, දඹදිව වන්දනා දඹදිව වන්දනා - BUDDHIST PILGRIMAGE TOURS TO INDIA: සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 6-10

ක්‍රි.පූ. 6 වැනි සියවසේ සිට ක්‍රි.ව. 11 වන සියවස පමණ වන තෙක්‌ භාරතීය අධිරාජ්‍යයන්හි, දේශපාලන ප්‍රවණතා, යුද්ධ රාජ්‍ය මර්දනය මෙන්ම බාහිර ආක්‍රමණ, බෞද්ධ දර්ශනය මර්දනය සඳහා මැදිහත් වූ ආකාරය...

.

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 6-10

දුර්ගේශ්වරී ගොස් එහිදී සිදුහත් ගෞතම මහ බෝධිසත්වයන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ දැක බලා ගත් අපි එතැන් සිට අද බුද්ධ භූමි වන්දනාව ආරම්භ කරමු.
මහ බෝසතාණන් වහන්සේ හිමිදිරියේ තමන් වහන්සේ වැඩ හුන් තැනින් නැගිට සිරුර පිළිදැගුම් කොට සේනානි ගම අසල වූ අජපාල නමින් ප්‍රකට නුගරුක වෙත වැඩ පිඬු සිඟා යා යුතු වේලාව එනතුරු එහි මුල වැඩ හුන්හ. එසේ ඉන්නා අතර ඒ නිගමයට අධිපති සිටුහුගේ දියණිය වු සුජාතාවෝ ඒ වෘක්ෂයට අධිගෘහිත වූ දෙවියාට භාරයක් ඔප්පු කිරීම් වශයෙන් රන් තලියෙක කිරිබත් තබා තවත් රන් තලියෙකින් වසා හිස මත තබාගෙන එහි ආහ. එහි අවුත් වෘක්ෂ මූලය මත වැඩහුන් බෝසතාණන් වහන්සේ දැක රුක් දෙවියා වනැයි සිතා මහත් පී‍්‍රති සොම්නසින් නැමි නැමි ගොස් කිරිබත් සහිත තලිය අත්ල මත්තෙහි තබා වැඳ “මා මනදොළ සමෘද්ධි වූවාසේ ම ඔබ වහන්සේගේ මනෝරථයත් සමෘද්ධවේවා”යි කියා ආශිර්වාද කොට නික්ම ගියාය.
මහ බෝධි සත්වයන් වහන්සේ එය පිළිගෙන නිල්දලා (නේරංජරා) ගං තෙරට වැඩම කළහ. ගං තෙර අද්දර රුක් සෙවණක එය තබා පැන් පහසු වූහ. අනතුරුව රුක් සෙවණෙහි හිඳ එකුන් පණස්පිඬක් කොට එය වැළඳූහ.ඉන් පසු එම ස්ථානයෙන් නැගිට නදිය අද්දරට වැ0ඩ අද ම සත්‍යාවබෝධය වෙතොත් මෙය උඩුගං බලා යේවායි” සත්‍ය ක්‍රියා කොට තලිය නදියට දැමූහ .එය උඩුගං බලා ගොස් දිය සළාවෙක ගැසී දියේ ගැලිණ.
මහ බෝධිසත්වයන් වහන්සේ එයින් නික්ම සමීපයෙහි වූ භද්‍ර වනයෙහි දහවල ගත කරනුවෝ කලක් ම පුරුදු නොකොට හැර දමා තිබූ අෂ්ට සමාපත්ති හා පංච අභිඥාවන් යලිත් වැඩූහ.
නැවැත සවස් භාගයෙහි එයින් නික්ම නිල්දලා ගඟ අද්දර වූ ඇසතු රුක බලා ගමන් ගත්හ. මඟදී “සොත්ථිය” නම් බමුණා උන්වහන්සේ දැක පැහැද තමා ගෙන යන කුස තණින් අට මිටක් දී ගියේය. බෝසතාණන් වහන්සේ එය ගෙන ඇසතු රුක (බෝමැඩ පෙදෙස දැන් බුද්ධගයා නමින් ප්‍රකටය) වෙත එළඹියහ. එහි නැගෙනහිර පැත්තේ එම වෘක්ෂය මුල ඒ කුස තණ සලා සත්‍යාවබෝධය කොට මිස මින් නොනැගිටිමි”යි තරයේ ඉටා එහි හිඳගත්හ.
එහි හිඳ බවුන් වඩන බෝසතාණන් වහන්සේට නොයෙක් බිහිසුණු දර්ශන ඇති විය. ඒ දර්ශන නම් වසවර්ති දිව්‍ය පුත්‍රයා කළ කලබලයි. එහෙත් ඒ කිසිවකටත් බෝධිසත්වයන් වහන්සේ බිය නොගත්හ.
ආනාපානසතිය වඩන බෝධිසත්වයන් වහන්සේ ධ්‍යාන උපදවා එයින් නැගිට පෙර ජාතීන් සිහිකරන්නට විය. මෙසේ පෙරයම අවසන් වන්නට පෙර පූර්වේනිවාසානුස්මෘති ඤාණය පිරිසුදු කළහ. මැදුම් යෑම අවසන්වන්නට පෙර දිවැස පිරිසුදු කළහ. තුන්වන යාමයෙහි විදසුන් වඩනුවෝ අරුණු නැගෙන කල්හි සියලු කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධත්වය ලැබූහ.
අනේකජාති සංසාරං
සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවෙසන්තො
දුක්ඛාජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨෝසි
පුන ගෙහං න කාහසි
සබ්බා තෙ ඵාසුකා භග්ගා
ගහකූටං විසංඛිතං
විසංඛාරගතං චිත්තං
තණ්හානං ඛයමජ්ඣගා
භවයෙහි නැවත නැවත ඉපදීම දුකෙකි. භවයෙහි නැවත නැවත ඉපදීම වශයෙන් ස්කන්ධ සංඛ්‍යාත ගෘහය හදන්නා වූ තෘෂ්ණා නමැති වඩුවා සොයන්නා වූ මම, ඔහු දක්නට හැකි ඤාණය නොමැතිව අනාදිමත් කාලයක් සසර පුරා සියදහස් ගණන් ජාතිවල ඔබ මොබ ඇවිද්දෙමි.
ස්කන්ධය නමැති ගෙය කරන්නා වූ තෘෂ්ණා නමැති වඩුවාණෙනි” බුදු වු මා විසින් දැන් නුඹ දක්නා ලද්දෙහිය. නුඹ මින් මතු මට ස්කන්ධ නමැති ගෙය නොකරන්නෙහිය. මා විසින් නුඹගේ සියලු කෙලෙස් නමැති පරාළ බිඳ දමන ලදී. අවිද්‍යා නමැති කැණි මඬල අරහත් මාර්ග ඤාණ නමැති පොරොවින් පළා විනාශ කරන ලදී. දැන් මගේ සිත අරමුණු කිරීම් වශයෙන් නිවනට පැමිණියේය. මම තෘෂ්ණාවෙන් වෙන් වූ උතුම් අර්හත් ඵලයට පැමිණියෙමි” යනු මෙහි අදහසයි.
අති උත්තම බුද්ධ රාජ්‍ය දිනා ගනිමින් පී‍්‍රතියෙන් උදම් වූ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දස මරුන් පරදා වෙසක් පුන් පොහෝදා උතුම් බුද්ධත්වය ලැබු මේ උත්තරීතර පුද බිම මහත් ශ්‍රද්ධා සිතින් වන්දනා මාන කරමු.
මහාබෝධි විහාරය
බිහාර් ප්‍රාන්තයේ ගයා නම් දිස්ත්‍රික්කයේ ගයා නගරයෙහි සිට කි.මී. 11 1/2ක් පමණ දකුණින් පිහිටා ඇත. බුද්ධගයා පූජා භූමිය තුළ බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත්වූ ස්ථානයේ මුලින්ම දැක ගන්නට ලැබෙන උස මනරම් සුවිශේෂි ගොඩනැගිල්ල විහාරය සහ ස්ථූපය යන උභය වස්තූන්ගේ අසිරිමත් සංකලනයකි.
විහාරයට පිවිසෙන වන්දනාකරුවන්ට ප්‍රථමයෙන් සිය දෙනෙත් ගැටෙනුයේ භූමිස්පර්ශ මුද්‍රාවෙන් නිර්මිත ලොව ඇති අසමසම පිළිම වහන්සේ වෙතය. බුදුරජාණන් වහන්සේ වජ්‍රාසනය මත ශී‍්‍ර සම්බුද්ධත්වයට පත්වූ අයුරින් පිළිම වහන්සේ නිර්මාණය වී ඇත. විහාර මන්දිරයේ පළමු මහල අනාදිමත් කාලයක සිට වන්දනා මාන කටයුතු සඳහා වෙන්වූ අතර දෙවන මහල වැඩි වශයෙන් භාවනා කටයුතු සඳහා යොදා ගෙන ඇත. විහාර මන්දිරයේ පළමු මහලේ ඇති සුවිශේෂී බුදු පිළිමය මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ නිර්මාණකරුවෙකුගේ වේශය ගෙන පැමිණ තැනු නිර්මාණයක් ලෙසද විශ්වාසයක් පවතී.
