නාරන්වත්තේ ධම්මසිරි හිමි
ශාන්ති නායක තථාගත අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලය පුරාම සිදුකරන ලද්දේ අප්‍රමාණ සේවයකි. දඹදිව් තලයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයා වූ බුදුරජාණන් වහන්සේ තුන්ලෝවාසීන් වෙත එක ලෙස පිහිට වූ උත්තරීතරම ශාස්තෘවරයාණන් වහන්සේය. තථාගතයන් වහන්සේගේ එම මෙහෙවර මෙසේ කියා හෝ ලියා නිම කළ නොහැකිය. උන් වහන්සේගේ පාදස්පර්ශයෙන් අති පාරිශුද්ධියට පත්වූ උත්තම දඹදිව් තලය ජීවිතේ කවදා හරි දිනක වන්දනා මාන කරන්නට අදිටන් කර ගනිමු.
සද්ධාය භික්ඛවේ සම්මුඛී භාවා සද්ධාය කුල පුත්තා බහුං පුඤ්ඤං පසවති (මහණෙනි ශ්‍රද්ධාව ඇතිවූ කල්හි සැදැහැවත් කුලපුත්‍රයෝ බොහෝ පින් රැස් කරත්) එම නිසා මහත් ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ ගොස් සිටින පුද්ගලයන් ලෙස මේ උත්තම වන්දනාව ජීවිතේ කවදා හරි දවසක සිදු කරගන්න.
ශ්‍රද්ධා සම්පත් කුල පුත්‍රයෙකු විසින් සියැසින් දැක ධර්ම සංවේගය උපදවා ගත යුතු ස්ථාන හතරක් ගැන සඳහන් වේ. එනම්
ඉධ තථාගතෝ ජාතෝති ඉධ තථාගතෝ අනුත්තරං සම්මා සම්බෝධී අභිසම්බෝධිං ඉධ තථාගතේන අනුත්තරං ධම්ම චක්කං පවත්තිතං ඉධ තථාගතෝ අනුපාදිසේසා නිබ්බාන ධාතුයා පරිනිබ්බුතෝති. එම ස්ථාන නම්,
බෝධිසත්වයන් වහන්සේගේ උප්පත්තිය සිදුවූ ලුම්බිණි සල් උයන
තථාගතයන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත්වූ ස්ථානය වූ අති පූජනීය බුද්ධගයා පුදබිම
තථාගතයන් වහන්සේ පළමු දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන ලද බරණැස ඉසිපතන මිගදාය
තථාගතයන් වහන්සේ මහා පරිනිර්වාණයට පත්වූ කුසිනාරා පුද බිම
මෙම සතර මහා ස්ථාන වැඳ පුදා ගනු ලබන ශ්‍රද්ධාවන්ත භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා අය අතුරින් යමෙකු පහන් සිතින් කළුරිය කළ හොත් (ආනන්තරීය පාප කර්මයක් සිදු නොකර ඇත්නම්) මරණින් මතු නියත වශයෙන්ම සුගතිය (දෙව්ලොව) උප්පත්තිය ලබන බව සඳහන් වේ.
බුදුරජාණන් වහන්සේ බුද්ධගයාවේදී සම්බුද්ධත්වයට පත්වී සාරානාත් හිදී ප්‍රථම ධර්ම දේශනාව පවත්වා, මුල්ම ශ්‍රාවක භික්ෂූන් සියලු දෙනා වහන්සේ අමතා “චරථ භික්ඛවේ චාරිකං – බහුජන හිතාය බහුජන සුඛාය” යනාදී වශයෙන් දෙව් මිනිසුන්ට හිත සුව පිණිස ධර්ම චාරිකාවල යෙදෙන ලෙස උපදෙස් දෙනු ලැබූ සේක. තමන් වහන්සේ දේශනා කළ ධර්මයම මුල් තන්හිලා සලකන ලෙස අනුශාසනා කළ සේක. උන්වහන්සේගේ මහා පරිනිර්වාණය සිදුවන විටත් අගසව් දෙපළ වන සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා පිරිනිවී අවසානය. ධර්ම භාණ්ඩාගාරික අනඳ මා හිමියන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළ සියලු ධර්ම දේශනා ශ්‍රවණය කිරීමේ භාග්‍යය ලැබුණු අතර, බුද්ධ පරිනිර්වාණයෙන් පසු තෘතීය මහා ශ්‍රාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රජගහ නුවරදී පැවති ප්‍රථම ධර්ම සංගායනාවේදී තමන් ඇසු පිරූ ධර්මය (ඒවං මේ සුතං...) ඉදිරියට මුඛ පරම්පරා ගතව පවත්වාගෙන යාමේ වගකීම සමස්ත මහා සංඝ රත්නය වෙත පවරනු ලැබිණි.
එම නිසා මේ ප්‍රයත්නය දරන්නේ දඹදිව බුදුන් උපන් සුද්ධ භූමියේ ඇති වැදගත්කම ඔබට වටහා දීමටයි. ජීවිතයේ කිනම් හෝ දිනක දඹදිව වන්දනාවකට සහභාගි වී මේ සසර දුකින් එතෙරව ඔබට උත්තම නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මේ බුද්ධ භූමි වන්දනාවෙන් අපේ සිත් පහන් කර ගනිමු.
භාරතය
තුන් පැත්තකින් වට වු අර්ධද්වීපයක් ලෙස භාරතය හඳුනාගත හැකිය. අති රමණීය හිමාල කඳු වැටිය උතුරු සීමාවේ මායිමයි. ගංගා, යමුණා, අචිරවතී යන ගංගාවෝ භාරතය මැදින් භාරතයට සිසිල බෙදමින් නිසොල්මනේ ගලා බසියි. විශාල අර්ධද්වීපයක් වන ඉන්දියාව ජාතක කථා වලට අනුව ජන පද දහසයකින් යුක්ත විය. ප්‍රධාන රාජ්‍ය හතරකටත් බුද්ධ කාලීන භාරතය බෙදා ඇත. මගධ රාජ්‍යයේ රජගහනුවරත්, කෝසල ජනපදයේ සැවැත් නුවරත්, අවන්ති රාජ්‍යයේ උදේනි නුවරත්, වජ්ජි ජනපදයේ විශාලා මහනුවරත්, බෞද්ධ සමාජයේ කේන්ද්‍රස්ථාන බවට පත් විය. බුද්ධ කාලයේ දී අංග හා මගධ රාජ්‍යයන්, එකතුව මගධ රාජ්‍ය ගොඩ නැගී තිබු අතර එහි පාලකයා බිම්බිසාර රජතුමායි. කාශි සහ කෝසල ජනපද එකතු වීමෙන් කෝසල රාජ්‍යය ගොඩ නැගූ අතර එහි පාලකයා කොසොල් රජතුමා විය. වත්ස රාජ්‍යයේ අගනුවර කොසබෑ නුවර වන අතර එහි පාලකයා උදේනි රජතුමා විය. මේ කාලය භාරතය තවත් බෙදීම් හතරකට වර්ග කරන ලදී. ක්‍රි.පූ. 6 වන සියවසේ බුදුරජාණන් වහන්සේ දඹදිව පහළ වන විට විවිධ දාර්ශනික මත දඹදිව පහළ වී තිබුණි. දාර්ශනික මත පිළිබඳව උනන්දුවක් දැක්වු සමාජය පිළිතුරු සෙවීම සඳහා විවිධ ව්‍රත අනුගමනය කරන ලදී.
