, දඹදිව වන්දනා දඹදිව වන්දනා - BUDDHIST PILGRIMAGE TOURS TO INDIA: සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 31 - 35

ක්‍රි.පූ. 6 වැනි සියවසේ සිට ක්‍රි.ව. 11 වන සියවස පමණ වන තෙක්‌ භාරතීය අධිරාජ්‍යයන්හි, දේශපාලන ප්‍රවණතා, යුද්ධ රාජ්‍ය මර්දනය මෙන්ම බාහිර ආක්‍රමණ, බෞද්ධ දර්ශනය මර්දනය සඳහා මැදිහත් වූ ආකාරය...

.

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 31 - 35

 සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 31
භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ පස්වන වස් කාලය නිමා කර විශාලා මහනුවරින් නික්ම සැවැත් නුවරට වැඩමකර වදාළහ. එහි ජේතවනයෙහි වසන භාග්‍යවතුන් වහන්සේ වෙත දිනක් කෝශලාධීශ්වර රජතුමා එළැඹියේ ය.පිළිසඳර කථා කොට පසෙක හුන්නේය. එසේ හුන් රජතෙම භවත් ගෞතමයන් වහන්සේ තුමු නිරුත්තර සම්‍යක් සම්බෝධිය ලැබූහයි ප්‍රතිඥා කෙරෙත් දැයි භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ සම්‍යක් සම්බුද්ධත්වය ලැබූ බවත් එබැවින්ම සම්‍යක් සම්බුද්ධයෙමියි ප්‍රතිඥා කරන බවත් වදාළ සේක.
එවිට, ස්වාමිනී, මහ පිරිස් ඇති කීර්තිමත් පූර්ණකස්සප, මක්ඛලිගෝසාල, නිගණ්ඨනාථ පුත්ත, සංජය බෙල්ලට්ඨි පුත්ත, කකුධ කච්චායන, අජිත කේසකම්බලී යන සයදෙනාගෙනුත් ඔබ සම්‍යක්සම්බුද්ධදැයි මා විසින් ප්‍රශ්න කරන ලද නමුත් සම්‍යක් සම්බුද්ධ බවක් ඉඳුරා නොකීහ. කිමෙක්ද? උන් හැමට වඩා වයසින් බාල වූ මෑත පැවිදි වූ ගෞතමයන් වහන්සේ තුමු සම්‍යක් සම්බුද්ධයි ප්‍රතිඥා කෙරත්දැයි රජතුමා ඇසීය. එවිටැ භාග්‍යවතුන් වහන්සේ රජු අමතා දහම් දෙසූ සේක. ඒ ඇසූ රජ පැහැදී තෙරුවන් සරණ ගිය උපාසකයෙක් විය. රජතුමා ජේතවනයෙහි බුදුරජාණන් වහන්සේට රාජකාරාමය නම් විහාරයක් ද කරවීය. බුදුරජාණන් වහන්සේ කොසොල් රජුට වදාළ බණ අසා රජුගේ නැන්දණියෝ සුමනා දේවී සරණ ශීලයන්හි පිහිටියාය. ඇය පැවිදි වනු කැමැති වූවත් රජුගේ මිත්තණියට උපස්ථාන කළ යුතු වැ තිබුණු බැවින් අවසර නොලත්හ.

දම් සභා මණ්ඩපය
කලකට පසු රජුගේ මිත්තණියෝ මළාය. රජ ශෝකයට පත්ව භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ ඒ බව දැන්වීය. එවිට සියලු සත්වයන් මරණයට යටත් බව වදාරා භාග්‍යවතුන් වහන්සේ රජුගේ ශෝකය සංසිඳ වූ සේක. ඉක්බිති සුමනා තොම රජ කැටුව බොහෝ ඇතැගි භාණ්ඩ ගෙන ගොස් සංඝරත්නයට දෙවුවාය. භාග්‍යවතුන් වහන්සේ වදාළ බණ අසා ඕ අනාගාමී ව පැවිද්ද ඉල්ලුවාය. එවිටද භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය අසා රහත් ව තොමෝත් එය ම කීවා ය. එයම ඇගේ පැවිද්ද හා උපසම්පදාව විය.
සැවැත්නුවර වසන භාග්‍යවතුන් වහන්සේ බක් අව පසළොස්වක් දා අලුයමැ ලොව බලා වදාරන සේක. චූලෝදර මහෝදර නම් නා රජුන් අතර මිණිපළගක් නිසා විය හැකි යුද්ධයක් දැක ඔවුන් කෙරෙහි කරුණාවෙන් සෘද්ධියෙන් ලක්දිව වැඩි සේක. දෙව්රම් වෙහෙර දොරටුව සමීපයෙහි කිරුපළු රුකට අධිගෘහිත සමිද්ධි සුමන නම් දේවතාවා එය උදුරා ඡත්‍රයක් මෙන් භාග්‍යවතුන් වහන්සේ මත්තෙහි දරමින් ගෙනායේ ය. එසේ වඩිනා භාග්‍යවතුන් වහන්සේ යුද්ධයට සැරසී සිටි නාග සේනාවට පෙනෙමින් අහසේ වැඩ හිඳ පෙළහර පා ඔවුනට දහම් දෙසූ සේක.

