත කරන ලදී.
මද්දකුච්චිය පිළිබඳව තවත් ඓතිහාසික කතා පුවතක් ඇත. එනම් අජාසත් කුමරු කුස පිළිසිඳගත් පසු දේවියට ඇති වූ දොළදුක නිසා රජු තම උරය පළා ලේ බොන්නට දුන් ස්ථානය ලෙස මද්දකුච්චය හඳුනාගෙන ඇත.

බිම්බිසාර බන්ධනාගාරය

පාප මිතුරන් ඇසුරු කිරීම නිසා අජාසත්ත රජතුමන් විසින් තම පියා වූ බිම්බිසාර මහ රජතුමන් සිර මැදුරක තබන ලදී. දැන් අපි එම ස්ථානයේ තොරතුරු දැන ගනිමු. මේ සිර මැදුරේ නටබුන් අදටත් දැක ගත හැකිය. හිරු එළිය වැටෙන්නට සාදා තිබූ සිදුරු නිසා මේ ස්ථානයේ සිර මැදුරක් තිබූ බවට තොරතුරු ලබාගෙන ඇත .පසුකාලීනව කරන ලද කැණීමකදී පය බඳින මාංචුවක් හමු විය. මෙම සිර මැදිරියේ සිට ඉදිරි පස බැලූ විට ගිජ්ජකූට පව්වේ මුදුන මනාව දර්ශනය වෙයි. තම පුතු දෙන සියලු දඬුවම් ඉවසා දරා ගනිමින් ගිජුකුලු පව්වේ සක්මන් කරන බුදු හිමියන් දැක ගනිමින් සියලු වේදනා ඉවසා දරාගන්නා ලදී. තම පුතුගේ අණ පරිදි මහ රජතුමන්ගේ කකුල් පළා ලුණු තවරා ගිනි ගොඩක ඇවිද්දවන ලදී. එම දඬුවම් සියල්ලම ඉවසා දරා ගනිමින් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සිහිපත් කරමින් මිය ගියේය. පාප මිත්‍ර සේවනයේ විපාකය කොතෙක්දැයි සිතන්න. අජාසත්ත ආනන්තරිය පාප කර්මයක් සිදු කරගත්තේ දේවදත්ත නම් පාපි මිතුරා දුන් වැරැදි උපදෙස් නිසාය. එම නිසා යහපත් මිතුරන් ඇසුරු කරන්න. වංචාකාරි කපටි මිතුරන් ඇසුරින් බැහැර කර යහපත් මිතුරන් ඇසුරු කරන්න. මෙහිදී අදිටන් කර ගන්න.

පාණ්ඩව පර්වතය

ගිජ්ජකූට පර්වතයට ආසන්නයේම ඇති පාණ්ඩව පර්වතය අතීතයේ සිදුහත් මහා බෝධිසත්වයන් වහන්සේ රජගහනුවර පිඬුසිඟා වැඩම කර දන් වළඳන ලද ස්ථානයයි. එමෙන්ම බිම්බිසාර මහ රජතුමන්ට සිදුහත් කුමාරයා මුලින්ම හමුවූ ස්ථානයයි. එහිදී රජතුමාගේ ආරාධනාව වූයේ බුදු වී ප්‍රථමයෙන් මගේ රාජ්‍යයට වඩින ලෙසය. අද මේ පර්වතය ව්‍යවහාරයේ පවතින්නේ රත්නගිරි පර්වතය නමිනි. ජපන් රජය මගින් අතිශය රමණීය චෛත්‍යයක් මෙහි ගොඩනගා ඇත. එය විශ්ව ශාන්ති සාම චෛත්‍ය නමින් හැඳින්වේ. පාණ්ඩව පර්වතය ගිජ්ජකූටයට වඩා අඩි තුන්සීයක් පමණ උසින් යුතුය. කඳු මුදුනට යෑමට විදුලියෙන් ක්‍රියාකරන කේබල් පුටු සකසා තිබේ. එබැවින් කිසිදු වෙහෙසකින් තොරව කඳු මුදුනට යා හැකිය. ඉන්දියන් රුපියල් හැටක මුදලක් වියදම් කර ප්‍රවේශ පත්‍ර ලබා ගනිමින් කිසිදු වෙහෙසකින් තොරව ගමන් කරන්න. කේබල් පුටුවේ යෑමේදී බිය සැක හැර ශාන්ත සිතින් ගමන යන්නට අවට පරිසරය මොනතරම් රමණීය දැයි මොහොතකට සිතන්න.තුරු මුදුන් සිප එන සුළඟේ ඇත්තේ බුදු සුවඳයි. එම නිසා හදවතින් බුදුගුණ සිහිපත් කරමින් ගමන් කරන්න.

ජීවක අඹ වනය

මගධාධිපති බිම්බිසාර මහ රජතුමාගේ රාජ වෛද්‍යවරයා ජීවක නම් විය. ඉපදී සුළු මොහොතකින් කසළ ගොඩකට විසිකර දැමුවද ජීවත් වීමට වාසනාව තිබූ නිසා ජීවක යන නාමය ලැබිණි. අප බුදුරජාණන් වහන්සේගේ වෛද්‍යවරයා මෙන්ම කුලුපග දායකයෙක්ද විය.ජීවක වෙද මහතා සතු ඉතා අගනා අඹ උයනක් තිබිණි. දිනක් ජීවක මෙසේ සිතීය.
බුදුරජාණන් වහන්සේ අසනීප වූ විට දවසකට දෙතුන් වතාවක් හෝ යාමට සිදුවේ. ගිජ්ජකූටයටත් වේළුවනයටත් ඉතා දුරින් පිහිටා ඇත. මාගේ අඹ වනය තුළ අලංකාර ගිමන් හලක් හදා උන්වහන්සේට පූජා කරමි. එවිට මට නිතරම උවැටැන් කළ හැකිය.
මෙසේ සිතා ජීවක වෛද්‍යතුමා රාත්‍රි නැවතීමට ලැගුම්හල් වෙන වෙනම සාදා ඉතා අලංකාර ගොඩනැගිල්ලක් තනා එය බුදු හිමියන්ට පූජා කරන ලදී. මේ නිස්කලංක උයනට පැමිණි අජාසත්ත රජුට තම පියා මැරුවාක් මෙන්ම කිසියම් දිනක මගේ පුතා උදයභද්ද කුමරු මා මරුමුවට පත් කරයිද ඔහු කල්පනා කරන්නට විය. ඉවසාගත නොහැකි තැන අජාසත්ත රජු බුදුහිමියන් හමු විය. එහිදී රජු අමතා සාමඤ්ඤඵල සූත්‍රය දේශනා කළේ ඒ අවස්ථාවේදීය. ජීවක සූත්‍රය දේශනා කරන ලද්දේ මේ අඹ වනයේදීය.
ජීවක වෙදැදුරුගේ භූමි නිර්මාණ සැලැස්ම 1954 වර්ෂයේදී සොයාගත් අතර එහි අද යන ඔබට එහි මූලික පාදම දැකගත හැකිය. එය මොනතරම් අගනා නිර්මාණයක් ද යනු පාදම ඇසුරෙන් පැහැදිලි වනු ඇත.