විහාර ගොඩනැගිල්ලේ ඉහළ කොටස සර්වඥ ධාතු තැන්පත් කර ඇති මහාබෝධි ස්ථූපය වශයෙන් සැලකේ.
බුද්ධගයාවෙන් සොයා ගනු ලැබූ ගුප්ත යුගයට අයත් සෙල් ලිපියක (ක්‍රි.ව. 4-6) වජ්‍රාසන ගන්ධ කුටියක් පිළිබඳව සඳහන් වේ. ක්‍රි.ව. 409 දී චීන ජාතික පාහියන් භික්ෂූන් වහන්සේ පැමිණෙන විට අද දක්නට ඇති ආකාරයටම මහා බෝධි විහාරය පැවති බව සඳහන් වේ. පාහියන් වාර්තා අනුව අශෝක අධිරාජයා විසින් ක්‍රි.පූ. 260 දි කුඩා විහාරයක් තනනු ලැබ ඇති අතර, ඉන් අනතුරුව බ්‍රාහ්මණ වංශික සොහොයුරන් දෙදෙනෙකු විසින් විහාරය පුළුල් කරනු ලැබ ඇත. එකල මහාබෝධි විහාරය අඩි 160 ක් පමණ තෙමහල් ගොඩනැගිල්ලක් වශයෙන් දක්නට ලැබී ඇත.
දස මරුන් පරදා උතුම් බුද්ධත්වය අවබෝධ කර ගැනීමට පිහිට වූ ශ්‍රී මහා බෝධින් වහන්සේ
මහාබෝධි විහාරය පිටුපසින් ගෞතම බුදුරජාණන් වහන්සේට ශ්‍රී සම්බුද්ධත්වයට පත්වීම සඳහා සෙවණ ලබාදුන් ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩ සිටී.
බුද්ධත්වයට පත්වීම සඳහා රැකවරණය ලබාදුන් ශ්‍රී මහාබෝධින් වහන්සේ ලෝ වාසි සියලු දෙනාගේම පූජනීයත්වයට පත්වූ අතිශය ශුද්ධ වස්තුවකි.
අශෝක අධිරාජයා බුද්ධාගම වැළඳ ගැනීමෙන් අනතුරුව අශෝක අධිරාජයා කිරි පූජා පවත්වා බෝධින් වහන්සේට උපහාර පවත්වන ලද බව දැක්වේ.
අශෝක අධිරාජයා ශ්‍රී මහා බෝධියට අඛණ්ඩව වැඳුම් පිදුම් කිරීම ඉවසා දරාගත නොහැකි වූ ඔහුගේ බිසවක් පසුව ශ්‍රී මහාබෝධිය විනාශ කළද රජතුමා විසින් කිරිපූජා පවත්වා නැවත එය යථා තත්ත්වයට පත් කර ඇත.
බුද්ධභුමි වන්දනාවෙන් බ්නර අමාවක පෝදා (2014 - 09 - 23) අප බුද්ධගයා වන්දනාව ආරම්භ කළෙමු. අද එතැන් සිට වන්දනා කරමු.
බුද්ධගයාවේ මහා බෝධීන් වහන්සේ උදෙසා පසුකාලීනව අශෝක අධිරාජයාගෙන් පැවැත එන්නෙකු විසින් ගල් බැම්මක් ඉදිකර ශ්‍රී මහා බෝධිය ආරක්ෂා කිරීමට කටයුතු යොදා ඇත. ඈත අතීතයේදී බෝධිය වන සතුන්ගෙන් ප්‍රවේශම් කර ගැනීම සඳහා ආරක්ෂක ගල් වැටක් ඉදිකර ඒ වටා පිළිම තැන්පත් කළ බව ටිබෙට් ජාතික නාරානාථ සඳහන් කර ඇත.
හයවෙනි ශත වර්ෂයේදී ද නැවත බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධිය විනාශ කර ඇති අතර, පසුව මගධයේ පූර්ව චර්ම රජු කිරි එළදෙනුන් දහසකගේ කිරිවලින් පූජා පවත්වා ශ්‍රී මහා බෝධින් වහන්සේ වෙත නැවත ජීවය ලබාදී ඇත. මෙසේ ශ්‍රී මහා බෝධින් වහන්සේ විනාශ කිරීමට ගත් උත්සාහයන් අනාදිමත් කාලයක සිට සිදුවී ඇත. බෝධින් වහන්සේ තුළ වූ පුනර්ජීවන ශක්තිය නිසා නැවත දළුලමින් වැඩෙමින් පවතින ස්වභාවය සම්පූර්ණයෙන් විනාශ කිරීමට කිසිවෙකුටත් නොහැකි වී ඇත.
සම්බුද්ධත්වයට පත්වීම සඳහා වැඩ සිටි වජ්‍රාසනය
බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත්වීම සඳහා වැඩ සිටි ස්ථානයේ ආසනය, “වජ්‍රාසනය” වශයෙන් වන්දනීය වේ. මහා බෝධි විහාරය තුළ ඇති සුවිශේෂී බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ සිටින ආසනය, සම්බුද්ධත්වයට පත්වන අවස්ථාවේ “සොත්ථිය” බමුණා විසින් පුජා කළ කුස තණ අතුරා සැකසුණු ස්ථානය සිහිගන් වන අතර එය මුල් වජ්‍රාසනය වශයෙන් සැලකේ.
සැදැහැවතුන්ගේ වන්දනාමානයට ලක්වන බෝධින් වහන්සේ මූලයේ ඇති හතරැස් හැඩයෙන් යුත් ශෛලමය පුවරුව බාහිර වජ්‍රාසනය වශයෙන් සැලකේ. චුනාර් වැලිගලින් නිර්මිත මෙම වජ්‍රාසනය විහාරයේ ඇතුළේ ඇති පැරැණි වජ්‍රාසනය මත තබා තිබූ පුවරුවක් විය හැකි බවද විශ්වාස කෙරේ. මෙම වජ්‍රාසනය උස අඩි තුනයි දිග අඩි 7 යි අඟල් 6 කි. පළල අඩි 4 යි. අඟල් 3 කි .
බුද්ධත්වයෙන් පසුව ගත කරන ලද සත් සතිය 
පළමු සතිය (බෝරුක මුල)
වෙසක්පුර පසළොස්වක අලුයම් වේලෙහි කෙලෙසුන් නසා ලොව්තුරා දහම පසක් කොට උතුම් බුද්ධ රාජ්‍යයට පත්වු තථාගතයන් වහන්සේ මෙසේ සිතූහ. මේ උතුම් බුද්ධ රාජ්‍යය දිනාගැනීම සඳහා මම සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පිරුවෙමි. මම අද බුදු බව ලැබීමි.
තථාගතයන් වහන්සේ සතියක්ම ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ මූලයේ ඒ හුන් පරිදිම බැඳගත් පළඟ නොලිහා සමවත් සුවෙන් වැඩ සිටි සේක. තථාගතයන් වහන්සේ බෝමැඬ ගත කළ සත්වන දිනයේදී පටිච්ච සමුප්පාද ධර්මය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කළහ.
මෙසේ පටිච්චි සමුප්පාද ධර්මය මෙනෙහි කිරීමෙන් තථාගතයන් වහන්සේගේ සිත තවත් පහන් විය. සකලවිධ බැඳීම් වලින් මිදී සුවපත්ව තිබු සිත පුළුන් රොදකට වඩා සැහැල්ලු විය. උන්වහන්සේ මේ පහන් සිත සුන්දරත්වය “යදා හවේ පාතු භවන්ති ධම්මා” ආදී ගාථා දේශනා මගින් පැහැදිලි වේ. බුදු වීමෙන් පසු පළඟ නොලිහා වැඩ වසනු දුටු බුදු පියාණන් වහන්සේ “සිද්ධාර්ථයන් වහන්සේ තවම බුදු නොවූ සේක්දෝයි” යන ඇතැම් දෙවියන්ගේ සැකය දුරුකරනු වස් අප බුදුපියාණෝ සත්වන දින පශ්චිම යාමයේ අහසට පැන නැගි යමා මහ පෙළහර පෑහ.
දෙවන සතිය (අනිමිස ලෝචන පූජාව)
දෙවන සතිය ගත කළේ අනිමිස ලෝචන පූජාවෙහිය. උන්වහන්සේ ඇසිපිය නොහෙලා කළගුණ දැක්වුයේ ශ්‍රී මහා බෝධි මණ්ඩලය වෙතය. මේ මොහොතේ බෝ මැඩ දෙස බලා බුදුබව ලැබීමට ආධාර වු බව සලකා මම කෘතගුණයෙන් සිහිකරමි යන්න උන්වහන්සේගේ සිතිවිල්ල විය.
තෙවන සතිය (රුවන් සක්මන)
තෙවන සතිය ගතකළේ රුවන් සක්මනෙහිය. ජය ශ්‍රී මහා බෝධින් වහන්සේත් අනිමිස ලෝචන චෛත්‍යයත් අතර පිහිටි පියුම් සහිත වේදිකාව රුවන් සක්මන් කළ ස්ථානය ලෙස සැලකේ. මෙහි අමා මෑණියන් වහන්සේ සක්මන් කරමින් ගත කළ සේක. බුදුරජාණන්වහන්සේ ධර්මය මෙනෙහි කරමින් සක්මන් කළ අයුරු සිහිපත් වන අයුරින් පසු කලෙක ඉදිකරන ලද චෛත්‍යයක නටබුන් අදත් දක්නට ලැබේ. එය රත්නචංක්‍රමණ චෛත්‍ය නම් වේ. සක්මන් කරද්දී පියුම් 18ක් පැණ නැගුණු බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.
