ශ්‍රී ලාංකීය ජන ජීවිතයේ සැබෑ පරිවර්තනයකට අඩිතාලම හෙවත් පදනම ලැබුණේ පොසොන් පොහෝ දිනකය. පොසොන් පොහෝ දිනය සිංහල ජාතිය දීප්තිමත් වූ දිනයකි. සිංහල ජනයා බුද්ධිමත් වූ දිනයයි. ශ්‍රී ලංකාව බෞද්ධ ශිෂ්ටාචාරයෙන් පොහොසත් වූ දිනයයි. පොසොන් පොහොයත්, මිහින්තලය මෙන්ම දඹදිව සාංචි පුදබිමත් ශ්‍රී ලංකාවේ බොදු බැතිමතුන්ට අමතක කළ නොහැකිය.
ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනය පිහිටවූ මිහිඳු මහ රහතන් වහන්සේත්, ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව රැුගෙන වැඩි සංඝමිත්තා තෙරණියගේ ලංකා ගමනත් ආරම්භ වී ඇත්තේ දඹදිව සාංචි පුදබිමේ සිටය. මේ නිසා සාංචි පුදබිම ශ්‍රී ලංකාවාසී බෞද්ධයන්ට අතිශයින්ම වැදගත්ය.
මිහිඳු මහ රහතන් වහන්සේ වැඩ සිටි දඹදිව සාංචි පුදබිමත්, උන් වහන්සේ ලංකාවට වැඩි මිහින්තලයත් යන පුදබිම් දෙකෙහි බොහෝ සමානකම් දක්නට ඇත. සාංචි පුදබිම අඩි 300ක් පමණ උසැති පුංචි කන්දක සුන්දර වූ පරිසරයක පිහිටා ඇත. මිහින්තලා පුදබිමද ඒ සමාන උසින් ශාන්ත පරිසරයක පිහිටි ස්ථානයකි. මේ ස්ථාන දෙකම චේතියගිරි නමින් හැඳින්වෙයි. අපේ මහා වංශයේද සාංචිය හඳුන්වා ඇත්තේ චේතියගිරිය ලෙසිනි.
බුද්ධ කාලයේ දඹදිව පැවැති සොළොස් මහා ජනපද වලින් අවන්ති සහ සූරසේන යන ජනපද දෙකම සාංචි ප‍්‍රදේශයට අයත් විය. චන්ඩප්පජෝත රජු අවන්තිය පාලනය කළ අතර, සූරසේන ජනපදය අවන්ති පුත‍්‍ර සූරසේන නම් රජ කෙනෙක් පාලනය කළේය.
බුද්ධ පරිනිර්වාණයෙන් පසු, අසූමහා ශ‍්‍රාවකයන්ට අයත් මහා කච්චායන රහතන් වහන්සේගේ මාර්ගයෙන් අවන්ති ජනපදයේ බුදු දහම පැතිරිණි. බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටි කාලයේ මෙම ප‍්‍රදේශයට වැඩම කළ බවක් සඳහන් නොවේ. අවන්තිය පාලනය කළ චන්ඩප්පජෝත රජුට ගෝපාල දේවී නම් බිසවක් වූවාය. ඕ තොමෝ කුංඩල නම් වන උද්‍යානයේ විහාරයක් කරවා, මහා කච්චායන මහ රහතන් වහන්සේට පූජා කර ඇති බව ඓතිහාසික ලේඛනවල දැක්වේ. සමහර විට මෙය සාංචි විහාරයේ ආරම්භය විය හැකිය.
