, දඹදිව වන්දනා දඹදිව වන්දනා - BUDDHIST PILGRIMAGE TOURS TO INDIA: සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 21 - 25

ක්‍රි.පූ. 6 වැනි සියවසේ සිට ක්‍රි.ව. 11 වන සියවස පමණ වන තෙක්‌ භාරතීය අධිරාජ්‍යයන්හි, දේශපාලන ප්‍රවණතා, යුද්ධ රාජ්‍ය මර්දනය මෙන්ම බාහිර ආක්‍රමණ, බෞද්ධ දර්ශනය මර්දනය සඳහා මැදිහත් වූ ආකාරය...

.

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 21 - 25

නිග්‍රෝධාරාමයට වැඩම කිරීම

කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයට අපේ ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ වැඩම කිරීම හා යමා මහ පෙළහර දැක්වීමයි අද බුද්ධ භූමි වන්දනාවෙන් පවසන්නේ.

කාළුදායි මහ රහතන් වහන්සේ දිනපතා රජගෙදරට ගොස් දන් වළඳා බුදුරජාණන් වහන්සේටද දාන පාත්‍රයක් රැගෙන යන ලදී. ඒ අතර රජ ගෙදරට වඩින සෑම විටම බුදු ගුණ කියමින් කාළුදායි මහ රහතන් වහන්සේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ඤාති සමූහයා උන්වහන්සේ කෙරෙහි පැහැදවුයේය. පැහැදුණු ශාක්‍යයෝ බුදුරජාණන් වහන්සේ ඇතුළු සඟරුවන වෙත ශාක්‍යයන්ගේ උයන නිග්‍රෝධාරාමය ලෙස සකස් කර පූජා කරන ලදී.
බුදුරජාණන් වහන්සේ් නගරයට වඩින විට සුවඳ මල් ආදිය ගෙන ශාක්‍යයෝ මනා ලෙස සැරසුණ අතර පෙරමඟට ගොස් ගෞරවයෙන් පිළිගනු ලැබූහ. ළදරු කුමර කුමරියන් ලවා පළමුකොට වැන්දවූහ. ඔවුනට පසුව රජ කුමර කුමරියෝ වැන්දාහ. රජහු ඔවුනට පසුව තුමුම සුවඳ මල් ආදියෙන් පූජා කරමින් භාග්‍යවතුන් වහන්සේ නිග්‍රෝධාරාමයට වැඩම කරවාගෙන ගියහ. බුදුරජාණන් වහන්සේ නිග්‍රෝධාරාමයට විසි දහසක් පමණ රහතුන් ද සමඟ වැඩම කර පනවා තිබූ අසුන් මත වැඩ සිටින ලදී. මානාධික ශාක්‍යයෝ සිදුහත් කුමරු අපට වයසින් බාලය, අපේ බෑනණුවෝය.අපේ මුණුබුරෙකි. යන ආදීන් සිතනුවෝ තුමු නමස්කාර නොකොට ළදරු කුමර කුමරියන් ලවාම නමස්කාර කරවූහ.
ශාක්‍යයන්ගේ අදහස දැනගත් බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ මානය බිඳ දැමීම සඳහා අහසට නැඟ යමා මහා පෙළහරක් දැක්වූ සේක. මේ අසිරිමත් දර්ශන දුටු සුද්ධෝදන රජතුමා භාග්‍යවතුන් වහන්ස, ඔබ ඉපදීමෙන් පසු ඔබලවා අසිත තවුසා වන්දවන්නට සිතුවෙමි. එවිට ඔබේ පාදය පෙරැළී ගොස් අසිත තවුසාගේ ජටා මස්තකයේ පිහිටියේය. එය දැක මම ඔබට මුල්වරට වැන්දෙමි. වප් මඟුල් දින දඹ සෙවනේදී දෙවැනි වරට ඔබ ප්‍රාතිහාර්යය පානු දැක මම දෙවැනි වරට ඔබට නමස්කාර කළෙමි. මින් පෙර කිසි කලෙක අද වන් පෙළහරක් නොදුටිමි. මේ මගේ බුදු පුතුනට වඳිනා තෙවැනි වැඳීමයි කියා මහරජතුමන් විසින් වන්දනා කරන ලදී. පසුව සියලු ශාක්‍යයන් මානය පසෙක දමා සම්බුදු අසිරිය දැක වන්දනා කරන ලදී.

සුදොවුන් රජ මාලිගාවේ නටබුන්
බුදුරජාණන් වහන්සේ දක්වන ලද අසිරිමත් ප්‍රාතිහාර්යය දැක උන් වහන්සේගේ එම අසිරිමත් දර්ශනයට පැහැදී වැඳ නමස්කාර කරන ලදී. පසුව උන්වහන්සේ පනවා තිබූ අස්නේ වැඩහුන් සේක. සියලු නෑ රජහුද සංහුන්ලීලායෙන් හුන්හ. එකල මහත් මල් වැස්සෙක් වට ඒ මුල්කොට ගෙන බුදුරජාණන් වහන්සේ වෙස්සන්තර ජාතකය වදාළ සේක. ධර්මය අසා පැහැදුණු සියලු දෙනා වැඳ, තමන් ගෙවල් කරා ගියහ.
බුදුරජාණන් වහන්සේ නෑයනට එදා වදාළ බණ ඇසූ ශාක්‍ය රජහු පෙරළා සිය නිවෙස්වලට පිටත්ව ගියේය. ධර්ම ශ්‍රවණ පී‍්‍රතියෙන් යුත් ඔවුනට පසු දා දනට වඩින්නට යැයි ආරාධනා කිරීමට අමතක විය. භාග්‍යවතුන් වහන්සේ එදා රෑ නිග්‍රෝධාරාමයෙහි ගත කළ සේක.
භාග්‍යවතුන් වහන්සේ කපිලවස්තු පුරයෙහි පිඬුසිඟා වැඩම කිරීම
භාග්‍යවතුන් වහන්සේ පසු දින කිඹුල්වත්පුර නගරයේ පිඬු පිණිස වඩිමින් සිටියහ. අපේ වංශයේ අයකු මෙසේ හිඟමන් ගියේ කවදාද? මෙය අපේ පරම්පරාවට කරන නින්දාවක් නොවේ දැයි ශාක්‍යයෝ විස්මයට පත්ව බලා හුන්හ. යශෝධරාවෝද එපවත් අසා සීමැදුරු කවුළු හැර බලන්නෝ අනූපමේය බුද්ධශ්‍රීය දැක විස්මිතව, සුදොවුන් මහ රජු වෙත ගොස් ඔබ පුතණුවෝ වීථියෙහි පිඬු සිඟතියි දැන්වූහ.