බ්‍රාහ්මණ සමාජය හිස මුඩු කිරීම අසුබවාදී දෙයක් ලෙස පෙන්වා දෙමින් ඔවුන් සාංසාරික ජීවිතයට ඇලුම් කරන ලදී. එකල සමාජයේ ඉහළින් සිටි බමුණන් හා ශ්‍රමණ සමාජය අතර මත ගැටුමකද නිරත විය. අනගාරිකවූ ශ්‍රමණ පිරිස බ්‍රහ්මචාරි ජීවිතයෙන් අත් මිදී සමූහයක් වශයෙන් එකතුව කටයුතු කරමින් සංසාර විමුක්තිය සොයා යන ලදී, මේ නිසා බොහෝ පිරිස් ගිහි ජීවිතය අතහැර සත්‍ය සොයා යාමට යොමු විය. එකල පහළ වූ දාර්ශනිකයන් අතර මක්ඛලිගෝසාල ,අජිත කේශකම්බල, පකුධකච්ඡායන , නිඝන්ඨනාථපුත්ථ, සංජය බෙල්ලට්ඨිපුත්ත, පූර්ණ කස්සප එකල සමාජයේ ප්‍රබල දාර්ශනිකයන් විය. මෙවැනි දාර්ශනික මත පැවැති යුගයක ක්‍රි.පූර්ව හයවන සියවසේ ලුම්බිණියේදී උපත ලද සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව මුළු ඉන්දියාවටම නව වෙනසක් ඇති කරන ලදී.
මහා බෝධි සත්වයන් වහන්සේගේ උපත සිදු වූ
ලුම්බිණි සල් උයන
මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වන අන්දමට සතර මහා ස්ථාන අතුරින් පළමු ස්ථානය ලබා ගන්නේ ලුම්බිණි සල් උයනයි. ඒ අප මහා බෝධි සත්වයන් වහන්සේගේ උප්්පත්තිය සිදු වූ අති උත්තම පුණ්‍ය භූමිය නිසාය.
ශාක්‍ය සහ කෝලිය යන රාජ වංශ දෙපාර්ශ්වයේදී උත්සව පැවැත්වණු ලුම්බිණිය අද නේපාල රාජ්‍යයට අයත් භෛරව නම් දිස්ත්‍රික්කයේ දක්නට ලැබෙයි.
බුදුරජාණන් වහන්සේගේ පහළ වීම අහඹු සිදුවීමක් නොව උතුම් බුද්ධත්වය අවබෝධ කර ගැනීම සඳහා අප මහා බෝධි සත්වයන් වහන්සේ දීපංකර බුදු රජාණන් වහන්සේ වෙතින් නියත විවරණ ලබා සුදුසු පාරමිතා පුරමින් බෝසත්වරයෙක් ලෙස ලොව පහළ වීම සඳහා පඤ්ච මහා විලෝකනයන් බලන ලදී. ඒවා නම් කාලය, දීපය, දේශය, කුලය, මව යන පස්මහ බැලුම් සැළකිල්ලට ගන්නා ලදී. බුදුවරයෙකුගේ උපත ලොව සිදුවන උත්තරීතරම උපතයි.
සිද්ධාර්ථ කුමාරයාගේ මාතෘ පීතෘ පරම්පරාව පාරිශුද්ධ පරම්පරාවකින් පැවත එන්නකි. කල්යාමේ දී කපිල වස්තු වාසී ශාක්‍ය වංශිකයෝද කෝලිය වාසි කෝලිය වංශිකයෝද ආවාහ විවාහ මගින් ඥාති සබඳතා ගොඩ නගා ගත්හ. සිද්ධාර්ථ කුමාරයාගේ පිය පාර්ශ්වයෙන් ශාක්‍ය වංශයට ද (සූර්ය වංශය) මව් පාර්ශ්වය කෝලිය වංශයට ද අයත් විය.
මහ බෝධි සත්වයන් වහන්සේ වෙස්සන්තර ආත්මභාවයෙන් පසුව තුසිත දිව්‍ය ලෝකයේ සන්තුෂිත නම් දෙවියන්ව කල් ගත කරන ලදී. උන් වහන්සේ එහි වාසය කරන කල්හි දිව්‍ය, මනුෂ්‍ය , බ්‍රහ්ම යන ලෝකයේ බුද්ධකෝලාහලයක් ඇති විය. ඉන් පසු සන්තුෂිත දෙවියන් වෙත පැමිණ දෙවි බඹුන් විසින්
කාලොයංතෙ මහාවීර
උප්පජ්ජි මාතුකුච්ඡියං
සදෙවකං තාරයන්තො
බුජ්ඣස්සු අමතංපදං
(මහා වීරයන් වහන්ස බුද්ධත්වය සඳහා මව්කුසක ඉපදීමට මේ කාලයයි. දෙවියන් සහිත ලෝකයා එතෙර කරමින් නිර්වාණය ද අවබෝධ සරණ යැයි දෙවියන් විසින් ආරාධනා කරන ලදී)
දඹදිව ඇසළ මාසය පුරාවටම උත්සව පවත්වයි. ලෞකික සැප සම්පත් වලින් පිරුණු උත්සවයක් සේ ආධ්‍යාත්මික ගුණ ධර්ම වර්ධනය කරන උත්සවයක් ද විය. මහාමායා දේවිය සත්වන දිනයෙහි දුගී මගී ආදීන්ට දන් දී පෙහෙවස් සමාදන්ව නිවසට පැමිණ ධර්ම සංවාද හා මෛත්‍රී භාවනාවේ යෙදී සිටින ලදී. එදින රාත්‍රියේදී අනාගතයේ ලොව පහළව බුද්ධ රාජ්‍ය සාක්ෂාත් කර ගනිමින් ලෝකයා දුකින් මුදවන කුමාරයෙකු පිළිසිඳ ගැනීම පිළිබඳව සිහින දකින ලදී. එනම් සතරවරම් දෙවිවරුන් පැමිණ බිසව නිදා සිටි යහන පිටින්ම ඔසවාගෙන හිමවතට ගොස් සල්ගසක් මුල සිරියහන ගල්තලාවක තැබූ අතර එම දෙවිවරුන්ගේ දේවීන් පැමිණ මහාමායා දේවිය අනෝතප්ත විලට ගෙන ගොස් නහවා දිව්‍යමය වස්ත්‍ර අන්දවා දිව්‍යමය සුවඳ විලවුන් ගල්වා දිව්‍යමය මල් පළඳවා සමීපයෙහි වූ රිදී පර්වතයෙක තිබූ රන් පහයකට ගෙන ගියහ. එහි බටහිර දෙසට හිසලා පිළියෙල කරන ලද යහනෙහි මහාමායා දේවිය සැතපුණාය. ඉන් පසු සුරතල් සුදු ඇත් පැටවෙක් සමීපයෙහි වූ රන් හා රිදී පර්වතවල පිළිවෙළින් ඇවිද උතුරු දිශාවෙන් පැමිණ සුදු නෙළුම් මලක් සොඬින් ගෙන දේවිය සැතපෙන රන් විමනට ඇතුළු විය. ඉන් පසු ඇයගේ යහන වටා තුන් වරක් ඇවිද දකුණැලයට ළංව ඇයගේ කුසට පිවිසියාක් මෙන් දේවිය සිහිනයෙන් දුටුවාය.