වාල සංඝට ස්ථූපය

බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ධාතුන් වහන්සේලා කොටස් අටකට වෙන් කරමින් රාජධානි අටකට වෙන් කර දෙන ලදී. එසේ ලද මගධ රාජ්‍යයට ලැබුණු ධාතුන් වහන්සේලා නිදන් කර චෛත්‍යයක් ඉදි කරවා ඇත. ධර්මාශෝක මහ රජතුමන් විසින් මේ වාල සංඝට ස්ථූපයේ තිබූ ධාතුන් වහන්සේලා රැගෙන වෙහෙර විහාර ගණනාවක් ඉදි කර එහි ධාතුන් වහන්සේලා තැම්පත් කරන ලදී.

පිප්ඵලී ගුහාව

වාල සංඝට ස්ථූපය පසු කර ඉදිරියට යන විට විශාල ගල්තලාවක් හමුවේ එම ගල්තලාව සත්තපරණී ගල් ලෙනයි. එහි එක් පසක පිප්ඵලී ගුහාව පිහිටා ඇත. බුදුරජාණන් වහන්සේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හා දහස් ගණන් මහරහතන් වහන්සේලා මෙහි වැඩ වාසය කර ඇත. එක් අවස්ථාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අසනීපව පිප්ඵලි ගුහාවේ වැඩ වාසය කරන විට බුදුරජාණන් වහන්සේ එතැනට වැඩම කර සප්ත බොජ්ජඣග සූත්‍රය දේශනා කළ සැණින් උන්වහන්සේ සුවපත් වූහ.
මේ ගල් ගුහාව තුළ බුදුරුව කැටයම් කරන ලද සිතුවම් කිහිපයක්ම දැකගත හැකිය. එහිදී බොජ්ජඣංග සූත්‍රය නිහඬව දේශනා කරමින් සැමට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න.

සප්ත පර්ණි ගුහාව

මේ සප්තපර්ණි ගුහාව තුළ බුදුරදුන්ද කිහිප වතාවක්ම වැඩ වාසය කළහ. ශාසන ඉතිහාසයේ ප්‍රථම ධර්ම සංගායනාව බුද්ධ පරිනිර්වාණයෙන් මාස තුනකට පසුව මහා කාශ්‍යප මහරතන් වහන්සේගේ මූලිකත්වයෙන් රහතන් වහන්සේලා 500 නමක් සම්බන්ධ කර ගනිමින් අජාසත්ත මහ රජතුමාගේ ප්‍රධාන දායකත්වය මත ක්‍රිස්තු පූර්ව 483 වැනි වර්ෂයේදී මේ සප්තපර්ණි ගුහාව ඉදිරිපිට සකස්කරන ලද මණ්ඩපයක සිට දේශනා කරන ලදී. මෙම ගල් ගුහාව පිහිටා තිබෙන්නේ වේහාර පව්ව පාමුලය. එහිදී සංගායනා කරන ලද ධර්මය ඇසීමට දෙවිවරුන්ද රැස්ව සිටියේය.
මුලින්ම 500 ක් භික්ෂු පිරිස සියලු ධර්ම ගැටලු නිරාකරණය කරගෙන ත්‍රිපිටක සූත්‍රය එකම හඬින් සංගායනා කරන ලදී. ධර්ම සංගායනාවේ ප්‍රතිඵල ලෙස ත්‍රිපිටකය නිකාය හයකට වෙන්කර එක් එක් කොටස් මහරහතන් වහන්සේලාට මතක තබා ගැනීමට පවරන ලදී. මේ ධර්ම සංගායනාව පුරා මාස තුනක කාලයක් පවත්වන ලදී.

තපෝදා නදිය

රජගහනුවර වේහාර පර්වතයේ බෑවුමක තපෝදා තඩංගය පිහිටියේය. තපෝදාරාමයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා සීත ඍතුවේ මෙම ස්ථානයෙන් ස්නානය කළහ. එහි ජලය උණුසුම් වූ බැවිනි. ඖෂධීය ගුණයක් එම ජලය තුළ පැවැති බවට එකලද විශ්වාසයක් පැතිර තිබිණි. මේ විශ්වාසය අද දක්වාම පවතී. මොග්ගල්ලාන හිමි තපෝදානදිය ගැන මෙසේ කියයි. තපෝදා නදියේ ජලය පැහැදිලිය. ගඟ පතුල පෙනෙන තරමට ජලය පවිත්‍රතාවෙන් යුතුය. කිලිටි නොවූ පිරිසුදු සිතක් වැන්න. ඉවුරේ සිට බලා සිටින කල්හි පවා සිතට සිසිලක් දැනෙයි.

බුදුරජාණන් වහන්සේ භද්දිය පුරයට වැඩම වීම

බුදුරජාණන් වහන්සේ රජගහනුවර වසන සේක්. මේ අතර කාලයෙහි ටික දිනකට භික්ෂු සංඝයා පිරිවරා අංග රට භද්දිය නගරයට වැඩි සේක. එහි මෙණ්ඩක සිටු පුත් එම පුවත අසා සිය සත් හැවිරිදි විශාඛා ළදැරිය සමඟ භාග්‍යවතුන් වහන්සේ දක්නට ගොස් බණ අසා සෝවාන් විය. අඩ මසක් ම සිටු පුත්‍රයා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට මහ දන් පූජා පවත්වන ලදී.