කපිලවස්තු ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබූ ශෛලමය කරඬුව
මේ ආරංචියෙන් සුද්ධෝදන රජු භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් “ස්වාමීනි මේ නුවර මෙසේ ගෙන් ගෙට පිඬු පිණිස යෑමෙන් අපේ රාජ වංශයට අවනම්බු කරන්නේ ඇයි? ශාක්‍ය වංශයේ කෙනෙකු මෙසේ සිඟමනේ ගියේ කවරදාද?” මේ භික්ෂු පිරිසට මැදුරෙන් ආහාර නොලද හැක්කැ යි රටට අඟවන්නට දැයි ඇසීය. එවිට බුදුරදුන් මෙසේ පිළිතුරු දුන්හ.
මහ රජ, මෙය අපේ වංශයේ සිරිතයැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. රජ, ස්වාමීනි ඔබේ වංශය මහා සම්මත ශාක්‍ය රාජ වංශයයි. බුදුරදුන් එය මගේ නොව ඔබගේ වංශයයි. මගේ වංශය වනාහි බුද්ධ වංශයයි. අපේ වංශය නම් දීපංකර, කොණ්ඩඤ්ඤ ආදී බුදුවරයන්ගේ වංශයයි. ඒ බුදුවරු ද සෙසු ඉන් පෙරැ සිටි බුදුවරුද පිඩුසිඟා හැසුරුණෝය. පිඬු සිඟීමෙන්ම දිවි පැවැත්වූහ යි වදාළ සේක.
ඉක්බිති එහි සිට ගත් වනමැ රජතුමා වෙත දහම් දෙසූ අතර එය අසා රජතුමා සෝවාන් විය.
අනතුරුව රජතුමා භාග්‍යවතුන් වහන්සේ ඇතුළු මහ සඟරුවන මාලිගාවට වැඩම කරවා ගෙන ගොස් දානය පිළිගැන්වූහ. දානය වළඳා අවසානයෙහි භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසු සේක.
උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්‍ය
ධම්ම සුචරිතං චරෙ
ධම්මචාරි සුඛං සෙති
අස්මිං ලොකෙ පරම්භිච
“සුචරිතය පුරුදු කළ යුතුය. දුසිරිත හළ යුතු ධර්මචාරි පුද්ගලයා දෙලොවම සුවසේ කල් යවයි.
ධම්මං චරේ සුචරිතං
නතං දුච්චරිතං චරේ
ධම්ම චාරි සුඛං සේති
අස්මිං ලෝකේ පරම්භිව
මෙම ධර්ම දේශනාව අසා සුද්ධෝදන රජතුමා සකෘදාගාමී විය. මහා ප්‍රජාපතී ගෝතමිය සෝවාන් වූවාය. ඉක්බිති පෙර නාටිකාංගනාවේ සිටි කුමරියෝ පැමිණ බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කළේය. රජතුමා යශෝධරාවට ද පැමිණ බුදුරජාණන් වහන්සේට වඳිනා ලෙස පණිවුඩයක් යැවීය. ඇය මා උන්වහන්සේට පක්ෂපාතව වැසුවා සැබෑනම් බුදුරජාණන් වහන්සේ මෙහි වඩිනු ඇත. එවිට මා වන්දනා කරමියි කියා යැවූ කල්හි රජතුමා එපවත් භාග්‍යවතුන් වහන්සේට සැල කළේය.

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුර පිඬු සිඟා වැඩම කිරීම
ශාන්තිනායක තථාගත බුදුපියාණන් වහන්සේ කිඹුල්වත්පුර නගරයේ පිඬුසිඟා වැඩම කළ අවස්ථාව පිළිබඳව සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාවෙන් දුරුතු අව අටවක පෝදා පත්‍රයෙන් සිහිපත් කළෙමු.
සුදොවුන් මහ රජ තුමාගේ ඇරැයුමෙන් බුදුපියාණන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රාවක මහ සඟරුවන රජ මැදුරේදී දානය වැළඳීමෙන් අනතුරුව දහම් දෙසූ අවස්ථාව ගැනද එහිදී සඳහන් කළෙමු.
සුදොවුන් මහ රජතුමා තථාගත බුදුපියාණන් වහන්සේ දෙසූ සදහම් ශ්‍රවණය කර සෝවාන්වීමෙන් අනතුරුව සකෘදාගාමී විය. ධර්ම ශ්‍රවණය කළ මහා ප්‍රජාපතී ගෝතමිය සෝවාන් ඵලයට පත්වූවාය.
සුදොවුන් මහ රජතුමා විසින් යශෝධරා දේවියටද පැමිණ බුදුපියාණන් වහන්සේට වන්දනා කරන ලෙස දන්වා යැවුවද, එහිදී යශෝධරා දේවිය ස්වකීය අදහස් දැක්වූ ආකාරය පිළිබඳ සිහියට නඟා ගනිමු.
“වසර ගණනාව තුළ තමා ගත කළ ජීවිතය ගැන හොඳින් දන්නා නිසා බුදුරජාණන් වහන්සේ තමා හමුවට පැමිණෙනු ඇත. කසාවත් හැඳි බව ආරංචි වූ මොහොතේ සිටම මම ද සියලු ආභරණ පසෙකලා කසාවතින් සැරසුනෙමි. මගේ සැමියාණන් එක වේලක් වළඳන බව අසා මම ද එක් ආහාර වේලකින් යැපුණෙමි. මගේ සැමියා අතිශය අල්පේච්ඡ ජීවිතයක් ගත කරන බව අසා මාද චාම් ජීවිතයකට හුරුවුණෙමි.
මට කොතරම් නම් යෝජනා ඉදිරිපත් වුනිද ? මම ඒ සියලු යෝජනා ප්‍රතික්ෂේප කළෙමි. මා විසින් මෙසේ පුරන ලද ස්ත්‍රී ප්‍රජාවටම අයත් උත්තරීතර පිළිවෙතක් විණිද, අප තිලෝගුරු භාග්‍යවතුන් වහන්සේට දැනගන්නට ලැබී උන්වහන්සේ මා සිටින තැනට වැඩීමේ අදහසක් ඇතිවේවා” යි පැතුවාය.
මෙහිදී බුදුරජාණන් වහන්සේ ඒ සඳහා දක්වන ලද සහනසීලි ආකල්පය ආදර්ශවත්ය.
යශෝධරාව සංසාර පාද චාරිකාවේ බොහෝ ආත්ම ගණනක් හමු වූ සිදුහත් කුමරාගේ ස්වාමි දියණියයි. ඇය කුමරා වෙනුවෙන් බොහෝ දුක් ගිනි ඉසිලුවාය. සංසාර පාද චාරිකාවේදීම ආත්ම ගණනාවක හමු වූ ඇය බොහෝ දුක් දරා ගනිමින් පාරමිතා පිරීමට සහාය වූවාය. බුද්ධත්වය ලැබීමට බොහෝ උපකාර කළාය. එබැවින් ඇය දැකීමට යාම මගේ යුතුකමයි.යශෝධරා දකින්නට මා එන බව දන්වන්නැයි බුදුරජාණන් වහන්සේ පිය රජුට පාත්‍රය පිරිනමා එය රැගෙන පළමුව යවා සැරියුත් මුගලන් දෑගසව්වන් සමඟ යශෝධරා දේවිය දැකීමට වැඩමකර විය. අතර මග මොහොතකට නතර වූ බුදුරජාණන් වහන්සේ දෑගසව්වන් අමතා මෙසේ දේශනා කළ සේක.