මහාමායා දේවිය, තමා පෙර දින දුටු මේ සිහිනය පිළිබඳව සුද්ධෝදන රජතුමාට දැන්වීය. මහ රජතුමා විසින් බමුණු පඬිවරුන් කැඳවා සිහිනයේ විස්තර විමසන ලදී. බෝධි සත්වයන් වහන්සේ මව් කුස පිළිසිඳ ගෙන දසමසක් පිරෙන්නට වූ කල්හි දෙව්දහනුවරට යාමට අවශ්‍ය බව මහාමායා දේවිය සුද්ධෝදන රජතුමාට දැන්වීය.ඇයගේ ඉල්ලීම පරිදි දේවියගේ පියාණන් වන අංජන රජතුමාට දන්වා ඇමැතිවරුන් හා පිරිවර ජනයා සමග වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේදී පිටත් කරන ලදී. පිරිස සමග රෝහිණී නදියෙන් එතෙර වු මහා මායා දේවියට ලුම්බිණිය නැරඹීමට අවශ්‍ය බව දැන්වීය. මහාමායා දේවිය සල් උයනේ සුන්දරත්වය විඳිමින් සල් උයනේ සිසිල විඳ ගන්නාලදී.
ලුම්බිණි සල් උයන පුරා ඇවිදිමින් සිට මහාමායා දේවිය මුල සිට අග දක්වා මලින් පිරි සල් අත්තක් අල්ලා ගත් අතර පිරිවර කාන්තාවන් ප්‍රසව අවස්ථාව බව දැන පරිවාර ස්ත්‍රීන් වට තිර ඇද යහනාවක් පනවා ඊට සුදුසු පරිසරය සකස් කර දෙන ලදී. දේවිය කුමරා බිහි කළාය.
මහ බෝධි සත්වයන් වහන්සේ මව් කුසින් බිහි වු පසු මහත් ගෞරවයකින් කුමරු පිළිගත් අතර කුමාරයා මහ පොළොව මත ඇවිද යන්නට පටන් ගත් අතර මේ මහ පොළොව එදා උන් වහන්සේ පිළිගනු ලැබුවේ නෙළුම් මලින්ය. නෙළුම් මල් හතක් මතින් ඇවිද අවසන් නෙළුම් මල උඩ සිටිමින් එදා ලොව සිංහ නාද කරන ලදී.
අග්ගෝ හමස්මි ලෝකස්ස
ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස
සෙට්ඨෝ හමස්මි ලෝකස්ස
අයමන්ති මා ජාති නත්ථි දානි පුනබ්භවො
(මම ලොවට අග්‍ර වෙමි, මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මාගේ මේ අන්තිම ඉපදීමයි නැවත ඉපදීමක් නැත)
ඉන් පසු කපිල වස්තු හා දෙව්දහ නුවර වැසියන් සියලු දෙනා මහා පෙරහරින් කුමාරයා ද සමග පිටත් විය.
ලුම්බිණි පුදබිමෙන් සොයා ගනු ලැබූ ඉතා වැදගත් ඓතිහාසික හා පුරාවිද්‍යා සාධක අතර අශෝක අධිරාජයා විසින් පිහිටුවන ලද ස්ථම්භය ද වේ.
රාජාභිෂේකයෙන් විසි වසරකට පසු අශෝක අධිරාජයා මෙම පුදබිමට පැමිණ පූජෝපහාර දක්වා ඇත්තේ උප ගුප්ත මහ රහතන් වහන්සේ සමගය. බුදුන් වහන්සේගේ උප්පත්තිය සිදුවූ ස්ථානය බැවින් ලුම්බිණි ග්‍රාමය අනෙකුත් සියලුම බදුවලින් නිදහස් කිරීමටත්, අස්වැන්නෙන් 1/8ක කොටසක් පමණක් ගෙවීමටත් අශෝක අධිරාජයා නියම කළ බව එතුමා විසින් පිහිටුවන ලද ස්ථම්භයේ ඇති සෙල්ලිපියේ සඳහන් වේ.
සෙං සායි, පාහියන් සහ හියුංසාන් සහ චීන භික්ෂූන් වහන්සේලා ලුම්බිණියට පැමිණ ඇති අතර, අශෝක වාර්තාවල සිදුහත් උපත සිදුවූ ස්ථානයේ තිබූ සල් ගස අශෝක කුලුන සහ මහාමායා දේවිය ස්නානය කළ පොකුණ පිළිබඳව සටහන් තබා ඇත.
සැලකිය යුතු කාලයක් වල් බිහිව තිබී ඇති ලුම්බිණිය සහ අශෝක ස්ථම්භය ක්‍රි.ව. 1896 ආචාර්ය ෆියුගර් මහතා විසින් සොයා ගන්නා ලදී. ඉන් අනතුරුව නේපාල පුරාවිද්‍යාඥයන්ගේ මෙහෙයවීමෙන් 1972 වර්ෂයේ සිට කැනීම් කටයුතු සිදුවී ඇති අතර 1985 දී ලුම්බිණි සංවර්ධන අධිකාරිය පිහිටුවීමෙන් පසු අද පවතින තත්වයට ලුම්බිණි උද්‍යානය ක්‍රමවත් ලෙස සංරක්ෂණය කර ඇත. ලුම්බිණි සංවර්ධන සැලැස්ම 1978 දී ජපන් ජාතික මහාචාර්යන්ගේ විසින් පිළියෙල කර ඇති අතර එය නේපාල රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනුමත කර ඇත. එම සැලැස්ම අනුව පූජනීය උද්‍යානය විහාර කලාපය ලුම්බිණි ග්‍රාමය වෙන් වෙන් වශයෙන් සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇත.
වර්තමානයේ ලුම්බිණිය වැඳ පුදා ගැනීමට යන බැතිමතුන්ට අශෝක ස්ථම්භයේ ඉදිරිපසින් නේපාල සංස්කෘතික ආකෘතියකින් ගොඩනගන ලද විශාල විහාරයක් දකින්නට ලැබේ. මෙය මායාදේවි පන්සල වශයෙන් හැඳින්වේ.
මෙම විහාරය ගොඩනඟා ඇත්තේ එම ස්ථානයේ කලින් පස් කන්දක් ලෙස පැවැති ගරා වැටුණු සුන්බුන් ඉවත් කරමිනි.
1996 දී සිදුකළ කැණීම් කටයුතුවලදී විශේෂයෙන් ගුප්ත අධිරාජ්‍ය සමයේ පැවැති විහාරස්ථානයක නටබුන් හමුවී ඇති අතර එම ස්ථානයේ පතුලේ පැවැති කුඩා පාෂාණ පා සටහන් අනුව සිදුහත් කුමරු උපත ලත් ස්ථානය මෙය බව නේපාල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර ඇත. නව විහාර මන්දිරයේ අභ්‍යන්තර වේදිකාවක් ඔස්සේ ගමන්කර එම ස්ථානය වැඳපුදා ගැනීමට පහසුකම් සලසා ඇත.