    සත්ත පර්ණි ගුහාව

















 අපේ ශාන්ති නායක තථාගත බුදුරජාණන් වහන්සේ ගේ අසිරිමත් බුදුසිරිතට අදාළ දඹදිව ඓතිහාසික පූජනීය ස්ථාන අදටත් දැක බලා වැඳ පුදා ගැනීමට ලැබීම බෞද්ධයන් ලෙස අප ලද සුවිශේෂී වාසනාවක්මය.
දඹදිව මෙතෙක් වන්දනාවේ යෙදී ඇති සැදැහැවතුන් මේ තොරතුරු කියවීමේදී තමා සිදු කළ වන්දනා ගමන පිළිබඳ නිරන්තරයෙන් සිහියට නැෙඟනවා ඇත. එමෙන්ම දඹදිව වන්දනාවේ නිරතවීමට අපේක්ෂාවෙන් පසුවන සැදැහැවතුන්ටද වන්දනාවේ යෙදීමට පෙර මෙය කියවන්නට ලැබීමෙන් ඔවුන්ගේ දැනුම වර්ධනය කර ගැනීමට පිහිටක් වනු ඇත. දඹදිව වන්දනාවේ යෙදීමට අවස්ථාව නොලැබෙන සැදැහැවතුන්ට ද විශේෂයෙන් මෙය කියවා අසිරිමත් බුදුසිරිත පිළිබඳ තම තමන්ගේ ශ්‍රද්ධාව තවත් වර්ධනය කර ගැනීමට ද මහත් අනුබලයක් වනු ඇත.
පසුගිය පත්‍රයේදී රජගහනුවර පිළිබඳ විස්තර ඉදිරිපත් කළ අතර අද ඊට අදාළ සේයාරූ කීපයක් මෙසේ නැරඹීමට අවස්ථාව ලබාදිය යුතුයැයි කල්පනා කළෙමු. ඒ නිසාම වේහාර පර්වතය පාමුල පිහිටි සත්තපර්ණි ගුහාව පිළිබඳ ඡායාරූප දෙකක් පළ වේ. බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මහරහතන් වහන්සේලා පන්සිය නමකගේ සහභාගිත්වයෙන් අජාසත්ත මහ රජතුමාගේ ප්‍රධාන දායකත්වයෙන් පළමුවන ධර්ම සංගායනාව සත්ත පර්ණි ගුහාව අබියස සකස්කර ලද විශේෂ මණ්ඩපයකදී පවත්වන ලදී. එම සත්තපර්ණි ගුහාව සහ එහි තුළ වූ ශෛලමය කැටයම් ද නැරඹිය හැකිවේ.

වාලසංඝට ස්ථූපය

සත්තපර්ණි ගුහාව තුළ ඇති ශෛලමය මූර්ති

ශාන්ති සාම චෛත්‍යය
එමෙන්ම වාලසංඝට ස්ථූපය පිළිබඳවද පසුගිය පත්‍රයේ පළ කළෙමු. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා අටකොටසකට වෙන් කරමින් ධාතුන් වහන්සේලා බෙදාදුන්හ.එසේ එදා මගධ රාජ්‍යය වෙත ලැබුණු ධාතුන් වහන්සේලා නිදන් කර චෛත්‍යයක් ඉදි කරවා ඇත. ධර්මාශෝක මහ රජ දවස මෙම වාලසංඝට ස්ථූපයේ නිදන්කර තිබූ ධාතුන් වහන්සේලා රැගෙන වෙහෙර විහාර රැසක් ඉදිකර එම ධාතුන් වහන්සේලා නිදන් කරන ලදී.
ගිජුකුළු පව්ව ආසන්නයේම පිහිටි පාණ්ඩව පර්වතය සිදුහත් මහ බෝධිසත්වයන් වහන්සේ රජගහනුවර පිඬු පිණිස වැඩම කරවා දන් වැළඳූ ස්ථානය වේ. එසේම බිම්බිසාර මහ රජතුමාට සිදුහත් කුමරා පළමුව හමුවූ ස්ථානයද වේ. එහිදී රජතුමාගේ ඇරැයුම වූයේ බුදුවී ප්‍රථමයෙන් තමන්ගේ රාජ්‍යයට වඩින ලෙසයි. අද එම පර්වතය රත්නගිරි පර්වතය නමින් ව්‍යවහාරයවේ. විශ්ව ශාන්ති සාම චෛත්‍යය නමින් ජපන් රජය මගින් අද එහි ගොඩ නඟා ඇති චෛත්‍යය ඔබට මෙසේ නැරැඹිය හැකිය. ගිජ්ජකූටයට වඩා පාණ්ඩව පර්වතය අඩි තුන්සියයකින් යුක්ත වේ.
බිහාර් ප්‍රාන්තයේ රජගහනුවර සිට උතුරට කිලෝමීටර් 13 ක් පමණ ගිය විට නාලන්දා ග්‍රාමය හමු වේ. එම ග්‍රාමය අද බරංගාව වශයෙන් හැඳින්වේ. පැට්නා නගරයේ සිට කිලෝ මීටර් 102 ක් පමණ ගිනිකොණ දෙසින් පිහිටා ඇත. බුද්ධගයාවේ සිට කිලෝ මීටර් 96 ක දුරක් නාලන්දාවට ඇත. මෙහි ඉතිහාසය ක්‍රි.පූ. හයවෙනි සියවස දක්වා දිවේ. රජගහනුවර සිට නාලන්දාවට යන අතර මඟ අම්බලට්ඨිකා උයන පාවාරිකා අඹවනය පිහිටා ඇත. බුදුරජාණන් වහන්සේගේ අගසව් සහ ධර්ම සේනාධිපති වූ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ජන්මස්ථානයද වූයේ නාලන්දාව වශයෙන් සැලකේ. එවකට නාලන්දා බමුණුගම උන්වහන්සේගේ ජන්ම භූමියයි. අගසව් මුගලන් මහරහතන් වහන්සේගේ උපන්ගම වූ කෝලිත ග්‍රාමයද කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටා ඇත.
බුදුරජාණන් වහන්සේ නිතර නිතර නාලන්දා ග්‍රාමයේ වැඩ වාසය කරන ලදී. නොඑසේනම් නාලන්දා ගම හරහා වැඩම කරන ලදී. අප මහා බෝධිසත්වයන් වහන්සේ පෙර කලක මෙහි ඉපිද නොකඩවා දන්දුන් හෙයින් නාලන්දාවූ බව න + අ + ලං + දා ද ප්‍රමාණ කළ නොහැකි ශිල්ප ශාස්ත්‍ර දානය කළ බැවින් නාලන්දා නම තැබූ බව ඉතිහාසයේ සඳහන්ය. නාලන්දාව නම ඇසූ සැනින් ඔබට සිහිපත්වන්නේ විශ්වවිද්‍යාලයක මතකයයි. එම කතාව කිය වන අතර දැන් අපි නාලන්දාවට සම්බන්ධ බුද්ධ චරිතයේ විස්තර සොයා බලමු. නාලන්දාව ආසන්නයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ස්ථාන කිහිපයක්ම ඇත.
පාවාරිකා නම් අඹ උයන පිහිටා තිබුණේ නාලන්දා ගම ආසන්නයේ ය. පාවාරිකා නම් සිටුවරයාට අයත් වූ මේ අඹ උයන සිහිල් සෙවණින් යුතු විය. සොබා දහමේ ඇසුර පි‍්‍රය කළ බුදුරජාණන් වහන්සේ කිහිප වරක්ම මේ අඹ උයනේ නැවතී, ශ්‍රාවක සංඝයා සමඟ ධර්ම කරුණු සාකච්ඡා කළ සේක.

