සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 56
- නාරංවත්තේ ධම්මසිරි හිමි
අපි අශෝක රජතුමා හා සාංචිය පිළිබඳ විස්තර කළෙමු. අදත් සාංචිය ගැන කල්පනා කර බලමු.
සාංචි තොරණෙහි ජාතක කතාවන් සිත් ගන්නා රූප මාලාවක් මෙන් ලොව මවිත කරවන ඉතා අලංකාර ශෛලමය කැටයමින් නෙළා ඇති අයුරු මනහරය. අපූරු අන්දමින් ශෛලමය කැටයම් නෙළා ඇති තොරණ හතරක් සාංචි ස්තූපය වටා ඇත. මේවා උතුරු තොරණ, දකුණු තොරණ, නැගෙනහිර තොරණ, බටහිර තොරණ වශයෙන් හැඳින්වේ.
සාංචි ශෛලමය තොරණ
සාංචි තොරණෙහි ජාතක කතාවන් සිත් ගන්නා රූප මාලාවක් මෙන් ලොව මවිත කරවන ඉතා අලංකාර ශෛලමය කැටයමින් නෙළා ඇති අයුරු මනහරය. අපූරු අන්දමින් ශෛලමය කැටයම් නෙළා ඇති තොරණ හතරක් සාංචි ස්තූපය වටා ඇත. මේවා උතුරු තොරණ, දකුණු තොරණ, නැගෙනහිර තොරණ, බටහිර තොරණ වශයෙන් හැඳින්වේ.
එම සියලු තොරණ ක්‍රි.පූ. 1 සියවසේ සිට වරින් වර ඉදිවී ඇත. ප්‍රථමයෙන්ම දකුණු තොරණ නිර්මාණය කැර ඇත. එය ප්‍රධාන දොරටුව ලෙසද හැඳින්වෙයි. එම තොරණ අසල අශෝක ස්තම්භයද ඉහළට නගින පඩි පෙළ අසල පිහිටා ඇති අතර අශෝක ස්ථම්භයෙහි කොටසක් අද වන විට ඉතිරිවී පවතී. එහි සෙල්ලිපියක්ද ලියා ඇත. ස්ථූපය වටා ඉදිකර ඇති ගල් වැට වටාද බුදු ගුණ ලියා ඇත. එමගින් විදහා දැක්වෙන්නේ එම නිර්මාණය කරන ලද බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇති කලාකරුවන්ගේ හදවත තුළ වූ ගෞරවාන්විත හැඟීමය.
ඉහළට නගින පඩි පෙල අසල ඇති තොරණ තුළ ඇති කැටයම් පහත සඳහන් අයුරින් වර්ග කැර දැක්විය හැකිය.
* ජාතක කථා
* බුද්ධ චරිතයේ විවිධ අවස්ථා
*බෞද්ධ ඉතිහාසයේ තොරතුරු,
* සත් බුදුවරුන්ගේ රූප හා බෝධි වෘක්ෂ
* දාර්ශනික අර්ථ දෙන කැටයම්
අලංකාරය සඳහා නිර්මාණය වූ කලා නිර්මාණ
ජාතක කතාවලින් මෙහි කැටයම් වන්නේ ජාතක කතා පහක් පමණි. වෙස්සන්තර ජාතකය, අලම්බුසා ජාතකය, සාම ජාතකය මහා කපි ජාතකය හා ඡද්දන්ත ජාතකයයි.
ඉතා සියුම් කැටයම්වලින් යුක්ත මේ සියලු තොරණ නිර්මාණය ක්‍රි.පූ. පළමු සියවසේ සාතවාන රාජ්‍ය කාලයේ නිර්මාණය විය. තොරණ නිර්මාණය කර ඇත්තේ වේදිස නුවර ඇත් දත් කැටයම්කරුවන් විසිනි. ඒ බව දකුණු තොරණෙහි සඳහන් කර ඇත. පැරැණි නිර්මාණවල නැති සාංචියට විශේෂ දෙයක් වන්නේ තොරණ නිර්මාණය කළ කැටයම්කරුවන්ගේ නම තිබීමයි. ඔහු ශානකර්ණ රජතුමාගේ කළා මණ්ඩලයේ ආනන්ද නමැත්තායි. සෑම තොරණම එකම හැඩය වුවද එම තොරණවල යොදා ඇති කැටයම් වෙනස්ය. උතුරු තොරණ පිටුපස තොරණ නිසා එහි වැඩි කොටසක් ආරක්ෂා වී ඇත. එයින් තොරණේ සැලැස්ම සිතා ගත හැකිය. සෑම තොරණකම බුද්ධ චරිතයට සම්බන්ධ අවස්ථා සිදුවීම් කැටයම් කර ඇත.
දෙපැත්තේ ඇති ත්‍රිශූල සංකේත දෙක ත්‍රිවිධ රත්නය සංකේත කරයි. තොරණ ළඟට යන කෙනෙකුට එක වරම එම තොරණවල කැටයම්වලින් දක්වා තිබෙන කථා වස්තු අවබෝධ කර ගැනීම අපහසු වේ. තොරණවල ආකෘතිය හා එහි ඇති කථා වස්තු පිළිබඳ ඉදිරියෙහි දක්වා තිබේ. ඒ තුළින් තොරණ පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීමට පහසු වේ.
එහි කැටයම් අතර බුදුරජාණන් වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකයේ සිට සංකස්ස පුරයට වැඩම කළ අවස්ථාවයි. කැටයමේ මුදුනත බෝධි වෘක්ෂයක් හා ආසනයක්ද නිර්මාණය කර ඇත. දෙපස වැඳ සිටින්නේ රජවරුන් හා දෙවියන්ය. බුද්ධ රූපය වෙනුවට කැටයම්කරුවන් යොදා ඇත්තේ බෝධි වෘක්ෂය ආසනය සිරිපතුල් යන සංකේතයන් නව අරහාදී බුදු ගුණ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇතුළත්ය.
