, දඹදිව වන්දනා දඹදිව වන්දනා - BUDDHIST PILGRIMAGE TOURS TO INDIA: සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 46 - 50

ක්‍රි.පූ. 6 වැනි සියවසේ සිට ක්‍රි.ව. 11 වන සියවස පමණ වන තෙක්‌ භාරතීය අධිරාජ්‍යයන්හි, දේශපාලන ප්‍රවණතා, යුද්ධ රාජ්‍ය මර්දනය මෙන්ම බාහිර ආක්‍රමණ, බෞද්ධ දර්ශනය මර්දනය සඳහා මැදිහත් වූ ආකාරය...

.

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 46 - 50

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 46

බුදුරජාණන් වහන්සේ වැඩ සිටි වත්ස ජනපදයේ ඉතිහාසය

වත්ස ජනපදය අවන්ති රටට උතුරෙන් යමුනා නදී තීරයෙහි පිහිටියේය. මෙයට වංස ජනපදය යැයිද ව්‍යවහාර විය. බුද්ධ කාලයේදී පරත්ත්‍ය රජුගේ පුත් උදේනි රජ එහි ආණ්ඩු කළේය. එකල අවන්ති රට රජු වූ චණ්ඩ පජ්ජෝත රජුගේ දූ වූ වාසුලදත්තා උදේනි රජුගේ අගමෙහෙසියක් වූවාය. බෝධි රාජ කුමාර තෙම උදේනි රජුගේ පුත්‍රයෙකි.

කෝසම්බි පුරය

කෝසම්බි හෙවත් කොසැඹෑ නුවර වංස දේශයේ අගනුවරයි. උදේනි රජ වූයේ මෙහිය. මෙය පිහිටියේ යමුනා නදී තීරයේයි. නදියෙන් යතොත් මෙහි සිට බරණැසට දුර යොදුන් 30 කි. මෙහි බද්ධිකාරාමය,ඝෝෂිතාරාමය, කුක්කුටාරාමය, පාවාරිකම්බවන විහාරය යැයි ප්‍රධාන විහාර සතරක් විය. භාග්‍යවතුන් වහන්සේගේ නව වන වස් සමයේදී මේ නගරයෙහි නදී තීරයේ උදකවන නම් උයනේදී පිණ්ඩෝල භාරද්වාජ තෙරුන්ගෙන් බණ අසා පැහැදී උදේන රජ බෞද්ධයෙක් විය. දැන් අලහබාද් නගරයේ සිට යොදුන් 30 ක් පමණ උතුරෙන් කොසම් නම් ගමක් පුරාතන කොසැඹෑ පුර පිහිටි පෙදෙස් ඇත.
කොසැඹෑ නුවර සිට කොසොල් රටට යන මාර්ගයේ චේතිය රට දෙසට හුරුව පිහිටියේයි සිතමි. පාරිලෙය්‍ය වනයට වඩිනා බුදුරජාණන් වහන්සේ මෙහි බාලකලෙනකාරාමයට වැඩමවා භගු තෙරුන්ට දහම් දෙසූ සේක. භග්ග ජනපදය වංස රටට ඇතුළත්ය. මෙහි සුං සුමාර ගිර නුවර සමීපයේ භේසකලා නම් වනයේ බුදුරජාණන් වහන්සේ අටවන වස් කාලය විසූ සේක.
වර්තමානයේ මේ ජනපදය උත්තර ප්‍රදේශයේ අලහාබාද් නගරයේ සිට බටහිරින් පිහිටා ඇත. මේ නගරය අසලින් ගංගා නම් ගග ගලා බසී.

කොසබෑ නුවර ඓතිහාසික තොරතුරු

වත්ස රටෙහි අගනුවර කොසබෑ නුවර පිළිබඳව ඈත අතීතයට දිව යන ඉතිහාසයක් තිබූ බවට සාධක නොයෙක් සාහිත්‍ය ග්‍රන්ථ තුළින් දැකගත හැකිය. රාජධානිය හස්ථිනාපුරයෙන් ඉවත් කොට කොසැබෑ නුවරට ගෙනාවේය. කොසබෑ නුවර ඓතිහාසික වැදගත්කම් උදේනි රජු සමයේ සිට ආරම්භ වෙයි. මෙම විචක්ෂු සහ උදයන අතර කාලය තුළ රජවරු 16 දෙනෙක් රජ කළහ. උදේනි රජතුමා සංස්කෘත සාහිත්‍ය තුළ ප්‍රධාන චරිතයක් වශයෙන් සලකුණු වී තිබේ. මොහු විරෝධාරය. එමෙන්ම කලාකාමී චරිතයකින් හෙබි අයෙකි.

යමුනා නදිය ඈතට දිස්වන අයුරු
උදේනි රජුගේ ප්‍රතාපවත් බව සහ ඉසුරුමත් බව නිසා සමකාලීන අන්‍ය රජවරු ඊර්ෂ්‍යා කළහ. අවසානයෙහි රජු වූ චණ්ඩ පප්ඡෝත රජු විසින් වරක් උදේනි රජතුමා උපක්‍රමයකින් සිරභාරයට ගන්නා ලදී. නමුත් පසුව චණ්ඩ පප්ඡෝත රජුගේ දියණිය වූ වාසුල දත්තා සමග ඇති වූ පේ‍්‍රම සම්බන්ධය නිසා ඉන් මිදී කොසබෑ නුවරට පලා ගියේය.
බෞද්ධ සාහිත්‍යයේ එන උදේනි රජු ඉතා ශ්‍රේෂ්ඨ පාලකයෙකි. මුල් අවදිය තුළ හින්දු භක්තිකයෙකි. ඔහු යුධකාමියෙකු වු හෙයින් තම යුද භටයන් බෞද්ධ වුවහොත් තම යුද ශක්තිය දුර්වල වේය යන බියක් ඔහු තුළ පැවතුණි. එම නිසා බුදුරජාණන් වහන්සේ හා වෛරයෙන් පසු වූ මාගන්ධියා තම බිසවක් වූ හෙයින් ඇගේ කීම් බස් අසා බුදු හිමි මුණ නොගැසීමට උත්සාහ කරන ලදී. බුදුරජාණන් වහන්සේට හා ශ්‍රාවකයන් වහන්සේලාට නොයෙක් නොයෙක් අයුරින් හිරිහැර කරන ලදී. රජතුමා විසින් පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේට දඬුවම් කළත් රාජ මාලිගාව තුළ ධර්මයේ පණිවුඩය ලබා දෙන්නට මූලික අඩිතාලමද උන්වහන්සේ විසින් සකස් කරන ලදී.