ශාරිපුත්ත ස්ථූපය
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර අතර සම්පසාදනීය සූත්‍රය හා උපාලි සූත්‍රය ආදී සූත්‍ර දේශනා කරන ලද්දේ පාවාරිකා අඹ උයනේ වැඩ සිටියදීය.
අම්බලටිඨිකා උද්‍යානය පිහිටා තිබුණේ ද රජගහනුවර සිට නාලන්දාවට යන ගමන් මාර්ගයේ ය. මෙයද තුරු වියනින් සෙවණ වූ මනරම් උද්‍යානයකි. උයනට පිවිසෙන තැන පිහිටි විශාල මී අඹ ගසක් නිසා “අම්බලටිඨිකා” යනුවෙන් මේ උයන හැඳින්වුණු බව සඳහන් වේ. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ රාහුල හිමියන්ට රාහුලෝවාද සූත්‍රය දේශනා කළේ අම්බලට්ඨිකා උයනේ වැඩසිටි අවස්ථාවකදීය. එසේම ත්‍රිපිටකයේ එන බ්‍රහ්මජාල සූත්‍රය දේශනා කරන ලද්දේ ද මේ රමණීය උද්‍යානයේ සිටය.
ලෝකයේ පිහිටි විශ්ව අධ්‍යාපන පීඨයන්ගෙන් නාලන්දාවට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. නාලන්දා විශ්වවිද්‍යාලය හා බැඳීගිය අතීත කතාව කියවා යන විට සිත දැඩි කම්පනයක් ඇති වූ ප්‍රධාන ස්ථානයකි. නමුත් අපේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන ලද්දේ වෛර නොකළ යුතු බවය. එම නිසා තැම්පත් මනසින් නාලන්දා නටබුන් මෙතැන් සිට දැක බලා ගනිමු.
චීනයේ සිට දඹදිවට පැමිණ බෞද්ධ රාජධානි හරහා පාද යාත්‍රාවේ යෙදෙමින් අති විශාල ධර්ම ශාස්ත්‍රීය ගවේෂණයක නිරත වූ හියුන්ත්සාංට නාලන්දාව පසුකර යා නොහැකි විය. උන්වහන්සේ වසර හයක කාලයක් නාලන්දා අධ්‍යාපන පීඨයේ ධර්ම ගවේෂී සිසුවකු ලෙස නේවාසික වූහ.

නාලන්දා විශ්වවිද්‍යාලයීය නටබුන්
නාලන්දා සරසවියට ඇතුළුවීම ලෙහෙසි පහසුවෙන් කළ හැක්කක් නොවීය. එහි බුද්ධ ධර්මය, අභිධර්මය, විනය, භාෂා ශාස්ත්‍ර ජන්දස්, අලංකාර නක්ෂත්‍රය, ගණිතය, සාහිත්‍යය, තාරකා විද්‍යාව භාරතීය දර්ශනවාද, ආයුර්වේදය, ගෘහ නිර්මාණ ශිල්පය පමණක් නොව තර්ක ශාස්ත්‍රය අර්ථක්‍රමය වැනි විෂයන්ද ඉගැන්වීය.
ඒ සමය වන විට ඉන්දියාව තුළ ජගත්දාලා, වික්‍රමශීලා වැනි විශ්වවිද්‍යාල පිහිටා තිබුණද නාලන්දා විද්‍යා පීඨය ඒ අතුරින් මූලික තැනක් ලබා ගත් විද්‍යා පීඨයක් විය. භාරතයේ, ගුප්ත රාජ්‍යසමය ලෙස හැඳින්වෙන බුද්ධගුප්ත තථාගත ගුප්ත, බාලාදිත්‍ය හර්ෂ වජ්‍ර යන රජවරුන්ගේ රාජ්‍ය කාලය තුළ නාලන්දාව, දියුණුවෙන් දියුණුවට පත්විය. විශේෂයෙන්ම පස්වන සියවසේ දී කුමාර ගුප්ත හත්වන සියවසේ දී හර්ෂ වජ්‍ර නවවන සියවසේ දී දේවපාල යන රජවරුන් නාලන්දාවේ උන්නතියට උදාර මෙහෙවරක් ඉටු කරන ලද ශ්‍රේෂ්ඨ රාජ්‍ය පාලකයන් විය.
නාලන්දා විද්‍යාපීඨය දිග කිලෝ මීටර් දහයක් හා පළල කිලෝ මීටර් පහක් ලෙස පිහිටා ඇත. ඇතැම් පීඨ මහල් දහයක් උසටද තවත් සමහර මහල් හතරක් උසට ද පිහිටා තිබුණි. භික්ෂූන් වහන්සේලා ඇතුළු දස දහසකට වැඩි පිරිසක් එහි නේවාසිකව දර්ශනවාද හැදෑරූහ. එක්දහස් පන්සියයකට වැඩි ආචාර්යවරු පිරිසක් ඔවුන්ට විශ්වඥානය ලබා දුන්හ. මහායාන තන්ත්‍රවාදය ඉගැන්වූ ප්‍රාඥයෝ රැසක් ද මෙහි වාසය කළයි කියැවේ.
ඔබ නාලන්දා නටබුන් දෙස නිහඬව බලා සිටින විට එදා මෙය විශ්මය දනවන අන්දමේ විශ්වවිද්‍යා පීඨයක් වන්නට වූ බව මේ නිහඬ නටබුන් ඔබට අද පවා සාක්ෂි ඉදිරිපත් කරයි.
සාරිපුත්ත ස්තූපය පිහිටි ස්ථානය මේ භූමිය තුළ පිහිටා ඇත. උන්වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කර අශෝක රජතුමා මේ ස්තූපය ඉදි කළේ ය. විවිධ රජවරුන් වැඩි බුහුමන් පිණිස නව වතාවක් මේ ස්තූපය ප්‍රතිසංස්කරණය කර ඇත. ප්‍රධාන ස්තූපය වටා පරිවාර ස්තූප කිහිපයක්ම ඇත.