අශෝක ස්ථම්භය
මහා ස්ථූපයේ දකුණු දොරටුව ආසන්නයේ අශෝක රජු විසින් ඉදිකරන ලද අශෝක ස්ථම්භය වේ. අඩි 42 ක් උසැති ස්ථම්භය මුදුනත සතර දෙසට මුහුණලා ඇති සිංහ රූප සතරක් තනි කළු ගලෙන් ඒකාබද්ධව යොදා ඇත. සිංහ රූපවලට පහළින් හංස රූප යුවළ බැගින් කැටයම් කර ඇත.
සාංචි අශෝක ස්ථම්භයේ කුලුනු හිස් සාරානාථ කුලුන හිසට බොහෝ සෙයින් සමානය. සාරනාථ කුලුනෙහි සිංහ රූපවලට පහළින් ධර්ම චක්‍ර සතරක් සතර පැත්තෙන් කැටයම් කර ඇතත් සාංචි ස්ථම්භයේ ධර්ම චක්‍රය යොදා නැත
සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 57
දාර්ශනික අර්ථ දෙන ගල් කැටයම්
සාංචි තොරණ නිර්මාණය කළ කැටයම්කරුවන් කටුවයි, මිටියයි ගත් සාමාන්‍ය කැටයම්කරුවන් නොවේ. ඔවුන් තීක්ෂණ බුද්ධියකින් හා ත්‍රිපිටක අධ්‍යයනය කරමින් තොරණ නිර්මාණය කර ඇත. දාර්ශනික අර්ථ ඉදිරිපත් වන ආකාරයේ කැටයම්ද තොරණ සඳහා යොදා තිබේ. ඒ අතර ජීවන ලතාව බුදුරජාණන් වහන්සේගේ රූපය නිර්මාණය කරන්නට ගත් උත්සාහය, සාලභංජිකා රූප හා වාමන රූපද වේ. ජීවනලතාව නැගෙනහිර තොරණෙහි දකුණු කුලුනෙහි පිටපැත්තේ යොදා තිබේ. කැටයමේ මුළට මකරෙක් සිටින අතර මකරාගේ මුඛයෙන් පිටවන ලියවැල මුලද කුඩා නෙළුම් සහ හංසයෝ වෙති. මකරාගේ මුවෙන් පිටවන ලියවැල මුලද කුඩා නෙළුම් පොහොට්ටුවක් මදක් පිපුණ නෙළුමක් හා සම්පූර්ණ පිපුණූ නෙළුමක් වේ. ඊට ඉහළින් හංසයෝ තුන්දෙනෙක් හොටට හොට තියා සිටින අතර එයට ඉහළින් ඇති හංසයෝ දෙදෙනෙක් එක් හංසයෙක් හොට බිම තබාගෙනද අනිත් හංසයා හොට උඩ තියාගෙනද සිටි ඉහළම එක හංසයෙක් වේ. මෙහි දාර්ශනික අර්ථකථනය වනුයේ මෙය ජීවන ලතාවකි. එනම් ජීවිතය ගලා යන ආකාරය වේ. සතුටින් සිටින හංසයාගෙන් අපේ ළමා කාලයද හොටට හොට තියා සිටින හංස ජෝඩුවෙන් තරුණ කාලය හෙවත් විවාහක සමයද ඊට ඉහළින් ඇති අවස්ථාව ජීවන බර දැනෙන සමය හෙවත් ජීවිතයේ මැදිවියද ඉහළ ඇති තනි හංසයාගෙන් ජීවිතයේ මැදිවිය සහ හංසයාගෙන් ජීවිතයේ සැඳෑ සමය හා තනිකඩ බව පෙන්වයි. දෙදෙනකු ලෙස සිටියද කෙනෙකුට ඉස්සරවීමට සිදුවේ. මෙයවේ මෙහි යථාර්ථය. මකරාගෙන් ජීවිතයේ භයංකාරත්වය හා දුකද පොහොට්ටුව බාගෙට පිපුණු නෙළුම් හා විකසිත වූ නෙළුම යන මල්වලින් මිනිසාගේ බුද්ධි වර්ධනය පෙන්නුම් කරයි.
වාමන රූප සහිත තොරණ
|
මෙම තොරණවල යොදා ඇති ස්ත්‍රී රූප හෙවත් සාලභන්ජිකා රූප සැමගේ අවධානයට හසුවේ. ස්ත්‍රී රූප නිර්මාණය කර ඇත්තේ සියලු ශරීරරාංග ප්‍රදර්ශනය වන ලෙසය. සර්වඥ ධාතු තැන්පත් කර ඇති ස්ථූපයක් අසල භික්ෂූ භික්ෂුණීන් වැඩ සිටිය පුදබිමක මෙවැනි ස්ත්‍රී රූප නිර්මාණය කළේ මන්ද? යන්න දකින අයගේ සිත් තුළ ගැටලුවක් ඇතිවනු නිසැකය.තොරණ නිර්මාණය කළ කැටයම්කරුවන් තුළ තොරණ දකින අයගෙන් ඇස්වහ , කටවහ, වදී යැයි බියක් ඇතිවී ඇති අතර දකින අයගේ අවධානය මේ දෙසට යොමු කිරීම සඳහා ස්ත්‍රිරූප නිර්මාණය කළ බව දාර්ශනික මතයකි. තවද බණ භාවනා කර ධ්‍යාන ලබන්නට උත්සාහ දරන භික්ෂූන් වහන්සේලාගේ සිත පරීක්ෂා කර බැලීමේ කමටහනක් ලෙස මෙය යොදා ඇතැයි විශ්වාස කරයි. මෙම ස්ත්‍රී රූපවල පිටුපසට වස්ත්‍ර යොදා තිබේ.