මේ ප‍්‍රදේශයට සාංචි යන නම කවදා කෙසේ ආරම්භවීදැයි අවිනිශ්චිතය. මෙම ප‍්‍රදේශයෙන් හමුවී ඇති ශිලා ලේඛන අනුව මෙහි ප‍්‍රාචීණ නාමය කාකණය හෙවත් කාකනාව ලෙස හැඳින්වේ. සාංචි ස්ථූපයේ ප‍්‍රාකාරයේ ඇති ක‍්‍රිස්තු වර්ෂ 412-413 සහ 450-451 ශිලා ලේඛනයන්හි මෙහි නාමය කාකනාද බෝට යනුවෙන් දැක්වේ. මෙම ප‍්‍රාචීණ නාමයෙන් ඉතිරිවී ඇති කොටසක් ලෙස කනබේද නමැති ගමක් මේ ආසන්නයෙන් අදටද දක්නට ලැබේ. හත්වැනි සියවසට අයත් ශිලා ලේඛනයක බෝට ශ්‍රී පර්වත යනුවෙන් මෙහි නම දක්වා ඇති බව භාරත ඉතිහාසයෙහි සඳහන් වේ. ශාන්ති පර්වත පසුව සාංචි වී යැයි මතයක්ද ප‍්‍රදේශයේ ජනප‍්‍රවාදයේ පවතී.
බුද්ධ කාලයේ දඹදිව අවන්ති ජනපදයට අයත් වූ සාංචිය වර්තමානයේ ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශ ප‍්‍රාන්තයේ රායසේන් දිස්ත‍්‍රික්කයට අයත්ය. ඉන්දියාවේ අගනුවර වූ දිල්ලියේ සිට සාංචියට කිලෝ මීටර් 745කි. තමිල්නාඩුවේ අග නගරය වූ චෙන්නායි (මදුරාසිය) සිට කිලෝමීටර් 1486කි. මධ්‍ය ප‍්‍රදේශ ප‍්‍රාන්තයේ අග නගරය වූ බෝපාල් සිට කිලෝමීටර් 40කි. ආදි කාලීන නුවරක් වූ විදිසා නගරයේ සිට කිලෝමීටර් 9ක් නිරිත දිගින් වේදිසගිරි හෙවත් චේතියගිරි පර්වතය (සාංචි) පිහිටා ඇත.
බුද්ධ පරිනිර්වාණයෙන් දෙවැනි සියවස වන විට මෞර්ය වංශික චන්ද්‍රගුප්ත රජු පැළලූප් නුවර පාඨලීපුත‍්‍ර (වර්තමාන පැට්නා) නගරයේ සිට ඉන්දියාව පාලනය කෙළේය. එම රජු ක‍්‍රිස්තු පූර්ව 298 දී මියගිය පසු ඔහුගේ පුත් බිංදුසාර රජ වූයේය. ඔහු ක‍්‍රිස්තු පූර්ව 273 දක්වා රජ කෙළේය. ඔහුගේ පුත් අශෝක කුමරු අවන්ති ජනපදයේ යුවරජු ලෙස පත්කර එවීය. ඔහු අවන්තියේ උජ්ජෙයිනී නුවර සිට එම ප‍්‍රදේශය පාලනය කෙළේය.
මෙම කාලයේ අවන්ති ජනපදයේ විදිසා නමැති ප‍්‍රදේශයේ විදිසා නමින් සිටු පවුලක් ජීවත් වූයේය. බුද්ධ කාලයේ කෝසලයේ විඩූබභ රජු ශාක්‍ය වංශිකයන් සංහාරය කරන ලද අවස්ථාවේ ඔවුහු ශාක්‍ය ජනපදයෙන් පලා අවුත් අවන්ති ජනපදයේ පදිංචිව සිටි ශාක්‍ය වංශික පවුලකින් පැවැතෙන්නෝ බව ශාසන ඉතිහාසයෙහි සඳහන් වේ. මෙම සිටු පවුලේ ඉතා රූමත් දේවී නමැති සිටු කුමරිය අශෝක යුවරජු විවාහ කර ගත්තේය. ඇය පසු කාලීනව විදිසා සිටු දේවිය නමින් ප‍්‍රකට වූවාය. මෙම යුවළට දරුවන් තිදෙනකු සිටි බව භාරත ඉතිහාසයෙහි දැක්වේ. උද්්ජේනි, මිහිඳු හා සංඝමිත්තා යනු එම දරුවන් තිදෙනාය.