යශෝධරාවගේ මාලිගාවට බුදුරදුන් වැඩම කිරීම
යශෝධරාවගේ සිතේ තවමත් පවත්නා අසීමිත පේ‍්‍රමය මට සිතාගත හැකිය. පේ‍්‍රමය වනාහී ආධ්‍යාත්මය විනිවිද උපදින්නකි. පේ‍්‍රම වියෝගය ගිනි අඟුරු මෙන් සිත දවන්නකි. යශෝධරාව කෙලෙසුන් දුරුකර, දිනෙක මාර්ග ඵල අවබෝධ කරගන්නා තුරු මේ පේ‍්‍රම ගින්නෙන් දැවීම සොබාවිකය. මා දුටු සැණින් ඇය හඬාවැටෙන්නට පටන් ගන්නවා ඇත. කිසිවකු හෝ ඇය වළක්වන්නට නොයා යුතුය. එවිට ඇය දුක දරාගත නොහැකිව ළය පැළී මිය යන්නට ඉඩ ඇත. ඇයට ඇතිවන තුරු හඬන්නට ඉඩ දෙන්න. යැයි වදාළහ. යශෝධරාවගේ මාලිගයට බුදුපියාණන් වහන්සේ දෑ අග සව්වන් සමඟ වැඩමවා පනවන ලද අසුන්හි වඩහුන් සේක.
යශෝධරාව බුදුරදුන්ගේ පා අල්ලා හඩන්නට පටන් ගත්තාය. ඇය පියෙකුගේ පා අල්ලා හඩන දුවක කොට සලකා භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් වැඩසිටියහ.
එසේ හැඬුම අවසන යශෝධරාව පියවි සිහිය ලැබුවාය. ඇයගේ සිතට මහත් ලජ්ජාවක් දැනිණි. ඇයගේ සිතේ ඇතිවු කම්පාව සුදොවුන් රජ තේරුම් ගත්තේය.
ස්වාමීනි යශෝධරාව, මේ අන්දමින් හැසිරීමෙන් ඔබ වහන්සේට අවනම්බුවක් කළේ යැයි නොසිතන්න. යම් කිසි ලෙසකින් හෝ ඇගෙන් වරදක් සිදුවී නම් ඇයට කමා කරන සේක්වා. සුදොවුන් රජ පැවසූ කල්හි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
නැත ඇගෙන් වරදක් සිදු වී නැත. මිනිස් ජීවිතයේ මේ සොබාව අප ධර්මයෙන් වටහාගත යුතුය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කර යශෝධරාවන්ට චන්දකින්නර (සඳකිඳුරු ) ජාතකය දේශනා කළේ මේ අවස්ථාවේදීය.
මේ බණ අසා සිත පහදා ගත් යශෝධරාවට පැවිදිවීමට කැමැත්ත ඇති වුවාය. ඇය මහණ වන්නට අවසර පැතුවාය. ඇයගේ ගුණ අසා සිටි ඤාතීහු ඇයට සාධුකාර දුන්හ. යශෝධරාවෝද නිශ්ශෝක වැඳ සතුටින් පිනා ගියාය. එදවස්ම මහණවනු කැමැති වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙහෙණ සස්නට ඇය පළමුවෙන් නොගතයුතු බවත්, මතු සුළු මෑණියන් විසින්ම ඒ තනතුරු ලැබිය යුතු බවත් සලකා ඇයගේ ඉල්ලීම නොපිළිගත් සේක. රජ්ජුරුවෝ ද කරුණු කියා ඇය නවතාලූහ.
සිදුහත් කුමරා ගිහි ගෙයින් නික්ම ගිය මොහොතේ පටන් යශෝධරා දේවිය සියලු දුක් ඉවසා දරාගනිමින් මාලිගාව තුළ රාහුල කුමරුන් සමඟ හුදකලාව ගත කරන ලදී. බුදුරජාණන් වහන්සේ පස්වන වස් කාලය තුළ ආරම්භ කරන ලද උතුම් භික්ෂුණී ශාසනය තුළ පැවිදි වූ යශෝධරා උතුම් රහත් තෙරණියක් බවට පත් වූවාය.

නන්ද කුමරු පැවිදි කිරීම

භාග්‍යවතුන් වහන්සේ යශෝධරා දේවියට දහම් දේශනා කිරීමෙන් අනතුරුව නිග්‍රෝධාරාමයට වැඩම කළ සේක. පසුදා නන්ද කුමරුගේ රාජාභිෂේක මංගල්‍යයද, ගෙවදින මංගල්‍යයද, සරණ මංගල්‍යය යැයි උත්සව තුනක් විය. ඒ දිනයේ භාග්‍යවතුන් වහන්සේ නන්ද කුමාරයාගේ මාලිගාවට වැඩම කර දන් වළදා ධර්මය දේශනා කරන ලදී.
අනතුරුව භාග්‍යවතුන් වහන්සේ නන්ද කුමරු අතට පාත්‍රය දී පෙරාතුව වැඩි සේක. කුමරු තෙම බුදුරදුන් දැන් දැන් පාත්‍රය ගනිතැයි සිත සිතා නොකැමැත්තෙන්ම යන්නේ උන්වහන්සේ කෙරෙහි ඇති මහත් ගෞරවයෙන් කිසිත් නොකියා නිශ්ශබ්දව ම පස්සෙන් ගියේය. නන්ද කුමරුට සරණ පාවාදීමට නියමිත වූ ජනපද කල්‍යාණි කුමරි ඒ දැක “ස්වාමි පුත්‍රයාණනි, වහාම අව මැනැවැයි කියා බෙල්ල දිගුකොට නන්ද කුමරු දෙස බැලුවාය. මේ කතාව කුමරුගේ සිත්හි තදින් වැදී ගියේය. එහෙත් කුමරු තෙම පාත්‍රය ගත මැනැවැයි කීමට නොහැක්කේ බුදුරජාණන් වහන්සේ අනුව විහාරයටම පැමිණියේය. එහිදී භාග්‍යවතුන් වහන්සේ “නන්ද මහණ වන්නෙහිදැයි” ඇසූ සේක. හෙතෙම ජනපද කල්‍යාණිය කෙරේ පේ‍්‍රමයෙන් එයට නොකැමැතිව බුද්ධ ගෞරවයෙන් ඒ බව නොකියා එසේම මහණ වෙමි යි කීය. ඉක්බිතිව භාග්‍යවතුන් වහන්සේ ඔහු මහණ කළ සේක. මෙසේ කිඹුල්වත් පුරයට බුදුරජාණන් වහන්සේ වැඩි තුන්වනදා නන්ද කුමරුගේ ප්‍රව්‍රඡ්‍යාව විය. මේ වනාහි බුද්ධත්වයෙන් දෙවෙනි වර්ෂයෙහි වෙසක් මස අවදියවක් දාය.

