, දඹදිව වන්දනා දඹදිව වන්දනා - BUDDHIST PILGRIMAGE TOURS TO INDIA: බුද්ධගයාව තවදුරටත් (තෝරා) බේරාගත යුතුව ඇත

ක්‍රි.පූ. 6 වැනි සියවසේ සිට ක්‍රි.ව. 11 වන සියවස පමණ වන තෙක්‌ භාරතීය අධිරාජ්‍යයන්හි, දේශපාලන ප්‍රවණතා, යුද්ධ රාජ්‍ය මර්දනය මෙන්ම බාහිර ආක්‍රමණ, බෞද්ධ දර්ශනය මර්දනය සඳහා මැදිහත් වූ ආකාරය...

.

බුද්ධගයාව තවදුරටත් (තෝරා) බේරාගත යුතුව ඇත



"සිංහලයෙනි අවදිවව්" "බුද්ධගයාව බේරාගනිව්" කියමින් සිංහලයන් අවදි කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාණන් ගැන සිංහලයන් මෙන්ම බෞද්ධයන් හැටියට අප අසන්නේ පාසලේ කියාදුන් පාඩම් තුළිනි. ඒ වගේම එතුමාණන්ගේ ජන්ම දිනයට පමණක්‌ සීමා වූ උත්සව හා පිංකම්වලිනි. සිංහල බෞද්ධයන් හැටියට එතුමාණන් පිළිබඳ හරිහැටි අවබෝධයක්‌ ඇතිකර ගැනීමට සිංහල බෞද්ධයන් හට ලබාදී තිබෙන අවස්‌ථාව බොහෝ අඩු බව දැනෙන්නේ බුදුන් උපන් දේශයට එනම් දඹදිව ගිය විටය. දමිළ හින්දු ජාතිකයන් ඉදිරියේ සිය ජීවිතය පරදුවට තබා සිංහලයන් අවදිකළ ඒ උතුම් ශ්‍රේෂ්ඨ ජන නායකයා වූ ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාණන් කළ ජාතික මෙහෙවර නොතිබුණා නම් අද ඉන්දියාවේ බුදු සසුන පවතින්නේද නැත. එතුමාණන්ට පිංසිදුවන්නට අද සියලු බෞද්ධයෝ බුදුන් වහන්සේගේ සියලු සිද්ධස්‌ථාන වැඳ පුදා ගැනීමට හැකිවී ඇත. එහෙයින් දඹදිව යන හා නොයන සෑම දෙනාම අප මහ බෝසතාණන් වහන්සේ වැඩ සිටි සිද්ධස්‌ථාන වැඳ පුදා ගත්තේ නම් එතුමන් සිහිකිරීම බෞද්ධයන් හැටියට අපගේ යුතුකමකි. 1891 වර්ෂයේ එතුමන් බුද්ධගයා භූමියට පාතැබුවේ කිසිදු හිතක්‌ පපුවක්‌ නොමැති 'මහන්තා' නම් හින්දු අධිපතිවරයාගෙන් බුද්ධගයාව බේරා ගැනීමටය. එදා ජපානයෙන් ලැබුණු බුදු පිළිමයක්‌ එතුමා බුද්ධගයා පුද බිමෙහි තැන්පත් කළේ අප මහ බෝසතාණන් වහන්සේ නැවත ජීවමානව වැඩ සිටින බව මුළු ලෝකයාට පෙන්වමිනි. එහෙත් සුළු මොහොතින් 'මහන්තා' නම් හින්දු ජාතිකයාගේ කුලී හේවායින් පැමිණ එම පිළිම වහන්සේ ඉවතට විසිකරන ලදී. ඒ මොහොතේම එතුමන් හැඬූ කඳුළින් බුදුන් වැඩසිටි වජ්‍රාසනය වෙත ගොස්‌ එහි මත හිස තබා අධිෂ්ඨානයක්‌ කළේය.