උතුරු තොරණේ නැඟෙනහිර කුලුනෙහි පිටතින් බුදුරජාණන් වහන්සේගේ රූපය නිර්මාණය කළ ආකාරයද අති උසස්ය. සිරිපතුල්ද ශරීරය සඳහා නව අරහාදී බුදුගුණ සිහිකරමින් මල් නවයක්ද හදවත හෙවත් බුද්ධිය සංකේතවත් කිරීම සඳහා නෙළුමක්ද සිරස නෙළුමකින් හා ලියවැලකින් නිර්මාණය කර ඇත. මෙය බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කිරීමට ගත් උත්සාහයකි. බුදුරදුන්ගේ ශරීරයට පිටතින් යොදා ඇති මාලා ආරක්ෂිත මාලා හෙවත් රශ්මි මාලාව ලෙස පිළිගැනේ. බටහිර තොරණේ ඇති බහිරව රූප දාර්ශණික අර්ථ දනවයි. තොරණේ බර දරණ බහිරවයන්ගේ මුහුණු එකිනෙකට වෙනස්ය. එලෙස ජීවන බරද මිනිසුන්ගේ අවබෝධයේ හා දැනුමේ ආකාරය අනුව අටලෝ දහමට ලෝකයා මුහුණ දෙන ආකාරය මෙයින් දනවයි.
සම්බුදු මනස අන්ත භේද විරහිතයි මෙම කැටයමද ඇත්තේ නැඟෙනහිර තොරණේ ඇතුළු පැත්තේ මැදය. මෙහි මැද බුදුරදුන්ද අවට විවිධ වර්ගයේ ප්‍රතිවිරුද්ධ සතුන්ද ඇත. මේ චිත්‍රයෙන් අර්ථ දෙකක් දැක්විය හැකිය. එක් අර්ථයක් නම් බුද්ධත්වය ලැබූ අවස්ථාවේ ඇතිවූ සාමය පිළිබඳ අදහසයි. එය සාම්ප්‍රදායික වූවකි. අනෙක් අර්ථය බුද්ධත්වය ලැබූවකුහට ලෝකයේ අන්තගාමී මනසක් නැත යන අදහසයි. සම්බුදුරදුන් සම සිතින් ලැබෙන අරමුණු දරති යන්නද මේ දර්ශනීය කැටයමෙන් නිරූපිතය.
තොරණ තුළ ඇති සිංහ මුහුණු
|
බුදු ගුණ බල පැතිරේ
මෙම කැටයම ඇත්තේ උතුරු තොරණේ වම් අත කුලුනේ පිට පැත්තේය. මෙම කැටයමින් බුදුරදුන් පිළිබඳ සංකේතයක් ගොඩනගයි. මෙහි ඇති පඳුරු නවය නව බුදු ගුණ සංකේතයෝය. දෙපැත්තේ ඇති මාලා බුදුගුණ පැතිරීම මාලා සංකේතවත් කරයි.
සාංචිය හා සිරිලක අතර සබැඳියාව
පාටලී පුත්‍රයේ සිට යුවරාජයෙක් ලෙස අවන්තියට පැමිණි අශෝකට වේදිස නුවරදී ලැබුණ වටිනාම වස්තුව වූයේ වේදිස දේවියයි. අශෝක විසින් එම දේවිය විවාහ කරගත් අතර අශෝක රජතුමාගේ දේවියට ලැබුණ දරුවන් මහින්ද හා සංඝමිත්තා වේ. ඔවුන්ගේ කුඩා කාය වේදිස නුවර හා උජ්ඡෙයන්වල ගතවිය. කුමරුට වයස අවුරුදු 14 ක් වැනි කාලයේදි දරු දෙදෙනා සමඟ අශෝක රජතුමා පාටලී පුත්‍රයට ගොස් රජකම ලබාගනී. යුද්ධයෙහි දක්ෂයෙක් වූ අශෝක රජු ඔහුගේ බලය පැතිරවීම සඳහා අසල්වැසි රාජ්‍යයන් සමඟ යුද වැදිණ. පසු කලකදී ඒ සියලු යුද ක්‍රියා අතහැර ධර්මිෂ්ඨ රජෙක් වූ අශෝක බුදු සමය වැළඳගෙන තම දරු දෙදෙනාද සසුන් ගත කෙරිණි. ධර්මයෙහි දුර්මත වූ හෙයින් ධර්මය පිරිසුදු කිරීම සඳහා තුන්වන ධර්ම සංගායනාවක් පැවැත්වීමට මුලිකත්වය දරමින් ක්‍රියා කරන ලදී. රහතන් වහන්සේලා දහසක් සම්බන්ධ වී පාටලී පුත්‍රයේ අශෝකාරමයේදි ධර්ම සංගායනාව පවත්වන ලදී.
අසල්වැසි රටවලටද ධර්මය ලබා දීමේ අදහසින් රටවල් නමයකට තථාගත ධර්මය ප්‍රචාරය කරන ලදී.
මාලා සහිතව බුදුරජාණන් වහන්සේ නිර්මාණය කර ඇති අයුරු.
|
ඒ අනුව මොග්ගලීපුත්ත තිස්ස තෙරුන්ගේ හා අශෝක රජුගේ අනුදැනුම ඇතිව ලංකාදීපයට මිහිඳු මා හිමියන්ට නියම විය. ලක්දිවට වඩින්නට පෙර කුඩා කාලය ගත කළ වේදිස නුවරට වැඩම කොට මෑණියන් විසින් කරවූ චේතිය ගිරි වෙහෙරේ වැඩ සිටියේය. මිහිඳු මාහිමියන් සමඟ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමණේරයන් හා භණ්ඩුක උපාසකද විය. තම දෙමාපියන් හා ඥාතීන් බැහැදකිමින් තථාගත ධර්මය ඔවුන්ටද දේශනා කරන ලදී.
එකල ලක්දිව මිනිසුන් භාවිතා කළ භාෂාවද මෙහිදී හදාරා ඇතැයි සමහරකු විශ්වාස කරයි. ලක්දිවට වඩින්නට සුදුසු කාලය නොවු හෙයින් චේතියගිරියෙහි වැඩ හිඳ ඇත.
සුදුසු කාලය උදා වූ පසු මිහිඳු මාහිමියන් හා දූත පිරිස පොසොන් පුන් පොහොය දිනයක මිහින්තලා කඳු මුදුනට වැඩම කළ අතර කඳු මුදුනේදී හමු වූ දේවානම්පියතිස්ස රජුට තමන් කවුදැයි මෙසේ හඳුන්වා දී ඇත.