සුගන්ධ කුටිය මලින් සරසා ඇති අයුරු.
ධර්ම ශ්‍රවණයෙන් සතුටු වූ නා රජුහු සමගිව ඒ මිණි පළගින් භාග්‍යවතුන් වහන්සේ පිදූහ. භාග්‍යවතුන් වහන්සේ එහි වැඩ සිටි සේක. ඉක්බිති නාගයෝ මධුර භෝජනයෙන් භාග්‍යවතුන් වහන්සේ වළඳවා මනාව බණ ඇසූහ. බොහෝ නාගයෝ සරණ සිල්හි පිහිටියහ.
මහෝදර රජුගේ මළනුවන් වූ මණිඅක්ඛිත නා රජු කැලණිපුර සිට යුද්ධයට පැමිණ එහි සිටි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදී පූජා වස්තුවක් ඉල්ලීය. භාග්‍යවතුන් වහන්සේ ඒ මිණිපළඟ ද තමනට සෙවණ කළ සමිද්ධි සුමන දේවතාවා අරක් ගත් කිරිපළු රුක ද නාගයනට පූජා වස්තු කොට දී යළිත් අවවාදානුශාසන කොට නැවතත් ජේතවනාරාමයට වැඩි සේක.
භාග්‍යවතුන් වහන්සේ එක් සමයෙක සැවැත් නුවර වස්සාන සෘතුව ගත කොට එයින් පසු දක්ෂිණගිරි ජනපදයට වඩින්නට සැරැසුණු සේක. මේ පුවත ඇසූ අනේපිඬු සිටුතුමා ද විශාකා උපාසිකාවෝ ද පසේනදී කොසොල් රජතුමා ද නොයෙක් කරුණු කියා තව ටික කලක් භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරම නවත්වා ගන්නට උත්සාහ කළහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ ඉල්ලීම නොපිළිගෙන ගමන වඩින්නට ම සැරසුණු සේක. අනේපිඬු සිටාණෝ මහත් කණගාටු වී ගෙයි පැත්තකට වී කල්පනා කරමින් සිටි සේක. සිටු ගෙදර බැල මෙහෙවර කරන පුණ්ණා නම් දාසිය එය දැක ස්වාමිනී කණගාටු ගතියෙකින් ඉන්නේ ඇයිදැයි ඇසුවා ය. සිටුතෙම කාරණය කීයේ ය. ස්වාමීනි, මමත් උත්සාහයක් කර බලන්නෙමි. මගේ උත්සාහය සාර්ථක වුවහොත් මට දෙන්නේ මොනවාදැයි ඇසුවාය. නුඹ දාසභාවයෙන් මුදා පවුලේ කෙනකුගේ තත්ත්වයට නංවමියි සිටුතුමා කීහ. එවිට ඇය දිවගොස් ජේතවනයෙන් වඩිනා භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් ස්වාමිනි මට අනුකම්පා කොට මේ ගමන නවත්වන්නැයි කීවා ය. මේ ගමන මා නැවැත්වීමෙන් නුඹට වන යහපත කිමෙක් දැයි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. ඇය සිටුතුමා කී වචනය සැළ කොට දාසිභාවයෙන් මිදිගත හෙන්නෙමි යි කීවාය.