රාහුල කුමරු පැවිදි කිරීම

භාග්‍යවතුන් වහන්සේ කපිල වස්තු පුරයට වැඩමවා සත් වන දවසෙහි භික්ෂු සංඝයා පිරිවරාගෙන රජ මැදුරට වැඩ දන් වැළඳූ සේක. යශෝධරා දේවි තම සත් හැවිරිදි වූ රාහුල කුමරුවා මනා කොට හැඳවා පළඳවා පුත විසිදහසක් ශ්‍රමණයන් වහන්සේ විසින් පිරිවරන ලදුව රන් පැහැයෙන් බබලමින් තෙලවැඩ ඉන්නේ නුඹේ පියාය. යනාදීන් කියා පියා සතු ධනය ඉල්ලනු පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත යැවූය.

රාහුල කුමරු ඉතා සතුටු සිතැතිව පීතෘ ස්නේහයෙන් ශ්‍රමණයන් වහන්ස, ඔබ වහන්සේගේ සෙවණ මට ඉතා සැපයි යන ආදීන් නොයෙක් සුරතල් බස් කියමින් සිටියේය. භාග්‍යවතුන් වහන්සේ දන් වළදා අවසානයෙහි අනුමෝදනා බණ වදාරා හුනස්නෙන් නැගිට වැඩි සේක. රාහුල කුමාර තෙම ශ්‍රමණයන් වහන්ස, මට දායාදය දුන මැනැවැයි කියමින් භාග්‍යවතුන් වහන්සේ පසු පස්සෙන් ගියේය. පස්සෙන් එන කුමරු භාග්‍යවතුන් වහන්සේ නොනැවැත්වූ සේක. බලා සිටි පිරිසද කුමරුගේ ගමන නැවැත්වීමෙහි නොහැකි වූහ. මෙසේ කුමරු භාග්‍යවතුන් වහන්සේ, මා බෝමැඬදී ලද සප්ත විධ ආර්ය ධනය මොහුට දෙමි. ලෝකෝත්තර දායාදයන් මොහුට හිමි කරන්නෙමි”යි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අමතා රාහුල කුමරු මහණ කිරීමට අනුශාසනා කළ සේක.
වහන්ස, කෙසේ රාහුල කුමරුවන් මහණ කරම්දැයි සැරියුත් තෙරණුවෝ ඇසූහ. තිසරණ ගැන්වීමෙන් සාමණේර ප්‍රව්‍රඡ්‍යාව සිදුකරන ලෙසට භාග්‍යවතුන් වහන්සේ අවසර දුන්සේක. ඉක්බිති මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ කුමරුන්ගේ හිස කේ බා කසා වත් හඳවා තිසරණ සමාදන් කැරැවූ සේක. මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ අවවාදාචාර්ය වූ සේක. ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ උපාධ්‍යාය වූ සේක.
රාහුල කුමරුන් පැවිදි කිරීම සුදොවුන් රජුගේ බලවත් කනගාටුවට හේතු විය. එබැවින් රජහු බුදුරජාණන් වහන්සේ වෙත එළැඹ වැඳ එකත් පසෙක හිඳ ස්වාමීනි, දරු සෙනෙහස වනාහි සිවියත් සමත් මනසත් නහරත් විනිවිද ගොස් එයින් නොනැවතී ඇට මිදුළු වල හැපී පවතී යයි කීවේය. එම නිසා මා පිය අවසර නැතිව දරුවන් මහණ නොකරන ලෙස වරයක් ඉල්ලූහ. ශික්ෂාපදක් පැණැවීමට මේ ආයාචනය බලාපොරොත්තුව හුන් බුදුරජාණන් වහන්සේ එයටද අනුකූල වූ සේක. ඉක්බිති කාලෝචිත ධර්මාවවාදයෙන් රජුන් සතුටු කොට පින් දහම් කිරීමෙහි උත්සාහවත් කළ සේක. රජු බණ අසා සතුටුව වැඳ නික්ම ගියේය. ඉන්පසු බුදුරජාණන් වහන්සේ භික්ෂූන් රැස් කරවා අවවාද අනුශාසනා කොට මහණෙනි මා පියන්ගෙන් අවසර නොලත් දරුවා මහණ කළ යුතු නොවේ යැයි වදාළ සේක.

පිය රජුට ධර්මපාල ජාතකය දේශනා කිරීම

බුදුරජාණන් වහන්සේ පසුදා උදෑසන දානය සඳහා රජ ගෙදරට වැඩම කරන ලදී. බුදුරජාණන් වහන්සේට දන් පූජා කරමින් සතුටු සිත ඇති කරගන්නා ලදී. භාග්‍යවතුන් වහන්සේ දන් වළදා අවසන් වූ විට සුද්ධෝදන රජතුමා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ ඔබවහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලයෙහි දිනක් එක් දේවතාවක පැමිණ මහරජ, තොප පුත්‍රයා හට බුදු බවට පත්වීමට නොහැකිවී මරණයට පත් විය. මා එහිදී ඒ දේවතාවට කියා සිටියේ මාගේ පුත්‍රයා බුදු වී මිස කුමන විටක හෝ කළුරිය නොකරන බවයි. එසේ පවසා මම ඒ දේවතාවගේ කථාව නොපිළිගත්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මහරජ,ඔබට ඔය වදන් පෙළ ඉතා හුරු වදන් පෙළකි. මින් පෙර කලක මේ මළාවු නුඹේ පුත්‍රයාගේ ඇට කැබලි යැයි වෙනත් පුද්ගලයෙකුගේ ඇට කැබලි ඔබට පෙන්වා සිටි කල ඔබ එම ඇට කැබිලි තම පුත්‍රයාගේ නොවන බව පවසා එම කථාව නොපිළිගත්හ. එම කථා අසා එම සියලු සිදුවීම් විස්තර කරමින් පුරාණ ප්‍රවෘත්තිය ගෙනහැර දක්වමින් රජුට මහා ධර්මපාල ජාතකය දේශනා කරන ලදී.
එම ධර්ම දේශනාව අසා සිටි පිය රජතුමා අනාගාමී ඵලයෙහි පිහිටියහ.
භාග්‍යවතුන් වහන්සේ රාහුල කුමරු මහණ කළ බව අසා හිතේ හටගත් වේදනා තුළ යශෝධරා දේවියට ශෝකය දරාගන්නට නොහැකි විය. මාගේ පුතණුවන් මගෙන් වෙන් කර ගත් බැවින් මම ගිහිගෙයි නොවසමි. මහණ වෙමියි පැවසුවාය.
ඒ පුවත අසා සුද්ධෝදන රජතුමා ඇය කරා පැමිණ මෙසේ ඔවදන් දී ඇගේ සිත සනසන ලදී. දියණිය යශෝධරාවනි, එදා වෙස්සන්තර ජාතකයෙහි තොප වැදු දරුවන් ජූූජක බමුණාට දන් දුන් කල පවා තොප දරු ශෝකය ඉවසා සිටි ජාතින්හි ඇසුවහුද? දාන පාරමිතාව පුරන අනන්ත ජාතීන්හි තොප වැදු දරුවන් ඉල්ලා ආවුනට දන් දුන් වැල් පමණක් ගොඩ කළොත් මේරු පර්වතයටත් වඩා උස්වන බව වදාළා. නොඇසුවහුද, මේ කිසි තැනකදි තොප දොම්නස් නොවු බව වදාළා නොඇසුවද? මෙසේ කලැදැන් උන් වහන්සේ බුදු වී සිය පියාවු මාත් ඇතුළු සකල ලෝකවාසීන් දරු කොට ගත් කලැ තමන්ගේම දරුවා මහණ කැරැගත් බව ගැන කවර දොසක් කියමොද රාහුල කුමරුන් මහණ කැරැවූ බව අසා අද මම උන්වහන්සේ කරා ගියෙමි, ගොස් උන්වහන්සේගේ ධර්ම කථාව අසා තොපට තවත් පුතකු නොසිටින හෙයින් මිස, සිටියි නම් ඔහුත් උන්වහන්සේ වෙත පැවිදි කරවාලනු කැමැති විම්. අද තෙපි ඒ බණ ඇසුවහු නම් මහණ කරවන්නට තවත් පුතක්හු ඇතොත් කොතරම් යසෙක්දැයි සිතන්නහුමය. පෙරැ බොහෝ දරුවන් දන් දුන් උන්වහන්සේට දැන් එක පුතකු නිවන් සැප වින්ඳවීමට තමන් වහන්සේ වෙතට ගැන්ම ගැන තොප ශෝක කිරීම අයෝග්‍යය. ඒ තොප වැන්නන්ට සුදුසු නොවේ. පුතුට හොඳක්ම උන්වහන්සේ කළ සේක. ඔබේ පුත්‍රයා මහණ වී සිය පියාණන් ළඟ සඳු පස්සේ යන නැකත් තරුවක් සේ සිටින්නහු දක්නා දරුවන් ඇතියවුනට ලොවැ තවත් එවැනි සතුටෙක් කොයින් ද තවද මේ කාරණයෙහිද තොප මහණ වුවහොත් එය සැදැහැයෙන් නොවේ. දරු සොවින්ම කළ එකෙකැයි ලෝවැසි තෙම තොප හෙළාදකී. එබැවින් දැන්ම මහණ නොවව මෙසේ කියා ඇගේ ශෝකයද නිවා මහණ වියැ නොදි ඇය රඳවා ගත්හ.