බිංදුසාර පිය රජුගේ මරණින් පසු අශෝක යුවරජු පැළලූප් නුවරට ගොස් රජකම බාර ගත්තේය. ඒ යනවිට මිහිඳු කුමරු හා සංඝමිත්තා කුමරියද කැඳවාගෙන ගියේය. වැඩිමහල් කුමරු සහ විදිසා දේවිය අවන්තියේම නතර වූහ. විදිසා දේවිය බුදු දහම වැළඳගත් කාන්තාවක් වීමත්, දැඩි මතධාරී හින්දු බැතිමතකු වූ අශෝක රජුගේ රාජාභිෂේකයේදී හින්දු පූජකවරුන්ගෙන් විය හැකි අනවශ්‍ය බලපෑම්වලින් වැළකී සිටීමටත් දේවිය එසේ තීරණය කරන්නට ඇති බව විද්වත්හු සලකති.
අශෝක රජුගේ වැඩිමහල් පුතු උප්පේනී කුමරු ගැන වැඩි විස්තරයක් භාරත ඉතිහාස ග‍්‍රන්ථයන්හි සඳහන් නොවේ. සාංචිය ගැන ලියා ඇති අපේ මහාවංශයේ 13 වැනි පරිච්ඡේදයේ සඳහන් කර ඇත්තේ අශෝක රජුට මිහිඳු කුමරු සහ සංඝමිත්තා කුමරිය යනුවෙන් දරුවන් දෙදෙනෙකු පමණක් සිටි බවකි.
දැඩි හින්දු මතධාරියකු වූ අශෝක රජතුමා බෞද්ධ කාන්තාවක වූ විදිසා දේවියගෙන් බුදු දහම පිළිබඳව ලබා තිබූ ආභාෂය නිසා ඔහු බුදු දහම වැළඳ ගැනීමෙන් පසු සිය දරුවන් දෙදෙනාද ශාසනයට පූජා කර බුදු දහම ව්‍යාප්ත කිරීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කර ඇත. අසූහාර දහසක් වෙහෙර විහාර ඉදිකරවීය. එතුමා ඉදිකළ වෙහෙර විහාර අතරින් සාංචි ස්ථූපයට හිමිවනුයේ අද්විතීය ස්ථානයකි. ශාසනික උන්නතිය සඳහා අශෝක රජු ඉදිකළ ස්ථූප අතරින් සාංචි ස්ථූපය විශේෂ ස්ථානයක් ගෙන ඇත.
බුබ්බුලාකාර හැඩයෙන් යුත් සාංචි ස්තූපයේ විශ්කම්භය අඩි 120ක් පමණ වේ. ගර්භයේ පමණක් උස අඩි 54කි. මහා ස්ථූපය වටා ඉදිකර ඇති ශෛලමය ප‍්‍රාකාරය සාංචියට පමණක් විශේෂ වූවකි. දාගැබ වටා ප‍්‍රදර්ශිනා පථයක් ද ඇත. තනිකර කළුගලින් නිර්මාණය කර තිබේ. සාංචි ස්ථූපයේ පේසා වළලූ නැත. මුදුනේ ඇත්තේ හතරැස් කොටුවක් සහ මධ්‍යයේ කණුවක් මත ගොඩ නැගුන චක‍්‍ර තුනකි. මෙම චක‍්‍ර තුනෙන් ත‍්‍රිවිධ රත්නය සංකේතවත් කරයි. යම්කිසි ස්ථූපයක චක‍්‍ර තුනක් යොදා ඇත්නම් එහි තැන්පත් කර ඇත්තේ සර්වඥ ධාතූන් වහන්සේ බව සංකේත කරයි.
වේදිසා සිටු පවුල සාංචි පුදබිමේ සංරක්ෂණ කටයුතු කරගෙන ගොස් ඇත. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීමට පෙර සාංචියට ගොස් මව් දේවියගෙන් පුද සත්කාර ලබා තෙමසකින් පසුව ලංකාවට වැඩි බව අටුවාවන්හි සඳහන් වේ. සංඝමිත්තා තෙරණියද ලංකාවට වැඩම කිරීමට පෙර සාංචියට ගොස් මව් දේවිය හමුවූ බව ලේඛනයන්හි දැක්වෙයි.