කොසොල් රජතුමා පූජා කරන ලද රාජකාරාමය
භාග්‍යවතුන් වහන්සේ ආනාගතාංශඥානයෙන් බලා මතු ඇය පැවිදි වැ රහත් බව ද දුටු සේක. පුණ්ණා ගොස් සිටුතුමාට තමාගේ උත්සාහය සාර්ථක වූ බව පැවැසුවා ය. සිටුතෙම සොයා බලා භාග්‍යවතුන් වහන්සේ ආපසු වැඩි නියාව දැක සතුටු ව ඇයට ප්‍රශංසා කොට දාසභාවයෙන් ඇය මිදුයේ ය. විශාකාවෝ ද පසේනදී රජතුමා ද ඇයට ස්තුති කොට සත්කාර කළහ. ඕ මෙහෙණි සස්නේ පැවිදි ව ස්වල්ප කලෙකින් රහත් වූවාය .
බුදුරජාණන් වහන්සේ උතුම්ම දානය ලෙස සලකන ලද්දේ ධර්ම දානයයි. බුදුරජාණන් වහන්සේ වසර දහ නවයක කාලයක් ධර්මය දේශනා කරන ලද දම් සභා මණ්ඩපය අසළ දැන් ඔබ සිටින්නේ යැයි දඹදිව බුද්ධභූමිවන්දනාවේදී සිහිකරන්න. මොහොතක් නිසලව නිහඬව සිට භාග්‍යවතුන් වහන්සේගේ කාරුණික සමාධි රූපය ඔබේ සිතෙහි ඇඳගන්න. භාග්‍යවතුන් වහන්සේගේ මධුර මනෝහර ස්වරය ඔබ දෙසවනෙහි තැන්පත් කර ගැනීමට මොහොතක් දෙනෙත් පියාගන්න. ඔබේ මනස තුළ බුදු රුව ඇඳේ. භාග්‍යවතුන් වහන්සේ පෙරදිගට මුහුණ ලා දම් සභා මණ්ඩපයේ වැඩ සිට දහම් දේශනා කරයි. පිටු පසින් භික්ෂු සංඝයා ද ඉදිරිපස බලා සිටියි. ඉදිරියෙන් සිටින ගිහි ජනතාව අතරේ ඔබත් චිත්ත රූපයක් මවා කවදාහරි ඉන්නට ඇතැයි සිහිපත් කර ගන්න. මේ දම් සභා මණ්ඩපය බුදු හාමුදුරුවෝ නොසැලී අපහාස විඳ දරාගත් අවස්ථාවන් රාශියකින් ද සමන්විත ය.
තීර්ථකයන්ගේ වුවමනාව මත චිංචි මානවිකාව දරු ගැබක් ලෙස දරමිටියක් බැඳ බුදුන් හමුවට විත් උන්වහන්සේට අපහාස කරන්නට ගත් ප්‍රයත්නය අසාර්ථක වූයේ ශක්‍ර දෙවියන්ගේ මැදිහත්වීම මතයි. ඇයට ද සිදුවූයේ පොළොව පළාගෙන අවීචි මහා නරකාදියට යෑමටයි. බුදුරජාණන් වහන්සේට අපහාස කිරීමේ වුවමනාව මත ‘සුන්දරී’ නම් පරිබ්‍රාජිකාව මරා දම් සභා මණ්ඩපය පිටුපස මල් ගොඩ යට සඟවා තිබුණේ ද බුදු රජාණන් වහන්සේට අපහාස කිරීමට ය. නමුත් මේ සෑම දෙයක් ම විඳ දරා ගනිමින් නොසැලී තම මෙහෙවර ඉදිරියට ම කරගෙන ගිය අතර උන්වහන්සේ අටලෝ දහමින් කම්පා නොවී සියල්ල සමසේ විඳ දරා ගනිමින් යහපත් ජීවිතයක් ගත කිරීමට මග කියා දුන් ස්ථානය මේ දම් සභා මණ්ඩපයයි. දෙනෝදහසක් දෙනාට දහම් මඟ කියා දීමෙන් පුහුදුන් භික්ෂූන් රහත් විය. පෘථජ්ජන ගිහියා මග ඵල අවබෝධ කර ගත්තේ ය. සෑම දෙනා දහම් අසා සතුටු සිතින් තෙරුවන් සරණ ගියහ.
සැම සිත් ධර්මාවබෝධය තුළින් මෝහය නමැති අවිදු අඳුර දුරු කර ආලෝකය උදා කර ගත්හ. මේ දම් සභා මණ්ඩපය අදටත් පාළු වී නොමැත. සැදැහැවතුන් එහි උදේ සවස මල් පහන් පුදා බුදුන් වඳිති. සැම සිත් සුවපත් කරමින් බුදු දහමේ පණිවුඩය ලොවටම බෙදයි. බොහෝ සැදැහැතියන් බුදුරදුන් වැඩහිඳ දම් දෙසූ දම් සභා මණ්ඩපය දැක බලාගැනීමට යති. සිල් සුවඳ මැද බුදු සුවඳ හමන විට ගතට සිතට අපරිමිත සතුටක් සැනසුමක් ලැබෙනු ඇත.