නේපාල වාසී හින්දුන් “රූපාදේඊ” (රූපා දේවී) “රූම්මින දේවී” නම් වලින් දෙවඟනක් ලෙස මහාමායා දේවියට වැඳුම් පිදුම් කරනු ලැබේ’. සිදුහත් කුමරුගේ උප්පත්තිය පිළිබද ගලෙන් කැටයම් කරන ලද කැටයමක් මෙම ස්ථානයේ තිබූ අතර, ගැබිනි මව්වරුන් නිරෝගිමත් දරු සම්පත්තියක් බලාපොරොත්තුවෙන් හා දරුවන් නොමැති කාන්තාවන් දරු සම්පත් අපේක්ෂාවෙන් එය උරගා පිරිසුදු ජලය සමඟ පානය කිරීමෙන් දරු සම්පත්තිය ලැබෙන බව විශ්වාස කරමින් අනාදිමත් කාලයක සිට සිදුකරන ලද කාර්යයකි. වර්තමානයේ නේපාල රජය ඔවුන්ගෙන් එම ගල් කැටයම ආරක්ෂා කිරිම සඳහා සිද්ධාර්ථ මහබෝධි සත්වයන්ගේ පා සටහනට ඉහළින් ආරක්ෂාව පිණිස තබා ඇත.
අශෝක ස්ථම්භයට සහ මායාදේවී පන්සලට පසෙකින් සංරක්ෂණය කර ඇති පොකුණක් දක්නට ලැබෙන අතර, එය නිසැකයෙන්ම මහාමායා දේවිය ප්‍රසවයෙන් පසුව ස්නානය කළ පොකුණ බව පිළිගනු ලැබේ. හියුං සාංගේ දේශාටක වාර්තාවලින් ද එය තහවුරු වී ඇත. අනෙකුත් ස්මාරක අතර මථුරා ශෛලියට අයත් තිත් සහිත වැලිගලෙන් කළ බුදුරජාණන් වහන්සේගේ සිරස ක්‍රි.ව. 9,10 සියවස වලට අයත් මංජු ශ්‍රී මෛත්‍රිය අවලෝකිතේශ්වර සහ බුදුහිමියන්ගේ යමක මහා ප්‍රාතිහාර්යය විදහා දැක්වෙන ප්‍රතිමා ප්‍රධාන තැනක් ගනී. මුළු ලුම්බිණි පුදබිම පුරාම කුඩා චෛත්‍යය රාශියක් ඇති අතර ඒවා නේපාල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මනාව සංවර්ධනය කර ඇත.
ලුම්බිණි සංවර්ධන අධිකාරිය
ලුම්බිණිය අද ලෝක උරුමයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන ඇත. අද ලුම්බිණි උද්‍යානය මැනවින් සංවර්ධනය කරනු ලැබූ දර්ශනීය බිම් පෙදෙසකි. මහායාන සහ ථේරවාද සියලු බෞද්ධ රටවල්හි සිද්ධස්ථාන පිහිටුවීම සඳහා ස්ථාන වෙන්කර ඇත. ඒ අනුව ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ පාලනය යටතේ පවතින ඉන්දීය මහාබෝධි සමාගමට සහ ශ්‍රී ලංකා රජයට වෙන් වශයෙන් ස්ථාන වෙන් කරනු ලැබ ඇත.
ලුම්බිණි සංවර්ධන අධිකාරියේ කටයුතු සිදුවීමට ප්‍රථම පූජා පරිශ්‍රයේද විහාර දෙකක් පැවතුණු අතර, අදටත් එම විහාර දෙක ඒ අයුරින්ම පවත්වා ගෙන යාමට ඉඩ සලසා ඇත. 1956 දී ආරම්භ කරන ලද ලුම්බිණි ධර්මෝදය සමිති ධර්මපාල විහාරය ඉන් එකකි.
අනෙක් විහාරය මහායාන පිළිවෙත් අනුව දෛනික පුද පූජා පවත්වන එසේම දෙසැම්බර් මාසයේදී මහා සාම පූජාවක්ද මෙහෙයවන ධර්මස්වාමි මහාරාජ බුද්ධ විහාරය නමින් හැඳින්වෙන ටිබෙට් පන්සලයි.
ලුම්බිණිය ආසන්න වැදගත් ස්ථාන මෑතකදී කරන ලද කැණීම් වලදී ලුම්බිණි පුදබිම අවට වැදගත් ස්ථාන කීපයක් හඳුනා ගෙන ඇත. ලුම්බිණියට කි.මී. 27 ක් බටහිරින් ඇති නිලාර්කොට් ප්‍රදේශය පැරැණි කපිලවස්තු රාජධානියේම කොටසක් ලෙස තහවුරු වී ඇත. මෙහි ආරක්ෂිත පවුරුවලින් සහ දොරටුවලින් වටවුණු මාලිගයක නටබුන් හමුවී ඇත.
නිලිගාවා යන ප්‍රදේශයෙන් හමුවී ඇති අශෝක කුලුනක නටබුන් අනුව එම ස්ථානය කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ උපන් ස්ථානය ලෙස සැලකේ. මහාමායා දේවියගේ , ප්‍රජාපතී දෙවියගේ සහ යශෝධරා දේවියගේ නිජබිම වන දෙව්දහ නුවර කෝලිය රාජධානියට අයත් වන අතර, එය ලුම්බිණියට කි.මී.57 ක් ඊසාන දිගින් පිහිටා ඇත.
ජරාහි යන නමින් හැඳින්වෙන ගංතෙර ගඩොලින් කරන ලද ස්ථූපයක නටබුන් හමුවී ඇති අතර,එය ගෞතම බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් පසු උන්වහන්සේගේ මව්පස ඥාතීන් වෙනුවෙන් මෙම ප්‍රදේශයේ (දෙව්දහ) රාම ග්‍රාම රජු වෙත ලැබුණු සර්වඥ ධාතුන් වහන්සේලා අටෙන් පංගුව නිධන් කළ ස්ථූපය බවට විශ්වාස කෙරේ.
ලුම්බිණි ගමන් මඟ
ඉන්දු නේපාල දේශ සීමාවේ ඉන්දීය පැත්තේ ඇති නගරය සොනොලී නමින් හැඳින්වේ. එහි සිට ලුම්බිණියට දුර කි.මී.25 කි.
නේපාලය තුළ දේශ සීමාව ආසන්නයේ ඇති නගරය බයිරාවා (සිද්ධාර්ථ නගර්) වන අතර නේපාලයට ආසන්න ඉන්දීය ප්‍රධාන නගරය ගොරක්පූර් නමින් හැඳින්වේ. මෙම නගරය දුම්රිය සහ බස් සේවාවලින් ඉන්දියාවේ චෙන්නායි නගරයට පවා ශීඝ්‍රගාමී දුම්රිය සේවා ක්‍රියාත්මක වේ. යුද ගුවන් තොටුපළක්ද ඇත. ගොරොක්පූර් සිට ලුම්බිණියට ඇති දුර කි.මී. 123 කි. ලුම්බිණියේ සිට කපිලවස්තු වලට දුර කි.මී. 88
මායා දේවිය සිය පුත් කුමරා සමඟ පෙරහරෙන් කිඹුල්වත් පුරයට වැඩම කරවූහ. යැයි පසුගිය කළාපයේ සඳහන් කැරිණි. අද එතැන් සිට ...