මහ රජතුමනි, ‘අපි ශ්‍රමණයෝ වෙමු’ ධර්ම රාජයාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබතුමා කෙරෙහි අනුකම්පාවෙන් දඹදිව සිට මෙහි පැමිණියෙමු. රටේ රජු ඇතුළු රාජ්‍ය මණ්ඩලයද පළමුව මෙම තථාගත ධර්මය කෙරෙහි පැහැදී එය වැළඳගත් අතර ලක් වැසි ජනයාද මෙය අනුමත කරන ලදී .
සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 58 - තොරණේ අරුත
සාංචි පුදබිමෙහි ඇති සෑම තොරණක්ම අද්විතීය කලා නිර්මාණයක් සේ හැඳින්වේ. අප භාග්‍යවතුන් වහන්සේ සහ සත් බුදුවරයන් වහන්සේ එහි සංකේත මගින් දක්වා ඇත. අප අද පළමුව සාංචි ස්තූපයේ උතුරු පැත්තේ පිහිටා ඇති උතුරු තොරණ ඉදිරියට යමු.
සාංචියේ ඇති සෑම තොරණක්ම ගොඩනගා ඇත්තේ ක්‍රි.පූ. පළමුවැනි සියවසේ දීය. සත් බුදුවරයන් වහන්සේලා දැක්විය යුතු තැන්හිදී පවා දක්වා ඇත්තේ බෝධියක් චෛත්‍යයක් හෝ වජ්‍රාසනයකි. නැති නම් ශ්‍රී පතුලකි.
බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැවැති අපරිමිත ගෞරවය නිසා කැටයම්කරුවන් පිළිම නෙළීමට ඉදිරිපත් නොවුවා විය හැකිය. මෙතරම් ශ්‍රේෂ්ඨ පුද්ගලයකු ප්‍රතිනිර්මාණය කිරීම තමන්ට තරම් නොවේය යන ගෞරවනීය සිතිවිල්ල නිසා පසු ගාමී වූවා විය හැකිය. ඉන් තමන්ට අයහපතක් සිදු විය හැකිය යන විශ්වාසය දැඩි ලෙස බලපෑම් වන්නටත් පුළුවන. එබැවින් තොරණ සතරේම අප භාග්‍යවතුන් වහන්සේ හා සත් බුදුවරයන් වහන්සේලා , බෝධින් වහන්සේ වජ්‍රාසනය , සිරිපතුපල ආදී සංකේතයකින් ම මිස රූපයක් ලෙස දක්නට නොලැබේ.
ක්‍රි.ව. 128 දී ඉන්දියාවේ කණිෂ්ක නම් බලසම්පන්න රජතුමා කුෂාන පරපුරේ බලසම්පන්නම රාජ්‍ය පාලකයා ලෙස ඉතිහාසඥයෝ පිළිගනිති. මේ කාලයේ දී බෞද්ධයෝ හීනයාන මහායාන වශයෙන් දෙකොටසකට බෙදී සිටියහ.
කණිෂ්ක රජු මහා ධර්ම සංගායනාවක් කළේය. එම සංගායනාවෙන් පසු මෙතෙක් පිළිම තැනීම සාවද්‍ය අකුසලයක් සේ සිතා අප බුදුරජාණන් වහන්සේ වෙනුවට බෝධිය චෛත්‍යය ආදී සංකේත භාවිතා කළ මහායානික කලාකරුවන් බුදුරදුන් රූපයෙන්ම දක්වා බුද්ධ ප්‍රතිමා නෙළීම ආරම්භ කළහ.
එබැවින්ම අප සැදැහැවතුන් දැනගත යුතු වන්නේ මෙම තොරණ සතරේ එන කිසිදු බුද්ධ ප්‍රතිමාවක් ක්‍රි.පූ. පළමු වන සියවසේ නෙළා නොතිබූ බවත් ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවසෙන් පසු තොරණ ප්‍රතිසංස්කරණය කිරිම්වල දී එක් වූ ඒවා බවත්ය.
දැන් අප උතුරු තොරණේ කැටයම් රූප මගින් නිරූපණය වන්නේ කුමක්දැයි විමසා බලමු. උතුරු තොරණේ හරි මැද ධර්ම චක්‍රයක් තුබූ බව අදත් පැහැදිලිව දැකිය හැකිය. දැන් සම්පූර්ණම චක්‍රය පෙනෙන්නට නැත. ඇතුන් සිව් දෙනකු දරාගෙන සිටි ධර්ම චක්‍රයේ අද ඇත්තේ අඩ හඳක් වැනි කොටසකි.
ධර්මචක්‍රය දෙපස උපස්ථායකයන් දෙදෙනකුගේ රූප සටහන් තුබූ බව පැහැදිලිය. දකුණු පස රුව පමණක් අද ඉතිරිව ඇත. දෙකෙළවර සිංහ රූප දෙකකි. ඒ සිංහ රූප දෙකටත් උපස්ථායක රූප දෙකටත් අතර අලංකාර නෙළුම් මල් දෙකක් මත නිර්මාණය කැර ඇති ත්‍රිශූලාකාර මල් දෙක රන්නත්‍රය සංකේතවත් කරයි. ධර්ම චක්‍රයට පහළින් ඇති හරස් පුවරුවේ ස්තූප පහක් හා බෝධි වෘක්ෂ දෙකක් ඇත.
එයට පහළ මැද හරස් පුවරුවේ සිංහ රූප දෙකකි. එම සිංහ රූපවලට පිටුපසින් ස්ත්‍රී රූප දෙකකි. ස්ත්‍රී රූප ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුය. සාංචි තොරණ හතරේ ස්ත්‍රී රූප රාශියක් දක්නට ඇත. මේ ස්තී‍්‍රරූප යක්ෂණියන්ගේ රූප සංකේතවත් කර දක්වයි. බව කතරේ ඇලීම හා ඇලීමෙහි ගිජු බව මින් නිරූපණය වන අතර කාමයෙහි ගැලීමෙන් සත්වයාට අත්විදින්නට සිදුවන ඛේදවාචකය මෙන්ම පොළඹවා ගැන්මේ උත්සාහයද මෙම කාන්තාරූප මගින් දක්වා ඇත.