නාලන්දාවේ පිබිදීම හා විනාශය


බුදු කුටිය
සෑම නේවාසිකාගාරයක් මැද්දේම පිරිසුදු ජලය ලබා ගැනීම සඳහා ළිඳක් පිහිටා තිබුණි. දැනට පාදාගෙන ඇති උතුරු දිගට පිහිටි බිත්තිය පමණක් දිගින් අඩි 203 කි. ඝනකම අඩි හයහමාරකි. මෙහි සිටි සියලු ගුරුවරුන් දක්ෂ පිරිසක් විය. එක් අවදියක මහාචාර්ය මහෝපාධ්‍ය ශීල භද්‍ර හිමියෝ මෙහි කුලපති ලෙස කටයුතු කළහ. උන්වහන්සේ භාෂාවන් දොළහකට ප්‍රාඥ වූහ. නාලන්දා විශ්වවිද්‍යාලයට ඇතුළු වීමේ අවසර ලබා ගැන්ම ඉතා දුෂ්කර ක්‍රියාවක් විය. ශිෂ්‍ය අපේක්ෂකයන්ට ආචාර්ය ප්‍රාචාර්යවරුන්ගෙන් සමන්විත බුද්ධි මණ්ඩලයක් ඉදිරියේ පෙනී සිට ලෝක විෂයය පිළිබඳව ඔවුන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට සිදුවිය. එසේ දැනුම් පරීක්ෂණයෙන් සමත් වූ සිසුන්ට ඇතුල්වීමට අවසර ලැබේ.
මහෝපාධ්‍ය ආර්යදේව, ධර්මචන්ද්‍ර, ශාන්ත රක්ෂිත, නාගර්ජුන, පද්මසම්භව, කමලශිඛ, කීර්ති හර්ෂ සූර්යද්වජ, චන්ද්‍රගෝමි, ධම්මපාල ආදී ශ්‍රේෂ්ඨ පඬිවරු සිසුනට දැනුම ලබා දුන්හ. මෙහි තිබූ ධර්මය කොතරම්ද කිවහොත් අන්‍ය ජාතිකයන් විසින් මුළුමනින්ම ගිනිබත් කරන ලද රතනසාගර, රතන රංජන, රතනෝදීඡ යන මහා පුස්තකාල තුළ තිබූ පොත් පුරා හය මාසයක් දැවී අළු වී ගිය බව කියයි. ක්‍රි.ව. 675 – 685 අතර කාලයේ රතන සාගර පුස්තකාලයේ අධිපති ලෙස කටයුතු කරන ලද අජිත් සිං නමැති පන්ජාබ් මහා පඬිරුවන සංස්කෘත පොත් හාරදහසක් පමණ එක් රැස්කළ බව සඳහන්ය. එහි අඩංගු ශ්ලෝක සංඛ්‍යාව පනස් ලක්ෂය ඉක්මවා තිබූ බව සඳහන්ය. මෙහි අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යයන් ශ්ලෝක පන්දහසක් බැගින් මේ ශ්ලෝක සියල්ලම වන පොත් කැර තුබූ බවද සඳහන්ය.
එම විශ්වවිද්‍යා පීඨයේ ඉතා ඉහළ මට්ටමින් විනය පැවැති අතර අලුයම හතරට අවදිවන සිසුන් අරුණැල්ල මිහිමත වැටෙන තෙක් සිසුහු සම්මා සතිය ( යහපත් සිහිනුවණ හා තැන්පත් උපේක්ෂාව) වැඩූහයි හියුන්ත්සං තමන්ගේ ගවේෂණ චාරිකා සටහන් පොතේ නාලන්දා පරිච්ඡේදයෙන් සඳහන් කර ඇත.