සිව්වන සතිය (රුවන් ගෙය)
භාග්‍යවතුන් වහන්සේ බෝධි මුලයෙන් වයඹ පැත්තේ රත්න ගෘහයෙහි වැඩ විසු සේක. අභිධර්ම අටුවාවෙහි දක්වා ඇති පරිදි රනින් නිමවූ ගෘහයක් නිසා එසේ නොකියන බවත්, අභිධර්ම සප්තප්‍රකරණ නමැති රුවන් විමසා බැලූ හෙයින් “රතනඝර” නම් වු බව සඳහන්ය. සතරවන සතියෙහිදී සම්බුදු සිරුරෙන් ෂඩ් වර්ණ බුද්ධ රශ්මීන් විහිදෙන්නට විය.
මජ්ක්‍ධිම නිකායේ අරිය පරියේෂණ යන සූත්‍රයේදී මේ බව සඳහන් වේ. ධර්මය අපි රත්නයක් ලෙස සලකනු ලැබේ. ඉනුත් අභිධර්මය දේශනා කළ ස්ථානය රතනාඝරය ජය ශ්‍රී මහා බෝධියේ දකුණූ පැත්තේ දැකිය හැක. ගඩොලින් සාදන ලද බිත්ති අතරේ නටබුන් පමණක් ඉතිරි වී ඇත. විසිතුරු කැටයම් සහිත ගලින් නිම කළ දොර රාමුවකි. අද දක්නට ලැබෙන කැටයම් වල උළුවස්ස ක්‍රි.ව. 10 වන සියවසට අයත් වේ.
පස්වන සතිය (අජපල් නුග රුක මුල)
බුදුවීමෙන් මසක් ගතවිය. සති හතරක් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ සමීපයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ පස්වන සතිය ගතකළේ අජපල් නුගරුක මුලය.
සමවතින් නැඟී සිටි අවස්ථාවක එක්තරා උඩඟු එක්තරා බමුණෙකු බුදුරදුන්ගේ හමුවට පැමිණියහ. එම අවස්ථාවෙහිදී බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් බමුණෙකු වීමට තිබිය යුතු කරුණු කවරේදැයි විචාළේය. බුදුරජාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක. “පව් දුරුකළ අහංකාරයෙන් අනුන් හෙළා නොදකිනා, කෙලෙස් කහට නැති, කෙලෙසුන් කෙරෙන් සිත රැක ගත් සතර මග නුවණින් නිවන් කරා පැමිණි මාර්ග බ්‍රහ්මචරියාව වැස නිමවූ යමෙක් වේ නම් හේ සැබෑ බ්‍රාහ්මණයා නම් වේ.”
බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට ද ගුරුවරයෙක් නොමැතිව විසීම අයෝග්‍ය යැයි සිතා ඊට සුදුස්සෙක් මෙම කාම, රූප, අරූප ලෝකත්‍රයෙහි නොවන බැව් දැන තමන් වහන්සේ අවබෝධකරගත් ධර්මයම ගුරුතන්හි තබා කටයුතු කිරීමට අධිෂ්ඨාන කළේද මෙම සතිය තුළදීමය.
දඹදිව බුද්ධභූමි වන්දනාවේ අනාදිමත් කාලයක සිට නිරත වන අපි එම බුද්ධභූමි වන්දනාවේදි බෝසත් සිරිතට සහ අසිරිමත් බුදු සිරිතට සම්බන්ධ බොහෝ ස්ථාන සියැසින් දැක බලා වන්දනා කරන්නෙමු. එසේ එම වන්දනාවේ යෙදුණු සහ දැනටද වන්දනාවේ යෙදෙන පිරිස් අප්‍රමාණය. දඹදිව බුද්ධ වන්දනාවේ යෙදිය හැකිනම් ජීවිතයේ එය සැබවින්ම අනුස්මරණීය වන්දනාවක්ම වනු ඇත. ඒ වාසනාව, භාග්‍යය උදාකර ගැනීමට ශක්තිය ලැබේවායිද පතමු.
දඹදිව බුද්ධභූමි වන්දනා ලිපි මාලාවේ අටවන ලිපියයි මේ. වප් පුර අටවක (2014.10.01) පත්‍රයේදී සත් සතියෙහි පස්වන සතිය දක්වා වන්දනා කළෙමු. සත් සතියෙන් හය වැනි සතියේ සිට වන්දනාව අරඹමු.
හයවන සතිය (මුචලින්ද නාගදරණය)
බුදුරජාණන් වහන්සේ මිදෙල්ල රුක මුලට වැඩම කොට සමවතින් එහි වැඩහුන් සේක. මේ කාලය තුළ තද වැසි සහිත මහා සුළඟක් ඇතිවූයෙන් අසල සිටි මහා නාග රාජයෙක් පැමිණ බුදුරදුන් වැස්සෙන් බේරා ගැනීමට කටයුතු කළේය. අවසානයේදී නාගරාජයා බුදුරදුන් ඉදිරියට විත් නමස්කාර කළේය.
මුචලින්ද ගම නමින් තවමත් බුද්ධගයාවේ ග්‍රාමයක් ඇත. එහි විල දැනට දකින්නට ලැබේ. ඒ බව සිහිපත් කර එය සටහන් කර ජය ශ්‍රී මහා බෝධියට වම්පසින් දැනට මුචලින්ද නාග දරණයේ බුදුරදුන් වැඩ වසන ආකාරයේ මූර්තියක් දැකිය හැකිය.
හත්වන සතිය (රාජායතනය)
බුදුරජාණන් වහන්සේ රාජායතනය නම් වූ කිරිපලු රුකමුල වැඩ හිඳිමින් සමවත් සුවයෙන් සතියක්ම ගතකළ සේක. සත්සතිය අවසන බුදුරජාණන් වහන්සේ සමවතින් නඟී හුන් සේක.
මේ කාලපරිච්ඡේයේදී උත්තර ජනපදයෙන් වෙළෙඳාමෙහි යන තපස්සු භල්ලුක යන වෙළෙඳ දෙබෑයන් ඒ අසලින් ව්‍යාපාර සඳහා යමින් සිටියහ. රාජායතනය මුල වැඩ සිටි බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ විළඳ සහ මී පැණි වැළඳීමට පිදූහ. මේවා කිමෙකින් පිළිගනිම්දැයි උන්වහන්සේට සිතක් විය එකෙනෙහි වරම් රජහු සතරක් ගල් පාත්‍ර උන්වහන්සේට පිළිගැන්වූහ. උන්වහන්සේ ඒවා අධිෂ්ඨාන බලයෙන් එක්කොට එම වෙළෙඳුන්ගේ පූජාව පිළිගෙන වැළඳුවේය. බුදු හිමියන් දැක පැහැදුන මේ දෙදෙනා බුදුන්, දහම්, සරණ ගියහ. බුදු සසුනේ ප්‍රථම ද්වේවාචික උපාසකයන් වූයේ තපස්සු භල්ලුක වෙළෙඳ සොහොයුරන් දෙපළය. තමන් යන ගමනේදී පුද පූජා කිරීමට යමක් ඉල්ලූ විට බුදුරදුන් හිස පිරිමැද කෙශ ධාතු මිටක් දුන් සේක. මේ කේශ ධාතු රැගෙන ගොස් එම වෙළෙඳුන් දෙදෙනා තම ජාත භූමියේ චෛත්‍යයක් කරවූහ. මහා විහාර ආසන්නයේම රාජායතනය කිරිපලු නුගරුක තිබුණූ බවට සලකනු ලැබේ.
බුද්ධගයාව හා ශ්‍රී ලංකාව අතර සබැඳියාව

බුද්ධගයාව හා ශ්‍රී ලංකාව අතර සබැඳියාවේ ආරම්භය සිදුවූයේ අශෝක අධිරාජයා ධර්මාශෝක ලෙස බුදුදහම වැළැඳ ගැනීමෙන් පසුව රටවල් නවයක් පුරා ධර්ම ප්‍රචාර කටයුතු ඇරඹීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ඒ අනුව සිදුවූ මහින්දාගමනයද ලක්දිව භික්ෂුණී ශාසනය පිහිටුවීම සඳහා මෙහි වැඩම කළ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේද අප රටට තිළිණ වශයෙන් ප්‍රදානය කළ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේද පමණක් නොව සංස්කෘතික සබඳතා ද දෙරට අතර සබඳතාවෙහි ප්‍රධාන නිර්ණායකයන් වූහ.
ගුප්ත අධිරාජ්‍යයේ සමුද්‍රගුප්ත අධිරාජයාගේ සමයේ (ක්‍රි.ව. 347-388) ශ්‍රී ලංකාවේ මේඝවර්ණ රජතුමාගේ මෙහෙයවීමෙන් බුද්ධගයාවේ විශාල සංඝාවාසයක් තනන ලද බව සඳහන් වේ.