එදා සවස සුදෙවුන් මහ රජතුමාගේ ගුරුවරයකු වු අසිත තවුසා මේ කුමරු දකිනු රිසියෙන් රජ මාලිගයට පැමිණියේය. රජතුමා ද මොහු දැක පිළිගෙන මාලිගය තුළට කැඳවා අස්නෙක හිඳුවා පසෙක සිටියේ ය. එසේ සිටි රජතුමා වෙත අසිත තවුසා විසින් “මහරජ පුතෙක් උපන්නේලු අප ද ඒ කුමරු දක්නා රිස්සම්හ” යි කීය. ඒ ඇසූ රජතුමා මාලිගය තුළට ගොස් කුමරු වඩාගෙනවුත් “පුත, තාපසයන් වහන්සේ වැඳ පින්සිදු කර ගන්නැ” යි කියා තවුසා දෙසට කුමරු යොමු කළේ ය. ඒ මොහොතේ කුමරුගේ දෙපතුල් පෙරැළී ගොස් තවුස්තුමාගේ හිස මත්තෙහි පිහිටියේ ය.
අසිත තාපසතුමා දහන් වඩා සෘද්ධි බල උපදවාගත් පෙරත්, මතුත් කාලය බොහෝ දුර දැකිය හැකි කෙනෙක් විය. එතුමා සිය නුවණින් අනාගතය බැලීය. අසිත තාපසතුමා වහා හුනස්නෙන් නැගිට දොහොත් මුදුන් තබා කුමරු වැන්දේ ය. එය දුටු සුදොවුන් රජතුමා පුදුමයට පැමිණ මහත් ප්‍රේමයෙන් කුමරුගේ දෙපතුල් සිය නළල මත්තෙහි තබාගෙන වැන්දේ ය.
අනතුරුව අසිත තාපසතුමා සිනාසී හැඬුයේ ය. එසේ කළේ කවර හෙයින්දැයි විමසූ විට “ මේ කුමරා මතු බුදුවෙයි” වහන්ස, පළමු මා සතුටු වූයේ එබැවිනි, එහෙත් බුදු වන අසිරිය දැකීමට පෙර මා මරණයට පත් වන්නේ ය එය සලකා හැඩිමියි කීය.
අසිත තාපසතුමා රජමැදුරෙන් නික්ම සිය නැගණියගේ නිවසට ගොස් ඇයගේ පුත්‍රයා වූ නාලක කුමරා කැඳවා “සුදෙවුන් රජතුමාගේ පුත් කුමරු ගිහි ගෙයින් නික්ම පැවිදිව බුදුවෙයි. එබැවින් ඔබ වහා ගිහි ගෙය හැර එතුමා නමින් පැවිදි වන්නැයි කීය. ඒ කුමරා බුදුවීමෙන් පසුව ඒ අනුශාසනා ලබා සසර දුකෙන් නිදහස් වන්නැයි නාලක කුමරුට කීය. එය ඇසූ නාලක කුමරාද හිමවතට ගොස් තවුස් දම් වඩමින් විසීය.
සිදුහත් කුමරා උපන් දවසින් පස්වන දා සුදෙවුන් රජතුමා විසින් බමුණන් එකසිය අටදෙනෙකු කැඳවා සංග්‍රහ කළේ ය. අනතුරුව කුමරා පෙන්වා කුමරාට නමක් තබන ලෙස කීය. ඔවුනතුරෙන් අන් හැමට වඩා උගත් බමුණෝ අට දෙනෙකු විය. රාම, ධජ, ලක්ඛණ, මන්ති, කොණ්ඩඤ්ඤ, භෝජ, සුයාම, සුදත්ත එම අට දෙනාය. ඒ අට දෙනා අතරින් රාම, ධජ, ලක්ඛණ යන තිදෙනා මේ කුමරා ගිහිව සිටියොත් සත්විති රජවෙති. පැවිදි වුවොත් බුදුවෙතියි කීය. ඉතිරි පස් දෙනා මේ කුමරා පැවිදිව බුදුවන බව කීය. මේ කුමරා ලොවට අර්ථ (යහපත) ඇත්තෝ වන බැවින් “සිද්ධාර්ථ” (සිදුහත්) නම් වෙතියි නම් තැබූහ.
තම පුතනුවන් කුමක් දැක කලකිරී පැවිදි වන්නේදැයි සුදොවුන් රජතුමා විමසීය. මහල්ලකු, ලෙඩකු, මළ සිරුරක් සහ පැවිද්දකු යන පෙර නිමිති සතර දැක පැවිදි වන බව බමුණෝ කීහ.
සිය පුතු පැවිදි වනවාට වඩා සක්විති රජවනු දැකීමට කැමැති පිය රජතුමා පෙර නිමිති සතර හමු නොවන සේ සලසන්නට ඉටා ගත්තේ ය.
සිදුහත් කුමරා උපන් සත්වන දින මායාදේවිය කළුරිය කර තුසිත දෙව් ලොව උපත ලැබුවා ය. අනතුරුව ප්‍රජාපතී ගෞතමී දේවි සුදොවුන් රජතුමාට අග මෙහෙසිය වූවා ය. ප්‍රජාපතී ගෝතමී දේවිය සිදුහත් කුමරා දරු තන්හි තබා වඩා ගත්තී ය.
සිදුහත් කුමරු පස්මැසි සමයෙහි සුදොවුන් පිය මහරජතුමාගේ වප් මඟුල් උළෙලක් විය. රජතුමා ඒ සඳහා කෙතට යන විට කුමරාද රන්සිව් ගෙයකින් ගෙන්වා ගත්තේ ය. එහි වූ දඹ ගසක් යට යහනක් පනවා උඩු වියන් හා වට තිර ඇද කුමරා එහි සතපවා බලා ගන්නට කිරි මව්වරුන් රඳවා රජු උළෙලට ගියේ ය. ටික වේලාවකින් පසු මහ පිරිසක් සමඟ පවත්වන උළෙල බලන්නට කිරි මවුද තිරයෙන් පිටත අවුත් සිටියහ.
ඒ අතරතුර කුමරු වට පිට බලා කිසිවකුත් නොදැක වහා නැගිට යහනෙහිම පළක් බැඳ ගෙන ආනාපානාසති භාවනාව වඩා පළමු දහනට සමවැද හුන්නේ ය. ටික වේලාවකට පසු තිරය ඔසොවා ඇතුළු වූ විට කුමරු උන්සැටි දැක මවිතව රජතුමාට ඒ බව දැන්වීය. රජු පැමිණ එය දැක දරාගත නොහැකි සෙනෙහසින් දොහොත් එක්කොට නඟා “පුත මා ඔබට මේ කරන දෙවන වැඳුමයැයි කියා දොහොත් මුදුන් තබා වැන්දේ ය.
සිප් සතර උගන්වන්නට සුදුසු වයස පැමිණි කළ සුදොවුන් රජතුමා ඊට සුදුසු ගුරුවරයකු විමසා “සර්වමිත්‍ර” නම් බමුණු පඬිතුමා රජ මැදුරට ගෙන්වා ගෙන ඉගැන්වීය. පඬිවරයා දත් හැම කුමරා ද ටික කලකින් දැන නිම කළේ ය.
සිදුහත් උපත සිදුවූ බුද්ධභූමි වන්දනාවේ සිව්වන කොටසයි මේ. ඉකුත් බිනර පුර අටවක පෝදා (සැප්තැම්බර් 02) පත්‍රයේ ලුම්බිණි පුදබිම සහ වැදගත් ස්ථාන කීපයක් අපි වන්දනා කළෙමු. කොටස් වශයෙන් පළවන මෙම බුද්ධ භූමි වන්දනාවේදී අසිරිමත් බෝසත් සිරිත සිහියට නගා ගනිමු.