ජලය ලබාගත් ලිඳ
මෙහි සිටි සිසුන් වැඩිහිටි ගුරුවරුන්ට පුදුමාකාර ගෞරවාදරයක් දැක්වූහ. කිසිදා වැඩිහිටි ගුරුවරයෙකු ඉක්මවා (පසුකර) පෙර ගමන් නොගියහ. තම ආචාර්යවරයාට යන්නට මග හසර සලසා ඔහු පියමන් කරන තෙක් දෑත් එක් කැර ළැම මත තබා හෘදය නමස්කාරයෙන් එකත් පස්ව සිටියහ.
නාලන්දා විශ්ව අධ්‍යාපන පීඨය ශ්ලෝක උච්චාරණය උගත් අයුරු සිහිපත් වේ. ශ්ලෝක උච්චාරණය ඉගැන්වීමට භාෂා ශබ්ද විද්‍යාවේ හසළ පඬිවරු පිරිසක් වූහ. ආචාර්යෝත්තමයෝ රන් සීනුවක් හඬවන්නාක් මෙන් ශ්ලෝක උච්චාරණය ඉගැන්වූහ. කුඩා රිදී සීනු දහසක් එකවර හඬවන්නාසේ සිසුහු නිවැරදි උච්චාරණයෙන් ශ්ලෝක ගායනා කළහ. ශ්ලෝක පන්ති නිමා වීමෙන් පසු බොහෝ වේලාවක් යනතුරු ඒවායේ ශබ්ද ධ්වනිය පන්ති කාමරය තුළත් ඉන් පිටත වා ගැබේත් නින්නාද විය. මෙම විද්‍යා පීඨය ආරම්භ වූයේ ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේදී ය. පුරා වසර අටසියකට ආසන්න කාලයක් මහා ප්‍රාඥයන් රාශියක් ලොවට බිහි කළ මේ ශ්‍රේෂ්ඨ විද්‍යාපීඨයේ අවසන් ඉරණම අතිශයින්ම ඛේදජනක කතාවකි. එම වේදනාකාරී කතාව මෙසේ කියවමු. ධර්මයේ පිහිට පිළිසරණ සොයා යන ඔබ මේ කතාව කියවා දෙවරක් බුදුදහම හා භික්ෂූන් වහන්සේලා පිළිබඳවත් රට ජාතිය ගැනත් මඳකට සිතන්න. ඒ අවාසනාවන්ත පුවත මෙතැන් සිට අප දැන ගනිමු.
ක්‍රිස්තු වර්ෂ එක්දහස් එකසියය වන විට ඉන්දියාවේ සම්පූර්ණ ආධිපත්‍යය මෝගල්වරුන් සතු විය. මෝගල් පාලකයෝ බෞද්ධ හා හින්දු සංස්කෘතිය මුලිනුපුටා දැමීමේ ප්‍රයත්නයක යෙදුණාහ. ක්‍රිස්තු වර්ෂ 1192 මගධ රාජ්‍යයේ බලය ඩැහැගත් ආක්‍රමණිකයා දුටු සෑම විහාරස්ථානයක්ම කඩා බිඳ දමා විනාශ කරන ලදී.

ගින්නට හසුව උණුවී ගිය ගඩොල්
මේ සමය වන විට මගධ රාජ්‍යයට ආසන්නවම පිහිටා තිබූ නාලන්දාව ගැන ද ඔහුට ආරංචි වී තිබුණි. ඔහුට ලද ඔත්තු සේවයට අනුව ලද තොරතුරු අනුව නාලන්දාව ගැන ඔහුගේ සිතේ මැවී තිබුණේ ඔහු අදහන ධර්මයට මුළුමනින්ම පටහැනි වූ ආගම් හා දර්ශනවාදයන් ප්‍රචලිත කිරීම සඳහා පවත්වාගෙන යන කුමන්ත්‍රණයක් ලෙසිනි. අන්තවාදී ආගම් භක්තිකයකු වූ ඔහු පන්දහසක පමණ සේනාවක් සමඟ පැමිණ නාලන්දා විද්‍යාපීඨය වට කළේ ය. ඔහු නාලන්දාවේ ප්‍රධාන දොරටුවෙන් ඇතුල් කොටසේ සිටින හිස මුඩු කරන ලද කහ වස්ත්‍ර හැඳගත් එකම වේලාවක අවදිවන බුදුන් වඳින, දන් වළඳන භාවනා කරන පිරිස යුද්ධයක් සඳහා වූ පිරිසක් සූදානම් කරන ආකාරය දකින ලදී. මේ හමුදා කඳවුරකැයි සිතා වහාම විනාශ කළ යුතු බව සිතාගත් ඔහු භික්ෂූන් වහන්සේලා දන් වළඳන අවස්ථාව බලා හතර වටින් පිහිටි දොරවල් වසා ගිනි තබන ලදී. දන් වළඳමින් සිටි භික්ෂූන් හා ගුරු භවතුන් එම මහා ගින්නට හසුවී අපවත් වන ලද බව කියයි.
ධර්මාශෝක මහ රජතුමා බුදු සසුනට මහත් ආරක්ෂාවක් සලසන ලදී. නමුත් ඔහුගෙන් පසුව හුදකලා වූ බුදු සසුනට කිසිදු හවුහරණක් නොමැති වීම නිසා ඉන්දියාවේ බුදුන් උපන් භාරතයට බුදු දහම අහිමි වී ගියේය. එම නිසා දහමට ආදරය කරන මහා සංඝරත්නය ධර්මය හා පන්සල රැක ගත්හ.
නාලන්දාවේ තිබූ බෞද්ධ පොත් පත් තිබූ රත්න සාගර, රතන රංජන, රත්නෝදීප්ත යන පුස්තකාල තුන පමණක් මාස හයක් ගිනි ගන්නා ලද බව කියයි. ඒ අනුව මෙහි තිබූ පොත් ප්‍රමාණය කොපමණදැයි කීමට නොහැකිය. සංඝයා වහන්සේ දන් වළඳමින් සිටියදී පිළිස්සී ගිය පාත්‍ර කැබලි තුළ තිබූ දැවුණු බත් ඇට අදත් නාලන්දා කෞතුකාගාරයේ දී දැක බලා ගැනීමට පුළුවන, එම නිසා ඉන්දියන් රුපියල් පහක් වියදම් කර කෞතුකාගාරයටද මොහොතකට හෝ ගොඩවී එම තොරතුරු දැක බලා ගන්න.
එම ආක්‍රමණිකයාගේ අවසන් ඉරණම ඉතා අමිහිරි කතාවකි. 1199 දී බෙංගාලය යටත් කරගත් ඔහු තිබ්බතය ආක්‍රමණය කිරීමට තීරණය කරන ලදී. ඉන්දියානු තිබ්බත දේශ සීමාව හරහා තිබූ දැවැන්ත ගංඟාව තරණය කිරීමේ දී අනපේක්ෂිත ලෙස ගලා ආ මහා ජල කඳට (ගංවතුරකට) හසු වී ඔහුගේ මුළු හමුදාවම ජීවිතක්ෂයට පත්වූහ. සේනාවට සිදු වූ විපතත් තමාට අත් වූ ලජ්ජාවත් ඉවසා ගත නොහී ඔහු සිය දිවි හානි කර ගන්නා ලදී. නාලන්දා පුරාවිද්‍යා කෞතුකාගාරය ඔබ නැරඹිය යුතුමය. කළුගලින් නෙළූ අවලෝකිතේශ්වර නොඑසේ නම් සමන්ත භද්‍ර ප්‍රතිමාවේ දකුණත මලක වම් අත ආශිර්වාද මුද්‍රාව දක්වයි.
බුද්ධභූමි වන්දනාවෙන් අද අපි කිඹුල්වත් නුවර පිළිබඳ මෙනෙහි කරමු
ක්‍රි.පූ. 249 උපගුප්ත මහරහතන් වහන්සේ සමඟ පැමිණි ධර්මාශෝක මහ රජු ශිලා ස්ථම්භයක් මෙහි පිහිටුවා මේ ප්‍රදේශය කපිලවස්තුපුර ශාක්‍ය වංශයට අයත් බවත් මහා බෝධි සත්වයන් වහන්සේ වසර 29 ක් ජීවත් වු ජනපදය ලෙසත් හඳුන්වා දී ඇත.
බුදුරජාණන් වහන්සේ දවස මෙහි පාලකයා වූයේ සුද්ධෝදන මහරජතුමාය. වසර 29 ක් කපිලවස්තුපුර ජීවත් වු මහා බෝධි සත්වයන් වහන්සේ වයස අවු. 29 දී රාහුල කුමරු උපන් ඇසළ පුර පොහොය දින සාංසාරික ජීවිතය පිළිබඳව සිතේ උපන් ස්වභාවය නිසා අභිනිෂ්ක්‍රමණය කරන ලදී. බෝසතාණන් වහන්සේ ගිහි ගෙයින් නික්ම පැවිදි වු තැන සිට නිතර නිතරම උන්වහන්සේ පිළිබඳව තොරතුරු සොයා බැලීම සඳහා සුද්ධෝදන රජතුමා උන්වහන්සේට නොදැනෙන සේ දූත පිරිසක් යවා තොරතුරු සොයා බලන ලදී. උපාය දූතයා මඟින් දැනගත් තොරතුරුවලට අනුව සා අවුරුද්දකට පසුව උන්වහන්සේ දැන් බුදු බවට පත්ව රජගහනුවර ප්‍රදේශයේ දහම් දේශනා කරන බව ආරංචි විය. ඒ අනුව තම පුතනුවන් වු බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට ගෙන්වා ගැනීමට සුදුසු කාලය මෙයයි. ඇමතියෙකු රාජ පුරුෂයන් දහසක් පිරිවර කොට දී රජගහනුවර භාග්‍යවතුන් වහන්සේ වෙතට යැවීය.