7 වන ශත වර්ෂයට අයත් හියුං සාං වාර්තා අනුව මෙම ආරාමයේ ථෙරවාදී භික්ෂූන් දහසක් පමණ වැඩ විසූ බවත් ඔවුන් මනාව ධර්ම විනය පිළිපැදි බවත් සඳහන් වේ. ආක්‍රමණ වලින් පසුවත් 13 වන ශත වර්ෂය ආරම්භය දක්වාම මෙම ආරාමයේ ශ්‍රී ලාංකික භික්ෂූන් බුද්ධගයාව ආරක්ෂා කරමින් එහි රැඳී සිටි බව ක්‍රි.ව. 1234 දී බුද්ධගයාවට පැමිණි ටිබෙට් ජාතික ධර්ම ස්වාමීන් වහන්සේ සඳහන් කර ඇත.
බුදු දහම දඹදිවෙන් තුරන්වීමේ ආරම්භය
බුදුදහම දඹදිවෙන් තුරන්වීමේ ආරම්භය ප්‍රථමයෙන් සනිටුහන් වන්නේ ක්‍රි.ව. 1034 දී පමණ උතුරු ඉන්දියාව ආක්‍රමණය කර බරණැස ද කොල්ලකෑමත් සමඟය. ඉන් අනතුරුව බ්‍රිතාන්‍යයන් ඉන්දියාවට පැමිණෙන තුරුම ගෝත්‍රික ආක්‍රමණිකයන්ගේ ක්‍රියාකලාප තුළින් දඹදිව වැඩි කොටසක් ඔවුන් අතට පත්විය.
ආක්‍රමණ සමඟ බෞද්ධ රාජ වංශිකයන් අතරින් මහීපාල රජතුමාගේ කාලය දක්වා බෞද්ධයන්ට විශාල අනුග්‍රහයක් ලැබුණු අතර පසුව රජ පැමිණි රජවරුන් දුර්වල පාලකයන් වූ බැවින් බුදුදහමේ උන්නතිය සඳහා බලාපොරොත්තු වූ සහයෝගය නොලැබුණි.
ඉන් අනතුරුව රජ පැමිණි සේන වංශික රජවරුන් සතර දෙනෙකුගේ කාල සීමාව තුළදී බුද්ධගයාව නැවත ප්‍රධාන බෞද්ධ මධ්‍යස්ථානය ලෙස පැවතී ඇත.
ක්‍රි.ව. 1234 දී ටිබෙට් ජාතික ධර්ම ස්වාමින් වහන්සේ බුද්ධගයාවට වැඩමවන විට භික්ෂූන් වහන්සේලා විශාල සංඛ්‍යාවක් ආක්‍රමණවලට බියෙන් බුද්ධගයාව අතහැර දමා ගොස් තිබිණි. භික්ෂූන් සිවු නමක් පමණක් රැඳී සිටි අතර ඔවුන් මහාබෝධි විහාරයේ පිළිමය පිටුපස දොරටුව ගඩොලින් බැඳ වසා දැමීමට කටයුතු කර ඇත.
ආක්‍රමණිකයන් බුද්ධගයාව ප්‍රදේශයට ළඟා වන විට ධර්ම ස්වාමින් වහන්සේට සහ රැඳී සිටි භික්ෂූන් වහන්සේලා සතර නමටද බුද්ධගයාව අතහැර යාමට සිදුවී ඇත. ආක්‍රමණිකයන්ට බුද්ධගයාව හඳුනා ගත නොහැකිව ඈතට ගොස් ඇති බව දින කීපයකින් දැන ගැනීමට ලැබුණු පසු එම භික්ෂූන් වහන්සේලා සතර නම නැවත බුද්ධගයාවට පැමිණ ඇත.
බෞද්ධයන් විසින් අතහැර දමා තිබූ බුද්ධගයා පූජා භූමිය 13 වන සහ 19 වන ශත වර්ෂ අතරතුර කාලයේදී වරින්වර පිළිසකර කිරීමට බුරුම බෞද්ධයන් ඉදිරිපත් වී අත.
16 වන ශත වර්ෂය අග භාගය වන විට බුද්ධගයා පූජා භූමිය හින්දු බැතිමතුන්ගේ වන්දනා ස්ථානයක් බවට ක්‍රමයෙන් පරිවර්තනය වන්නට විය. ඉන් අනතුරුව බුද්ධගයාවේ භාරකාරත්වය ශිව භක්තිකයන්ගේ ප්‍රධානියා ලෙස සැලකූ මහන්තා වෙත පැවරීමට කටයුතු කර ඇත.
18 වන සියවසේ මුල් භාගය වන විට මහාබෝධි විහාරයේ ඉදිරිපස කොටස සහ පැති මහල් ගරා වැටී අවට ප්‍රදේශය රොන් මඩ සහ කැඩුණු ගඩොල් ආදියෙන් වැසී පැවතී ඇත.
බුද්ධගයා පුනරුදය
ක්‍රි.ව. 1819-1837 කාල සීමාව තුළ බුරුමය පාලනය කළ බග්යිදෝ රජතුමා විශාල පිරිවැයක් යොදා බුද්ධගයාව බෞද්ධ පුදබිමක් ලෙස නැවැත සංවර්ධනය කිරීමට උත්සාහ ගත්තද, නොයෙකුත් බාධක නිසා එම ප්‍රයත්නය අසාර්ථක වී ඇත.
ක්‍රි.ව. 18 වන සියවස මුල් භාගයේදී බ්‍රිතාන්‍ය රජය මහාබෝධි විහාරය සහ පූජා භුමිය අලුත්වැඩියා කිරීම සඳහා ඉදිරිපත් විය. ඒ අනුව 1811 දී බුවනන් හැමිල්ටන් විසින් මෙම පරිහානිය මුල්වරට දැක තිබුණි. ක්‍රි.ව. 1861 දී එහි පැමිණි ජෙනරාල් කනින්හැම් යම් ප්‍රමාණයකින් ප්‍රතිසංස්කරණය කටයුතු සිදුකළ අතර ක්‍රි.ව. 1875 දී බුරුමයේ දී මිණ්ඩන්මින් රජු භාරත රජයේ අවසරය මත මහාබෝධි විහාරයේ ප්‍රතිසංස්කරණ ඇරඹූහ.
පසුව කනින්හැම් සහ රාජේන්ද්‍රලාල්මිත්‍ර දෙදෙනාගේ අධීක්ෂණය මත ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළේ ක්‍රි.ව. 1880 දී ජේ.ඩී. බෙග්ලර් විසිනි.
මේ අතරතුර බුද්ධගයාව බෞද්ධ පුදබිමක් ලෙස එහි භාරකාරත්වය සහ නඩත්තු කටයුතු බෞද්ධයන් වෙත පවරා ගැනීමේ අවශ්‍යතාවය ආසියානු බෞද්ධයින් විසින් අවබෝධ කරගෙන තිබුණි.
ක්‍රි.ව. 1891 දී ඉන්දීය මහාබෝධි සමාගම පිහිටුවමින් මේ සඳහා නායකත්වය ලබා දුන්නේ ශී‍්‍ර ලංකාවේ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාය. එතුමාගේ කටයුතු වලදී බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රේෂ්ඨ විද්වතෙකු වූ ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ් තුමා ක්‍රියාකාරි දායකත්වයක් ලබාදී ඇත.
බුද්ධගයාවේ’ බෞද්ධ අයිතිය නැවත ලබා ගැනීම සඳහා ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා, එවකට භාරකරුව සිටි හින්දු භක්තික මහන්තා සමඟ දීර්ඝ නීතිමය සටනකට අවතීර්ණ විය. එම කාලය තුළ නොයෙකුත් ශාරීරික වධ හිංසා මෙන්ම බන්ධනාගාර ගත වීම් වලටද එතුමන් ලක්වී ඇත.
පසුව නොබෙල් ත්‍යාග ලාභී බෙංගාලි ජාතික මහා කවි රබීන්ද්‍රනාත් තාගෝර් තුමා මේ පිළිබඳව තව දුරටත් කටයුතු කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ධර්මපාලතුමා වෙත ලබාදුන්හ.
සම්මා සම්බුදු රජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වූ ස්ථානයේ ගොඩනගන ලද විහාරය අන්‍යාගමික කණ්ඩායමක් යටතේ පැවතීම වරදක් බවත් එම ඓතිහාසික පූජා භූමිය ජීවමාන දහමක් ලෙස තවදුරටත් බුද්ධාගම ගෞරවයෙන් අදහන බෞද්ධයින් වෙත පවරාදීම නිදහස හා සාධාරණය අගය කරන සියලු පුද්ගලයන්ගේ පරම යුතුකමක් බවත් එතුමාගේ ස්ථාවරය වූහ. පසුව ඉන්දීය නිදහස් සටන මෙහෙය වූ මහත්මා ගාන්ධි තුමාද මහාබෝධි විහාරයේ අයිතිය බෞද්ධයින් වෙත පැවරිය යුතුය යන අදහස පිළිගත්හ.