සිදුහත් කුමරුන් සඳහා ඉදිවූ මාලිගා
උතුරු ඉන්දියාව (දඹදිව) කාලගුණය සෘතු අනුව වෙනස් වෙයි. හේමන්ත සෘතුව, ගිම්හාන සෘතුව, වසත් සෘතුව යනුවෙන් සෘතු තුනකට වෙන්වී තිබිණි. මේ සඳහා සුද්ධෝදන මහ රජතුමා තම පුතු සක්විති රජ කෙනෙකු වනු දැකීම අරමුණු කර ගනිමින් ඒ සඳහා පුතුට සොළොස් වයස් වූ සමයෙහි හැම සැප පහසුකමක්ම ලබාදීමට කටයුතු කරන ලදී. මේ සඳහා සියලු පහසුකම් සහිතව සෘතු තුනට සරිලන මාලිගා තුනක් නිර්මාණය කරන ලදී.
රම්‍ය මාලිගාව
එම මාලිගාව මහ රජතුමා නිර්මාණය කරන ලද්දේ හේමන්ත සෘතුව සඳහාය. මේ මාලිගාව මහල් නවයකින් යුක්ත විය.
සුරම්‍ය මාලිගාව
ගිම්හාන සෘතුව සඳහා මහ රජතුමන් විසින් නිර්මාණය කරන ලද සුරම්‍ය මාලිගාව මහල් පහකින් යුක්ත විය.
ශුභ මාලිගාව
මහරජතුමන් ගිම්හාන සෘතුව සඳහා ඉදිකරන ලද ශුභ මාලිගාව මහල් හතකින් යුක්ත විය. සිදුහත් කුමරා මේ මාලිගා තුනෙහි පහස ලබමින් මහත් රජ සැප විඳින ලදී.
තරුණ සිදුහත් කුමාරයා සොළොස් වන වියට පැමිණ සිටි අතර ගිහි ජීවිතය තුළ තව දුරටත් තබා ගැනීමේ අරමුණ මත මහරජතුමා සිදුහත් කුමරුන් හට විවාහ මංගල්‍යය සූදානම් කරන ලදී. සිය අදහස ඤාතීන් වෙතද දැන්වූහ. රජමාලිගාව තුළ සිටම කුමරා ශිල්ප උගත් බැවින් සිප් සතර නොඋගත්තකු ලෙස නෑසියන් කියා එවූහ. ඒ බව පිය රජතුමන් පුත් කුමාරයා වෙත ද දැන්වීය. එවිට දින නියම කොට නෑයන් රැස්කරවා ශිල්ප දැක්වීය. ඉන් ප්‍රසාදයටපත් ශාක්‍ය රජහු තම දුවරුන් සරසා එවුහ. සිදුහත් කුමරා සුප්පබුද්ධගේ දුවනිය වූ භද්‍රකාංචනා (යශෝධරා) කුමරිය අග මෙහෙසිය කොට සරණ පාවා ගත්තේ ය. අනතුරුව සුදොවුන් රජතුමා එම දෙදෙනාට එක්විටම කිරුළු පළඳවා රාජ්‍ය බාර කළේ ය. එතැන් පටන් තෙළෙස්වසක් රජ සැප වින්දේය. සිද්ධාර්ථ කුමාරයා නිරතුරුවම උයන් සිරි විඳීමට පිටත් විය. ජීවිතය පිළිබඳව හා මිනිසුන් පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවූ අතර මිනිස් ජීවිතය පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක ද නිරත විය. සිදුහත් කුමරු දිනක් අතර මගදී බොහෝ මහලු පුද්ගලයෙකු දකින ලදී. මේ පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක නිරත විය. දෙවන දින ලෙඩෙක් දැකීම තුළ සිත තවත් කම්පනයට පත්විය. තවත් දිනක මළ සිරුරක්ද සිව්වනුව බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන ලද පැවිද්දෙක් දැක පෙර එවැන්නක් නොදුටු බැවින් රියැදුරාගෙන් ඒ කවුරුදැයි අසා දැන ගිහි සැපතට කලකිරී පැවිද්දට සිත නැමීය.
උයනට පැමිණි රජ වාසල පණිවිඩකරුවෙකු විසින් සිදුහත් කුමරුනි, ඔබගේ දේවියට පුත් රුවනක් ලැබූ බව දන්වා සිටින ලදී. මේ මොහොතේ සිදුහත් කුමරුගේ මුවින් “රාහුලයෙක් උපන, බැම්මෙක් පහළ වී යැ” යි වචන පිටවිය. සිඳුහත් රජතුමා කී වචන දුතයා ගොස් මහරජතුමා වෙත දැන්වීය. රජතුමා එය අසා “එසේ නම් මා මුනුබුරා මේතැන්පටන් රාහුල නම් වේවා” යි කීය.
සිදුහත් රජුද මාලිගාවට ආයේ ය. මග දෙපස මිනිස්සු රැස්කකා එතුමා දක්නට සැදී සිටියහ. කිසාගෝතමී නම් රජකුමරිය එතුමා දැක මෙවැන්නෙක් යම් මවකට හෝ පියෙකුට පුත් වී නම් ඒ මවත්, පියාත් නිවී සැනහී ගියෝ වෙති. යම් ස්ත්‍රියකට මෙවැන්නෙක් ස්වාමියකුවී නම් ඇය නිවුණු තැනැත්තියක යන අරුත් ඇති,
නිබ්බුතා නූන සාමාතා
නිබ්බුතො නුන සෝ පිතා
නිබ්බුතා නූන සානාරී
යස්සායං ඊදිසො පති
යන ස්තුති ගීතය ගැයුවාය. එය ඇසූ සිදුහත් රජතුමා ඇය කී නිවීම කෙසේ නම් වන දැයෙක්දැයි සිතන්නට වුයේය. රාග, ද්වේෂ, මෝහාදී ගිනි නිවීමෙන්ම සිත නිවුණේයැයි එතුමාට හැඟිණි. ඇය මට මහඟු අස්නක් ඇස්වුවායැයි සතුටුව සිය ගෙල පැළැඳි අගනා මුතුහර ගලවා ඇයට පඬුරු කොට යැවීය.
සිදුහත් රජතුමා නැවත මාලිගය වෙත පැමිණ රෑ බොජුන් ගෙන නිදන වේලාව ළං වූ යෙන් සිරියහන වෙත ගියේ ය. වෙනදා මෙන් එදින ද දෙවඟනන්සේ හැඳ පැළැඳගත් නාටිකාවෝ නැටුම්, ගැයුම්, වැයුම්, ඇරැඹුහ. පැවිද්ද සඳහාම සිත යොමු වූ සිදුහත් රජතුමා ඔවුනගේ ක්‍රීඩා සඳහා සිත් නොයවා නිදා ගත්තේ ය. එතුමා නිදා සිටිනු දුටු නාටිකාවෝ ද සිය වාද්‍ය භාණ්ඩ ඒ ඒ තැන්හිම තබා හුන් හුන් තැනම නිදාගත්හ.