"ලෝක සත්ත්වයා දුකින් මුදාගැනීමේ සත්‍ය මාර්ගය වන ප්‍රඥව සම්බුද්ධත්වය ලැබූ මේ ශුද්ධ භූමිය මම කවර දා හෝ මිසදිටුවන්ගෙන් මුදාගනිමි" යනුවෙනි. එතුමාට මහන්තාගෙන් පමණක්‌ නොව කළු සුද්දන්ගෙන්ද අපහාස උපහාස විඳීමට සිදු විය.

"මා මතු ආත්මයේදී ඉන්දියාවේ ම මිස ශ්‍රී ලංකාවේ නම් යළි නෙඉපදේවා" යි, ප්‍රාර්ථනා කළේ එතුමා ඒ නිසාය. සියලු දුක්‌ ගැහැට විඳිමින් එතුමාට හින්දු භක්‌තිකයකු ලෙස ලෝකයා ඉදිරියේ පෙනී සිටීමට සිදුවිය. ඒ මහන්තාගේ සහ සියළු බලවේලවලින් මිදීම සඳහාය. එසේ ඔවුන් රවටමින් බුද්ධගයාව සිංහල බෞද්ධයන් ට අයිති දෙයක්‌ ලෙස 1949 වර්ෂයේ මුළු ලෝකයා ඉදිරියෙහි එහි අයිතිය නිල වශයෙන් ලබා ගැනීමට එතුමන් ගෙනගිය වැඩපිළිවෙල සාර්ථක විය. එහෙත් එම අයිතිය හිමිවන විට එතුමන් ජීවතුන් අතර නොසිටියේය. එදා එතුමන් කළ මෙහෙවර මෙසේ කෙටියෙන් හෝ සඳහන් කළේ අද අප සියලු දෙනාට හිරිහැරයකින් තොරව දඹදිව සියලු සිද්ධස්‌ථාන වැඳ ගැනීමට හැකිව ඇත්තේ අනගාරික ධර්මපාල තුමාණන් නිසාවෙනි. ඒ රැකදුන් අප මහ බෝසතාණන් වහන්සේ ඉපදුණු එම බෞද්ධ රාජ්‍යයට ගොස්‌ වැඳ පුදා ගැනීමට හැක්‌කේ කීයෙන් කී දෙනාටද?

ජීවිතයේ එක්‌වරක්‌ හෝ සියෑසින් දැක ධර්ම සංවේගය උපදවා ගත යුතු ස්‌ථාන හතරක්‌ ගැන ද එදා බුදුරජාණන්වහන්සේ දේශනා කර ඇත. බෝසතාණන් වහන්සේ ඉපැදුණු ස්‌ථානය වූ ලුම්බිණිය, බුද්ධත්වය ලැබූ බුද්ධගයාව, පිරිනිවන් පෑ කුසිනාරාව හා බුද්ධත්වයෙන් පසු පැවැත්වූ ප්‍රථම ධර්ම දේශනය වන පස්‌වග මහණුන්ට දේශනා කළ ධර්මචක්‍ර සූත්‍රය දේශනා කළ බරණැස ඉසිපතන මිගදායෙ යන පුණ්‍ය භූමිය එම ස්‌ථාන හතරවේ.

එම බෞද්ධ රාජ්‍යයට එකසිය පනහක පමණ උපාසක උපාසිකාවන් පිරිසක්‌ ගමන් ගත් වන්දනා නඩයටට එක්‌වීමට මාහටද අවස්‌ථාව හිමිවිය. එම ගමන පොකුණ හංදිය, ගනේමුල්ල සම්පත් සංචාරක ආයතනය විසින් සංවිධානය කර තිබුණු අතර එහි අධිපති පණ්‌ඩුක සම්පත් මහතා විසින් සියලුම වන්දනාකරුවන් හට ගෙනයා යුතු දැ නොගෙන යා යුතු දැ පිළිබඳ මනා අවබෝධයක්‌ ලබා දී තිබුණි.