උදේනි රජ මාලිගාවේ නටබුන්ව ඇති ප්‍රාකාර බැම්ම
සාමාවති දේවියගේ සඳාදාසියවූ ඛුජ්ජුත්තරාගේ උදවු නිසා සාමාවති දේවියද ධර්මය වැළඳගත් අතර මාගන්ධිය විසින් සාමාවති දේවිය ඇතුළු දාසියන් 500 ක් සම්පූර්ණම ගිනිබත් කරන ලදී. මේ මරණයෙන් පසුව උදේනි රජතුමා බෞද්ධ උපාසකයෙක් බවට පත් විය. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටියදීම සඳුන් ලීයෙන් බුදු හිමිගේ පිළිරුවක් තනා විහාරයක තැන්පත් කොට වන්දනා මාන කළ බව සඳහන් වෙයි.
මෙම පිළිරුව සහිත විහාරය 7 වැනි සියවසෙහි මෙහි පැමිණි හියුංසාං ද දුටු බව එතුමාගේ දේශාටන වාර්තාවක සඳහන්ව ඇත. මාගන්ධියා බිසව උදේනි රජ හා විවාහ වූයේ බුදුරජාණන් වහන්සේගෙන් පළිගැනීම සඳහාය. බුදුරජාණන් වහන්සේ දිනක් කම්මස්ස ධම්ම නගරයට වඩින අවස්ථාවක මාගන්ධි බමුණා උන්වහන්සේගේ රුවට පැහැදී තම දියණිය විවාහ කරගන්නා ලෙස විවාහ යෝජනාවක් ඉදිරිපත් කළේය. මෙම අවස්ථාවේදී බුදු හිමියන් ශරීරයේ ඇති පිළිකුල් ස්වභාවය පිළිබඳව ධර්ම දේශනා කළහ.

එම ධර්මය අසා මාගන්ධි බමුණා හා බැමිණිය (මව සහ පියා) සෝවාන් ඵලයට පත් වූහ. නමුත් දියණිය මාගන්ධි, බුදුරජාණන් වහන්සේ තම සිරුරට අපහාස කළා යැයි සිතා බුදුහිමියන් පිළිබඳව වෛරයෙන් පසු වූවාය. මැය පසුව උදේනි රජුගේ බිසවක් බවට පත්වී රාජ අනුග්‍රහය ඇතිවම බුදුහිමියන්ට හා ශ්‍රාවකයන් වහන්සේලාට නොයෙක් අයුරින් හිරිහැර කළාය. එම රජුගේම බිසවක් වු සාමාවති දේවිය බෞද්ධ උපාසිකාවක් වීම හා සෝවාන් ඵලයට පත් වීම ඇගේ ක්‍රෝධ ගින්නට පිදුරු දැමීමක් බඳු විය. ක්‍රෝධයෙන් අන්ධ මාගන්ධියා විසින් සාමාවති දේවිය හා ඇගේ දාසියන් 500 දෙනෙකු මාලිගාවක සිරකොට වටින් ගිනි දමා පුළුස්සා මරණ ලදී. එම සිදුවීම සිදුවන විට උදේනි රජතුමා මාලිගයේ නොසිටියහ. මාලිගයට පැමිණි පසු සත්‍ය සිදුවීම දැනගත් එතුමා මාගන්ධියා හා ඇගේ ඥාතීන් සියලු දෙනා උපක්‍රමයකින් මාලිගාවට ගෙන්වා සාමාවතී මැරූ අයුරින්ම මරා දමන ලදී.

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 47

කොසැඹෑ නුවර 
සම්බුදු උපත සිදුවූ බුද්ධ භූමි වන්දනාවෙන් කොසඹෑ නුවර පිළිබඳ අවබෝධය ලබමු.

ඉතා සමෘද්ධිමත් ප්‍රදේශයක් වූ කොසඹෑනුවර මෙකල අලහබාද් පළාතේ කුඩා ග්‍රාමයකි. කෞෂම්බි” නමින් එය ප්‍රසිද්ධියට පත්ව ඇත. මෙහි තිබී සොයාගත් නටබුන් කොටස් මේ වන විට අලහබාද්හි කෞතුකාගාර දෙකක තැම්පත් කර ඇත.
උදේණි රජුගෙන් පසුව නරවාහන නොහොත් බෝධිරාජ කුමරු කොසැඹෑ නුවර රජ විය. ඔහු බෞද්ධයෙකි. එතුමා එම මාලිගය අතහැර සුංසුමාර ගිරියෙහි තම මාලිගය ඉදිකරවන ලදී. “ කොකනඳ” නමින් එම මාලිගය ප්‍රසිද්ධ වූයේ මෙය අපූර්ව නිර්මාණයක් වූ හෙයිනි. ජලාශයක් මැද කළු ගලෙන් නෙළුමක් තනා එම නෙළුම මත මාලිගය ඉදි කරන ලදී. බෝධිරාජ කුමරුන් හට දරු සම්පත් නොමැති වූ හෙයින් මොහුගෙන් පසුව කොසඹෑනුවර රජ පෙළපතක් පිළිබඳව සඳහන් නොවෙයි.
ඉන් පසු ධර්මාශෝක රජුගේ අශෝකාධිරාජ්‍යයට කොසඹෑ නුවරද යටත් විය ධර්මාශෝක රජුගේ ඇමතිවරයෙක් මෙම රට පාලනය කළේය. මෙම කාලයේ කොසැඹෑ නුවර භික්ෂූන් ගේ තත්ත්වය එතරම් හොඳ තත්ත්වයක නොතිබුණු බව අශෝක ස්ථම්භයේ ශිලා ලේඛනයෙන් පැහැදිලි වෙයි. මහායාන බුදු සමයේ විකාශනය මෙයට හේතු වන්නට ඇති බව සැළකිය හැකිය. අශෝක රජුගෙන් පසුව මෙය ශුංගවංශික රජවරුන්ට යටත් විය . මෙම කාලයෙහි වෘහස්පති මිත්‍ර (වයි සති මිත්‍ර) නම් රජෙක් පභෝෂා පතනම් පර්වතයෙහි කාෂ්‍යාපීය අරිහත් භික්ෂූන් සඳහා ලෙන් නිර්මාණය කළ බව ශිලා ලේඛන සහ මුද්‍රා වලින් ලද කරුණු වලින් පැහැදිලි වෙයි. මෙම පර්වතය කොසැඹෑනුවර සිට කි.මී. 13 ක් බටහිරින් දක්නට ලැබෙයි .
වර්ෂ 1934 දී කළ පළමු කැණීමේදී හමු වූ බුද්ධ ප්‍රතිමාවක ලියු ලිපියකට අනුව පැහැදිලි වන කරුණක් නම් කණිෂ්ක රජු තමන්ගේ රජකමෙන් දෙවන වසරෙහි කොසැඹෑ නුවර තමන් යටතට ගත් බවයි. කුෂාණ රජවරුන්ගෙන් පසුව කොසඹෑ නුවර භාරතීය රජවරුන්ගේ පාලනයට පත් විය. අවන්තියෙහි රජවරුද මෙය පාලනය කළ බවට සාධක මෙහිදී හමු වී ඇති කාසිවලින් පැහැදිලි වෙයි.