අශෝක රජතුමා සාංචිය කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර ඇති බව පෙනී යයි. එයට හේතු දෙකක් ගෙනහැර දැක්විය හැකිය. අශෝක රජු යුවරජ කෙනකු වශයෙන් පළමුවෙන්ම පාලනය කළ අවන්ති ජනපදයේ සාංචිය පිහිටා තිබීමත්, එතුමාගේ මුල් බිසව වූ විදිසා දේවිය විසූ පෙදෙසත් වීම සැලකිය හැක. රජු බුද්ධ ධර්මය ගැන මූලික අවබෝධයක් ලබා ගත්තේද සාංචියේ සිටි අවධියේය.
සාංචි පුදබිමේ තනිකර කළුගලින් නිර්මාණය කරන ලද විහාර මන්දිරයක්ද, අද නටඹුන් අතර වෙයි. මෙයට අමතරව සංසාවාස හා වෙනත් විහාරාංගද අශෝක රජතුමා ඉදිකර තිබේ. තනි ගලින් නිමවන ලද ශිලා ලේඛනයක් සහිත අශෝක ස්ථම්භයක්ද සාංචි පුදබිමේ පිහිටුවීමට අශෝක රජතුමා පියවර ගෙන ඇත.
මෙම ස්ථම්භය අඩි 50ක් පමණ උසින් යුක්ත විය. එතරම්ම ප‍්‍රමාණයක් පොළොව යටද ඇති බව විශ්වාස කෙරේ. මුස්ලිම් අධිරාජ්‍යය පැවැති සමයේදී බෝපාල් ප‍්‍රදේශයේ සිටි ජමින්දාර්වරයෙක් උක්දඬු මිරිකන යන්ත‍්‍රයක් සෑදීමට මෙම ස්ථම්භය කෑලි තුනකට කඩා ඇති බව ලේඛනවල දැක්වේ. අශෝක රජු මෙම ස්ථම්භයේ ශිලා ලේඛනයක්ද කොටා ඇත.
‘‘මාගේ දරු මුණුපුරන් සිටිනා තාක්, ඉර හඳ පවතිනා තාක් භික්ෂූ භික්ෂූණීන්ගේ සමඟිය ඇති කරවන ලදී. යම්කිසි භික්ෂූ කෙනෙක් හෝ භික්ෂුණියක් සංඝයා බිඳවයිද ඔහුට සුදුවත් අන්දවා අනාවාසයේ වාසය කරවිය යුතුය. සංඝ සාමග‍්‍රිය බොහෝ කල් පවතිනවා යනු මගේ ආශාවයි.’’
මෙම ස්ථම්භය තුන්වැනි ධර්ම සංඝායනාවෙන් පසුව ශාසනය ශුද්ධකර පිහිටුවන ලද්දක් බව එම ශිලා ලේඛනය අනුව තහවුරු වේ.
සාංචි ස්ථූපයට මඳක් කුඩාවට තවත් ස්ථූපයක් ඉදිකළ අශෝක රජතුමා එහි සැරියුත්-මුගලන් අගසව් දෙනමගේ ධාතූන් වහන්සේ තැන්පත් කෙළේය. තුන්වැනි වරට සංඝායනාවේ ප‍්‍රධානත්වය ඉසිලූ මොග්ගලීපුත්තතිස්ස තෙරුන් වහන්සේගේ සහ එයට සහභාගි වූ තවත් රහතන් වහන්සේ දස නමකගේ ධාතූන් වහන්සේ තැන්පත් කර තවත් ස්ථූපයක්ද සාංචි ස්ථූපය අසල ඉදි කළේය.