ශාක්‍ය කුමරුවන් පැවිදි වීම

බුදුරජාණන් වහන්සේ නොබෝ කලෙකින්ම කපිලවස්තු පුරයෙන් නික්ම මල්ල රටට වැඩමවා එහි සැරිසරන සේක.අනෝමා නදි තීරයෙහි වූ අනුපිය නිගමයට සම්ප්‍රාප්තවැ එහි අඹ වනයෙහි වසන සේක. එහිදී සුද්ධෝදන රජ්ජුරුවන් විසින් මෙහෙයන ලද ශාක්‍ය රජුන් විසින් යැවුණු කුමරුවෝ බොහෝ දෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි වූහ. ඉක්බිති තවම නොපැවිදිව සිටි භද්දිය, අනුරුද්ධ ,ආනන්ද, භගු, කිම්බිල, දේවදත්ත යන ශාක්‍යයන් සයදෙනාය.
මේ ශාක්‍යයන් සයදෙනා දැක පැවිදි වූවන්ගේ මා පියෝ මොවුන් බුදුනට නො නෑ හෙයින් වේද?. පැවිදි නොවන්නේ යැයි දොස් නැගූහ. ඉක්බිති සයදෙනා සතියක් දෙවියන්සේ රජ සිරි විඳ අටවන දා උපාලි කරනවෑමියා සමඟ මහ සෙනගින් පිරිවැරුණෝ කිඹුල්වතින් නික්ම ගියහ. ශාක්‍ය කෝලිය ජනපද ඉක්මි තැනදි සෙනඟ පෙරළා එවා ඔහු සත්දෙනා අනුපිය අඹ වනයටද වැදෑ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ පැවිදි වූහ. මෙසේ පැවිදි වූ ශාක්‍ය කුමාරවරුන් පසු කලක බුදු සසුන තුළ ස්ථානාන්තරලත් භික්ෂූන් වහන්සේලා විය.
ආනන්ද මහ රහතන් වහන්සේ – අග්‍ර උපස්ථායක හා ධර්ම භාණ්ඩාගාරික විය. උන්වහන්සේ අමිතෝදන රජුගේ පුතනුවන් අනුරුද්ධ මහ රහතන් වහන්සේ – දිවැස් ඇත්තන් අතුරෙන් අග්‍ර විය. උන්වහන්සේ අවුරුදු 150 ක් ජීවත් විය. උපාලි මහරහතන් වහන්සේ විනයධරයන් අතුරෙන් අග්‍රය.
ක්‍රි.ව. 1898 වර්ෂයේ දී ඩබ්ලිව්.සී. පෙප්ජේ මහතා ලුම්බිණියෙන් කි.මී. 13 ක් පමණ දුරින් නේපාල ඉන්දියානු දේශ සීමාවේ ඉන්දියාව පැත්තේ පිහිටි පිප්රහවා නමැති ගමෙහි තිබූ ස්තූපයක් යැයි අනුමාන කළ හැකි ගොඩනැගිල්ලක හරි මැදින් ඇතුළට කැනීම් කළේය. ඒ මහතාට කි.ග්‍රෑම් 669 ක් පමණ බර ඇති විශාල ගල් පෙට්ටියක් හමු විය. එහි පියන විවෘත කළ විට ඒ තුළ විස්මය ජනක දර්ශනයක් දැකීමට ලැබුණි. ඉතා කුඩා පළිඟු කරඬුවක් තුළ රනින් තැනූ නොයෙකුත් නිධන් වස්තු තිබිණි. එහෙත් ඉතාමත් සතුටට පත්වූ දර්ශනය වූයේ සෙන්ටිමීටර් 15ක් උස අකුරු කොටා ඇති දෙවන ගල් කරඬුව ය. කරඬුවේ කොටා ඇත්තේ පහත සඳහන් වැකිය යි.
ඉයං සලිලනිධනෙ බුදස භගවතෙ සකියානං

එම රන් කරඬුව තුළ ධාතුන් වහන්සේලා තැන්පත් කර ඇති ආකාරය
සුකිති හතිනං සභගිනකානං සපුතදලතං
ඉන්දියාවේ සොයාගත් ඉතාමත් පැරණි කියවා තේරුම්ගත හැකි ලිපිය ලෙස මෙය සඳහන් කළ හැකි ය. පසුව එම කරඬුවේ අකුරින් ලියන ලද පණිවුඩයේ පරිවර්තනය පුරාවිද්‍යාඥයෝ ඉදිරිපත් කළහ. එම කරඬුව තුළ වූයේ ශාක්‍ය වංශිකයින් විසින් ඔවුන්ගේ සහෝදර සහෝදරියන් පුත්‍රයන් සහ භාර්යාවන් සමඟ එකතුව තැන්පත් කළ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බවය.
එහිදී සොයාගන්නා ලද එම ධාතුන් වහන්සේලා අද වන විට ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලියේ ජාත්‍යන්තර කෞතුකාගාරය තුළ බුරුම බෞද්ධයන් විසින් තනවා පූජා කරන ලද රන් කරඬුවක් තුළ ඉතා ආරක්ෂිතව ධාතුන් වහන්සේලා කොටස් 16 ක් එහි තැම්පත් කර අත. එම ධාතුන් වහන්සේලා සියැසින් දැක වන්දනා කිරීමට හැකියාව ඇත. තමන් පැමිණි දඹදිව වන්දනාව අර්ථවත් කරගැනීම සඳහා නවදිල්ලියට ගිය විට සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ එම උතුම් ධාතුන් වහන්සේලා වන්දනා කිරීම සඳහා අමතක නොකරන්න. ඒ සඳහා සිකුරාදා දිනයන්හි හැර අනික් දිනයන්හි ධාතුන් වහන්සේලා දැක වන්දනා කිරීමට හැකියාව ඇත.