කොසඹෑනුවර විහාරාරාමවල නටබුන්
ක්‍රි.ව. 380 හි මෙය ගුප්ත වංශයටත් විය පාහියන් හිමියන් තම වාර්තාවෙහි කොසඹෑ නුවර ගැන මෙසේ සඳහන් කොට ඇත. මිගදාය (බරණැස – සාරානාත්) සිට යොදුන් 13 ක් පමණ වයඹ දෙසින් කෝසම්බි පවතියි. මෙහි ඝෝෂිතාරාම නමින් විහාරයක් ඇත.
මෙහි බුදුරදුන් වැඩ සිට ඇත. දැනුදු බොහෝ භික්ෂූන් වාසය කරති. නමුත් හත් වැනි සියවසෙහි හියුං ෂ්‍යාං පැමිණි කාලයෙහි එම විහාරය ගරා වැටෙන තත්ත්වයෙහි පැවති බව සඳහන් කරයි. එමෙන්ම කොසඹෑනුවර විහාර දහයක් නටබුන් අවස්ථාවෙහි පැවැති බව සඳහන් කොට ඇත. එම කාලයෙහි ද 300 ක් හීනයාන භික්ෂූන් වැඩ සිටි බව දක්වා ඇත. එතුමන් විසින් අඩි 60 ක් උස විහාරයක් පිළිබඳවද සඳහන් කොට ඇත.
එහි සඳුන් ලීයෙන් හැදූ බුද්ධ ප්‍රතිමාවක් තිබූ බව සඳහන් කිරීමෙන් පැහැදිලි වන්නේ මෙය උදේණි රජු විසින් තනවා වන්දනා මාන කළ ප්‍රතිමාව හා විහාරගෙය බවයි. මීට අමතරව ඝෝෂිත සිටු මැදුරේ නටබුන් තවත් විහාරයක් ඝෝෂිතාරාමයේ දම් සභා මණ්ඩපයේ ඉදිකළ අඩි 200 ක් උස චෛත්‍යයක් බුදු හිමි පැන් පහසු වූ ළිඳක් දුටු බව සටහන් කොට ඇත. මෙතුමා මහායානික ප්‍රසිද්ධ ආචාර්ය වසුබන්ධු හමු වූ බවද වසුබන්ධුගේ වැඩිමල් සොයුරු මෙහි ජීවත් වූ බවද කියයි. මොහු යෝග විද්‍යාවෙහි මුල ප්‍රවර්ථක විය.
හත්වෙනි සියවසෙහි සිට එකොළොස් වැනි සියවස තෙක් කෙළෙසකින් හෝ අශෝක අධිරාජ්‍යයාගේ පරපුරම රාජ්‍යය කළහ. දොළොස් වැනි සියවසෙහි අන්‍යාගමික ආක්‍රමණ කාලයෙහි සිට 1836 තෙක් කොසැඹෑ නුවර ඉතිහාසය. අඳුරෙහි ගිලී ගියේය. වර්තමාන ශ්‍රීය නැවත ගෙන ඒමේ ගෞරවය ජනරාල් කනිංහැම් තුමාට හිමිවෙයි. එතුමා පළමු වරට මෙම කොසැඹෑනුවර රාජ්‍යය සොයා නම් කරන ලදී. ඉන්පසු 1921-1922 කාලයෙහි දයාරාම සාහනීද 1934-35 කාලයෙහි නදීගෝපාල් මජුම්දාර් මහතාද කැණීම් කළේය. එතුමාගේ කැණීම් වලින් ඉතා වටිනා පුරාතණික වස්තු සොයාගන්නා ලදී. අවසාන කැණීම 1960-70 කාලයෙහි අලහබාද් විශ්ව විද්‍යාලයෙහි සහ දිල්ලි විශ්ව විද්‍යාලයෙහි පුරාවිද්‍යා අංශ එකතු වී ආචාර්ය පී .ආර්. ශර්මාගේ මූලිකත්වයෙන් සිදුකරන ලදී. වර්තමානයේ එහි යන ඔබට දැකිය හැකි පුරා විද්‍යා නටබුන්
1. කොසැඹෑ නුවර නගර ආරක්ෂක පවුර මෙයට පිටතින් දිය අගලක්ද තිබූ බව සඳහන්ය.
2. නගරයට පිවිසෙන නැඟෙනහිර වාහල්කඩවේ. මෙම විශේෂ ආරක්ෂක විධි විධාන යටතේ සැකසී තිබුණු බව දක්නට ලැබෙයි.
3. ඝෝෂිතාරාමය, කුක්කුටාරාමය, පාවරිකාරාමය යන විහාරවල නටබුන්
4. අශෝක ස්ථම්භය – දැනට අඩි 22 දක්වා ඇති අතර මෙහි හිස කඩා දමා ඇත. එම හිස සිංහරූප හතරක් සහිතව තිබී ඇත.
බුදුරදුන් පැන් පහසු වූ ළිඳක් හා නාන ගෙයක් මෙය අශෝක ස්ථම්භය ආසන්නයෙහි දක්නට ලැබෙයි.
උදේනි රාජ මාලිගය යමුනා නදිය අසබඩ සුන්දර වැලිතලාවට ඔබ්බෙන් ආරක්ෂක පවුරක් සහිතව දැකගත හැකිය.

කොසඹෑ නුවරට යන ගමන් මඟ

කොසැඹෑ නුවරට සමීප ප්‍රධාන නගරය වනුයේ අලහබාද් නගරයයි. ගංගා හා යමුනා ගංගා දෙක එකට එකතුවන ස්ථානය වන “සංගම්” පිහිටා ඇත්තේද මෙම නගරයේය. මෙයද ඓතිහාසික වටිනාකමකින් යුතු පැරැණි නගරයකි. වාර්ෂිකව පවත්වනු ලබන ස්නානය කිරීම සඳහා වූ කුම්භ මේලා උත්සව සමයේ දිනකට ලක්ෂ ගණනක් හින්දු බැතිමතුන් පව් සෝදා ගැනීම සඳහා පැමිණෙයි. බරණැස නගරයේ සිට අලහබාද් නගරයට දුර කි.මී. 125 පමණය. එතැන් සිට කොසැඹෑනුවරට (කෝසම්බියට ) දුර කි.මි. 54 කි.
බුදුසමයෙහි දඹදිව සොළොස් මහා ජනපද නමින් රාජ්‍යයන් දහසයක් තිබූ බව සඳහන් වෙයි. එම සොළොස් මහා ජනපදයන්ගෙන් “වත්ස” රාජ්‍යයයේ අගනුවර කොසඹෑනුවරයි.