සෑම කෙනෙකු හටම ගමන් බෑගයක්‌ ලබාදී පවත්වනු ලබන සෑම පූජා කටයුත්තකටම අවශ්‍ය කරන පූජා භාණ්‌ඩ එහි ගෙන යැමට අවශ්‍ය පහසුකම් සලසා දී තිබුණි. සුදුවතින් සැරසුනු සියලු දෙනා කටුනායක ගුවන්තොටුපලේ සිට පැයක ගුවන් ගමනකින් පසු දකුණු ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපළට පැමිණියෙමු. එහි සිට දින දෙකක කාලයක්‌ දුම්රියේ ගතකර බෝපාල් දුම්රිය පළෙන් බැස සාංචි පුදබිම වෙත ගමන් ඇරඹූහ. එදා සාංචි හැඳින්වූයේ ෙච්තියගිරි නමිනි. දිල්ලියේ සිට සාංචියට දුර කි.මි. 745 කි. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීමත් ජය ශ්‍රී මහ බෝධින් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාවක්‌ ලංකාවට වැඩම කරගෙන ආ සඟමිත් මහ තෙරණින් වහන්සේ පැමිණියෙත් මෙම සාංචි පුදබිමෙහි සිටය. ඒ වගේම තුන්වන ධර්ම සංගායනාව මෙහෙය වූ මොග්ගලිපුත්තතිස්‌ස හිමියන්ගේ ධාතුන් වහන්සේලා නිධන් කර ඇත්තේද මෙම පූජා භූමියේය. අඩි 300 ක්‌ පමණ උස කඳුමුදුනක මෙම සාංචි පුදබිම පිහිටා ඇත. එසේම සාංචි ස්‌තූප ඉතිහාසයේ පැරණිම නිර්මාණයක්‌ වන අතර සාංචි තොරණින් පිළිබිඹු කරන ජාතක කතාවන් මෙන්ම මුළු ලෝකයාම මවිත කළ ඉතා අලංකාර ගල් කැටයම් මෙහි දක්‌නට ඇත. බුද්ධ චරිතයේ විවිධ අවස්‌ථා හා බුද්ධ ඉතිහාස තොරතුරු, සත් බුදුවරුන්ගේ රූප, කැටයම් හා මෝස්‌තර විදහා දැක්‌වෙන තොරන් හතරක්‌ උතුරු දකුණු, නැගෙනහිර, බටහිර ලෙස අශෝක රජතුමා විසින් නිර්මාණය කර තිබීම බෞද්ධයන් වන අප අනිවාර්යයෙන් දැක බලා ගත යුතුවේ. ඇතැම් පිරිස්‌ දඹදිව වන්දනා කිරීමට ගියද මෙම සාංචි පුදබිම අත්හරිති. ඒ වන්දනා නඩය මෙහෙය වන්නාගේ ඕනෑ එපාකම් මතය. ගමනේ පහසුව සඳහා අප මුලින්ම පා තැබුවේ එම සාංචි පුදබිම වෙතය. ඉන් අනතුරුව දුම්රියෙන් ගමන් ඇරඹුවේ බරණැස වෙතය. බුදුන්වහන්සේ බුද්ධත්වයෙන් මාස දෙකකට පසු පස්‌වග මහණුන්ට මංගල ධර්ම දේශනාව වන ධම්මචක්‌ක සූත්‍රය දේශනා කිරීම සඳහා බරනැස ඉසිපතනයට වැඩම කළහ.