කපිල වස්තු ධාතුන් වහන්සේලා තැන්පත් කර ඇති රන් කරඬුව
එම ධාතුන් වහන්සේලා ලංකාවට ද වඩමවා ගෙනවිත් කපිලවස්තු පුරයෙන් හමුවූ සර්වඥධාතුන් වහන්සේලා ලෙස මෙරට ප්‍රධාන නගරවල ප්‍රදර්ශනය කළ බව සැදැහැවතුන්ට මතක ඇත.
අප දැන් සිටින්නේ කපිලවස්තුපුර පූජා භූමිය තුළ යැයි කල්පනා කරමු. මෙම ස්තූපයට මඳක් නැඟෙනහිරින් විශාල සංඝාවාසයක නටබුන් ඇත. එම සංඝාවාස භූමියේ තිබී හමුවූ මුද්‍රාවක් මත කපිලවත්ථු භික්ෂු සංඝ යන සටහනක් කර තිබිණි. මෙයින් විජරහවා සහ ඒ අවට නටබුන් ස්ථිරවම බුදුරජාණන් වහන්සේගේ ඥාතීන් ජීවත් වූ ශාක්‍ය ජනපදයේ කපිලවස්ථු නගරයේ කොටස් බවත් ඔවුන් විසින් පූජා කරන ලද නිග්‍රෝධාරාමයේ නටබුන් බවත් පැහැදිලිය. එම සංඝාවාස පසු කලක කණිෂ්ක රජතුමා විසින් ප්‍රතිසංස්කරණය කරන ලද්දකි. ඒ අවට ඇති වෙනත් නටබුන් නම් භික්ෂූන් වහන්සේලාට ධර්ම දේශනාවලට සවන්දීම සඳහාත් ධර්මදේශනා පැවැත්වීම සඳහාත් ඉදිකරන ලද පොදු රැස්වීම් ශාලාවක් ලෙස පිළිගැනෙන ගොඩනැගිල්ලෙ නටබුන්ය. දකුණු දෙසින් මිනිසුන් විසින් බාරහාර ඔප්පු කිරීම සඳහා ඉදිකරන ලද ස්තූපයක් හා කුඩා සංඝාවාසයක් දැකිය හැකිය. බස්නාහිර තවත් සංඝාවාසයක් දැකිය හැකිය. තව තවත් ඉදිරියට යන විට පුරාණ ළිං පොකුණු ආදි නොයෙක් නටබුන් මෙම ස්ථානයේ දැකිය හැකිය. විශාල ප්‍රදේශයක එදා නිග්‍රෝධාරාමය ඉදිකැර තැබුණු බවට සාක්ෂි හමුවෙයි.

එම ධාතුන් වහන්සේලා අතුරෙන් ලංකාවට වැඩම කරවන ලද ධාතුන් වහන්සේ.
උත්තර ප්‍රදේශයේ ප්‍රධාන නගරයක් වන ගොරක්පූර් නගරයට ගිය විට එහි සිට බස් රථයෙන් හෝ දුම්රියෙන් කපිලවත්ථු පුරයට ඉතාම ආසන්න නගරය වන නවුගාර්වලට සිද්ධාර්ථ නගර් පැමිණිය හැකිය. නවුගාර්වල සිට අලිගඩවා වෙත යන බස් රථයෙන් හෝ ත්‍රීරෝද රථයකින් නැති නම් ජීප් රථයකින් එහි යා හැකිය. බර්ඩ්පුර්වල සිට කපිලවත්ථුපුරයට ඇත්තේ කිලෝමීටර් 8 කි. මෙහි මාර්ගය ඉතා හොඳින් සකස් කර ඇත. ලුම්බිණියේ සිට කපිලවස්තු වෙත දුර ප්‍රමාණය කි.මී. 88 කි. සැවැත්නුවර සිට දුර කි.මී. 148 කි.

සුද්ධෝදන රජතුමා ගිලන්වීම හා පිරිනිවන් පෑම

බුදුරජාණන් වහන්සේ පස්වෙනි වස විශාලා මහ නුවර කුටාගාර ශාලාවේ වැඩ වෙසෙන සමයෙහි පිය රජතුමා රෝගාතුර වී සිටින බව දැන ගන්නට ලැබුණි. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා සමඟ කපිලවස්තු නුවර සුද්ධෝදන රජතුමාගේ මාලිගාවට වැඩම කර රජු සැතපුන ඇඳේ හිස පැත්තේ පණවන ලද අසුනේ වැඩහිඳ හිස පිරිමැද සත්‍ය ක්‍රියා කළහ. එයින් රජතුමාගේ ශරීරයේ වේදනා සංසිඳී ගියේ ය. බුදුරජාණන් වහන්සේ අනිත්‍යතාවය දක්වන ධර්ම දේශනා කළ සේක. ධර්මය අසා රජතුමා රහත් විය. එතැන් පටන් සතියක් විමුක්ති සැප විඳිමින් කල්ගෙවා පිරිනිවන් පෑහ. පිය රජතුමාගේ ආදාහන කටයුතු සිදුකර කපිලවස්තු නුවරින් පිටත්ව සුද්ධෝදන රජතුමාගේ පිරිනිවන් පෑමෙන් පසුව මහා ප්‍රජාපතී ගෝතමිය හිස මුඩුකර කසාවත් ඇඳ ගත්තේ ය. එමෙන්ම ශාක්‍ය කෝලිය යුද්ධ සංසිඳවීමෙන් පසු පැවිදි වූ කුමාරවරුන් පන්සිය දෙනාගේ භාර්යාවන් පන්සිය දෙනාගේ ද හිස මුඩුකර කසාවත් අන්දවා ගත්තේ ය. මේ පිරිස සමඟ ප්‍රජාපතී ගෝතමිය පාගමනින් ම විශාලා මහනුවරට ගියහ. ඒ අවස්ථාවේ ආනන්ද හිමියන්ගේ මැදිහත්වීමෙන් අෂ්ඨ ගරු ධර්ම පිළිගැනීමට කැමති වීම නිසා මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තා පිරිසට බුද්ධ ශාසනයේ පැවිද්ද ලබා ගැනීමට හැකි විය. එතැන් සිට ලොව භික්ෂුණී ශාසනය ආරම්භ විය. බුද්ධ ශාසනයේ සිව් පිරිසට අයිති භික්ෂුණීන් වහන්සේලාගේ ආරම්භයට මුල් වූයේ ද කපිලවස්තු පුරයෙහි ජීවත් වුන ශ්‍රේෂ්ඨ කාන්තා පරපුරය.