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 48

බුදුරජාණන් වහන්සේ කොසඹෑ නුවරට වැඩම කරවන ලදී.
බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේදී කොසඹෑ නුවර ප්‍රමුඛ සිටුවරු තිදෙනෙක් විසූහ. ඒ ඝෝෂිත සිටුතුමා, කුක්කුට සිටුතුමා හා පාවාරික සිටුතුමා යන මේ සිටුවරුන් තම ව්‍යාපාරික කටයුතු සඳහා උතුරු පළාතට ගිය විට සැවැත් නුවර ජේතවනාරාමයේ බුදුරදුන් වැඩ සිටි දිනක උන්වහන්සේ හමු වී බණ අසා පැහැදි කොසඹෑ නුවරට වඩිනා ලෙස ඇරයුම්කොට පැමිණ තිදෙනා විහාර තුනක් නිර්මාණය කළේය. ඝෝෂිත සිටුතුමා විසින් කළ විහාරය ඝෝෂිතාරාමයත්, කුක්කුට සිටු විසින් කළ විහාරය කුක්කුටාරාමයත්, පාවාරික සිටුතුමා විසින් කළ විහාරය පාවාරිකාරාමයත් විය. විහාර වැඩ නිමවා නැවත ආරාධනා කළ පසු නවවැනි වස් කාලය ගත කිරීම සඳහා කොසබෑ නුවරට බුදුරජාණන් වහන්සේ වැඩම කළහ. තිපල්ලන්ත මිග ජාතක කථාවට අනුව මෙම විහාර තුනට අමතරව බද්දිසිකාරාමය, යන නමින්ද විහාරයක් නගරයට පිටතින් තිබූ බව සඳහන් වෙයි. කොසැඹෑ නුවර ඝෝෂිතාරාමය එම විහාරයන් අතුරින් අතිශය සුන්දර මනරම් විහාරයක් විය. එය යමුනා ගඟ අසබඩ නගරයේ ගිනිකොණ දෙසින් පිහිටා තිබුණි.
එම විහාරය පිළිබඳව හියුංස්‍යාං සහ පාහියන් වාර්තා වලද ඉතා අගය කොට වර්ණනා කර ඇත. කොසඹෑ නුවර ඉතා සුන්දර ජනපදයකි. මෙය බරණැස සිට කි.මී. 200 ක් පමණ දුරින් පිහිටා ඇති අතර දඹදිව වන්දනාවට යන ඇතැම් බෞද්ධයන් මේ පුදබිම දැක බලා ගැනීමට නොයයි. ඒ ගමනේ ඇති දුෂ්කරතාව හා ප්‍රමාණවත් නවාතැන් පහසුකම් නැති නිසා නමුත් එහි දැන් ‘ශී‍්‍ර ලංකාරාම’ නමින් විහාරයක් ගොඩනගා ඇත. එම විහාරය ලාංකික සැදැවතුන්ගේ ආධාර හා උපකාරය මත ගොඩනගා ඇත. ආචාර්ය තලම්මැහැර සිරි විසුද්ධී හිමියන්ගේ ශක්තිය මතින් 2006 පෙබරවාරි 03 වන දින මේ විහාරය ආරම්භ කරන ලදී. උන් වහන්සේගේ කැපවීම හා අධිෂ්ඨානය මත බෞද්ධයන්ට අයිති මේ පුදබිම ආරක්ෂා වී පවතී. ඔබ යන දඹදිව ගමන සම්පූර්ණ කරගැනීම සඳහා කොසඹෑ නුවරට ගොස් එහි ඓතිහාසික තොරතුරු දැන වන්දනා කර එන්නට අමතක නොකරන්න.
බුදුරජාණන් වහන්සේ කොසැඹෑ නුවර වැඩ සිටින සමයේ සිදුවූ සිදුවීම්
ධර්මධර, විනයධර භික්ෂූන් අතර සිදුවූ අසමගිය