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 32

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි පූජනීය ස්ථාන අතර ජේතවනාරාමය ඉතාමත් වැදගත් පූජනීය පින්බිමකි. මෙහි වැඩ වාසය කරමින් අපමණ මිනිසුන්ගේ සිත් සුවපත් කිරීමට බුදුරජාණන් වහන්සේ මහත් වෙහෙසක් ගනිමින් අසරණයන්ට පිහිටවූ සේක. මේ අනුව දිනක් අලුයම ලොව දෙස බලා වදාරන බුදුහාමුදුරුවන් සෝවාන් වීමට තරම් පිනක් ඇති ‘ආලවක’ නම් යක්ෂයාගේ මන්දිරයට වැඩම කර යක්ෂ ස්ත්‍රීන්ට ධර්ම දේශනා කළ සේක. ආලවක යක්ෂයා හදිසියේම තම මන්දිරයට කඩා වැද කෝපාවිෂ්ට වී බුදුරජාණන් වහන්සේට පිට වී යන ලෙස නියෝග කරන ලදී. උන්වහන්සේ ඊට අවනත වූ සේක. ඔහු ආපසු පැමිණෙන ලෙස නියෝග කරන ලදී. බුදුන් වහන්සේ ඊට ද අවනත වූ සේක. උන්වහන්සේ තෙවරක් ම මෙම නීතියට අවනත වූ සේක. නමුත් ඉන් පසු ඔහුගේ නියෝගවලට අවනත නොවන බව පවසා බුදුරදුන් ආලවකගේ සියලුම බල පුළුවන්කාරකම් අසාර්ථක කළ අතර අවසානයේදී යක්ෂයා දමනයට පත් විය. අවසානයේ දී ඔහු සෝවාන් විය.

සැවැත්නුවර උපෝසථාගාරය
අපේ බුදුරජාණන් වහන්සේ අසරණ ජනතාව ම අරමුණු කර ගනිමින් ඔවුන් සොයාගෙන ඔවුන් සිටින ස්ථානයටම වැඩම කර ඇත. ඉතා දිළිඳු ගොවියකු තම නැති වූ ගවයන් සොයා දවස පුරා කැලෑ පීරමින් ගොස් තම ගවයන් නැති ශෝකය නැති කරගන්නට බුදු හිමියන් දහම් දෙසන දම් සභා මණ්ඩපය ළඟට ගොස් බණ අසන්නට වාඩිවිය. “කුසගින්නේ සිටින ඔබට දහම් දේශනා කර ප්‍රතිඵලයක් නැත. “භික්ෂූන් වහන්සේ නමක් කැඳවා මේ අසරණ ගොවියාට ආහාර සපයන්න යැ” යි බුදුපියාණෝ වදාළහ. ආහාර ගෙන කුස පුරවා ගැනීමෙන් අනතුරුව ධර්මය අසා මේ දිළිඳු ගොවියා සෝවාන් බවට පත් විය. මරණය තරම් ඉතා අමිහිරි වේදනාකාරී මිහිපිට පුහුදුන් පුද්ගලයන්ට දුක උපදවන තවත් දෙයක් නැති තරම්ය. පි‍්‍රය විප්‍රයෝගය අප සැම දෙනාට ම දැනෙනා මහා වේදනාවක් උපදවන දෙයකි. සැවැත්නුවර ජීවත් වූ “පටාචාරව” මරණ හයක් තුළ බලවත් සිත් තැවුලට පත්ව හඬා වැළපෙමින් පිස්සියක් මෙන් මුළු සැවැත්නුවර පුරා ඇවිද්දාය. බුදුපියාණන් වහන්සේගේ කරුණා නෙතට යොමු වූ පටාචාරාවට දහම් දෙසන ලදී. දහම් අසා අනතුරුව පටාචාරාව රහත් තෙරණියක් බවට පත් වූවා ය.
මවුවරුන්ට දරුවන් තරම් ලොව වටිනා තවත් සම්පතක් නැති තරම්ය. තම ආදරණීය පුතු මළ සොවින් සිහිවිකල් වූ කිසාගෝතමිය පුතුගේ මළ කඳ රැගෙන හඬා වැළපෙමින් පුතුට නැවත පණ ලබා දීමට මුළු සැවැත්නුවර පුරාවට ම ඇවිද අවසානයේ ජේතවනාරාමයට පැමිණ බුදුරජාණන් වහන්සේගෙන් දහම් අසා “මරණය” යන පොදු ධර්මතාවය ඉගෙනගනිමින් තමාගේ මුළු ආත්මයට ම ඇය විමුක්ති සුවය ලබා ගත්තේ බුදුන්ගේ පිහිට ලද තවත් එක් තැනැත්තියක් වශයෙනි.