එම ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබූ ශෛලමය කරඬු දෙක
බුදුරජාණන් වහන්සේ වේරංජාවෙහි දොළොස්වෙනි වස්කාලය භික්ෂූන් වහන්සේලා සමඟ ගත කර එය අවසන් වූ පසුව නැවත වරක් භික්ෂූන් වහන්සේලා සමඟ කපිලවස්තු නුවර නිග්‍රෝධාරාමයට වැඩම කළසේක. මහානාම රජතුමා පැමිණ බුදුරජාණන් වහන්සේගෙන් හා භික්ෂූන් වහන්සේලාගෙන් තොරතුරු විමසුවේ ය. භික්ෂූන් වහන්සේලා තමන්ට වේරංජාවෙහි ගත කරන්නට සිදු වූ වස් හාර මාසය පිළිබඳ තොරතුරු දැන්වූහ. එම තොරතුරු ඇසීමෙන් රජතුමා දුකට පත් විය. රජතුමා බුදුරජාණන් වහන්සේ වෙත ගොස් “ස්වාමිනී වේරංජාවේදී සුදුසු පරිදි ආහාර නොලැබීම නිසා භික්ෂූන් වහන්සේලා දුර්වල වී ඇත. එම නිසා මම හෙට පටන් සාර මාසයක් ඔබ වහන්සේ ප්‍රධාන භික්ෂූන් වහන්සේලාට දන් දෙන්නෙමියි ආරාධනා කළේ ය. එම ආරාධනාව බුදුරජාණන් වහන්සේ පිළිගත් සේක. රජතුමා සාර මාසයක් දන් පූජා කළහ.
බුදුරජාණන් වහන්සේ දෙවන වර කපිලවත්ථු නුවරට වැඩම කර නිග්‍රෝධාරාමයේ වැඩ සිටින අතර ශාක්‍ය කෝලිය දෙවංශයෙහි නායකයෝ රෝහිණී නදියේ ජලය බෙදා ගැනීමට යුද්ධ ප්‍රකාශ කර සිටියහ. ශාක්‍යවරු සහ කෝලියවරු තම වගා කටයුතුවලට ජලය ලබාගැනීම පිණිස ගඟ හරහා වේල්ලක් බැඳ අවශ්‍ය ජලය ප්‍රමාණවත් නොවී ගී‍්‍රෂ්ම කාලයේ ජලය ලබා ගැනීමට ගිය දෙවංශයේ කම්කරුවන් අතර සුළු ආරවුලක් ඇතිවිය. ශාක්‍ය වංශයේ කම්කරුවෝ කපිලවත්ථු නුවර ගොවිතැන්වල අස්වැන්න නෙළා ගැනීමට ආසන්න නිසා ජලය එම ප්‍රදේශයට අවශ්‍ය බව දැන්වූහ.
කෝලිය වංශයේ කම්කරුවෝ තමන්ගේ අස්වැන්නත් නෙළා ගැනීමට ආසන්නව ඇති නිසා තමන්ට ජලය අවශ්‍ය බව කියා අපට තව එක්වරක් නදියේ තිබෙන ජලය ප්‍රමාණය ලබාදුනහොත් එයින් අපගේ වගාවන් පැසී අස්වැන්න නෙළාගත හැකි බව ප්‍රකාශ කළහ.