කොසඹෑනුවර විහාරාරාමවල නටබුන්
ධර්මධර භික්ෂූන් වහන්සේ තමන් අතින් සිදුවූ සුළු ඇවතක් මුල් කොටගෙන කොසැඹෑ නුවර සියලු භික්ෂූන් කොටස් වාද විවාද ඇති කර ගත්හ. එම ගැටුම සංසිඳවීමට බුදුරදුන් ගත් උත්සාහය අසාර්ථක වූ හෙයින් උන්වහන්සේ තනිවම පාරිලෙය්‍ය වනයට වැඩමකොට එහි දස වැනි වස් කාලය ගත කළහ. පසුව භික්ෂූන්ගේ අසමගිය නැතිවූ පසු නැවත කොසඹෑ නුවරට වැඩම කරන ලදී.
සාමාවති දේවිය ඇතුළු පිරිස මරා දැමීම
මාගන්ධියා විසින් සාමාවති දේවිය හා ඇයගේ දාසියන් පන්සිය දෙනෙකු මාලිගයක සිරකොට වටින් ගිනි දමා පුළුස්සා මරා දමන ලදී. මේ බව දැනගෙන උදේනි රජතුමා මාගන්ධියා සහ ඇගේ සියලුම ඥාතීන් එලෙසින්ම මරා දමන ලදී.
දේවදත්ත හිමි බුදුරජාණන් වහන්සේ මැරීමට කුමන්ත්‍රණ සිදුකිරීම
දේවදත්ත හිමියන් විසින් භික්ෂුන්ගේ පාලනය තමන් සතු කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් විනයට නීති පමණක් ඉදිරිපත් කරන ලදී. එනම්
1.ජීවිතාන්තය තෙක් භික්ෂූන් ආරාණ්‍යයකම විසිය යුතුයි.
ජීවිතාන්තය තෙක් භික්ෂූන් පිණ්ඩපාතික විය යුතුයි
ජීවිතාන්තය තෙක් භික්ෂූන් පාංශුකූලික විය යුතුයි.
ජීවිතාන්තය තෙක් භික්ෂූන් වෘක්ෂමූලික විය යුතුයි.
ජීවිතාන්තය තෙක් භික්ෂූන් මත්ස්‍ය මාංශයෙන් මුළුමනින්ම වැළකිය යුතුයි.
දේවදත්ත හිමියන් විසින් ඉදිරිපත් කරන ලද ඉහත දක්වන ලද විනය රීති මාලාව ඉතා කාරුණිකව ප්‍රතික්ෂේප කළ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් කැමැති නම් එය සිදු කරයි. අකැමැති නම් නොකර සිටියි යනුවෙන් ප්‍රකාශ කරන ලදී. තම වචනය බුදු හිමියන් නොපිළිගත් හෙයින් බුදුරදුන් මරා හෝ බුද්ධ රාජ්‍යය ලබා ගැනීමේ කුමන්ත්‍රණය සකස් කළේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේදීය.
කාලි යක්ෂණියගේ උපත සිදුවීම
බුදුරදුන් මෙහි වැඩ සිටි සමයෙහි දරුවන් මරා කෑ යකින්නක දමනය කළ බවත්, ඇය පසුව මිනිසුන්ට කළ උපකාර නිසා ඇයගේ මරණින් මතුත් ඇය දේවතාවියක් වශයෙන් සලකා පුද පූජා පැවැත්වීම සිදුවූ බව අදටත් ජනප්‍රවාදයේ පවතින කථාවකි. ඇයගේ රූපයක්ද මෙහි තිබී හමු වී ඇත.
කොසඹෑ නුවර දී දේශිත සූත්‍ර
ජාලිය සූත්‍රය (දීඝ නිකාය)
ජාලිය පරිබ්‍රාජකයන් අරභයා දේශනා කරන ලදී.
සන්දක සූත්‍රය (මජ්ක්‍ධිම නිකාය)
අනඳ හිමියන් විසින් පිලක්කු ගුහාවෙහි සිටි සන්දක ඇතුළු පන්සියයක් පිරිවැජියන් අරභයා දේශනා කරන ලදී.
භාරද්වාජ සූත්‍රය (සංයුක්ත නිකාය)
පිණ්ඩෝල භාරද්වාජ හිමි විසින් උදේනි රජු අරභයා දේශනා කරන ලදී.
කෝසම්බි සූත්‍රය (මජ්ක්‍ධිම නිකාය)
ඝෝෂිතාරමයේදි සිදුවූ භික්ෂූ කලහය අරභයා දේශනා කරන ලදී.
උපක්කිලේස සූත්‍රය (මජ්ක්‍ධිම නිකාය)
ඝෝෂිතාරමායේදි සිදු වූ භික්ෂු කලහය අරභයා දේශනා කරන ලදී.
පාරිලෙය්‍ය සූත්‍රය (සංයුක්ත නිකාය)
බුදුන් වහන්සේ පාරිලෙය්‍ය වනයට වැඩීම පිළිබඳ පුවත සඳහන්ය.
ඛේමක සූත්‍රය (සංයුක්ත නිකාය )
ඛේමක හිමියන් සම්බන්ධ පුවත සඳහන්ය.
ඝෝෂිත සූත්‍රය (සංයුක්ත නිකාය)
අනන්ද හිමියන් විසින් ඝෝෂිත සිටුතුමාට දේශන කරන ලදී.
කාමභූ සූත්‍රය (සංයුත්ත නිකාය)
ආනන්ද හිමියන් සහ කාමභු හිමියන් අතර ඇති වන සාකච්ඡාවකි.
උපවාන සූත්‍රය (සංයුත්ත නිකාය)
සැරියුත් හිමියන් සහ උපවාන හිමියන් අතර ඇතිවන සාකච්ඡාවකි.
සිංසපා සූත්‍රය (සංයුත්ත නිකාය)
ඇට්ටේරිය කොළ මිටක් උපමාකොට භික්ෂූන්ට දහම් දේශනා කරන ලද සූත්‍රය.

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 49

කොසඹෑ නුවර පුරා විහිදුනු බුදු ඇස

බුදුරජාණන් වහන්සේ මාගන්ධිය නම් බමුණකු රහත්වීමට හේතු සම්පත් දැක අතර මගදී කුරු රට දෙසට යන පාරට බැස කල්මාෂදම්‍ය නම් නිගමයට වැඩමවා පසුදා උදේ වරුවෙහි එහි පිඬු පිණිස හැසුරුණු සේක. එහිදී මාගන්ධිය බමුණු බුදුරජාණන් වහන්සේ දැක තම දුවට සුදුසු රූප ලක්ෂණයෙන් යුත් පුරුෂයෙක් ලැබිණැයි සතුටු ව දුව සරසවා කැඳවා ගෙන අවුත් මැය බිරින්දෑ කොටගත මැනැවැයි දැන්වූයේ ය.
එවිට කාම සම්පත්තියෙහි තමන් වහන්සේ නොඇලෙන බවත් මළ මුත්‍රා පිරුණ මේ ශරීරයක් පයින්වත් ස්පර්ශ කරන්නට නොකැමැති බවත් වදාළ සේක. ඇයගේ සිරුර මල මුත්‍රයෙන් පිරුණු එකෙකැයි අවමන් කළේ යැයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඇය වෛර බැන්දාය. බුදුරජාණන් වහන්සේ එය නොසලකා ඇයගේ මව්පිය දෙදෙනාට දහම් වදාළ සේක. දේශනාව අවසානයේදී ඒ දෙදෙනා අනාගාමී වූහ. දූ වූ තරුණ මාගන්දියා බැමිණිය ඇයගේ සුළු පියාට බාර කොට පැවිදි වී රහත් වූහ. තරුණ මාගන්දියා තොමෝද නොබෝ කලෙකින් ඇයගේ රූපශ්‍රීයෙහි ඇලුණු උදේනි රජු විසින් ගෙන්වා අග මෙහෙසියක් කරන ලදී.
ඉහත කී පරිදි භාග්‍යවතුන් වහන්සේ මාගන්දිය බමුණු බැමිණි දෙදෙනාට අනුග්‍රහ කොට ආපසු වැඩ කොසඹෑ පුරයට යන මාර්ගයට බැස සැරිසරා වඩනා සේක්. නොබෝ කලෙකින් එහි පැමිණි සේක. කොසබෑ නුවර සිටුහු ද පෙර ගමන් කොට භාග්‍යවතුන් වහන්සේ වැඩම කරවා තමන් කරවූ ආරාම තුන පිදූහ. ඉක්බිති පසුදා දනට වඩින ලෙස අයැද වැඳ පැදකුණු කොට තමන් ගෙවලට ගියහ. උදේනි රජුගේ භාර්යාව වී සිටින මාගන්දියා තෙමෝ බුදුරජාණන් වහන්සේ එහි වැඩි බව අසා නුවර වැසූ නොහික්මුණු පිරිසට අල්ලස් දී භාග්‍යවතුන් වහන්සේට නින්දා අපහාස කරන්නට නියෝග කළාය. එසේම ඔවුහු පසුදා නුවර පිඬු පිණිස හැසිරෙන බුදුරජාණන් වහන්සේ දැක නොයෙක් අන්දමින් නින්දා කළහ. මේ දුටු ආනන්ද තෙරුන්වහන්සේ මේ නගරය හැර යමු යැයි බුදුරජාණන් වහන්සේට සැළ කළේ ය.