සාංචිය වනාහී භික්ෂු භික්ෂුණීන් සිය ගණනින් වැඩ විසූ සංඝාරාමයකි. මෙම රූපයන්ගෙන් (ශාලභංජිතා) දැක්වෙන්නේ කෙලෙසුන් කෙරෙහි නොඇලී සිටිය යුතු බවයි. රාගය ප්‍රහීණ කළ යුතු බවයි. අප ඇලෙන සිරුරෙහි ස්වභාවය මෙසේ යැයි දත යුතුය. නැවත ඔබට සඳහන් කරන්නේ සාංචි කැටයම් කරුවන් කටුව මිටිය අතට ගත් උදවිය පමණක් නොව බුද්ධ ධර්මය සංසාර චක්‍රය පිළිබඳ මනා අවබෝධයක් ඇති කරගත් උගත් බුද්ධිමත් පිරිසක් බව දක්නට ඇති බවය.
මෙම පුවරුවේ ඉදිරිපස දකුණු කොනේ වෙසතුරු රජ සිය ඇතුන් දන්දෙන අයුරු පෙනේ. ඉන් පසු මව්පියන්ට ආයුබෝවන් කියා පිටත් වන බව පුර දොරටුව අසල පෙනේ. එයින් වම් පැත්තට හෙතෙමේ රිය පදවාගෙන යයි. වම් කෙලවරෙහි පෙනෙනුයේ සිය දෙදරුවන් හා දේවිය සමඟ ගමන් කරන අයුරුය. පිටුපස දකුණූ කෙලවරෙහි සිය දේවිය සමඟ වංක ගිරියට යනු පෙනේ. එහිදී ශක්‍රයා විසින් මවන ලද ආරණ්‍යයේදී තවුස් වෙස් ගන්නා අයුරු දැක්වේ. මෙහි තරමක් වම්පසින් පුවරුව මැද වෙසතුරු රජ සිය දූ පුතුන් දෙදෙනා ජූජක බමුණාට දන් දෙයි. එම දර්ශනයට උඩින් මද්‍රිදේවිය ට වම්පසින් දුනුවායා විසින් ජූජක බමුණා බිය ගන්වනු පෙනෙයි. පහතින් දැක්වෙනුයේ ජූජකයා කෝටුවකින් තළමින් ළමයි දෙදෙනා ගෙන යන ආකාරයයි. අන්තිමට දක්නට ඇත්තේ රජු දේවිය දන්දෙන අයුරුයි.
උතුරු තොරණේ දකුණු කණුවෙහි මුදුන් කැටයම් පුවරුවෙන් දැක්වෙනුයේ බුදුරදුන් මව් දෙව් රජුට අබිදම් දෙසා රුවන් හිණෙකින් සංකස්ස නුවර දොරටුවට වඩනා අයුරුය. මෙහි දෙවියන් සමඟ ශක්‍රයා ද මහා බ්‍රහ්මයාද වෙයි. මැද රුවන් හිණිමග දිස්වේ.
එහි තෙවැනි පුවරුව බුදුරදුන් කපිල වස්තුවට වැඩ වදාරා පෙළ හර දැක්වීම හා දම් දෙසුම දැක්වේ. සුද්ධෝදන රජතුමන් හා මහා ප්‍රජාපති ගෝතමිය බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට පැමිණි අවස්ථාව කැටයම් කර ඇත. බුදුරජාණන් වහන්සේ වෙනුවට බෝධිය නිර්මාණය කර ඇත.
සාංචියේ නැගෙනහිර තොරණ
සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාවෙන් සාංචිය පිළිබඳ කරුණු රැසක් හැදෑරුවෙමු. අද මෙම වප් පුර පසළොස්වක පෝදා, සාංචියේ නැගෙනහිර තොරණ ගැන විමසා බලමු.
නැගෙනහිර තොරණෙහි මුදුන් හරස් පුවරුවේ දකුණු කොනෙහි ඇත් රුවක් ද ඊට පිටු පසින් ත්‍රිවිධරත්නයද, එම හරස් පුවරුවෙහි ඉදිරි පස ඇති ස්තුප හා බෝධි අතීත සත් බුදුවරයන් වහන්සේලා වෙනුවට නිර්මාණය කර ඇති අයුරු දැකිය හැකිවේ.
එම මැද හරස් පුවරුව මත දකුණු කොනෙහි ඇත් රුවක් ද ඊට පිටු පසින් ස්ත්‍රී රුවක් ද ඇත. එම පුවරුවෙහි ඉදිරිපස වම් කොනෙහි මාළිගයක් ද දකුණු කොනෙහි ශ්‍රී පතුල් දෙකක් ද ඇත. මෙය මහාභිනිෂ්ක්‍රමණය පෙන්නුම් කරයි. වම් කොනෙහි දැක්වෙන්නේ සිද්ධාර්ථ කුමාරයා ඡන්න අමාත්‍යයා හා කන්ථක අසුපිටින් නගරයෙන් නික්මෙන අයුරුයි. ඡන්න කුඩයක් දරාගෙන සිටියි. දකුණු කොනෙහි අශ්වයා හා අමාත්‍යයා ආපසු යැවූ බෝධිසත්වයන් වහන්සේ අනෝමා නදී තීරයෙහි හුදෙකලාව නතර වූ ආකාරය දැක්වෙන ශ්‍රී පතුල් දෙකක් නෙළා තිබේ. නගරයේ දෙවියන් හා දෙවඟනන් සිදුහත් කුමරුගේ ගමනින් හිස් වූ නගරය දැක දුක් වන අයුරු පෙනේ. මෙම පුවරුව මැද දැක්වෙන්නේ දඹ ගසකි. එය සිදුහත් කුමරු එක් වප් මඟුල් දිනෙක දඹ ගසක් යට භාවනා වඩමින් සිටි අයුරු සිහි ගන්වන්නකි.