කපිලවස්තු ධාතු ස්ථූපය
ඔවුන් භාග්‍යවතුන් වහන්සේ වෙතට යාමට කිඹුල්වත් පුරයේ සිට හැට යොදුනක් පමණ මාර්ගයක් ගෙවා වේළුවනාරාමයට පැමිණියේය. ඒ වේලෙහි දහම් දෙසමින් හුන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ බණ අසා මේ පිරිස දහසක් දෙනා රහත් බව ලබා පැවිද්ද ඉල්ලුවේය. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ඒහි භික්ෂු ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදි උපසපන් කළ සේක. රහත් වුවායින් පසුව මධ්‍යස්ථ වීම ආර්යන්ගේ ස්වභාවය බැවින් පැමිණි කරුණ අමතක විය.
සුද්ධෝදන මහ රජතුමා කල් යනු දැක පළමු පරිද්දෙන්ම තවත් පිරිසක් පිටත් කරන ලදී. ඔවුන්ද බණ අසා රහත් වී පැවිදි විය. මේ අයුරින් කණ්ඩායම් නවයක් පිටත් කළද බුදුරජාණන් වහන්සේ වැඩම කර ගැනීමට අපහසු විය. මේ නිසා බෝධිසත්වයන් වහන්සේ හා එකදා උපන් රජ ගෙදර ඇති දැඩි වු කාළුදායි නම් ඇමතියා කැඳවා දරුව, කාළුදායි මගේ පුතා දකින කැමැත්තෙන් කැඳවාගෙන එනු පිණිස එක් ඇමතියෙකු සහිතව පිරිවර නවදහසක් පිටත් කරන ලදී. නමුත් ඔවුන් පිළිබඳව කිසිඳු ආරංචියක් නැත. මාගේ මරණය කවර දා වේදැයි නියම නැත. මැරෙන්නට පළමුව මාගේ පුත්‍රයාණන් වහන්සේ දක්නට කැමැත්තෙමි. මාගේ පුත්‍රයා කැඳවාගෙන එන්නට නුඹට හැකිදැයි රජතුමා විමසන ලදී. දේවයන් වහන්ස, මහණ වෙන්නට අවසර දෙතොත් එය කරන්නෙමි. කාළුදායි පිළිතුර දුන්හ. ඔබේ කැමැත්තක් කරනු, මා හට මාගේ පුතු දැක්වුව මැනවි රජු කීහ. යහපති යි කියා පුරුෂයන් දහසක් සහිතව ගොස් බණ අසා රහත්ව ඒහි භික්ෂු ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව උපසපන් බව ලැබීය.

විශාල භික්ෂූන් පිරිසක් බුදු සසුනට එකතු වීම


කපිලවස්තු නටබුන්
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාවේ සිට ගත වු අටමාසයක් පමණ වු කාලයෙහි විවිධ ප්‍රදේශවලට යැවූ භික්ෂූන් ද පූර්ණ ජටිල භික්ෂූන් එක්දහස් තුන්දෙනෙක්ද සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ ඇතුළු පූර්ණ පරිබ්‍රාජක භික්ෂූන් දෙසිය පනහක්ද අංග හා මගධ දෙරටින් පැවිදි වු කුල පුත්‍රයන් දස දහසක් පමණ ද කිඹුල්වතින් පැමිණ පැවිදි වූවන් දස දහස් දහයක් පමණ විය. සියල්ලෝම විසි එකදහස් දෙසිය හැට තුනක් විය. ඒ අතුරින් විසිදහසක් රහතන් වහන්සේලා සමඟ කිඹුල්වත් නුවරට පිටත් වන්නට සුදානම් විය.