අශෝක රජුගේ රාජාභිෂේක දෙවැනි බිසව මිය යාමෙන් පසු තිෂ්‍ය රක්ෂිතා නමැති ලාබාල කුමරියක් විවාහ කර ගත්තේය. ඇය දැඩි හින්දු භක්තික කාන්තාවක් වූවාය. බුදු දහමට අනුව ජීවත් වූ, රජුගේ පළමුවැනි බිසව වූ විදිසා දේවියට තුන්වැනි බිසවගෙන් මරණීය තර්ජන එල්ල වී ඇත. විදිසා සාංචි පුදබිමේ වැඩ සිටි මහා සංඝයාට දානමානාදිය දෙමින් එසේ ඇප උපස්ථාන කිරීම නිසාත්, පුදබිමේ ආරක්ෂාව හා සංරක්ෂණය සඳහාත් මෙසේ මරණ තර්ජන එල්ල වී තිබිණි. මේ නිසා විදිසා නගරයේ මාළිගාවේ සිට සාංචිය දක්වා, විදිසා දේවියට රහසින් පැමිණීම සඳහා රජු උමගක් සාදා දී ඇති බව ඓතිහාසික තොරතුරුවල දැක්වේ.
රහස් උමග ඔස්සේ පැමිණි දේවිය සාංචි පුදබිමට මතුවූ දොරටුව දැන් පුරාවිද්‍යාව මගින් සංරක්ෂණය කර බැතිමතුන්ට එම ස්ථානය නැරඹීමට අවස්ථාව සලසා තිබේ. අශෝක රජු ක‍්‍රිස්තු පූර්ව 232 දී මියගියේය. ඒ වන විට එතුමාගේ රාජ්‍ය කාලය අවුරුදු 40ක් පමණ විය. රජතුමා මිය යන විට කෙතරම් දරිද්‍රතාවකට පත්ව සිටියේද යත් අවසාන මොහොත වන විට එතුමාට ඉතිරිව තිබූ එකම වස්තුව නෙල්ලි ගෙඩියක් බව ශාසන ඉතිහාසයෙහි දැක්වේ. රජතුමා එයද මහා සංඝරත්නයට පුජා කළ බව සඳහන් වේ. පසුකාලීනව එය සිහිපත් වීම සඳහා කළුගලින් නෙළන ලද නෙල්ලි ගෙඩියක අනුරුවක් සාංචි පුදබිමේ තැන්පත් කර ඇත. එය අද ද දැකබලා ගත හැකිය.
අශෝක රජුගේ මරණයෙන් පසු බෘහත්රථ රජතුමා සිහසුනට පත්විය. ඒ මෞර්ය වංශයේ අවසාන රජු විය. අශෝක රජුගේ සේනාධිපති වූ පුෂ්ප මිත‍්‍රශුංග රජු මරා දමා සිහසුන පැහැර ගත්තේය. ඉන්පසු ඔහු තිෂ්‍ය රක්ෂිතා බිසව විවාහ කර ගෙන රට පාලනය කෙළේය. ඔවුන්ගේ පාලන සමයේදී බුද්ධ ශාසනයට විශාල වශයෙන් හානි සිදුවී ඇති බව ඓතිහාසික තොරතුරුවලින් හෙළිවේ.
ඉන්පසු ක‍්‍රිස්තු පූර්ව 150 දී පමණ ආරම්භ වූ ශුංග රාජ්‍ය පාලන සමයේදී කලින් විනාශ කරන ලද වෙහෙර අලූත්වැඩියා කරන ලදී. අශෝක රජු ගඩොලින් තැනූ සාංචි ස්ථූපය ශුංග රජු කළුගල් ආවරණයකින් ආරක්ෂිත ලෙස යළි ගොඩනැගීය.
ඉන්පසු ආරම්භ වූයේ සාතවාහන රාජ්‍ය සමයයි. ක‍්‍රිස්තු පූර්ව 121-114 දක්වා රජකළ වාශිෂ්ට පුත‍්‍ර සහ 114-86 දක්වා රජකළ ගෞතම් පුත‍්‍ර යන සාතවාහන රජවරුන් සාංචියේ දියුණුවට කටයුතු කළහ. සාංචි ස්ථූපය හතර පැත්තේ තොරණ හතර නිර්මාණය කෙළේ මෙම රාජ්‍ය සමයේදීය.