ආනන්ද බෝධිය මලින් පුදා ඇති අයුරු
බුදුරජාණන් වහන්සේ සියලු සත්ත්වයන්ට පොදුවේ සලකන ලද එකම ශාස්තෘවරයා වූ සේක. සමානාත්මතාවය තුළ උපරිම තලයේ රැඳී සිටිමින් මුළු මහත් සමාජයට ම උතුම් වූ සේවාවක් ඉටු කළ සේක.
නන්ද භික්ෂුව සමඟ සෘද්ධියෙන් තව්තිසා දිව්‍ය භවනට වැඩම කළ බුදුරදුන් අතරමඟ දැවීගිය හේනක සිටි විරූපී වැඳිරියක් නන්ද භික්ෂුවට පෙන්වා පසුව දිව්‍ය භවනේ සිටි රූමත් දිව්‍යාංගනාවක් ද බුදුරජාණන් වහන්සේ පෙන්වූ සේක. දිව්‍යාංගනාව ලබා ගැනීමට කැමැති නම් පැවිදි ජීවිතය සාර්ථක කර ගැනීමට බුදු රජාණන් වහන්සේ උපදෙස් දුන්හ. පැවිදි ජීවිතය සාර්ථක කර ගැනීමට උනන්දුවෙන් භාවනාවේ යෙදුණ නන්ද භික්ෂුව රහත් බවට පත් විය.
බලවත් සේ රෝගාතුරව සිටි මට්ටකුණ්ඩලී කුමාරයාට වෙද හෙදකම් ලබාදීමට මැලි වූ ඔහුගේ පියා අධික මසුරු සිටුවරයෙක් විය. ඔහුගේ පියා විසින් ගෙපිලෙහි ඇඳක් මත තබා කුමාරයා සතපවා තිබුණු අතර බුදු ඇසට යොමුව බුදුන්ගේ දර්ශනයට සිත පහදා ගනිමින් මරණින් මතුව ඔහු දිව්‍යාත්මභවයක් ලැබුවේ ය. ශෝකයට පත් පියාට සහ සෙසු පිරිසට දෙව් පුතු පෙන්වා ධර්මය දේශනා කොට ඔවුන්ට ද යහපත සැලසූ බුදුපියාණන් වහන්සේ මිනිසුන්ට පමණක් නොව දෙවියන්ට ද ධර්මය දේශනා කරමින් ඔවුනට ද යහපත උදා කරදීමට කටයුතු යෙදූ සේක.