කොසඹෑනුවර විහාරාරාම නටබුන්

ආනන්දය තථාගතවරු ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රශංසා ආදී අෂ්ට ලෝක ධර්මයෙන් චංචල නොවෙති යැයි ද මේ නින්දා අපහාස කිරීම සතියකට වඩා නොපවතින්නේ යැයි ද වදාරා බුදුරජාණන් වහන්සේ එහිම වැඩ විසූ සේක. ඒ සිටුවරු තිදෙනා මාරුවෙන් මාරුවට දන් දෙමින් මාසයක් ගත කොට සෙසු නගරවාසීන්ට ද දන් දීමට අවකාශ දුන්හ. නුවර ඒ ඒ වීදිවල වැසියෝ එක්ව මහ දන් පැවැත් වූහ.

සාමාවතී දේවිය හා පිරිසගේ මරණය

ඒ සමයෙහි දිනක් බුදුරජාණන් වහන්සේ නුවර ප්‍රධාන මාලා කාරයාගේ ගෙයි දනට වැඩි සේක. උදේනි රජුගේ සාමාවතී නම් අග මෙහෙසියකගේ උපස්ථායිකාවූ ඛුජ්ජුත්තරා නම් ස්ත්‍රියක් මල් මිලදී ගැනීමට වෙනදා සේම එදාත් පැමිණි තැනැත්තී එහිදී බණ අසා සෝවාන් වූවාය. ඉක්බිති මාලිගාවට ගිය ඇයගෙන් බණ අසා සාමාවතී ද ඇතුළු පිරිවර ස්ත්‍රීහු ද සෝවාන් වී එතැන් පටන් ඇය දාස භාවයෙන් මුදා මවු තනතුරෙහි ද ඇදුරු තනතුරෙහිද තබා සත්කාර කළාය.
ඛුජ්ජුත්තරා උපාසිකා තොමෝද සියලු දිනයෙහිම භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අසා අවුත් සාමාවතිය ආදී හට කියන්නී කල් යෑමේ දී ත්‍රිපිටකධර වූවාය. සාමාවතීය භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදී සිටි බව දත් මාගන්දියා බිසව නොයෙක් අයුරින් ඇය කෙරේ රජු බිඳවාලීමට උත්සාහ කළාය. කිසි විටෙක රජ ඒ විශ්වාස කළ නමුත් පසුව සාමාවතියගේ නිදොස් බව තේරුම් ගත්තේ ය.
ඉක්බිති සාමාවතී මාලිගාවට ආනන්ද තෙරුන් වහන්සේ කැඳවා සත්කාර කොට බණ ඇසුවාය. මේ කිසිවක් ඉවසිය නොහී වඩ වඩා කෝපයෙන් දිලිහුණු මාගන්දියා රහසින් ගිනි ලැව්වාය. සාමාවතී සහිත පන්සියක් පමණ ඇයගේ පිරිවර ස්ත්‍රීහු එයින් මළහ. රජ තෙම පසුව සිය මාගන්දියාව විසින් කරවන ලද බව දැනගෙන දරුණු වද දී ඇයගේ නෑදෑයින් ද මරවා දැමීය. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධත්වයෙන් නව වන වර්ෂයෙහි වැසි සාරමසෙහි ද ඉන් පසු කොසඹෑ පුර ඝෝෂිතාරාමයේ වැඩ විසූ සේක.

භද්‍රවතිකා ඇතින්නට පිහිට වීම.


ඝෝෂිතාරාමය
මේ සමයෙහි උදේනි රජුගේ භද්‍රවතිකා නම් ඇතින්න රජු විසින් නොතකා අසරණ කොට අත් හැර දමන ලදී තැන තැන යමින් දුක සේ කල් යැවුවා ය. ඕ ශක්තිමත් සමයෙහි ඒ රජුගේ මඟුල් ඇතින්න වැසිටි මහත් සද්කාර ලැබුවාය. යුද්ධවලදී ද රජුට ජය ලබන්නට සහාය වූවාය. එහෙත් ඇය මහලුව දුර්වලව කිසිත් කරන්නට නොහැකි වූ විට රජු අන් ඇතකු මගුලැත් තනතුරට පත් කොට ඇයට නොසලකා හැරියේ ය. පසුව ඇය හට ආහාර හා ඉඳීමට පහසුකම් ප්‍රමාණවත් පරිදි නොලැබුණි. තැන තැන ඇවිදිමින් දුක සේ කල් ගෙවුවාය. දවසක් භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර පිඬු පිණිස වඩිනු දැක ඕ ශබ්ද නගා හැඬුවාය, ඇය ඇඟවූ අදහස භාග්‍යවතුන් වහන්සේ දත් සේක.
දැන සිතට දුක් නොගන්න.මම ගොස් පළමුවෙන් ඔබට ලැබී තිබුණු ලෙසටම සද්කාර සලස්වන්නෙමියි වදාළ සේක. රජු බුදු පාමොක් මහ සඟනට දන් පුදා අවසානයේ භාග්‍යවතුන් වහන්සේ භද්‍රවතිකා ඇතින්න කොයිදැයි වදාළ සේක. නොදැනිමි වහන්සේ යැයි රජ කීහ. ඒ වන විට භාග්‍යවතුන් වහන්සේ රජුට අවවාද කරන සේක. මහ රජ තමාට විපතකදී උදව් උපකාර කරන ලද පුද්ගලයන්ට ශක්තිමත් කාලයේ දී සද්කාර සම්මාන කොට උන් මහලු වූ කළ අත් නොහළ යුතු ය. භද්‍රවතිකා දැන් මහලුය. ජරාජීර්ණ අනාථ වන්නට ඉඩ හැරීම ඔබ නොකළ යුතු ය. පෙර සේම ඇයට සද්කාර කරන්නැයි වදාළ සේක. රජුට තමන් කරන ලද වැරැද්ද පැහැදිලි විය. කෙනෙකු යවා ඇතින්න ගෙන්වා ඇයට පෙර පරිදි සත්කාර කරන ලදී. බුදුරජාණන් වහන්සේ මිනිසුන්ට පමණක් නොව සතුන්ට ද ආදරය කරන ලද ශාස්තෘවරයෙකි.