ඉන්දියාවට නිදහස ලැබීමෙන් පසු ක්‍රි.ව. 1949 දී බිහාර් ප්‍රාන්ත මන්ත්‍රණ සභාව විසින් බුද්ධගයා විහාර පනත සම්මත කර, බුද්ධගයා පූජාභූමිය පවත්වා ගෙන යාමේ වගකීම අලුතෙන් පිහිටුවන ලද “බුද්ධගයා විහාර පාලන කමිටුව“ වෙත පවරන ලදී. මෙම පනත මගින් බුද්ධගයාව බෞද්ධ පූජනීය ස්ථානයක් ලෙස පිළිගත් අතර බෞද්ධ හා හින්දු දෙපාර්ශ්වයටම වන්දනා කිරීමේ අයිතිය පැවරිණි.පාලක කමිටුවේ සාමාජිකත්වය බෞද්ධ සහ හින්දු යන දෙපාර්ශ්වයන්ගෙන්ම සමන්විත විය. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 2500 ක් සපිරුණු ශී‍්‍ර සම්බුද්ධ ජයන්තිය සැමරීම සඳහා ක්‍රි.ව. 1956 දී ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ශ්‍රී නේරු තුමාගේ මූලිකත්වයෙන් බුද්ධගයාවද ඇතුළු දඹදිව සියලුම බෞද්ධ සිද්ධස්ථාන පිළිසකර කිරීම සඳහා පියවර ගැනිණ. අනතුරුව බුද්ධගයාව අන්තර් ජාතික පූජා භූමියක් ලෙස සංවර්ධනය වීම ආරම්භ වූ අතර මේ වන විට සියලුම බෞද්ධ රටවල නියෝජනයක් ලෙස විහාරාරාම ගොඩනැගී ඇත. මේ විහාරස්ථාන අතුරින් මුලින්ම ගොඩනැඟුනේ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා විසින් පිහිටුවන ලද ඉන්දීය මහාබෝධි සමාගම් සංකීර්ණය සහ ටිබෙට් පන්සලය.
2550 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ඉන්දීය මහාබෝධි සමාගම් ගොඩනැගිල්ලේ ඉදිරිපස කොටස නව විහාර මන්දිරයක් ලෙසට වැඩි දියුණු කර ජය ශී‍්‍ර මහාබෝධි විහාරය නමින් විවෘත කරන ලදී.
බුද්ධගයාවට සමීප වැදගත් ස්ථාන
බුද්ධගයාව සිට නේරංජනා ගඟෙන් එගොඩ වී සේනානි ගමට පිවිසුන විට ප්‍රථමයෙන් සුජාතා සිටු මාලිගය පිහිටි ස්ථානය හමුවේ. එහි දැනට ගුප්ත යුගයට අයත් චෛත්‍යයක් සොයා ගනු ලැබ ප්‍රතිසංස්කරණය කර ඇත.
එම ස්ථානයෙන් ඔබ්බට නියරවල් දිගේ කෙටි දුරක් ගියවිට සුජාතා සිටුදේවිය කිරිපිඩු පිළිගැන්වූ ස්ථානය හමුවේ. අද එම ස්ථානයේ දඹදිවෙන් බෞද්ධාගම තුරන්වීමෙන් අනතුරුව හින්දු ආගමික ශාස්තෘවරයෙකු වූ සංඛරාචාර්ය විසින් ඉදිකළ හින්දු කෝවිලක් හමුවේ. මෙම කෝවිල ඇතුළේ ඇති පාෂාණ පා සටහන කිරිපිඩු පූජා කළ මුල් ස්ථානය ලෙසටද විශ්වාසයක් පවතී.
එම කෝවිලටම සම්බන්ධ අළුතින් තනා ඇති කුඩා විහාර දෙකක් ඇති අතර ඉන් එකක් තනා ඇත්තේ බුරුම බෞද්ධයින් විසිනි. කිරිපිඩු දානය පිළිගැන්වීමේ අවස්ථාව සංකේතවත් වන අයරින් අලුතෙන් ප්‍රතිමා ඉදිකර ඇත.
නියර දිගේ ගමන් කිරීමේදී බෝධි සත්ත්වයන් වහන්සේ දුෂ්කර ක්‍රියා කළ ප්‍රාග් බෝධී නොහොත් දුර්ගෙශ්වරි කන්ද ද මැනවින් දිස්වේ. එම කඳු මුදුනේ ටිබෙට් ජාතික ලාමාවරයෙකු වැඩ සිටින විහාරස්ථානයක් ඇත. එම විහාරස්ථානය තුළ ඇති ගුහා කුටි දෙකක දුෂ්කර ක්‍රියාව පිළිබිඹු වන සෙල් පිළිම දකින්නට ඇත.කිරිපිඬු පූජා කළ ස්ථානයේ සිට ආපසු හැරී නැවත නියර දිගේ පැමිණ ස්නානි ගම මැදින් නේරංජනා නදී තීරයට පිවිසි විට සොත්ථිය බමුණා කුස තණ පූජා කිරීම සංකේතවත් කිරීමට තැනූ කුඩා විහාරයක් දැකිය හැකිය. මෙම ස්ථානයේ සිට ගඟට උඩින් කෙළින්ම බැලු විට බුද්ධගයා මහා බෝධි විහාරය දිස්වේ.
බුද්ධගයාව සම්බන්ධ වෙනත් කරුණු
බුද්ධගයාවේ සිට බිහාර් ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන පැට්නා වෙත දුර කිලෝ මීටර් 115 කි. සමීප නගරය වන ගයාවට කි.මී. 16 කි. රජගහනුවරට කි.මී. 80 කි.
බුද්ධගයාවේ කලින් පැවති අභ්‍යන්තර සේවා ගුවන් තොටුපළ දැන් අන්තර් ජාතික ගුවන් තොටුපළක් ලෙස වැඩි දියුණු කර ඇත. කොළඹ සිට බුද්ධගයාව දක්වා සතියට දෙවරක් මිහින් ලංකා ගුවන් සේවයද බැංකොක් දක්වා නිරන්තරයෙන් ගුවන් සේවාද පවත්වා ගෙන යයි.
ගයා දුම්රිය ස්ථානය බිහාර් ප්‍රාන්තය හරහා දිවෙන ශීඝ්‍රගාමී දුම්රිය නවත්වන ප්‍රධාන දුම්රිය ස්ථානයකි. මෙම දුම්රිය සේවාවලින් ප්‍රධාන වන්නේ කල්කටාවේ හව්රා දුම්රිය ස්ථානයේ සිට සහ ඔරිස්සාවේ බුවනේෂ්වර් සිට දිල්ලිය දක්වා ගමන් කරන ශීඝ්‍රගාමී රාජධානි දුම්රියන්ය. මේ හැර දිල්ලිය හා ගයාව අතර දිනපතාම මහාබෝධි ශීඝ්‍රගාමී දුම්රිය ක්‍රියාත්මක වේ.
සැම සිත් කඳුලින් තෙමී ගිය කුසිනාරා පුදබිම
“හන්ද’ දානි භික්ඛවෙ ආමන්තයාමි වො 
වයධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ
න චිරං තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති
ඉතො තින්වං මාසානං අච්චයෙන තථාගතො පරිනිබ්බායිස්සති”

“මහණෙනි, දැන් ඔබ අමතමි, 
සියලු සංස්කාරයෝ නැසෙන සුලුය.
එළඹ සිටි සිහි ඇතිව නොපමාව ක්‍රියා කරන්න .
තව නොබෝ දිනකින් තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදු වන්නේය”

තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ මුවින් පිටවූ අවසන් වදන් පෙළයි.බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහලවීම ඉතා දුර්ලභ කාරණයකි. එසේ උත්පත්තිය ලබා ලොවට උත්තම සේවාවක් කරන බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය තුළ තුන් ලෝ වාසී සියලු ජනතාව උන්වහන්සේගේ පරිනිර්වානයෙන් අප්‍රමාණ දුකට පත්වෙයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් පරිනිර්වාණ අවස්ථා හතරක් උන්වහන්සේගේ චරිත කතාවෙන් ප්‍රකට වේ. එනම්
1 ක්ලේශ පරිනිර්වාණය 
2. ආයු සංස්කරණ පරිනිර්වාණය 
3. ස්කන්ධ පරිනිර්වාණය 
4. ධාතු පරිනිර්වාණය

බුද්ධගයාවට සමීප වැදගත් ස්ථාන

බුද්ධගයාවේ සිට නේරංජනා ගඟෙන් එගොඩ වී සේනානි ගමට පිවිසුන විට ප්‍රථමයෙන් “සුජාතා සිටු මාලිගය” පිහිටි ස්ථානය හමුවේ. එහි දැනට ගුප්ත යුගයට අයත් චෛත්‍යයක් සොයා ගනු ලැබ ප්‍රතිසංස්කරණය කර ඇත.
එම ස්ථානයෙන් ඔබ්බට නියරවල් දිගේ කෙටි දුරක් ගියවිට සුජාතා සිටුදේවිය කිරිපිඩු පිළිගැන්වූ ස්ථානය හමුවේ. අද එම ස්ථානයේ දඹදිවෙන් බෞද්ධාගම තුරන්වීමෙන් අනතුරුව හින්දු ආගමික ශාස්තෘවරයෙකු වූ සංඛරාචාර්ය විසින් ඉදිකළ හින්දු කෝවිලක් හමුවේ. එම කෝවිල ඇතුළේ ඇති පාෂාණ පා සටහන කිරිපිඩු පූජා කළ මුල් ස්ථානය ලෙසට බෞද්ධයන් තුළ විශ්වාසයක් පවතී.