ශාක්‍ය කම්කරුවෝද “ඔබලාගේ අස්වැන්න නෙළාගෙන ගබඩා පුරවාගත්තාට පසුව අපේ ගබඩා ධාන්‍යයෙන් හිස්වෙයි. අපට කිසිවක් නැත. අපටත් ගඟේ තිබෙන ඔය ජලය එකවරක් ලැබුණොත් අස්වැන්න නෙළාගත හැකියයි. ප්‍රකාශ කළහ. ජලය අපට අවශ්‍යය. ඔබලාට ජලය දෙන්නේ නැත. ජලය අපට අවශ්‍යය. ඔබලාට ජලය දෙන්නේ නැත යනුවෙන් දෙපක්ෂයේ කම්කරුවෝ කීහ. දෙපක්ෂයේම අදහස වූයේ ජලය තමනටම ලබා ගැනීමය.
මෙම කථාව කම්කරුවන් අතර රළුවී ගියහ. කෝලිය කම්කරුවෝ ශාක්‍ය කම්කරුවන්ට ඇනුම් කියන්නට වූයෙන් ආපසු යන ලෙස දැන්වූහ. අපි ශාක්‍යයන් සමඟ ඇත්, අස් හමුදා සහිතව යුද්ධ කිරීමට සූදානම්.
එය ඇසූ ශාක්‍ය කම්කරුවෝ ඔබලාත්, දරුවන් අරගෙන ආපු පළාතකට යනු, කෝලියයයෝ ජීවත්වන්නේ පහත් අයුරින් අපිත් සූදානම් යුද කිරීමට.
මෙම රජපවුල් දෙකෙහි උපත ගැන කියූ උපහාස අමාත්‍යවරුන් මගින් ශාක්‍ය කෝලිය, රාජ්‍ය නායකයින්ට දැන ගන්නට ලැබුණි. ශාක්‍ය නායකයින් යුද ඇඳුම් ඇඳ අවි ආයුධ අතට ගෙන සේනාව සමග පැමිණ අපේ ශක්තිය පෙන්වන්නෙමුයි. යුද්ධ ප්‍රකාශ කළහ.
කෝලිය රාජ්‍ය නායකයෝද යුද ඇඳුම් ඇඳ අවි ආයුධ අතට ගෙන සේනාව සමඟ පැමිණ ශක්තිය පෙන්වන්නෙමුයි ප්‍රකාශ කර යුද්ධ කිරීමට ඉදිරියට පැමිණියහ. මේ නදියේ ජලය බෙදා ගැනීමට ශාක්‍ය කෝලිය දෙපිරිස අතර ඇති අරගලය කාලාන්තරයක් තිස්සේ පැවත විත් උත්සන්න වූ මොහොතකි මේ.
බුදුරජාණන් වහන්සේ ලෝපතල මහා කරුණාවෙන් උදෑසන ලොව දෙස බලද්දී තම නෑදෑයින් සටන් වදින බව දැන මෙසේ සිතීය.
යුදපිටිය තරම් මගේ සේවය අවශ්‍ය වෙනත් බිමක් නොමැත. මා එහි නොගිය හොත් මේ අය එකිනෙකා නැතිකර ගැනීමට ඉඩ ඇත. ඔවුන් අතරට යාම මාගේ යුතුකම යයි සලකා බුදුරජාණන් වහන්සේ එහි ඍද්ධියෙන් වැඩම කොට දෙපිරිසට මැදිවනසේ ගඟ මැද වැඩසිටි සේක. මෙය දුටු ශාක්‍ය, කෝලිය ඤාති පිරිස අමෝරා ගත් අවි සියල්ලම ඉවතට දමා නමස්කාර කළහ. උන්වහන්සේ මෙසේ විචාළේය.
මහරජ මේ යුද්ධය කුමක් නිසාද?
අපි නොදනිමු, ස්වාමීනි
එසේ නම් කවුරු දනිත්ද?
හමුදාවේ ප්‍රධාන අණදෙන සේනාධිපති දැන ගත යුතුය
හමුදාවේ සේනාධිපතිගෙන් විමසූවිට දෙවන හමුදා සේනාපති දනු ඇතැයි ඔහු පැවසීය.
මේ අන්දමින් උන්වහන්සේ එකිනෙකාගෙන් ප්‍රශ්න කර අන්තිමට නව වෙනියා වන කම්කරුවන්ගෙන් ඇසූ සේක.
ස්වාමීනි, මෙය රෝහිණී නදියේ ජලය බෙදාගැනීමට ගොස් ඇති වූ යුද්ධයක් යයි ඔවුහු පැවසූහ.
එවිට බුදුරජාණන් වහන්සේ රජතුමාගෙන් මෙසේ ප්‍රශ්න කළහ.
ජලයේ වටිනාකම කොපමණද? මහරජ,
ස්වාමීනි, ඉතා සුළුය
යුද්ධ භටයෙකුගේ වටිනාකම කොපමණද?
ස්වාමීනි, යුද භටයෙකුගේ වටිනාකම මිල කළ නොහැකිය.
ඔබලාට වැදගත් වන්නේ ජලයද?
රජතුමනි, සුළු වටිනාකමක් ඇති ජලය ස්වල්පයක් නිසා මිල කළ නොහැකි යුද භටයිින් මැරීම නුසුදුසුය. ලේ හලා ගැනීම නුසුදුසුය. සියලු දෙන නිහඬව සිටියහ. මා මෙහි නොපැමිණියා නම් ඔබ සියල්ලෝම ලේ ගංගාවක් ගලා යාමට ඉඩ සලස්වනු ඇත. මේ කටයුතු නිශ්ඵලය.බුදුරජාණන් වහන්සේ සමගියේ ආනිසංසත් මේ අවස්ථාවේ වදාළ බව ධම්මපදට්ඨ කථාවේ සුඛවග්ගේ 197- 198 ගාථාවලින් පැහැදිලිය.
මේ දෙපිරිසගේ වෛරය සංසිදවීම පිණිස අත්තදණ්ඩ සූත්‍රය දේශනා කළ සේක.
වෛර කිරීමේ දොස් හා සමගියේ ආනිසංස සඳහන් වන එන්දන ජාතකය දද්දභ ජාතකය ,ලටුකික ජාතකය, වට්ටක ජාතකය, දේශනා කර දෙපිරිස සමගි කරවූහ. දෙපිරිසම සමගිව බුදුරජාණන් වහන්සේ මෙතැනට නොවැඩීයානම් අපි යුද්ධ කොට විශාල පිරිසක් මරණයට පත් වන්නෙමු. බුදුරජාණන් වහන්සේ නිසා අපගේ ජීවිත ආරක්ෂා වීයයි පැහැදී ශාක්‍ය වංශයෙන් දෙසිය පනස් දෙනෙක්ද කෝලිය වංශයෙන් දෙසිය පනස් දෙනෙක්ද වශයෙන්ද පන්සියයක් කුමාරවරු උන්වහන්සේට පිරිවර පිණිස දුන්හ. මේ කුමාරවරු පන්සියයම ඒහි භික්ෂුභාවයෙන් පැවිදි කළහ.
බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පන්සියයක් සමග කපිලවත්ථු නුවර නිග්‍රෝධාරාමයේ වැඩ වාසය කළ සේක. මේ අවදියේ ශාක්‍ය කුලයෙන් පැවිදි වූ කුමාරවරුන්ගේ භාර්යාවන් එම හිමිවරුන්ට සිවුරු හැර මාලිගාවට එන ලෙස නොයෙක් වර පණිවුඩ යැවූහ. භික්ෂූන් වහන්සේලා පැවිදි ජීවිතයෙහිම ගත කිරීමට කැමැත්ත පළ කළහ. නිග්‍රෝධාරාමයෙහිම බණ අසා මේ පන්සියයක් භික්ෂූන් වහන්සේ රහත් වූහ. පසුව පැමිණි උසභ, නිසභ, ගෞතම යන ශාක්‍ය කෝලිය කුමාරවරු තිදෙනාද පැවිදි වූහ.
මහා සමය සූත්‍ර දේශනාව
බුදුරජාණන් වහන්සේ ශාක්‍ය කෝලිය දෙපිරිසෙන් පැවිදි වූ පන්සියක් රහතන් වහන්සේලා පිරිවරා ශාක්‍ය ජනපදයේ කපිලවත්ථු නුවර මහාවනයට (නිග්‍රෝධාරාමයට) වැඩම කළහ.අසිරිමත් වූ මේ සිද්ධිය දැකීමට දෙවියෝ රැස්වූහ. එම පිරිස හමුවේදී මෙම සූත්‍රය දේශනා කළ සේක. මෙම සූත්‍රයේ ඒ බව සඳහන් වේ.
මෙම සූත්‍ර දේශනාවට අනුව සුද්ධාවාස බඹ ලොව වසන දෙවිවරුන් සතර දෙනෙකුට මෙබඳු අදහසක් ඇතිවිය. මේ භාග්‍යවතුන් වහන්සේ කපිලවත්ථු නුවර අසල මහා වනයේ සියලු දෙනා රහත්වූ පන්සියයක් භික්ෂූන් ගෙන් යුක්ත වූ මහත් භික්ෂු සංඝයා සමග වැඩ වසන සේක. දසදහසක් ලෝක ධාතුවලින්ද දෙවියෝ භාග්‍යවතුන් වහන්සේද භික්ෂු සංඝයාද දැකීම පිණිස බොහෝ සෙයින් රැස්වූවෝ වෙත්, අපිදු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතනට එළඹෙන්නෙමු නම් එළඹ භාග්‍යවතුන් සමීපයෙහි එක එක ගාථාවන් කියන්නෙමු නම් ඉතා යහපතැයි සිතූහ.
ඉක්බිති ඒ දේවතාවෝ බලවත් වූ පුරුෂයෙක් හකුලවන ලද අතක් දිගුකරන්නේ යම් සේද දිගු කරන ලද අතක් හකුළු වන්නේ යම් සේද එපරිද්දෙන් සැණෙකින් සුද්ධාවස දෙවියන් අතුරෙන් අතුරු දන්වූවෝ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පහළ වූහ.
ඉක්බිති ඒ දේවතාවෝ භාග්‍යවතුන් වහන්සේට මනා කොට වැඳ එකත් පසෙක සිටියාහුය. ඉන් එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මෙම ගාථාව කීයේය.
මහා සමයෝ පවනස්මිං – දේවකායා සමාගතා 
ආගතම්හ ඉමං ධම්ම සමයං – දක්ඛිතායේ අපරාජිත සංඝනති

මේ මහා වනයෙහි දිව්‍ය සමූහයා රැස්වූ මහා සමාගමකි. අපි කෙලෙසුන් ගෙන් නොපැරදුන මහා සංඝයා දක්නා පිණිස මේ ධර්ම සමාගමයට පැමිණියෙමු.