පිරිත් සූත්‍රයේ බාරාණාසියං ඉසිපතනේ මිගදායේ යනුවෙන් ආරම්භය පටන්ගනී. බරණැස එදා හැඳින්වූයේ වරණාසි යනුවෙනි. වරණාසි ලෙස පැරණි දඹදිව සිතියමේ සඳහන් වන්නේ කසී රට වශයෙනි. ඔබ පැරණි ජාතක කථා වල කසී රට ලෙස බොහෝ විට අසා ඇත. කසී රට මැදින් වරණ හා අසී යනුවෙන් ගංගා දෙකක්‌ තිබී ඇත. මේ නම් දෙක එක්‌වි වරනාසි ගම හැදී ඇත. පසුව එය බරණැස වී ඇති බව පොත්පත්වල සඳහන්වේ. ඉසිපතනය ලෙස හැඳින්වූයේ එදා රහතන් වහන්සේලා අහසින් වඩින විට මේ පිංබිමට පැමිණ සමාධි සුව වින්දහ. එම නිසා රිසිපතන වී පසුව ඉසිපතන ලෙස වී ඇත. බරණැස්‌ නුවර රජ කළ බ්‍රහ්මදත්ත රජ සමයේ එකල බෝධි සත්වයෝ රන මුවෙකු ලෙස මුව පන්සිය දෙනකුගේ නායකයා වෙමින් කටයුතු කළේය. හේ නමින් නිග්‍රෝධ මිග නම් විය. එම ප්‍රදේශයේම සක්‌බමිග නම් මුවෙකු යටතේ තවත් මුවන් පන්සියකගේ කණ්‌ඩායමක්‌ සිටියහ. බ්‍රහ්ම දත්ත රජුට දිනකට එක්‌ මුවා බැගින් මරා අනුභව කිරීමට අවශ්‍ය විය. මේ විපත නිසාම මුව රංචු දෙකම කතා කරගෙන පිළිවෙලට එක එකා දංගෙඩියට යැමට එකඟ විය. දිනක්‌ සක්‌ මිග නායකයාගේ ගැබ්බර මුව දෙනකට වාරය පැමිණියේය. කුසෙහි සිටින පැටවා ජීවත් කිරීම සඳහා මරණයෙන් බේරීමට විසඳුමක්‌ සෙවීය. ඒ සඳහා නිග්‍රෝධ මිග වෙත එනම් බෝධිසත්වයන් හමුවීමට ගියහ. සිදුවීමට යන විපතට කම්පා වී බෝධිසත්වයෝ රජුගේ දංගෙඩිය වෙත ගොස්‌ රජු ඉදිරියෙහි ගැබ්බර මුව දෙනට අභය දානය දෙන ලෙසත් ඒ සඳහා මාව අනුභව කරන ලෙසත් දන්වා සිටියේය. ඒ අසා රජ දෙදෙනාටම අභය දානය දීමට එකඟ විය. එහෙත් දෙදෙනෙකුට පමණක්‌ අභයදානය දීම අර්ථ ශුන්‍ය දෙයක්‌ බව බෝධිසත්වයෝ පෙන්වා දුන්හ. ඒ අසා රජ සියලු මුවන්ට අභය දානය දුන්නේය. එදා පටන් මුවන්ට වෙන්කළ වනය මිගදාය ලෙස නම් විය.