එහි යට ම හරස් පුවරුවෙහි අශෝක රජු බුද්ධගයාවට යන අයුරු දැක්වේ. මධ්‍යයෙහි ඇත්තේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ය. වම්පසින් රජ පිරිස දිය බඳුන් ගෙන සිටිති. දකුණු කොනෙහි රජු හා දේවිය රාජ පිරිවර මධ්‍යයේ ඇතු පිටින් බසින අයුරු පෙනේ. ඉන් පසු රාජකීය යුවළ බෝධීන් වහන්සේට නමස්කාර කරති.
එම තොරණෙහි පිටුපස මුදුන් හරස් පුවරුවේ අතීත සත් බුදුවරුන් දැක්වෙන ලකුණු ඇත. එම මධ්‍යම පුවරුව විශ්ව පූජාවක් දක්වයි. නානා ප්‍රකාර සතුන් බුදුරදුන්ට පුද පූජා කරන අයුරු එහි දැක්වේ.
එම අවසාන පුවරුව රාම ග්‍රාමයේ ස්තූපය විය හැකි යැයි ඇතැමෙක් කියති. එහෙත් මෙය හුදු නාග ඇත් පූජාවකි රාම ග්‍රාමයේ ස්තුපය නයින් විසින් ආරක්ෂා කරන අයුරු දකුණු තොරණෙහි පැහැදිලිව දක්වා තිබේ.
එම තොරණෙහි දකුණු කණුවෙහි ඉදිරිපස ඇත්තේ සදිව්‍ය ලෝකයයි. යට සිට උඩට පිළිවෙළින් (1) චාතුර්මහාරාජිකය, 2. තාවතිංශය, 3. යාමය, 4. තුසිතය, 5. නිර්මාණරතිය, 6. පරිනිර්මිත වසවර්තිය යනුවෙනි.
එම තොරණෙහි යට ම පුවරුවේ වාමන රූපයන්ගේ මුවින් නික්මී ඇති නෙළුම් මල් සහිත ලතාවකි. එම දකුණ කොනෙහි අලංකාරය සඳහාත් අශෝක අධිරාජයාගේ වංශය නිරූපණය කිරීම සඳහාත් නෙළන ලද මොනර දර්ශන වෙති. එම පිටුපස මුදුන් හරස් පුවරුවේ අතීත සත් බුදුවරයන් වහන්සේ දැක්වෙති. එම ලකුණු අතර ස්තූප තුනක් හා වෘක්ෂ හතරක් ද ඇත. වෘක්ෂ සතර කකුසඳ කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන සිව් බුදුවරයන් වහන්සේට බුද්ධත්වය පිණිස ද උපකාර වූ බෝධි සතරයි.
යටම හරස් පුවරුවේ ඇත්තේ ශ්‍රී සර්වඥ ධාතු බෙදාදීමය. සත් රජ පිරිසක් සර්වඥ ධාතූන් වහන්සේ ලබා ගැනීමට පැමිණි බව දැක්වේ. එවිට එහි සිටි ද්‍රෝණ බමුණා සර්වඥ ධාතුන් වහන්සේලා බෙදා දී සත් රජවරුන් සමාදාන කැරවීය. එම තොරණෙහි වම් කණුවෙහි ඉදිරි පස පළමු පනේල දක්වන්නේ ධර්ම චක්‍ර දේශනාවය. බුදුරදුන් බරණැස ඉසිපතනයේ දී දේශනා කළ ප්‍රථම ධර්ම දේශනයයි. ධර්ම චක්‍රයට මුදුනෙන් දෙවියෝ සිටිත් මුවන් දක්වා තිබෙන්නේ මිගදාය දැක්වීමටය.
1952 රෝපිත බෝධීන් වහන්සේ
|
එම දෙවන පනේලයේ අශෝක රජු හා ඔහුගේ දේවිවරුද රාජ පරිවාර සේනාව ද වෙති. අශෝක රජු රථයක ගමන් කරන අයුරු දැක්වේ. ඔහුගේ යුවරාජයා ඇතකු පිටින් යයි. ඇතුළු පනේලවල පළමු පනේලයෙහි අශෝක රජතුමා විසින් කරවන ලද බුද්ධගයා විහාරය දැක්වේ. එම දෙවන පනේලය රජු හා බිසෝවරු දෙදෙනකු බුද්ධගයාවට පැමිණ සිටින අයුරු පෙන්නුම් කරයි.
දකුණු තොරණ හා බටහිර තොරණ
ඔබ සාංචියේ උතුරු තොරණ හා නැඟෙනහිර තොරණ ගැන ඉතා වැදගත් කරුණු රාශියක් ගැන අවබෝධයක් ලබන්නට ඇත. මෙම ඓතිහාසික කලා නිර්මාණ ගැන කරුණු ඉදිරිපත් කළේ ඒ වායේ ඇති නිර්මාණාත්මක වැදගත්කම නිසා ය. බොහෝ දෙනෙක් මේ තොරණ දෙස බලා හිඳ පැමිණෙනවා මිස ඒවායේ ඇති වටිනාකම ගැන කල්පනාවට නොගනී. කැටයම් මඟින් නිරූපණය වන්නේ කවර අරුතක් දැයි නොදකිති. බුද්ධ චරිතයේ විවිධ අවස්ථා මෙහි ඉතා විශිෂ්ට අයුරෙන් නිර්මාණය කර තිබේ. සාංචියේ ඇති වටිනාකම දන්නා සැදැහැවතුන් යළි යළිත් සිත නිවන සාංචියට ගමන් කරයි. දඹදිව වන්දනා චාරිකාවේ ගිය ඔබට යළිත් එම කැටයම් සිතින් සිහිපත් කර යළි සැනසීම උපදවාගත හැකිය.
ක්‍රි.ව. 1882 – 83 දී මේජර් තෝල් විසින් අලුත්වැඩියා කරන ලද තොරණ දෙකින් දකුණු තොරණ ද එකකි. මෙම තොරණෙහි දකුණු කුලුන සම්පූර්ණයෙන් ද වම් කුලුනෙහි යට භාගයද අලුතින් තනා තිබේ. යට තිබෙන හරස් පුවරුවෙහි බටහිර කොන ද මැද පුවරුවෙහි නැගෙනහිර කොන ද අලුත් කොටස් වෙති.