එම කෝවිලටම සම්බන්ධ අළුතින් තනා ඇති කුඩා විහාර දෙකක් ඇති අතර ඉන් එකක් තනා ඇත්තේ බුරුම බෞද්ධයින් විසිනි. කිරිපිඩු දානය පිළිගැන්වීමේ අසිරිමත් අවස්ථාව සංකේතවත් වන අයුරින් අලුතෙන් ප්‍රතිමා ඉදිකර ඇත.
නියර දිගේ ගමන් කිරීමේදී බෝධි සත්ත්වයන් වහන්සේ දුෂ්කර ක්‍රියා කළ ප්‍රාග් බෝධී නොහොත් දුර්ගේශ්වරි කන්ද ද මැනවින් දිස්වේ. එම කඳු මුදුනේ ටිබෙට් ජාතික ලාමාවරයෙකු වැඩ සිටින විහාරස්ථානයක් ඇත. එම විහාරස්ථානය තුළ ඇති ගුහා කුටි දෙකක දුෂ්කර ක්‍රියාව පිළිබිඹු වන සෙල් පිළිම දකින්නට ඇත.කිරිපිඬු පූජා කළ ස්ථානයේ සිට ආපසු හැරී නැවත නියර දිගේ පැමිණ සේනානි ගම මැදින් නේරංජනා නදී තීරයට පිවිසි විට “සොත්ථිය” බමුණා කුස තණ පූජා කිරීම සංකේතවත් කිරීමට තැනූ කුඩා විහාරයක් දැකිය හැකිය. මෙම ස්ථානයේ සිට ගඟට උඩින් කෙළින් බැලු විට බුද්ධගයා මහා බෝධි විහාරය දිස්වේ.
බුද්ධගයාව සම්බන්ධ වෙනත් කරුණු
බුද්ධගයාවේ සිට බිහාර් ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන පැට්නා වෙත දුර කිලෝ මීටර් 115 කි. සමීප නගරය වන ගයාවට කි.මී. 16 කි. රජගහනුවරට කි.මී. 80 කි.
බුද්ධගයාවේ කලින් පැවති අභ්‍යන්තර සේවා ගුවන් තොටුපළ දැන් අන්තර් ජාතික ගුවන් තොටුපළක් ලෙස වැඩි දියුණු කර ඇත. කොළඹ සිට බුද්ධගයාව දක්වා සතියට දෙවරක් මිහින් ලංකා ගුවන් සේවයද, බැංකොක් දක්වා නිරන්තරයෙන් ගුවන් සේවාද පවත්වා ගෙන යයි.
ගයා දුම්රිය ස්ථානය බිහාර් ප්‍රාන්තය හරහා දිවෙන ශීඝ්‍රගාමී දුම්රිය නවත්වන ප්‍රධාන දුම්රිය ස්ථානයකි. මෙම දුම්රිය සේවාවලින් ප්‍රධාන වන්නේ කල්කටාවේ හව්රා දුම්රිය ස්ථානයේ සිට සහ ඔරිස්සාවේ බුවනේෂ්වර් සිට දිල්ලිය දක්වා ගමන් කරන ශීඝ්‍රගාමී රාජධානි දුම්රියන්ය. මේ හැර දිල්ලිය හා ගයාව අතර දිනපතා මහාබෝධි ශීඝ්‍රගාමී දුම්රිය ක්‍රියාත්මක වේ.

ලොව්තුරා සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ සත් සතියක් ගත කිරීමෙන් අනතුරුව නැවතත් අජපල් නුග රුක වෙත වැඩි සේක. එහිදී උන් වහන්සේගේ සිතේ පහළ වූයේ මා අවබෝධ කර ගන්නා ලද මේ ගැඹුරු ධර්මය මිනිසුන්ට සුවයක් සේ ඉක්මනින් දැකිය නොහැකිය. සුවයක් සේ අවබෝධ කළ නොහැකිය. මා අවබෝධ කරගත් ධර්මය ශාන්තය, ප්‍රණීතය. තර්ක මාත්‍රයෙන් මැන ගත නොහැකිය. එම නිසා මනා අවබෝධයක් ඇති නුවණැත්තන් විසින්ම දැන ගත යුතුය. මා ඉතා පරිශ්‍රමයයෙන් අවබෝධ කරගත් ගැඹුරු ධර්මය දෙසීමට තවම යෝග්‍ය නොවේ. රාගයෙන් හා ද්වේෂයෙන් පිරි මිනිසුන් මේ ධර්මය කෙසේ අවබෝධ කර ගන්නද, එම නිසා මා අවබෝධ කරගත් මේ ගැඹුරු ධර්මය දේශනා කරන්නේ කා හටද ?
ධර්මය ගැඹුරු බවත්, සත්වයන් දැඩි කෙලෙස් බැඳුම්වලින්, බැඳී සිටින බවත්, ඔවුන් සාංසාරික ජීවිතයට දැඩි ලෙස ඇලුම් කරන බවත්, ඔවුන් ඉන් මුදා ගැනීම සඳහා දහම් දෙසීම නිෂ්ඵල බවත් සිතිමි වශයෙන් භාග්‍යවතුන් වහන්සේට ඇති වූ මන්දෝත්සාහ දුටු සහම්පති මහා බාහ්මයා පැමිණ දස දහසක් සක්වල දෙවියන්, බඹුන්, බණ අසන්නට කැමැත්ත ඇත. එම නිසා ඔවුන් ධර්මය අවබෝධ කර ගන්නට උනන්දුවක් ඇති කරගෙන පැමිණ දහම් අසන්නට දැඩි උනන්දුවක් දක්වයි. ඔවුන්ට දහම් දේශනා කරන්න මගධ රටෙහි කෙලෙස් සහිත පුද්ගලයන් සිත නිපැදුවු අශුධ ධර්මත් පෙර පහළ විය. ඒ බැවින් ඔබ වහන්සේ මේ ධර්මය විවෘත කළ මැනවි. නික්ලේශීන් වහන්සේ අවබෝධ කළ මේ ධර්මය සැම දෙනාම අසත්වා සර්වඥයන් වහන්සේ සෙල් පව්වක් මුදුනේ සිට හාත්පස පහත පෙදෙස දක්නාසේ ඔබ වහන්සේ ධර්ම ප්‍රසාදයට නැඟි පහවු ශෝක ඇති සේක.
ජාති, ජරා, දුකින් මැඬුණු සත්වයන් සමූහයා බලා ධර්මය දේශනා කරන සේක්වා මහා වීරයන් වහන්ස, ඔබ වහන්සේ මාර සංග්‍රාමයෙන් ජයගත් මහෝත්තමයන් වහන්ස, සසර කතරින් සත්වයන් එතෙර කරන තථාගතයන් වහන්ස, කාමච්ඡන්ද නමැති ණය නැති නිදහස් ශ්‍රේෂ්ඨයන් වහන්ස නැඟී සිටිනු මැනවි. ඔබ වහන්සේ අවබෝධ කරගත් ධර්මය සකළ ලෝවාසීන්ගේ අවබෝධය පිණිස දේශනා කරනසේක්වා. භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් ලොව බැලු සේක. ඇසූ පමණින් ධර්මය අවබෝධ කර ගැනීමට තරම් නුවණ මේරූ පුද්ගලයන් ඒවේලෙහි ඉතා අඩුය. ධර්මය ඇසූවද එහි විස්තර පැහැදිලි කරදීම අපහසුය.බුද්ධ වචනය විස්තර ලෙස දැන ඉගෙන නුවණින් සලකමින් සද්පුුරුෂාශ්‍රය කිරීමෙන් ධර්මාවබෝධය කිරීමට තරම් ශක්ති ඇත්තන්ද කිසි ලෙසකින් මේ ජාතියේ දි ධර්මාවබෝධයට පොහොසත් නොවූවන්ද යන පුද්ගලයන් බුදු ඇසට යොමු විය.
පුද්ගලයන් දහම් ඇසීමට සූදානම් බවත් ඔබ වහන්සේ අවබෝධ කරගත් ධර්මය ඇසීමට ශ්‍රද්ධාව ඇති ඔවුන් සිටින බවත් ආර්ය මාර්ග ද්වාරයෝ හැර තබන ලදහ. එම නිසා ඔබ වහන්සේ අවබෝධ කරගත් ප්‍රණීත ධර්මය දේශනා කරන ලෙස සහම්පති බඹුත් බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන ලදී. බඹුන්ගේ ආරාධනාව උන්වහන්සේ පිලිඟත් අතර සහම්පති බඹුන් බුදුන් වහන්සේ පැදකුණු කොට පිටත්ව ගයේය.