ඝෝෂිතාරාමයෙහි ඇති වූ සංඝ භේදය

මේ සමයෙහි කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩ සිටි විනයධර ස්ථිවිර නමකගේත්, ධර්ම කථික ස්ථිවිර නමකගේත් විවාදයෙක් වීය. ස්වල්පයෙන් පටන් ගත් විවාදය ඒ දෙදෙනා ගේ පක්ෂයට බොහෝ පෘථග්ජන ගිහි පැවිද්දන්ගේ බැඳීමක් වී ක්‍රමයෙන් දියුණු විය. භාග්‍යවතුන් වහන්සේ ඔවුනට අවවාද කළහ.
විවාද අසමගි බව සඳහන් කරමින් එහි ආදීනව දක්වමින් ලටුකික ජාතකය, වට්ටක ජාතකය, දිඝිති කෝසල ජාතකය යන මෙයින් අවවාද අනුශාසනා කළ සේක. එහෙත් ඔවුහු සමථයකට නොපැමිණියහ. බුදුරජාණන් වහන්සේ මතු ඔවුන් සමගියට පැමිණවිය හැකි අයුරුද ඊළඟ වස් කාලයෙහි පාරිලේ්‍ය හස්ති ආදී කිහිප දෙනෙකුට තමන් වහන්සේ නිසා ලැබෙන අර්ථ සිද්ධිය ද දැක විවේකය ද කැමැතිවැ පාරිලේ්‍ය. වනය දෙසට යන්නට අදහස් කළ සේක. එසේ අදහස් කොට කොසැඹෑ පුරයෙහි පිඬු පිණිස හැසිර කිසිවකුටත් නොදන්වා හුදකලාවෙම වැඩි සේක.

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 50

ඝෝෂිතාරාමය අත්හැර පාරිලෙය්‍ය වනයට වැඩම කිරීම

බුදුරජාණන් වහන්සේ ගම් නියම් ගම් පිළිවෙළින් සැරි සරන සේක. බාලක ලෝණකාර ග්‍රාමයට වැඩමවා එහි තනිවම වැඩ විසූ අතර භගු ස්ථවිරයන් වහන්සේට මුළු පස්වරු කාලයේද තුන් යම් රැය මුළුල්ලේද හුදෙකලාවේ සිටීමේ අනුසස් වදාරා පසුවදා තෙරුන් හා ගමේ පිඩු පිණිස හැසිර දන් වළඳා තෙරුන් සමඟ එහිම නතරව තමන් වහන්සේ පළමුසේම හුදකලාව එයින් පිටත් වූ සේක. එසේ වඩිනා බුදුරජාණන් වහන්සේ චෙති රට ප්‍රාචීනවංශ මෘගදායයට වැඩමවා එහිදී අනුරුද්ධ, භද්දිය, කිම්බිල යන තෙරුන් තුන් නමට රෑ තුන් යම්හිම සමගියේ අනුසස් වදාරා ඉන් හුදකලාවම නික්ම කෝසල ජනපදයෙහි වූ පාරිලෙය්‍ය නම් නුවරට සම්ප්‍රාප්ත වූ සේක. එහි වැස්සෝ පෙර ගමන් කොට භාග්‍යවතුන් වහන්සේ වැඩම කරවා ගෙන අවුත් අසුන් පනවා වඩා හිඳුවා දන් දුන්හ. ඉක්බිතිව ඒ පාරිලෙය්‍ය නුවර සමීපයේ වන ලැහැබෙක පන්සලක් කොට එහි වස් වසන්නට ආයාචනා කොට භාග්‍යවතුන් වහන්සේ වැඩම කැරැවූහ.
ඒ පන්සල ළඟ ‘රම්‍ය සල් රුකෙක් විය. දිනෙක ඒ වෘක්ෂය යට වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ එක් ඇතෙකු විසින් දක්නා ලද සේක. ඒ ඇතාත් විවේකී වසනු කැමැත්තෙන් රැළින් වෙන් වූයෙකි.

ඇතෙකුගේ උපස්ථානය

හස්ති තෙම බුදුරජාණන් වහන්සේ දුටු හැටියේම සොඬ හකුලා දන බිම ඇන නමස්කාර කළේය. ඉන් පසු වටපිට බලා කිසිවෙකු නොදැක ඒ රුක යට භූමි භාගය පයින් පැහැර අතු කැබැල්ලක් සොඬින් ගෙන හැමැද්දේය. එතැන් පටන් හස්ති තෙම භාග්‍යවතුන් වහන්සේට බීමට ද මුහුණ දෙවීම් ආදි පාරිභෝගයට ද වතුර පිළියෙල කැරැ දෙයි. උණු දියෙන් ප්‍රයෝජන ඇතැයි හැඟුනු විට උණු දියද පිළියෙළ කෙරෙයි. ඒ මෙසේය. ගිනි ඉපැද විය හැකි දඬු සොඬින් ගෙන එකට මැද ගිනි උපදවයි. ඉක්බිති දර කැබැලි ගොඩගසා ගිනි දල්වා ඒ ඒ ලොකු ගල් ගෙනැවිත් ඒ ගිනි ගොඩෙහි දමා රත් කරයි. ගල් රත් වූ පසු දඬු කැබැල්ලක් ගෙන ඒවා පෙරළාගෙන ගොස් දිය පිරුණු කුඩා ගල් වලෙක හෙළාලයි. ඉන් පසු සොඬය බහා රත්වූ බව දැන භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් සොඬ අකුළා දන බිම ඇන හිඳියි. එවිට බුදුරජාණන් වහන්සේ එහි වැඩ ජලස්නානය කරන සේක.
ඉක්බිති හස්තියා නොයෙක් ඵල වර්ග ගෙනවුත් පිළිගන්වයි. භාග්‍යවතුන් වහන්සේ ගමට පිඬු පිණිස වඩිනා විට හස්ති තෙම පාත්‍රය හා දෙපට සිවුර කුම්භස්ථලයෙහි තබා ගෙන උන්වහන්සේ හා යයි. වනයෙන් ගමට බස්නා සීමායේදි ඇතු නවත්වා බුදුරජාණන් වහන්සේ හුදකලාවෙම පා සිවුරු ගෙන ගමේ පිඬු පිණිස හැසිර ආපසු වඩිනා සේක. ඇත් තෙම මග බලා සිට භාග්‍යවතුන් වහන්සේ එහි වැඩි කෙණෙහි, පාත්‍ර සිවුරු පන්සලෙහි තබා අත්තකින් පවන් සලයි. නැවත රාත්‍රි කාලයෙහි චණ්ඩ මෘගයන් ගෙන ඒ ලැහැබෙහි අතර තුර හැසිරෙයි. බුදුරජාණන් වහන්සේ රක්ෂිත කැරැ (රැක) ගන්නා අදහසින් ඒ ඇතු හැසුරුණූ වන ලැහැබට එ තැන් සිට රක්ෂිත වන ලැහැබ යැයි නම් විය එළිය වූ කල්හි මුහුණ සේදීමට පැන් දීම ආදි වශයෙන් මෙසේ ඒ හස්ති තෙම බුදුරජාණන් වහන්සේට සියලු වත් පිළිවෙත් කරයි.