දැනට තිබෙන පරිදි මුදුනේ ම හරස් පුවරුවෙහි මැද මහා මායා දේවිය නෙළුම් මලක් මත වාඩි වී සිටි ඇය දෙපසින් ඇතුන් දෙදෙනෙකු කළගෙඩි දෙකකින් දියවත් කරනු පෙනේ. මෙය සිද්ධාර්ථ කුමාරෝප්පත්තියෙන් පසු මහාමායා දේවිය ජල ස්නානය කරන ලද අයුරු දැක්වේ.
අසිරිමත් බුද්ධ චරිතයේ විශේෂ අවස්ථා සිහිපත් කරමින් දඹදිව බුද්ධ භූමි වන්දනාවට සම්බන්ධ ස්ථාන ගැනද සඳහන් කරමින් මෙතෙක් වන්දනා කළෙමු. අසිරිමත් බුදු සිරිතේ අවසාන සමය පිළිබඳ ද සිහියට නඟා ගනිමු. මෙය විටක හද සසල කරන කථාවකි. පුරා වසර හතළිස් පහක් දෙව් මිනිසුන් වෙත සැප පිණිස හා සුව පිණිසම වැඩ සිටි භාග්‍යවත් බුදුපියාණන් වහන්සේගේ පරිනිර්වාණය සඳහා වැඩම කරන ගමන ආරම්භ කරන ලදී. අපි දැන් කුසිනාරාව දැක බලාගන්නට යමු. පරිනිර්වාණ මංචකය තෙක් උන්වහන්සේ වැඩම කළ ගමන පියවරෙන් පියවර වැඩම කළ ගමනකි. එබැවින් එම ගමන ගැන තොරතුරු ස්වල්පයක් හෝ ඔබ දැන සිටීමද ප්‍රයෝජනවත් විය හැකි ය.
භාග්‍යවතුන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ වෙසෙන සමයේ දිනක් අජාසත් රජු සිය මහා මාත්‍යයන් දෙදෙනාගෙන් කෙනකු වූ වස්සකාර බමුණා කැඳවා (අනෙක් මහාමාත්‍යවරයාගේ නම සුනිධය) ඔහු බුදුරදුන් බැහැදැකීමට යවයි. එසේ යවන්නේ ලිච්ඡවීන් සමඟ තමා යුද ප්‍රකාශ කරන බව බුදුරදුන්ට දැන්වීමටය. පණිවිඩය රැගෙන වස්සකාර බමුණා යන විට බුදුරදුන් විවේක සුවයෙන් පසුවන මොහොතයි. ආනන්ද හිමියෝ විජිනි පතකින් පවන් සලමින් බුදුරදුන් අසල ම සිටිති. වස්සකාර බමුණා බුදුරදුන් පා නමැඳ සුවදුක් විචාරා තමා ආ කරුණ බුදුරදුන්ට සැළකැර සිටී. බුදුරදුන් අනඳ මහතෙරුන් අමතා මෙසේ විමසති. ආනන්දය, මා විසල් පුර (විසාලා මහනුවර) සාරන්ද වෙහෙර වැඩ වෙසෙද්දී, වජ්ජීන්ට සප්ත අපරිහානිය ධර්මය දෙසුවා. ඔබට මතක ද? ඔවුහු යම්තාක් කල් එම ධර්මයෙහි හැසිරෙත් නම් ඔවුන්ගේ වැඩීමක් මිස පිරිහීමක් සිදු නොවන්නේ ය. ආනන්දයෙනි, වජ්ජිහු තවමත් එම ධර්මය රකිත් ද කියා? අනඳ හිමියෝ කරුණු විමසා බලා එසේ ය. ස්වාමීනි, ඔවුහු එම ධර්මය මනාව රකිත් යැයි පැවසූහ.
වස්සකාර බමුණු අමාත්‍ය තෙමේ අජාසත් රජු හමු වී බුදුරදුන් වදාළ කරුණු රජුට පැහැදිලි කළේ ය. වජ්ජින් ජය ගත හැක්කේ ඔවුන් හා යුද්ධ කිරීමෙන් නොවන බව අජාසත් රජු තේරුම් ගත්තේ ය.
අප භාග්‍යවතුන් වහන්සේ රජගහත්, නාලන්දාවත් අතර පිහිටි අම්බලට්ඨිකා ග්‍රාමයට වැඩම කළ මොහොතයි. උන්වහන්සේ අම්බලට්ඨිකා ග්‍රාමයේදී දැන් තමන් වහන්සේට පිරිනිවන් පෑමට කාලය එළඹ ඇති බව සිහි නුවණින් මෙනෙහි කළ සේක.භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා රැස් කැර මෙසේ වදාරති. දැන් මට පිරිනිවනට ආසන්න කාලය එළඹ ඇත. ශීලය නම් මෙසේය. සමාධිය නම් මෙසේ ය. ප්‍රඥාව නම් මෙසේ ය. එය මනාව සිහි කටයුතු ය. ශීලයෙහි සිත පිහිටුවා වැඩු විදර්ශනාවේ ප්‍රඥාවේ මහත් ඵල ඇත. විදර්ශනා ප්‍රඥාවේ පිහිටා වැඩු සිතේ කාමාශ්‍රව භවාශ්‍රව දෘෂ්ටාශ්‍රව අවිද්‍යාශ්‍රව මේ කිසිවක් නොමැත. එවන් සිත පැහැපත්ය. පිරිසුදුය. ඉතා පිවිතුරුය. ඉතා සැහැල්ලුය.
සැදැහැවතුනි, අප භාග්‍යවතුන් වහන්සේගේ මේ වදන් නිතර නිතර සිහිපත් කරන්න. අප අවට ලෝකයෙන් එන ආශ්‍රවයන්ගෙන් බැඳීම්වලින් සිත මුදා පිරිසුදු කරගන්න. එවිට ඔබ සිත සැහැල්ලු වන බව දැනෙනු ඇත. මෙය මෙනෙහි කරන සිතිවිල්ල පවා සුවදායකය.