ටික වේලාවකින් සිදුහත් රජ නින්දෙන් පිබිදියේ ය. නිදන නාටිකාවන්ගේ විප්‍රකාරය දැක පළමුව දෙවඟනන් සේ සිටි මොවුන් දැන මළ කඳන් වැන්නහ. දෙවි විමනක සිරි ඉසිලූ මෙම පහය දැන් අමු සොහොනක් වැන්නයි සිතීය. මුළු තුන් ලොවම ගිනිගත් ගෙයක් සේ හැඟිණ. “අදම ගිහි ගෙයින් නික්මෙමි” යි අදහස පහළ විය.
සිදුහත් කුමරා යහනින් නැගී සිටියේ ය. දොර ළඟට ගොස් එහි නිදා සිටි ඡන්න ඇමැති පුබුදුවා කන්ථක අසු පිළියෙළ කරවීය. අනතුරුව පුතු දක්නා රිසිව යසෝදරා දේවිය නිදන ගෙට ගොස් සෙමෙන් දොර හළේ ය. ඕ රහල් කුමරු ලෙහි හොවා ගෙන නිදන්නීය. සිදුහත් රජ එළිපතැ පය තබා සිට ඇය බලා දැන් ගොස් පුතු වඩා ගත්තොත් ඇය පිබිදෙතියි. එයින් පැවිදිවන්නට යන ගමනට බාධා වෙතියි බුදුවැ අවුත්ම පුතු දකිනෙමියි සිතීය. එසේ සිතා සිත සනසා ගත්තේ ය. ආපසු හැරීගොස් පහයෙන් බැස කන්ථක අසුපිට නැග ඡන්න අසූ පිටි පස නංවා නුවරින් පිටත් විය. ඒ ඇසළ පුන් පෝදාය.
බෝසත්තුමා එක් රැයින්ම තිස් යොදුන් මග ගෙවා අරුණු නගින වේලෙහි අනෝමා නදිය තෙරට පැමිණියේ ය. අනතුරුව අසු පිටින්ම ගඟෙන් එගොඩ විය. එහිදී අසූ පිටින් බැස සුදු වැලිතලා වෙහි වැඩ සිට “ජන්නයිනි, තෙපි මා පැළැදි මේ අභරණත්, අසුත්ගෙන කිඹුල්වතට යවු” ගොස් ඒ හැමට මා පැවිදිවූ, බව දන්වවු, පසුව මම තොප පැවිදි කරවා ගන්නෙමියි කීය. ස්වාමීනි, මමත් පැවිදි වන්නෙමියි ඡන්න කීය.
“ඡන්නයිනි, තොප දැන්ම පැවිදි වනු නොවටී, මාගේ පියාණන් වහන්සේ සහ මෑණියන් වහන්සේත් යශෝධරාවත් මා පැවිදිවූ බව නොදනිති. එබැවින් දැන් තෙපි යවු, එසේ ගොස් ඒ හැමට මා පැවිදි වූ බව දන්වවු. පසුව මම තොප පැවිදි කරවා ගන්නෙමි, යි කීය. එසේ කියා ආභරණත්, අශ්වයාත් ඡන්න වෙත බාර කළහ.
අනතුරුව එතුමා දකුණතින් කඩුව ගෙන වමතින් කෙස් වැටිය අල්ලා සිඳ දැමීය. අනතුරුව ආජීව අෂ්ටමක ශීලය සමාදන්ව තවුස් පැවිද්දෙන් පැවිදිවිය. ඡන්නද ආභරණත්, අශ්වයාත් ගෙන නැවතත් මාලිගයට යන්නට සැරසිණ. බෝසත්තුමා ඔවුනට සමු දී වෙන්ව ගියේ ය.
ඊට නොබෝ වේලාවකින් අශ්වයා පි‍්‍රය විප්‍ර යෝග දුකින් පෙළී එහිම වැටී මළේ ය. ඡන්නද හඬමින්, වැළපෙමින් කිඹුල්වතට ගොස් සුදොවුන් මහ රජතුමා ඇතුළු හැමට ඒ පුවත් සියල්ල සැළ කළේ ය.
සිදුහත් මහ බෝධිසත්වයන් වහන්සේ අනෝමා නදී තීරයෙන් නික්ම අනුපිය නුවර අඹ වනයෙහි පැවිදි සුවයෙන් සතියක් කල් ගත කළහ. අනතුරුව ගංගා නදියෙන් එතෙරව පෙරවරුවේම රජගහනුවරට පැමිණියහ. එහිදී පිඬුසිඟා හැසිරුණේය. මහ බෝධිසත්වයන් වහන්සේගේ රූ සිරිදුටු එනුවර වැසියෝ නොයෙක් අදහස් දක්වන්නට විය. එහෙත් නුවණැතියන් මේ “අන් කිසිවෙක් නොව ලොවට වැඩ ඇති උතුමෙක් යැ”යි කීහ.
මහ බෝධිසත්වයන් වහන්සේ පිඬු සිඟා වඩින අයුරු බිම්බිසාර මහ රජතුමා රජ මැදුරේ සී මැදුරු කවුළුවෙන් දැක ඇමැතියන් ගෙන්වා “වහා ගොස් එතුමා ගැන තොරතුරු සොයා බලා දැන එන්නැ”යි යැවීය.
මහ බෝසතාණෝද පිඬු සිඟා ගෙන, එනුවරට පැමිණෙන පැවිද්දන් ලැගුම් ගන්නා තැන් මිනිසුන්ගෙන් අසා දැන පාණ්ඩව පර්වතයෙහි නැගෙනහිර, බලා වැඩියහ. එහි වැඩ හිඳිමින් දන් වැළදූහ. දූතයන් වෙතින් බෝසතාණෝ එහි වැඩ සිටින පුවත අසා බිම්බිසාර රජතුමාද සපිරිවරින් එතුමන් දක්නට ගියේය. එසේ දැක කතාබස් කොට “මේ තම මිත්‍ර සිදුහත් ගෞතමයන් වහන්සේයැයි හැඳිනගෙන ඔබ වහන්සේ සතරපෙර නිමිති දැක පැවිදිව බුදුවෙතියි කලකට පෙර මා අසා තිබේ. බුදුවීමෙන් වැඩිකල් නොයා මාගේ නුවරට වඩින්නැ”යි ආරාධනා කොට බිම්බිසාර රජතුමා ආපසු ගියේය.
බෝධි සත්වයන් වහන්සේ “භාර්ගව” නම් තවුස්තුමාගේ අසපුවකට ගොස් ඔහු වෙතින් දහම් ඉගෙන පිරිසිඳ බලා එය නිවනට මගක් නොවන බව දැන ඉන් නික්ම ගියහ.
අනතුරුව නොබෝ දිනකින් විසල්පුර වෙත පැමිණ එහි අසපුවක වසන ආළාර නම් තවුස්වරයෙකු සිටිනා බව අසා එහි ගොස් ඔහු වෙතින් දහම් ඉගෙන ගත්හ.
එහිදී කසින භාවනාදිය වඩා ලබන පළමුවන, දෙවන, තෙවන , සිව්වන, යන රූපාවචර ධ්‍යාන සතරත් රූප විරාග භාවනා වඩා ලබන ආකාසානංචායතන විඤ්ඤාණංචායතන ආකිංචඤ්ඤායතන යන අරූපාවචර ධ්‍යාන තුනද යන සත් සමාපත්තීන් ලැබූහ. අනතුරුව එහි තවදුරටත් වැඩ සිටීමෙන් ඉන් එහා පලක් නැතැයි දැන එතැනින්ද නික්ම ගියහ.