භාරත ශිල්ප කලාවේ අපූරු නිර්මාණයක් ලෙස සැලකෙන, ස්ථූපයේ සතර පැත්තේ සාදන ලද සුවිශේෂී කැටයමින් යුත් තොරණ හතරේ කැටයම් එකිනෙකට වෙනස් කැටයම් වීම විශේෂ ලක්ෂණයකි. ලොව මවිත කළ ඉතා අලංකාර කැටයම් නිසා සාංචි ස්ථූපය කලාත්මක වශයෙන් මහත් ගෞරවයට පාත‍්‍ර වූවක් ලෙස සැලකේ.
ක‍්‍රිස්තු වර්ෂ 319 දී ගුප්ත රාජ යුගය ආරම්භ විය. එම යුගයේදී තොරණ හතර අසල බුද්ධ ප‍්‍රතිමා හතරක්ද, මහා ස්ථූපය අසල ඇති විහාර ගෙයද, ස්ථූපයේ ආරක්ෂාවට අඩි හතරක් උසැති ශෛලමය ගරාදි වැටවල්ද නිර්මාණය කර ඇත.
දොළොස්වැනි ශත වර්ෂයේ මැද භාගය දක්වා ඉන්දියාව පාලනය කළ රජවරු සාංචි ස්ථූපය අවට නොයෙක් වෙහෙර විහාර ගොඩනගා තිබේ.
ගුප්ත රජ යුගයෙන් පසුව ශක - ශත‍්‍රප - හුණ - ප‍්‍රතිභාර - පරමාර - සහ මුසල්ටොන් යන ආක‍්‍රමණිකයෝ වරින්වර සාංචි පුදබිමට පහර දී ඇත. 13 වැනි සියවයේ ආරම්භ වූ මෝගල් ආක‍්‍රමණයත් සමඟම ඉන්දියාවේ තිබූ බෞද්ධ සිද්ධස්ථාන විනාශ මුඛයට පත්විය.
දහහතරවැනි සියවසේ සිට 19 වැනි සියවස දක්වා සාංචි පුදබිමේ නටබුන් කැලයෙන් වැසී වන සතුන්ගේ රජ දහනක් බවට පත්විය.
දහනව වැනි ශතවර්ෂයේදී ඉංග‍්‍රීසීහු ඉන්දියාව යටත් කර ගැනීමෙන් පසුව, ඔවුහු ඉන්දියාවේ පැරණි නටඹුන් සොයා ගවේශණයක යෙදුනහ. 1818 දී ජනරාල් ටෙල් නමැති නිලධාරියා සාංචි ප‍්‍රදේශයට ගොස් එහි ඇති පුරාවිද්‍යා නටඹුන් සොයා බලා ඇත. 1852 දී බෝපාලයේ රාජ්‍ය පාලකයා වූ කපිතාන් ජොන්සන් සාංචි පුදබිමට පැමිණ සාංචි ස්ථූපය බටහිර පැත්තෙන් හාරා ඇත. මේ අවස්ථාවේ ස්ථූපයේ ඉහළ කොටස පහළට කඩා වැටීම නිසා ස්ථූපය තුළ තිබූ පුරාවස්තු ලබාගැනීමට නොහැකි විය. බටහිර පැත්තේ තොරණටද මෙම කඩා වැටීම නිසා හානි සිදු විය. ඉන්පසු මෙම තොරණ එංගලන්තයට ගෙන යාමට ඉංග‍්‍රීසි පාලකයෝ උත්සාහ දරා ඇතත්, ප‍්‍රදේශයේ පාලකයාව සිටි කපිතාන් ඒඞ්න් නම් නිලධාරියා එයට විරුද්ධවීම නිසා එය වැළකී තිබේ.
ඉංග‍්‍රීසි ජාතික ඇලෙක්සැන්ඩර් කනිංහැම් මහතා එෆ්.සී. මෙයිසි නමැති පුරා විද්‍යාඥයාගේද සහාය ඇතිව සාංචි ස්ථූපයට බටහිර බෑවුමේ පිහිටි ස්ථූපයේ කැනීම් කෙළේය. එහි තිබී මොග්ගලීපුත්තතිස්ස හා තවත් රහතන් වහන්සේ දස නමකගේ ධාතු සහිත කරඬුව හමුවී ඇති අතර, ඒවා එංගලන්තයට ගෙන ගියේය.