කාළුදායි තෙරුන්ගේ ගමන් වර්ණනාව

කාළුදායි තෙරුන් පැමිණීමෙන් දින හත අටක් ගත විය. මැදින් මස පුර පසළොස්වක පොහොය පැමිණියේය. හේමන්ත ඍතුව ලැබුණේය. කිඹුල්වත් පුරයට භාග්‍යවතුන් වහන්සේ වැඩම කරවීමට සුදුසු කාලය යැයි කාළුදායි ස්ථවිර සිතීය. එසේ සිතා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ කිඹුල්වත්පුර ගමන ගැන ගාථාවලින් වර්ණනා කරන ලදී. එය මෙසේය.
භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ දැන් වෘක්ෂයෝ ගිනි අඟුරු වැනි රතු පැහැති මල් දලු ඇත්තේ පරණ කොළ වැටී ඵලදරන කාලයට පැමිණ ඇත. ඒ වෘක්ෂයෝ ගිනිදැල් සහිත වූවන්සේ බබළා මහා වීරයන් වහන්ස, ශාක්‍යයන්ට අනුග්‍රහය පිණිස වැඩම කිරීමට දැන් සුදුසු කාලයයි.
වීරයන් වහන්ස, පිපුණු මල් ඇති වෘක්ෂයෝ හැම අතටම සුවඳ විහිදුවත් පූර්ණ පත්‍ර හැර දමා (වැටීමෙන් පසුව) ඵල බලාපොරොත්තුවෙන් සිටින්මෝ වෙත්. වීර්යන් වහන්ස, දැන් මෙයින් පිටත් වන්නට කාලයයි.
ඉතා ශීත හෝ උෂ්ණ නැතිමය. ඔබ වහන්සේට ඍතුව සැප පහසුව ගෙන දේ ගමනකට යෝග්‍යය ආපසු හැරී රෝහිණී ගඟින් එතරවන ඔබ වහන්සේට ශාක්‍ය කෝලිය රජුන් දකිත්වා.
ගොවි තෙම මතු බලා කුඹුරු හායි. හාන ඔවුන් විසින්ද මතු බලා වී වපුරනු ලැබේ’. ධනය රැස්කරන වෙළෙන්දෙහු මතු බලා සමුද්‍ර තරණය කරත් මමද ඔබ වහන්සේ කිඹුල්වතට වැඩම කරන්නට යම් බලාපොරෙත්තුවකින් සිටින්නේද එය මාගේ ප්‍රාර්ථනාවයි එය සමුද්‍ර වේවා!
එක් වරකින් නොනැවති ගොවියෝ යළි යළිත් ධාන්‍ය වපුරත්, වැස්සද නැවත නැවත වැසී නැවත නැවත ගෝවියෝ කුඹුරු හාත්, නැවත නැවත හැල් (හාල්) ආදී ධාන්‍ය රටට ලැබේ.
යාචකයෝද යළි යළිත් කුලයන් කරා එලැඹෙත් දානපතිහුද යළි යළිත් දන් දෙත් එසේ දීමෙන් නැවත නැවත ස්වර්ගයේ උපදිත්.
මාහර්ෂියන් වහන්සේගේ පියා සුද්ධෝදන මහ රජතුමාය. යම් උත්තමාවක් බෝසතුන් කුසින් දරා සිට මරණීන් මතු දෙව් ලොව දෙවි පුතෙක්ව ඉපදීම සැප විඳී ද ඒ මායා දේවි ඔබ වහන්සේගේ මෑණියෝ. මෙයින් කළුරිය කළ ගෞතම ගෝත්‍ර ජන වු ඕතොමෝ දේව සමූහයා පිරිවරා මහත් සැප විඳී.
කිඹුල්වත් පුරය පිළිබඳ අලංකාර ගාථාවලින් වර්ණනා කොට කාළුදායි මහරහතන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේට කිඹුල්වත් පුරයට වඩින්නට ආයාචනා කළේය. කිඹුල්වත් නුවර බලා පිටත්වීම මැදින් පොහෝදා කිඹුල්වත් පුරයට වැඩම කිරිම වෙසක් පොහෝදා
බුදුරජාණන් වහන්සේගේ සිය ගමනින් වන මහත් අභිවෘද්ධිය දැක අංග, මගධ දෙරටින් පැවිදිව රහත් වු දස දහසක් පමණ වු භික්ෂූන්ද කිඹුල්වතින් අවුත් පැවිදි වූ දස දහසක් පමණ රහතන් වහන්සේලාද සමඟ සම්පූර්ණ වු විසි දහසක් පමණ රහතුන් පිරිවරා බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වඩිනා බව දැනගත් මහ පිරිසක් උන්වහන්සේ දැක බණ ඇසීමට සුදානම්ව සිටින බවත් ඒ තුළින් මිනිසුන්ට අපමණ සේවාවක් සිදුවන බැවින් පා ගමනින් දවසකට යොදුන බැගින් දෙමසකින් යොදුන් හැටක් ගෙවා වෙසක් පුර පසළොස්වක දා කිඹුල්වත් පුරයට සම්ප්‍රාප්ත වූ සේක. මේ කාලය තුළ කාළුදායි මහරහතන් වහන්සේ කිඹුල්වත් පුර රජ ගෙදරට වැඩම කර දන් වළදා රජ ගෙදරින් භෝජන පාත්‍රය බැගින් ගෙනවිත් භාග්‍යවතුන් වහන්සේට පිළි ගැන්වූහ. ඒ දිනයන්හි භාග්‍යවතුන් වහන්සේ වළදන ලද්දේ එම ආහාරයයි.
ඔබ මොහොතකට දෑස වසාගෙන සිතන්න. මේ බුදු පාමොක් මහා සඟරුවන වඩිනා පෙළ තුළ කොතරම් අසිරියක් තිබෙන්නට ඇත්ද? ඔබට සිතාගත නොහැකිය. ශ්‍රමණයන් වහන්සේලා දැකීම තුළ සිත පැහැදීමට පත්වේ.