අප පූජා භූමිය වැඳ පුදා ගත්තද පැරණි මූලගන්ධ කුටි විහාරය අවට සහ එම පුදබිමෙහි ඉන්දියානුවන් එනම් හින්දු ජාතිකයන් තවමත් අපගේ බෞද්ධ සිද්ධස්‌ථානවලට කිසිදු ගරු සැළකිල්ලක්‌ නොමැතිව කටයුතු කරන ආකාරය දැකීම එහි ගිය සියලු දෙනාට ඇස්‌ දෙකට කඳුළු ගෙන දෙන්නකි. එම පුදබිම් "පාක්‌" එකක්‌ ලෙස ඔවුන් යොදා ගෙන ඇත. සැම තැනකම තරුණ ජෝඩු අත්වැල් බැඳගෙන ඔවුන්ට රිසිසේ විනෝද වෙති. ඒවා දැක දැක වන්දනා කිරීමට අපට සිදුවී ඇත. එසේම අනගාරික ධර්මපාලතුමන් විසින් අලුතින් නව මූලගන්ධ කුටි විහාරය ඉදිකරන ලදී. දිනපතා සවස 6.00 ට ධම්මචක්‌ක සූත්‍රය භික්‍ෂුන් වහන්සේලා විසින් දේශනා කරනු ලැබේ. පිරිත් ඇසීමට බැතිමතුන් සූදානම් වන්නේ සවස 4.00 සිටය. මන්ද ඒ තරමට විහාර භූමිය මෙරට සැදැහවතුන්ගෙන් පිරී ඉතිරී යයි. එවැනි පුදබිමක අලුයම් කාලයේ එනම් උදේ 5.00 ට පමණ සෙනඟ පිරෙන්නේ හින්දු ජාතිකයන්ගෙනි. ඒ ශාරීරික ව්‍යායාම් සඳහාය. කිසිදු ගරු සැලකිල්ලක්‌ නොමැතිව විහාරය වටා ඇවිදින්නේ තම ශරීර සුවතාවය සඳහාය. මේ ආකාරයට කටයුතු කිරීම බෞද්ධයන් හැටියට අප යම් පියවරක්‌ ගත යුතුමය. ඒ සඳහා නිසි බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය. එතැන් සිට අප කිලෝමීටර් 240 ක්‌ ගෙවා තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් ශුද්ධ භූමියවූ බුද්ධගයාවට පා තැබූවෙමු. නේරංජනා ගං නදිය සිප ගනිමින් බුද්ධගයා විහාරය පිහිටා ඇත. දින දෙකක්‌ නැවතී බුද්ධගයා පුදබිමෙහි වන්දනා මාන කරමින් සිටි අපට සියලු ඓතිහාසික තොරතුරු මහබෝධි විහාරවාසි ගෝමරන්කඩවල හේමරතන හිමියන් විසින් අවබෝධ කර දුන්හ. බුද්ධගයා පුදබිමට මුල්ම ආක්‍රමණය එල්ලවී ඇත්තේ 13 වැනි සියවසේ මුස්‌ලිම් වරුන්ගෙනි. එහිදී සම්පූර්ණයෙන්ම බුද්ධගයාව වැනසී ගියේය. හින්දුන්ගේ බලපෑමද ඒ අතර විය. බුද්ධගයා විහාරයට පසුපසින් අප මහ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන අවස්‌ථාවේ අති උතුම් වූ ජයසිරි මහ බෝධි මූලයේ ඉදිරිපසින් වජ්‍රාසනය පිහිටා ඇත. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව අශෝක රජතුමා රජකමට පත්විය. මොහු බමුණන්ගේ මුසාබස්‌ අසා කිසිදු හිතක්‌ පපුවක්‌ නොමැතිව ජයසිරි මහ බෝධියේ කඳ කැබිලි දහයකට කපා වළකට දමා ගිනි තබා අග්නි පූජාවක්‌ පැවැත්වූහ. එහෙත් එම ගිනි අඟුරු නිවීයන්නට පෙර පිළිස්‌සුනු කඳින් බෝධියේ හාස්‌කමින් බෝපැළ දෙකක්‌ මතුවී වැවෙන්නට විය. මේ හාස්‌කම දැක බලා ගැනීමට රජුද පැමිණියේය. එය දැක රජුගේ හිත උණුවී දැසින් කඳුළු කඩා හැළෙන්න විය. ඒ මොහොතේම රජු දණ නමා, නළල බිම තබා අද සිට මම බුදුසරණ යමි කියා ප්‍රතිඥවක්‌ දෙමින් අශෝක රජතුමා බුද්ධාගම වැළඳ ගත්තේය. එතුමා බෞද්ධයකු වන්නේද එදා පටන්ය. 

සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ලංකාවට වැඩම කරන්නේ ඉන් බෝධි ශාඛාවක්‌ රැගෙනය. අද අපි වන්දනා මාන කරන අනුරාධපුර පිහිටි ජය ශ්‍රී මහ බෝධින් වහන්සේ එයයි.