සාංචි මහා ස්ථූපයට නැගෙනහිර පැත්තේ තිබූ ස්ථූපයේ කැනීම් වලදී සැරියුත්-මුගලන් අගසව් දෙනමගේ ධාතු තැන්පත් කර තිබූ කරඬු හමුවී ඇති අතර ඒවාද එංගලන්තයට ගෙන ගියේය.
ප‍්‍රදේශය පාලනය කළ එක් එක් රජවරුන්ගේ රාජ්‍ය කාලවලදී සාංචි පුදබිමේ තවත් කුඩා ස්ථූප 75ක් පමණ තැන තැන ඉදිකර තිබිණි. මේ ස්ථූප බොහෝ විට සාංචියේ වැඩ සිටි රහතන් වහන්සේගේ ධාතු තැන්පත් කළ ඒවා විය හැකිය. ඒවා විවිධ හැඩතල අනුව ඉදිකර තිබේ. බටහිර බෑවුමේ තිබී මෙවැනි ස්ථූප 20ක් පමණ දැනට සොයාගෙන තිබේ.
ඉන්දියා මහාබෝධි සමාගමේ මහ ලේකම්ව සිටි බ‍්‍රහ්මචාරී දේවප‍්‍රිය වලිසිිංහ මහතාගේ අප‍්‍රතිහත ධෛර්යය නිසා එංගලන්තයේ තිබූ සැරියුත්xමුගලන් ධාතු කරඬු 1949 දී ඉන්දියාවට ලබාගැනීමට හැකිවිය. මෙම ධාතූන් වහන්සේ ලබාගැනීමේ උත්සාහයේදී එවකට සාංචි විහාරාධිපති ධූරය දැරූ පූජ්‍ය හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නාහිමියන්ගෙන් විශාල සේවාවක් සිදුවූහ.
සාංචි පුදබිමේ භාරකාරත්වය දරන ශ්‍රී ලංකා මහබෝධි සමාගම, ඉන්දියාවට ලැබුණ සැරියුත් මුගලන් ධාතු තැන්පත් කිරීම සඳහා සාංචියේ චේතියගිරි විහාරය ඉදිකිරීම ආරම්භ කළේය. ඒ සඳහා බෝපාලයේ මහාරාජාගේ කාරුණික අනුග‍්‍රහය ලැබී ඇත. විහාරය ඉදිකිරීම සඳහා වූ ඉඩම මහාරාජාගේ පරිත්‍යාගයකි.
බෝපාලයේ පාලකයා වූ සිකන්දර් සෞලාන් ඉස්තීර් උල්xමුල්ති නවාබ් මහම්මද් හම්දුල්ලා ඛාන් බහදුර් මහාරාජා විසින් 1947.12.27 වන දින විහාරය ඉදිකිරීම සඳහා මුල්ගල තබනු ලැබ ඇත. එවකට ඉන්දීය රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක් විහාරය ඉදිකිරීමට වැය වී තිබේ. ඉන්දියාවේ අගමැති ශ්‍රීමත් ජවහර්ලාල් නේරු තුමා විසින් 1952.11.08 වන දින සැරියුත්xමුගලන් ධාතු කරඬුව තැන්පත් කරමින් චේතියගිරි විහාරය විවෘත කරන ලදී.
අනුබුදු මිහිඳු මාහිමි සහ සංඝමිත්තා තෙරණිය ලංකාවට වැඩම කිරීමට පෙර වැඩ සිටි ශාන්තිදායක සාංචිය ශ්‍රී ලංකා බෞද්ධයින්ගේ මහගෙදර වශයෙන් සැලකේ. ලෝකයේ අති විශිෂ්ට, අසිරිමත්, දර්ශනීය, නිර්මාණයන්ගෙන් එකක් වන සාංචි ස්ථූපය ශතවර්ෂ ගණනාවක් තිස්සේ බෞද්ධ ස්මාරක අතර සිය අසාමාන්‍ය විශිෂ්ඨත්වය විදහා දක්වයි.