අම්බලට්ඨිකා ගමේ ටික දිනක් වැඩ විසූ අප තථාගතයන් වහන්සේ එතැනින් නාලන්දා නුවර බලා පිටත්වීමට සිතූහ. භික්ෂු සංඝයා සමඟ නාලන්දාවට වැඩම කළ බුදුරජාණන් වහන්සේ එහි ටික කාලයක් වැඩ වාසය කැර පාඨලී ග්‍රාමය බලා පිටත් වූහ. පාඨලී ග්‍රාමයේ දී අජාසත් රජුගේ ප්‍රධාන අමාත්‍යවරු දෙපොළ (සුනිධ හා වස්සකාර) රජු විසින් සූදානම් කරන ලද දානයට වැඩම කරන ලෙස භාග්‍යවතුන් වහන්සේට බුහුමන් පෙරටුව ආරාධනා කළහ. එම ආරාධනය පිළිගත් බුදුරදුන් භික්ෂු සංඝයා සමඟ එහි වැඩම කොට දන් වළඳා අනුමෝදනා බණ වදාළහ. ඉන් පසු බුදුරදුන් කෝටි ග්‍රාමයට වැඩම කර ටික දිනක් එහි වැඩ සිටියහ. ඉන් පසු ඥාතික නම් ගමට වැඩම කළහ. ඥාතික ගමෙන් උන්වහන්සේ වැඩම කරන්නේ විශාලා මහනුවරටයි. චාපාල චේතියේ ද, අම්බපාලිය පිදූ අඹ උයනෙහිද වැඩ සිටි සිටින උන්වහන්සේ එතැනින් නික්ම වී වැඩම කරන්නේ අන්තිමට වස් විසීම සඳහා නැවතුණු බේළුව නම් ගමටයි. අප තථාගතයන් වහන්සේට ලෝහිත පක්ඛන්දිකානම් රෝගය වැළඳෙන්නේ බේළුව ග්‍රාමයේදීය. උන් වහන්සේ සිත සමාධිගත කොට වීර්යයයෙන් එම රෝගය මැඬ පවත්වාගත් අයුරු හා සක්දෙවි පැමිණ බුදුරදුන්ට උපස්ථාන කරන ලදී. බේළුව ගමට වැඩම කරන ලද බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා තමන් බේළුව ගමෙහි වස් එළැඹී සිටින අතර භික්ෂූන්ට තමන් කැමැති ස්ථානයක වස් විසීමට ආරාධනා කරන ලදී. උන්වහන්සේ බේළුව ගමෙහි අන්තිම වස් කාලය වැඩ සිටින ලදී. එහිදී තව දස මසෙකින් පිරිනිවන් පාන්නෙමි යි ඉටා ගත් සේක. මේ සමයෙහි භාග්‍යවතුන් වහන්සේට දරුණු ලෝහිත පක්ඛන්දිකා රෝගයෙක් ඇතිවීය.
එය දැන ගත් සක්දෙව් රජ රාත්‍රියෙහි එහි මිනිස් වෙසින් පැමිණ සිය අතින් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කළ කල්හි මේ කවුරුදැයි බුදුරජාණන් වහන්සේ විචාළ විට මම ශක්‍ර වෙමිය, සක්දෙව් කීය. කුමට ආයෙහි දැයි බුදුරජාණන් වහන්සේ ඇසූ සේක. බුදුපියාණන් වහන්ස, ගිලන් වූ ඔබ වහන්සේට උපස්ථානයට යැයි සක් දෙව් කීය. ශක්‍රය, මිනිස් ගඳ යොදුන් සියක පටන් ගෙලේ බැඳි කුණපයක් මෙන් දෙවියනට ඉසිලිය නොහේ. ඔබ යන්න. මට ගිලානෝපස්ථානයට භික්ෂුහු ඇතැයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. වහන්ස, මම යොදුන් අසූසාර දහසක් තරම් ඉහළ සිට ඔබවහන්සේගේ සීල සුගන්ධය ආඝ්‍රහණය කොට ආයෙමි. මම ම උපස්ථාන කරන්නෙමි යැයි සක්දෙව් කීය. භාග්‍යවතුන් වහන්සේ වීර්යයෙන් ඒ රෝගය මැඬ පවත්වා තව දස මසක්ම එය මතු නොවන ලෙස සමාපත්ති බලයෙන් යටපත් කළ සේක.
භාග්‍යවතුන් වහන්සේ ගිලන් බැවින් නැඟී සිටි පසුම ශක්‍රයා නික්ම ගියේ ය. ශක්‍රයාගේ උපස්ථාන ගැන භික්ෂූන් අතර කතා ඇති වූ විට භාග්‍යවතුන් වහන්සේ ඒ මුල් කොට ගෙන සාහු දස්සන මරියානං ආදී ගාථා වදාළ සේක.
යට කී පරිදි ගිලන් බැවින් නැඟී සිටි භාග්‍යවතුන් වහන්සේ විහාරයෙන් නික්ම වෙහෙර අද්දර සෙවණෙහි පණවන ලද අස්නෙහි වැඩ හුන් සේක. ආනන්ද තෙරණුවෝ ද එහි පැමිණ පසෙක හුන්හ. එසේ හිඳ භාග්‍යවතුන් වහන්සේගේ අසනීපය දැක්මෙන් තමන් තුළ බලවත් ශෝක ඇති වූ බවත් භාග්‍යවතුන් වහන්සේ පශ්චිමාවවාදය වදාරා මිස නැතහොත් පිරිනිවන් නො පාන සේක්යි. සිතීමෙන්ම අස්වැසිල්ලක් ඇති කැරැගත හැකි වූ බවත් කීහ. එවිට භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ධර්මය කිසිත් සැඟවිල්ලක් නොකොට සියල්ලම එළිදරවු කොට වදාළ බව පවසා ආත්මය (තමාම ධර්මයම) පිහිටකොටගෙන විසිය යුතු බව විස්තර කොට වදාළ සේක.