ධර්ම දේශනා කිරීමට ශ්‍රාවකයන් සෙවීම
ඉක්බිතිව භාග්‍යවතුන් වහන්සේ මම අවබෝධ කරගත් මේ ගැඹුරු ධර්මය දේශනා කරන්නේ කා හටද? තමන් සත්‍ය සොයා යන කල තමන්ට මුණ ගැසුණු “ආළාර” තවුසා ඉඳීනම් ඔහු ධර්මාවබෝධයට සමත් තැනැත්තෙකි. එම නිසා ඔහු කොහි ඉඳී දැයි දිවැසින් බලා සිටි අතර ඒ වන විට ඔහු මිය ගොස් සතියක් ගතවී ගොස් ඇත. අන් කවරෙක් මේ ධර්මාවබෝධය ලබා ගන්නට තරම් නුවණැත්තෙක් වේද? එවිට “උද්දකාරාම” තවුසා සමත් යැයි හෙතෙම කොයි ඇද්දැයි බැලූ සේක. ඔහු පෙරදින රාත්‍රියේදි මිය ගොස් ඇති බව දැනගත් අතර යළි මේ ධර්මය අවබෝධ කරගැනීමට සමත් වන්නේ කවුරුන් දැයි සොයා බැලූ අතර තමන්ට දුෂ්කර ව්‍රත අනුගමනය කරන ලද කාලයෙහි පිහිට වූ තවුසන් පස්දෙනා සිහි විය. ඔවුහු කොයි සිටීදැයි බුදු නුවණින් විමසා බලා ඔවුන් බරණැස සිටින බව දැන බුදුපියාණන් වහන්සේ ඔවුන් හමුවීම සඳහා බරණැස බලා වැඩම කරන්නට අදහස් කළ සේක.
උරුවේල් දනවුවෙන් පිටවීම සහ උපක හමුවීම
භාග්‍යවතුන් වහන්සේ දින කිහිපයක් ඇසතු බෝමැඩ ගතකර තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය දේශනා කිරීම සඳහා බරණැස බලා වැඩම කරන්නට විය. බරණැසට වඩින අතරෙහි ගයා ප්‍රදේශයේදි උපක නම් ආජීවකයෙක් හමුවිය. ඔහු බුදුරජාණන් වහන්සේ දැක පැහැදී ආයුෂ්මතාණෙනි ඔබගේ ඇස් ආදී ඉන්ද්‍රියයෝ ප්‍රසන්නය. ශරීර වර්ණය පිරිසුදුය. ඔබ කිනම් ශාස්තෘවරයෙක් උදෙසා පැවිදි වූයේද? ඔබගේ ශාස්තෘවරයා කවුද ? ඔබ දේශනා කරන්නේ කාගේ ධර්මයද?
එවිට ඔහුට පිළිතුරු ලෙස භාග්‍යවතුන් වහන්සේ මා මේ තුන්ලොවට අයත් සියලු ක්ලේශ මැඬලුවෙමි. සියල්ලම මම දනිමි. භවයට අයත් සියල්ලෙහිම නොඇලුණෙමි. රත් පලස නමැති විමුක්තිය ලැබ සසර දුකින් මිදුණෙම් වෙමි.එසේම මා අවබෝධ කරගත් ධර්මය මා විසින්ම අවබෝධ කර ගත්තෙමි. මට ගුරුවරයෙක් නැත. මම මාගේ උත්සාහයෙන්ම සත්‍යය අවබෝධ කරගත්තෙමි. මට ඇදුරෙක් නැත. එබැවින් දෙවියන් සහිත ලෝකයේ මට සම කළ හැකි පුද්ගලයෙක් නැත. මම දැන් ලොව සිටින එකම රහත් පුද්ගලයා වෙමි. මම එකම නිරුත්තර ශාස්තෘවරයා වෙමි. එම නිසා මම සම්මා සම්බුද්ධ වෙමි. මම දැන් අවිද්‍යා නින්දෙහි වැටී සිටින පිරිසකට ධර්ම ලාභයේ ප්‍රබෝධය ඇති කිරීම සඳහා ධර්මය දේශනා කිරීමට බරණැස බලා වඩිමි.මම මේ ලෝකයේ සියලු පාපයෝ මා විසින් දිනන ලද හෙයින් මම අනන්තජින වීමට සුදුසු වෙති. උපක ආජීවක තෙම බුදුරජාණන් වහන්සේට ගරු බුහුමන් දක්වා පාරෙන් ඉවත් විය. භාග්‍යවතුන් වහන්සේ උතුරු දෙසට වැඩිය සේක. ගයා ප්‍රදේශය පසුකර රෝහිත වාස්තු, උරුවිල්වාකල්ප,අරුණාලය, සාරතිථපුර ආදි ග්‍රාමයන් පසුකර ගංගා නදියෙන් එතෙර වී බරණෑස් නුවරට වැඩම කරන ලදී.
වර්තමානයේ බරණැස උත්තර ප්‍රාන්තයට අයත් වන අතර ලොව පැරැණිම නගරයක් බවට පත්ව ඇත. බුද්ධගයාවේ සිට කිලෝමීටර් 215 ක් පමණ දුරක් බරණැසට තිබෙන අතර බරණැස සිට සාරානාත් පූජා භූමියට කිලෝ මීටර් 10 ක් පමණ දුරක් ඇත.

සදහම් සිසිල ලොවට බෙදා දුන් බරණැස ඉසිපතන මිගදාය

බරණැස ඉසිපතන මිගදාය අද වන්දනා කරමු

බුදුපියාණන් වහන්සේ ගේ පළමුවන ධර්ම දේශනාව වන දම්සක් පැවැතුම් සූත්‍රයේ දී “එතං භගවතා බාරාණසියං ඉසිපතනෙ මිගදායේ” යනුවෙන් සඳහන් වේ.
පන්සිය පනස් ජාතක කතා පොතේ බොහෝ කතා වස්තූන් පටන් ගන්නේද යටගිය දවස බරණැස් නුවර “බ්‍රහ්මදත්ත” නම් රජ කෙනෙකු රාජ්‍යය කරන කල්හි ... යනුවෙනි.
ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධගයාවේදී උතුම් බුද්ධ රාජ්‍යයට පත්ව සත් සතිය ගත කරමින් තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය මුලින්ම දේශනා කළ යුත්තේ කාටදැයි මෙනෙහි කළ අතර එහිදී උන්වහන්සේට මුලින්ම සිහිපත් වූයේ ආලාර කාලාම, උද්දකාරාමපුත්ත ආදී ගුරුවරුන්ය. නමුත් ඔවුන් මියගොස් සිටි නිසා දුෂ්කර කි‍්‍රයා කරන සමයෙහි තමන්ට උවටැන් කරන ලද පස්වග තවුසන් බරණැස ඉසිපතනයේ සිටින බව දැන එම පිරිසට මා අවබෝධ කරගත් මෙම ධර්මය දේශනා කළ යුතුයි. ඔවුනට ධර්මය කියා දී පැහැදීම ඇතිකර දීමේ අරමුණ මත බුද්ධගයාවේ සිට බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනයට වැඩම කළ සේක. තථාගතයන් වහන්සේ තමන් සොයා වඩින බව පස්වග තවුසන්ට ආරංචි විය.
සිද්ධාර්ථ ගෞතමයෝ ඈත වඩින දුටු පස්වග තවුසන් මෙසේ කතිකා කර ගත්හ. “මොහු දැන් වීර්යය අත්හල තැනැත්තෙකි. දුක අතහැර සැප විඳීමට පුරුදු වී ඇත. එබැවින් සිද්ධාර්ථට සැලකිලි නොකරමු. ගෞරව නොකරමු. ශාක්‍ය වංශයේ නිසා අසුනක් පනවමු.” එහෙත් උත්තම ලොව්තුරා බුදු බවට පැමිණි බුදුරජාණන් වහන්සේ වඩින විට මේ සියල්ල වෙනස් විය. උන්වහන්සේට වැඳ නමස්කාර කර අසුන් පනවා උන්වහන්සේ පිළිගත්තේ ය.
උන්වහන්සේට පුද සත්කාර හා ගරු බුහුමන් දක්වා උන්වහන්සේ සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වන ලදී. ඉන් අනතුරුව උතුම් ඇසළ පුර පොහොය දවසේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මය සමස්ත ලෝකවාසී සත්වයන් වෙත බෙදා හැරීමේ මෙහෙවර ආරම්භ කරමින් බරණැස ඉසිපතන මිගදායේ දී (සාරානාත්) ධම්මචක්ක පවත්තන සූත්‍රය පස්වග තවුසන් වන කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජි වෙත දේශනා කළ සේක. එහිදී පළමුව කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් ඵලයට පත්විය. දේශනාව අවසානයේ දී “ඒහි භික්ඛු පබ්බජ්ජාවෙන්” (බුදු හිමියන් විසින් “එව මහණ” යැයි ඇමතීමෙන් පසු අදිටන් බෙලෙන්) පැවිදිව රහත් බවට පත් වූ සේක. වැසි සාර මාසය ද ඇරැඹිණ. එබැවින් එදා වැසි සාර මාසයෙහි මේ ඉසිපතනයෙහිම වෙසෙමියි ඉටූ සේක. ඒ භාග්‍යවතුන් වහන්සේගේ පළමු වස් විසීමයි.