අශෝක රජතුමා සිය බිරිඳටත් වැඩිය බෝධියට දැක්‌වූ අසීමිත ආදරය නිසා එයට උරණ වූ බිසව රජුට හොර රහසේ සෙනෙවියකු ලවා බෝධියට මඩු කටු ගසා විනාශ කිරීමට සැළසුම් කළාය. එහෙත් බෝධිය විනාශ කිරීමට ඇයට බැරිවිය. එහෙත් පසු කාලයේ රජකළ සසංක නම් රජෙක්‌ බෝධිය කපා බිම හෙළා මුල් උදුරා උනු උක්‌ පැණි වත්කර විනාශ කළේය. එහෙත් මේ බව සැළවී මගධයේ රජකළ චර්ම නම් රජතුමා පැමිණ කිරි කළ දාහකින් බෝධිය නහවා ඇත. එක්‌ රැයින් දහයක්‌ උසට බෝධිය දලුලා වැඩී ඇත. අදත් බුද්ධගයා භූමියේ ගරු බුහුමන් මැද අප වන්දනාමාන කරනු ලබන්නේ එම බෝධීන් වහන්සේටය. අද ලෝකයේ පැරණිම වෘක්‍ෂය ලෙස ඉතිහාසයට එක්‌වන්නේ අපේ අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේය. එය බෞද්ධයන් හැටියටත් ලාංකිකයන් හැටියටත් අපට මහා ආඩම්බරයකි.

බුද්ධගයා පුදබිමෙහි මෙරටින් යන සියලු බැතිමතුන්ට සීල, භාවනා ඇතුළු පිංකම් රැසක්‌ සිදුකරනු ලබන්නේ මහාබෝධි සමාගමේ මහලේකම් ආචාර්ය දොඩම්ගොඩ රේවත හිමියන්ගේ අනුශාසනා පරිදි මහාබෝධි විහාරවාසී හේමරතන හිමියන් විසිනි. උන්වහන්සේලා අනගාරික ධර්මපාලතුමන් රැකදුන්, ආරක්‍ෂා කළ මෙම සිද්ධස්‌ථාන රැකගනිමින් එහි වැඩ සිටීම අපට විශාල ශක්‌තියකි. මෙරටින් යන සියලු වන්දනාකරුවන් සඳහා ඇතැම් විහාරස්‌ථාන මගින් පහසුකම් සලසා දෙමින් කරන උපකාරද අප මතක්‌ කළ යුතුය. දඹදිව සංචාරයේ අප බුද්ධගයා පුදබිම වන්දනා කිරීමෙන් අනතුරුව රජගහනුවර, තුන්බිය ඇති වූ නුවර විශාලා මහනුවරය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කුසිනාරා නුවරද වන්දනා මාන කිරීමෙන් අනතුරුව නේපාලයේ ලුම්බිණි විහාරයටද, කපිලවස්‌තුපුරය වන්දනා කර සැවැත්නුවර ඡේතවනාරාමයට පැමිණ දෙව්රම් වෙහෙරේ ආලෝක පූජාවක්‌ද පැවැත්වූහ. මේ සියලු සිද්ධස්‌ථානයන් හී අපේ භික්‍ෂුන්වහන්සේලා වැඩ සිටිති. උන්වහන්සේලා යන සියලු වන්දනාකරුවන් කළයුතු වත්පිළිවෙත් පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් කරති.

විශාල මුදලක්‌ වියදම් කරමින් අපේ අම්මල තාත්තල දඹදිව ගියද හරි හැටි අවබෝධයක්‌ නොමැති කමින් හරිහැටි වැඳ පුදා ගැනීමට නොහැකි වී ඇති බව අපට දැක ගත හැකිවිය. මන්ද සියලු පූජනීය ස්‌ථානයන්හි විවිධ අයුරින් වෙළෙන්දොa සිටිති. ඔවුන් ළඟ විවිධ අන්දමේ වෙළෙඳ භාණ්‌ඩ ද ඇත. ඒවා දුටුවිට අපේ පිරිස්‌ සිදු කරන්නේ වන්දනාව පසෙකින් තබා එම වෙළෙඳුන් පසුපස යැමයි. මුදල් වියදම් කරමින් ගොස්‌ අපේ අම්මලා තාත්තලා රැස්‌කරගන්නේ පිං නොව විවිධ වෙළෙඳ භාණ්‌ඩය.