අනතුරුව මගධ රට වසන “උදාක නම් තවුස්වරයා ගැන දැන එහිද ගොස් ඔහු දත් දහම් ඉගෙන පිළිපැද අටවන සමවත නම් වූ නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යාන සමාපත්තිය ලදහ. අනතුරුව එහි විසීමෙන් ඉන් එහා යමක් දත නොහැකියැයි දැන එයින් නික්ම ගියහ. මෙසේ සැරිසරන මහ බෝධිසත්වයන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩ එහි නේරංජරා නදිය අද්දර වනය දැක, එය තවුසන්ට යෝග්‍යම තැනකැයි සිතා එහි නතරවූහ.
එතුමන් වහන්සේ උදෙසා පැවිදිව සිටි කොණ්ඩඤ්ඤ ,භද්දිය, වප්ප, මහානාම ,අස්සජි යන පස්දෙනා එ සමයෙහි එහි අවුත් එතුමන්ට උවැටන් කරමින් උන්හ. මහ බෝසතාණන් වහන්සේ උරුවෙල් දනව්වෙහි වසමින් පළමුවෙන් මෛත්‍රී භාවනාවෙන් කල් යැවූහ. අනතුරුව වන වැසි තවුසනට බිය ඇති වන්නට හේතු විමසා බැලූහ. ඒ හැම බියට කරුණු වන්නේ ඔවුන් තුළම වූ අශුද්ධ ගති ගුණයැයි දුටුහ. තමන් තුළ එවැනි අශුද්ධ පැවැත්මක් නැති බැවින් බිය වන්නට කරුණු නැතැයිද සැලකූහ.
දුෂ්කර කි‍්‍රයා පිරීම
පවත්තඵල භෝජන නම් වූ කෙනෙකු නොවැවූ, ස්වභාවයෙන් වැවුණු ගස්වැල්වල පල වැල වළඳමින් දිවි ගෙවූහ. අනතුරුව එයද හැරදමා තමන් වහන්සේ උන් ගස මුලට කෙනකු විසින් කඩන ලද නොව ස්වයංපතිත වූ ගෙඩි හෝ කොළ පමණෙකින් දිවි ගෙවූහ. මෙසේ මහ බෝධිසත්වයන් වහන්සේ තවුසන් විසින් පුරුදු කරන විවිධ වූ දුෂ්කර තපස් ව්‍රත වඩමින් ටිකින් ටික ආහාරද අඩු කෙරෙමින් ගොස් අන්තිමේදී කොල්ලු හෝ කඩල තැම්බූ දිය ස්වල්පයක් පමණක් ආහාරකොට ගත්හ. එම අල්ප ආහාර හේතුවෙන් එතුමන්ගේ සිරුර ඇට සැකිල්ලක් මෙන් කෙට්ටු විය. එසේ සිදුහත් මහ බෝසතාණන් වීර්යය නොහැර හින්දු ජෛන යෝගීහු පුරුදු කරන හුස්ම නතර කිරීමේ යෝග ක්‍රමයක් වූ අප්‍රාණක ධ්‍යානය වැඩූහ.
දිනක් මහ බෝසතාණෝ කය දුබල බැවින් මුසපත්ව වැටුණහ.මඳ වේලාවකින් සිහි ලබා නැගී සිටියහ. තමන් වහන්සේ එතෙක් කල් පිරූ තවුස් දම් විමසා බැලූහ. තමන් වහන්සේ කලක් බොහෝ වෙහෙස විඳිමින් දුෂ්කර ව්‍රත පුරමින් සිටියද ඉන් වූ පලක් නැති බව දුටහ.
රජ මැදුරේදී වින්ද රජ සැපතත් ඊළඟට මෙතෙක් කයට දුන් දැඩි දුක් පීඩාත් යන දෙකම නිසි මග නොවේයැයි ද එහෙයින් එය හැර දමා මැදු මග ගත යුතුයැයි ද සිතූහ.
නැවත අතීතයට සිත යොමා බලා කුඩා කල වප් මගුල් දා තමන් වැඩූ ආනාපාන සතිය සිහිකොට එය වඩන්නට ඉටා ගත්හ. සිරුරෙහි බලයක් නැතිව එය වඩනු නොහැක්කේය. එබැවින් උරුවෙල් දනව්වෙහි පිඬු පිණිස හැසිර වළඳා ශරීර ශක්තිය උපදවා ගත්හ.
මහ බෝධි සත්වයන් වහන්සේ පිඬු සිඟා වළඳා කය සතප්වනු දුටු පස්වග තවුසෝ “ බුදුවිය නොහී, වැර වැඩුම , හැර දමා සැප පහසු ගන්නටය, වන්හයි කලකිරී එතුමා තනි කොට හැර එයින් නික්ම බරණැස බලා ගියහ.
ශරීර ශක්තිය ලත් පසු බෝසත්තුමා ආනාපානසතිය වඩන්නට පටන් ගත්හ. මෙසේ බවුන් වඩන බෝසතාණන් වහන්සේගේ නුවණ මුහුකුරා යන්නට වන්හ.
කෙසේ හෝ බුද්ධත්වය ලබා ගැනීම අරමුණු කර ගනිමින් වීර්ය වඩන ලද බෝසතාණන් වහන්සේගේ දුෂ්කර ජීවිතයට හයවන වර්ෂයේ අවසාන භාගයට පැමිණි තිබූ අතර උන්වහන්සේ දුංගේශ්වරී කඳු වැටියේ සිට සේනානි නියම් ගමට වැඩමවන ලදී.
මහාබෝධි සත්වයන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන ලද ප්‍රාග්බෝධි කඳුවැටිය වෙත යාම ඉතා දුෂ්කර කාර්යයකි. නමුත් ඔබ පැමිණි දඹදිව වන්දනා ගමනේදී අප සැමට ධර්මය අවබෝධ කරදීමට අපගේ මෝහය දුරු කරදීමට අප සැමට මාර්ගය පෙන්වා දුන් මහබෝධි සත්වයන් වහන්සේ වසර හයක දුෂ්කර ව්‍රත අනුගමනය කරන ලද ඒ බිමට මොහොතකට හෝ ගොඩවී එහි ඇති ටිබෙට් ලාමාවරුන් විසින් වෙහෙස නිවා ගැනීම සඳහා ලබාදෙන බෙලිමල් කෝප්පයකද රස විඳ ගතේ වෙහෙස නිවා ගනිමින් අප මහාබෝධි සත්වයන් වහන්සේ දුෂ්කර ජීවිතය ගත කර අයුරු දැක්වෙන පිළිම වහන්සේ වන්දනා කර මදක් නිහඬව සිට අනන්ත බුදුගුණ මොහොතකට හදවතින් සිහිපත් කරන්න.
දුංගේශ්වරී යාම සඳහා බුද්ධගයාවේ සිට බුද්ධගයාවට යන ප්‍රධාන පාරේ ටික දුරක් ගිය විට නේරංජරා ගඟේ වම් ඉවුර හරහා කි.මී. 15 ක් පමණ ගිය විට දුංගේශ්වරී කඳුවැටිය දැකගත හැකිය.