භාරතීය ස්ථූප නිර්මාණ කලාව සම්බන්ධයෙන් මීට වඩා ශ්‍රේෂ්ට ස්ථූපයක් තවමත් ඉන්දියාවෙන් හමුවී නැති බව පුරා විද්‍යාව සඳහන් කරයි. එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝව මගින් ලෝක උරුම වශයෙන් ප‍්‍රකාශයට පත්කර ඇති මුළු ලෝකයේම ස්ථාන සංඛ්‍යාව 460ක් පමණ වේ. එයින් 18ක්ම ඇත්තේ ඉන්දියාවේය. සාංචි පුද බිමද ඉන් එකකි.
ප‍්‍රාචීණ ස්මාරක, ස්ථූපවල කමණීය උදාහරණ, විශිෂ්ට ශිල්පීය කුසලතාව හා මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ හේතු කොටගෙන සාංචිය කෙතරම් විශිෂ්ටත්වයට පත්වීද යත්, ඈත ඈත දේශ දේශාන්තරයන්හි සිට බෞද්ධ බැතිමතුන් පමණක් නොව, ලක්ෂ සංඛ්‍යාත සංචාරක පිරිස්ද මෙහි පැමිණ, ශ‍්‍රද්ධාවෙන් යුක්තව, උපහාර දක්වති. වන්දනා කරති.
සාංචිය ඉතා දුෂ්කර ප‍්‍රදේශයක පිහිටි පුද බිමකි. එහි පැමිණෙන වන්දනාකරුවන්ට විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුවිය. ඉන් ප‍්‍රධාන තැනක් ගත්තේ නවාතැන් ගැනීමට සුදුසු ස්ථානයක් නොතිබීමය. මේ නිසා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව එවකට නාගරික සංවර්ධන හා පුණ්‍ය භූමි සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, එකී අමාත්‍යාංශයේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මගින් සාංචියේ වන්දනා නිකේතනයක් ඉදිකර ඇත. තෙමහල් ගොඩනැගිල්ලක් වූ මෙයට රජය ලක්ෂ 840ක් පමණ වැයකර තිබේ. එවකට අගමැතිව සිිටි රත්නසිරි වික‍්‍රමනායක මහතා විසින් 2010 ඔක්තෝබර් මාසයේදී වන්දනා නිකේතනය විවෘත කරනු ලැබීය.
සාංචි පුද බිමට ඇතුළත්වීම සඳහා ඉන්දියා පුරාවිද්‍යාව මගින් සංචාරකයන්ගෙන් ඩොලර් පහක පමණ මුදලක් අය කෙළේය. ශ්‍රී ලංකාවෙන් යන බැතිමතුන්ටද එම මුදල ගෙවීමට සිදුවී තිබිණි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සාර්ක් සභාපති ධූරයට පත්වීමෙන් පසු ඉන්දීය අගමැති ආචාර්ය මංමෝහන් සිං මහතාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව, සාර්ක් කලාපයේ බෞද්ධ රටවල සංචාරකයන්ට ඉතා සුළු මුදලක් (රු: 20/=) පමණක් ගෙවා සාංචි පුදබිම වන්දනා කිරීමේ අවස්ථාව දැන් උදාවී තිබේ.
වර්තමානයේ සාංචි චේතියගිරි විහාරයේ විහාරාධිපති ධූරය දරනුයේ ශ්‍රී ලංකා මහාබෝධි සමාගමේ පූජ්‍ය බානගල උපතිස්ස මාහිමියෝය. සාංචියේ උන්තියට උන්වහන්සේගෙන් ලැබෙන අනුපමය සේවය කෘතඥතා පූර්වකව සඳහන් කළ යුතුය.
සටහන හා ඡායාරූප - ගම්පහ අබේසේන හේරත්
2013 ජූනි මස 23 | ලංකාදීප කර්තෘ මණ්ඩලය