වානරයෙකුගේ පූජාව

ඇතු සද්කාර උපස්ථාන දුටු එක් වඳුරෙක්, මමත් සද්කාරයක් කෙරෙමියි සිතා දීමට සෑහෙන යමක් සොයා ඇවිදින්නේ මැස්සන් විසින් හරනා ලද දඬුවැල් බෑ මීයක් දුටුයේය. එය ගෙනැවිත් කෙසෙල් කොළයක් කඩා එහි තබා භාග්‍යවතුන් වහන්සේට පුජා කරන ලදී.
ඉක්බිති වඳුරා තමන් ගෙන ආ මී වදය වළඳයි. ද? නැද්ද කියා බලා සිටින අතර එය වළඳනවා දැක ඉතා සතුටට පත් විය. වඳුරා ඉතාමත් සතුටු සිතින් අතු පතර ඇවිදිමින් සතුටු වූ අතර අත්තකට පැනීමේදී අත්ත බිඳීමෙන් ඔහු බිමට වැටී මියගිය අතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව උපන් පහන් සිතින් මියගිය අතර මරණින් පසුව වඳුරා තෙම තව්තිසා භවනයෙහි දෙව් පුතෙක් වැ උපන්නේය.

කොසඹෑ වැසි භික්ෂූනට කළ දඬුවම්

බුදුරජාණන් වහන්සේ කොසැඹෑ නුවර අත් හරින ලද්දේ භික්ෂූන්ගේ අසමගියට බව දැනගත් උපාසකවරු භික්ෂූන් වහන්සේලාට පුද සද්කාර කිරීම නතර කරන ලදී. ඉන් පසුව භික්ෂූන් වහන්සෙලා හට දානය නැතිවී මහත් පීඩිත තත්වයකට පත්විය. ඉන් පසුව මේ තත්වය දුරු කර ගැනීම සඳහා අසමගිව සිටි භික්ෂූන් වහන්සේලා සියලු දෙනාම නැවත එකමුතු විය. භාග්‍යවතුන් වහන්සේ පාරිලේයක වනයෙහි වසන බවත් ඇතෙකුගේ උපස්ථාන ඇතිව සිටින බව දැනගත් සැවැත්නුවර සැදැහැවතුන් වූ විශාඛා උපාසිකාව හා අනේපිඬු සිටු යන අය ආනන්ද හිමියන්ට ගොස් බුදුරජාණන් වහන්සේ නැවත සැවැත් නුවරට වැඩමවාගෙන එන ලෙස දන්වා සිටි අතර ඔවුන්ගේ ඉල්ලීම මත උන්වහන්සේ පාරිලෙය්‍ය වනයට වැඩම කරන ලද පාරිලෙය්‍ය හස්තියා පාරට කොට දමා පාර අවහිර කර දණ්ඩක් ගෙන ආනන්ද හිමියන් ඉදිරියට පැමිණි අතර එය දුටු බුදුරජාණන් වහන්සේ එය නොකරන ලෙස ඇතුට අවවාද කරන ලදී. එම අවවාද පිළිගත් හස්තියා පසකට විය.
පසුව ආනන්ද හිමියන් අසමගිව සිටි භික්ෂූන් නැවත සමගි වූ බවත් ඔවුන් තුළ පැවති මතවාද සියල්ලම දුරු කරගත් අතර ඔබ වහන්සේ නැවත වරක් සැවැත් නුවරට වඩිනා ලෙස ආරාධනා කරන ලදී. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දේ තමන්ට භික්ෂූන් වහන්සේලාගේ උපස්ථාන නැතත් ඉතා මිතුරු කමින් තමන්ට උපස්ථාන කරන ලද ඇතු සිහිපත් කර ඔහුට ප්‍රසංසා කරන ලදී.
ඉන් අනතුරුව හස්තියා විසින් බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට පළතුරු ආදි පුද පුජාවන් පවත්වන ලදී. ඉන් පසුව බුදුරජාණන් වහන්සේ වනයෙන් පිටත් වීමට සූදානම් විය. හස්තියාද උන්වහන්සේ පසුපසින් පැමිණ බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගොස් මාර්ගය අවහිර කරන ලදී. එවිට පාරිලේයක ඇතුණි මාගේ මේ ගමන නැවැත්විය නොහැකිය. නුඹට මේ තිරිසන් ආත්මයේ සිට මේ පින මෙයට වැඩියෙන් ධ්‍යානයක් හෝ මාර්ග ඵලයක් ලැබිය නොහැකිය. එබැවින් නුඹ මෙහි සිටින්න යැයි වදාළ සේක. එය තේරුම් ගත් හස්ති තෙම සොඬය මුඛයෙහි බහා හඬමින් භාග්‍යවතුන් වහන්සේ පසු පස්සෙන් ගියේය. ශාස්තෘන් වහන්සේ ගම සමීපයට පැමිණි ඇතු හට ඔබ මෙතැනින් එහා යෑම නුඹට අයෝග්‍යයි. මිනිස් පියසට ගියොත් නුඹට හිරිහැර ඇති වෙයි. එබැවින් නුඹ මෙයින් එහා නොගොස් නවතින්නැයි වදාළ සේක.
හස්ති තෙම බලවත් ශෝකයෙන් හඬමින් බුදුරජාණන් වහන්සේ වඩිනු බලා ගත් වනම සිටියේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට නොපනී ගිය තැන ඒ වේදනාව ඉසිලිය නොහැකි විය. එය ශෝකයෙන්ම ඇතුගේ ළය පැලී මිය ගියේය. පසුව ඔහු තව්තිසා භවනයෙහි දෙව් පුතෙක්ව උපන්නේය.