පසුදින වප්ප තවුසාද (අව පෑළවිය දා) ඉකුත් පසුදා භද්දිය තවුසාද අවතියවක් දා මහානාම තවුසාද අව ජලවක් දා අස්සජි තවුසාද භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයෙහි පිහිටා නුවණ වඩා සෝවාන් වූහ. ඒහි භික්ෂු සම්පත්තියද ලැබූහ. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ වදාළ අනාත්ම ලක්ෂණ දේශනාව අසා ඒ පස්නම ම සියලු කෙලෙස් නසා රහත් වූහ.
ඉන් අනතුරුව යස නමැති එක් සිටු කුමාරයෙක් පැමිණ බුදුරදුන්ගෙන් දහම් අසා සෝවාන් විය. සිය පුතු සොයමින් ගිය යසකුල පුතුගේ පියාණන් වූ බරණැස් සිටාණෝ ද දහම් අසා සෝවාන් වූහ. බුදුන්, දහම්, සඟුන් සරණයෙමියි වචනයෙන්ද තෙරුවන් සරණ ගියහ. ලොව තෙරුවන් සරණගිය පළමු උපාසකයා බරණැස් සිටාණෝය. පියාට දෙසු දහම් අසා යස තෙම රහත් විය. යස රහත්හු ඒහි භික්ෂුප සම්පත්තිය ලැබූහ. යසකුල පුතුගේ පැවිද්ද ගැන දැන ඔහුගේ යහළුවන් පනස් හතර දෙනෙකු බුදුරදුන්ගෙන් දහම් අසා ඒහි භික්ෂු සම්පත්තිය ලබා අනතුරුව රහත් වූහ. මෙසේ ඒ සමයෙහි ලොව රහත්හු හැට නමක් වූහ. මෙසේ ධර්මයේ ව්‍යාප්තිය ආරම්භය මෙන්ම සංඝ සංස්ථාවද ස්ථාපනය වූයේ සාරානාත් පුදබිම තුළදීය.
තමන් අවබෝධ කරගත් ශ්‍රී සද්ධර්මය සියලු ලෝකවාසීන් වෙත ප්‍රචලිත කිරීම සඳහා පස්වග මහණුන් වහන්සේලා ඇතුළු ප්‍රථම සංඝයා වහන්සේ සැට නම විවිධ දිසාවලට පිටත් කර හැරීමට බුදුරජාණන් වහන්සේ පියවර ගත්තේ “චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය” යනාදී වශයෙන් දේශනා කරමිනි.
මෙසේ ධර්මයේ උපත සහ සංඝ සංස්ථාව ප්‍රථමයෙන් පිහිටුවනු ලැබූ ස්ථානය වන බරණැස ඉසිපතන මිගදාය (සාරානාත්) මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් ප්‍රධාන ස්ථාන අතුරින් තුන් වන පූජා භූමිය වේ. නිග්‍රෝධ මිග ජාතකයේ සඳහන්වන පරිදි මුවන්ට අභය දානය ලබාදීම සඳහා දිවි පිදීමට ඉදිරිපත් වූ සාරාංගනාත් මුව රජ නමින් සාරානාත් හැඳින්වේ.
වරුණ සහ අසී යන කුඩා ගංගා දෙකක් අතර පිහිටා ඇති බැවින් වාරානසී (බරණැස) යන නම යෙදී ඇත. ඉසිපතන යනු සෘෂිවරුන් පතිත වූ ස්ථානය යන අරුත ගනී. මිගදාය යන නමින් හැඳින්වෙන්නේ මුවන්ට අභයදාන දුන් ස්ථානය නිසාය.
පැරැණි සොළොස් මහා ජනපදවලින් එකක් වන කාසී ජනපදයේ ප්‍රධාන නගරය වන බරණැස අද උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයට අයත්ය. ගංගා නම් ගඟ පසෙකින් ගලායන අතර එහි ඉවුරේ ඇති අවුරුදු දහස් ගණනකට පෙර සිට පැවැත එන හින්දු සංස්කෘතිය අදටත් එලෙසම පවතී. බරණැස හින්දු බැතිමතුන්ගේ අතිශයින්ම වැදගත් පූජනීය ස්ථානයක් වන අතර, ඊට නුදුරින් සාරානාත් පුදබිම බෞද්ධයන්ට මෙන්ම ජෛන ලබ්ධිකයන්ටද අතිශය වැදගත් පුදබිමක් වේ.
කසී රට බරණැස් නුවර අනාදිමත් කාලයක සිට බ්‍රහ්මදත්ත රජ පරම්පරාවේ රාජධානිය විය. ගංගා නම් ගඟේ අනෙක් පැත්තේ ඉවුරේ රාම් නගර් යන ස්ථානයේ මෙම රජ පරම්පරාවේ රජ මාලිගය අදටත් දක්නට ඇත.
බුදුරජාණන් වහන්සේ ප්‍රථම වස් කාලය ගත කළ සාරානාත් පුදබිම බරණැස ප්‍රධාන නගරයේ සිට කිලෝමීටර් 10 ක් දුරින් පිහිටා ඇත. තුන්වන ධර්ම සංගායනාව පැවැත්වීමෙන් අනතුරුව අශෝක අධිරාජයා ස්වකීය ධර්ම යාත්‍රාවේ දී සාරානාත් වෙත පැමිණ ඇති අතර එහි අශෝක ස්ථම්භය පිහිටුවා ඇත. ක්‍රි.ව. පළමුවන ශත වර්ෂයේ කුෂාණ රාජවංශික කණිෂ්ක අධිරාජයාගේ කාලයේදී බුදුදහම දඹදිවෙන් උතුරට මධ්‍යම ආසියාව දක්වා පැතිරුණ අතර, විශාල සංස්කෘතික දියුණුවක්ද ඇති වී ඇත.
ක්‍රි.ව. 4 – 7 ගුප්ත යුගය දඹදිව බෞද්ධ ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස හැඳින්වේ. කුමාරගුප්ත සහ සමුද්‍රගුප්ත අධිරාජවරුන්ගේ කාලපරිච්ඡේදයන් ඉන් විශේෂිතය. මූර්ති හා කලා ශිල්ප අංශයන්ගෙන් විශාල සංස්කෘතික ප්‍රබෝධයක් ද ඇති වූයේ මෙම වකවානුව තුළදී ය. චීන දේශාටකයන් වන පාහියන් සහ හියුං සාං භික්ෂූන්ගේ වාර්තාවලින් ද ඒ බැව් තහවුරු වී ඇත.
ඉන් අනතුරුව හර්ෂ සහ බොගාලයේ පාල වංශික රජවරුන්ගේ කාල සීමා තුළ ද දසවන සියවස දක්වා බෞද්ධාගමට රාජ්‍ය අනුග්‍රහය ලැබී ඇත.
සියවස් අටකට ප්‍රථම මහමුද් ගස්නවීගේ ආක්‍රමණයත් සමඟ (ක්‍රි.ව. 1017 දී) සාරානාත් හි බෞද්ධ උරුමය අභාවයට ගියේ ය. බෞද්ධ වෙහෙර විහාර නෂ්ටාවශේෂ බවට පත් විය. විහාර භූමියේ කැණීම්වලින් හමුවූ ඇටකටුවලින් සංඝයා වහන්සේලා සමූල ඝාතනයට ලක් වූ බව තහවුරු වේ.
බරණැස් රජතුමාගේ රාජ නිලයක් ඉසිලූ බාබු ජගත් සිං විසින් ධර්මරාජික ස්ථූපය කඩා ඒ ගඩොල් වෙනත් ගොඩනැගිලි තැනීම සඳහා ඉවත් කර ඇත. ස්ථූපය තුළ තිබූ සධාතුක කරඬුව පසුව ඉන්දීය පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන ඇති අතර එය කල්කටා කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. ක්‍රි.ව. 103 දී ඇලෙක්සැන්ඩර් කනිංහැම් සාරානාත්හි පුරාවිද්‍යා ගවේෂණ කටයුතු ආරම්භ කරන ලදී.
ක්‍රි.ව. 1891 දී ශ්‍රී ලංකාවේ අනගාරික ධර්මපාලතුමා බලවත් දුෂ්කරතා මධ්‍යයේ සාරානාත්වලට පැමිණියේ ය. එතුමා සාරානාත්වලට පැමිණෙන විට ද සාරානාත් පුදබිමේ සිට කරත්තවලින් ගඩොල් යනාදිය බරණැස ගොඩනැගිලි තැනීම සඳහා රැගෙන යනු දකින්නට ලැබී ඇත. ගසක් යට විවේක ගෙන ඉතාමත් සංවේගයට පත් අනගාරික ධර්මපාලතුමා ඉන් අනතුරුව බුද්ධගයාව බලා පිටත් විය. ඉන්දීය පුරාවිද්‍යා ප්‍රධානි ඇලෙක්සැන්ඩර් කනිංහැම්තුමා තම දායකත්වය සහ අනගාරික ධර්මපාලතුමාගේ අප්‍රතිහත ධෛර්යය සහ කැපවීම නිසා අද සාරානාත් යනු සමස්ත ලෝකවාසී සියලු බෞද්ධයන්ට දැක වැඳ පුදා ගත හැකි ඉතාමත් දර්ශනීය පුදබිමකි.