විදේශ රටකට ගිහොත් කුමක්‌ හෝ භාණ්‌ඩයක්‌ ගෙන ඒමට ඕනෑම කෙනෙකුට ආසාවක්‌ ඇතිවීම වළක්‌වන්න බැහැ. ඒත් අප යන්නේ බුදුන් ජීවමානව වැඩ සිටි ඒ අති උතුම් භූමියටය. එහි යන්නේ ගේ දොර, බිරින්ඳෑවරුන්, දරුමල්ලන් දෙමාපියන් හැර දමාය. එවැනි කැපකිරීමක්‌ කරමින් යන මේ පූජනීය ගමන අප ඉතා ශ්‍රද්ධාවෙන් යා යුතුය.

අඩුම වශයෙන් වන්දනා නඩයකට සාමාජිකයන් සියයකට එහා පිරිසක්‌ සහභාගි වෙයි. ඔවුන් සියලු දෙනාම දැනුවත් කිරීම වන්දනා කළයුතු වත් පිළිවෙත් පිළිබඳව මනා අවබෝධයක්‌ ලබාදීම එම සංචාරක ආයතනයේ හිමිකරු සතුය. ඇතැම් හිමිකරුවන් වන්දනා සංවිධානය කරනු ලබන්නේ මුදල් පරමාර්ථයෙන් ව්‍යාපාරයක්‌ හැටියට ලාභ ඉපැයීමටය. එවැනි ආයතනයකට ඔබ අසුවුවහොත් හරිහැටි වන්දනා මාන කිරීමට නොහැකි වෙයි. මෑතකදී එකසිය පනහකටත් වැඩි වන්දනාකරුවන් පිරිසක්‌ රැගෙන ගිය සංචාරක ආයතනයක හිමිකරුවකු ඔවුන්ගේ මුදල් ද රැගෙන ඉන්දියාවේ අතරමං කර පළා ගිය පුවත ඔබ දන්නවා ඇත. ඇතැම් අය විවිධ පහසුකම් ලබාදෙන බව පැවසුවත් එම පහසුකම් ලබා දෙන්නේ නැති බව ගිය වන්දනා කරුවෝ පවසති. ඒ නිසා ඔබ දඹදිව යන්නේ පිං රැස්‌කර ගැනීමට නම් හරිහැටි සොයා බලා වංචා කරුවන්ට නොරැවටී එහි යා යුතුය.

එවිට ඔබේ අරමුණ ඉටුකර ගත හැකිය. එසේම බුද්ධගයා පුදබිම ඇතුළු අනිකුත් සිද්ධස්‌ථාන අනාගත පරපුරට වැඳ පුදා ගැනීම සඳහා අප ආරක්‍ෂා කළ යුතුය. එහි යන සියලු වන්දනාකරුවන් එම පූජාභූමි අපවිත්‍ර නොකොට සැදැහැසිතින් වන්දනා මාන කළ යුතුය. ඒ සඳහා නිසි මාර්ගෝපදේශකත්වයක්‌ ලබාදිය යුතුය. එම කටයුත්ත අපගේ වන්දනාකරුවන්ට මුල සිට ගමනෙහි අවසානය දක්‌වා ලබාදෙන අයුරු අපත් සමඟ වැඩිය වැලිවේරිය ඇඹරළුව මිහිඳු කණිෂ්ඨ විදුහලේ ආචාර්ය කිරිවෙහෙරේ තිස්‌ස හිමියන් ලබා දුන් සහය සියලු දෙනාටම ශක්‌තියක්‌ විය. එසේම සියලු ගමන් පහසුකම් සලසා දෙමින් වන්දනා නඩය මෙහෙය වූ එම සංචාරක ආයතනයේ අධිපති පණ්‌ඩුක සම්පත් මහතාට අපගේ ස්‌තූතිය.

අරුණ බෝගහවත්ත
ඡායාරූප - ප්‍රසන්න බ්‍රහක්‌මණ
 
2012 ඔක්තෝබර් 07 ඉරිදා දිවයින