කරේරු කුට්ය
එක්තරා දේවතාවෙකු මධ්‍යම රාත්‍රියෙහි ආලෝකය විහිදුවමින් පැමිණ මංගල කරුණු විමසූ අතර ඒවාට පිළිතුරු වශයෙන් බුදු හිමියන් මංගල සූත්‍රය දේශනා කරන ලද්දේ ද සැවැත්නුවර ජේතවනාරාමයේ දී ය. දෙලොව ජීවිතය පරිහානියට පත්වීම පිළිබඳ දේශනා කරමින් පිරිහීමේ දොරටු පිළිබඳ දේශනා කරන ලද පරාභව සූත්‍රය දේශනා කරන ලද්දේ ද මේ පින්මේදී ය. කොසොල් රට පාලනය කරන කොසොල් රජතුමා ද දිනකට තෙවතාවක් බුදුරදුන් හමුවීමට පවා පැමිණියේ මේ ජේතවනාරාම පුද බිමටයි.
දෙවන හා තෙවන ලංකාගමනය සිදු වූයේත් මේ පින්වත් පුදබිමේ සිටයි. පුණ්ණ තෙරුන් භාවනාව වැඩීම සඳහා සුනාපරන්තයට යෑමට සුදුස්සෙකු බවට බුදුරදුන් නිගමනය කළේ මෙහි වැඩ සිටින විටය. ශක්‍ර දේවේන්ද්‍රයා ඇසූ ප්‍රශ්න මාලාවකට පිළිතුරු වශයෙන් “සියලු දානයන් පරදවා ධර්ම දානය දිනයි. සියලු රසයන් පරදවා ධර්ම රසය දිනයි. සියලු ඇලීම් පරදවා ධර්මයෙහි ඇලීම දිනයි. තෘෂ්ණාව නැති කිරීම මඟින් සියලු දුක් නැති කෙරේ” යන අදහස ඇති ව ධර්මාවබෝධය ලබා දී වදාළේත් මෙහිදීය. බුදුරදුන්ට අපහාස කළ තීර්ථකයන් ‘සුන්දරී’ නම් පරිබ්‍රාජිකාව මරා බුදුන්ට පිදූ මල් ගොඩ යට සඟවා තිබූ සිද්ධියත් දම් සභා මණ්ඩපය අසලට යන විට ඔබට සිහිපත් වේ. අනේපිඬු සිටුතුමා බොහෝ උත්සාහයක් ගෙන තම ‘කාල’ නම් පුතු බුදුන් හමුවට යවන ලද්දේ ද මේ ජේතවනාරාම පුදබිමේදීය. දේවදත්ත හිමියන් විසින් පිටමන් කරන ලද කුමාර කාශ්‍යප මාතාව ජේතවනාරාමයට පැමිණි විට ඇයට එල්ල වී තිබුණු අපහාසයන්ගෙන් ඇය මුදා පසුව ඇයට රහත් වීමට මඟ සෑදීම ආදී සිද්ධීන් ද මේ ස්ථානයේ දී සිදු විය. බුදුන් දවස දහස් සංඛ්‍යාත වන්දනා කරුවන්ගෙන් පිරී පැවති මේ අසිරිමත් පින්බිම දිව්‍ය ලෝකයක් තරමටම ලස්සන හා සුන්දර වූ නිසා, ‘දෙවුරම’ යන නාමය ද ලැබී තිබුණි. දහස් ගණන් සැදැහැවතුන්ගේ වන්දනා මානයට ලක් වූ මේ පින්බිම අදටත් වන්දනාමානයට පත්වෙයි.

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 33

සිද්ධාර්ථ කුමරු රජ ගෙදර උපන් තම එකම දරුවා රාහුල පුංචි කුමරායි. පුත් කුමරු උපන් දිනයේදීම ගිහිගෙය අතහැර සත්‍ය සොයා ගිය මහ බෝසතුන් උතුම් බුද්ධත්වය ලබා විසි දහසක් මහ රහතුන් සමඟ කිඹුල්වත්පුරයට වැඩම කළ සේක. එවිට යශෝධරාව තම පුතු සරසා බුදුන් හමුවට එවා දායාද ඉල්ලා සිටින්න යැයි පවසා කුමරු පිටත් කළාය. බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් සුලැඟිල්ලේ එල්ලී දායාද ඉල්ලා සිටි රාහුල පුංචි කුමරාට අගසව් දෙනම ලවා කිඹුල්වත්පුර නිග්‍රෝධාරාම විහාරයේදි පැවිද්ද ලබා දුන් සේක. මේ පුවත දැනගත් සුද්ධෝදන රජු බුදුරජාණන් වහන්සේට දොස් නගා සිටියේ දරු සෙනෙහස තුළ ඇති උත්තරීතර ආදරය නිසාම විය හැකිය. එම හේතුව පදනම්කර ගනිමින් බුදුහාමුදුරුවෝ සංඝරත්නය රැස් කරවා දෙමාපිය අවසරයකින් තොරව දරුවන් පැවිදි නොකරන ලෙස දැන්වූ සේක. අනේපිඬු සිටුතුමා ජේතවනාරාමය පටන් ගන්නා තැනම කුටියක් සාදා උන්වහන්සේට පූජා කරන ලදී. සෑම දිනයකම මළුව ඇමද අවසානයේ වැලි අහුරක් උඩට විසි කර වැලිකැට තරමටම අවවාද ප්‍රාර්ථනා කරන ලද නිසා අවවාද ප්‍රාර්ථනා කරන භික්ෂූන් අතර රාහුල හිමියන් ශික්ෂාකාමී භික්ෂූන් අතර අගතැන්පත් විය. රාහුල මහ රහතන් වහන්සේ අසූ මහා ශ්‍රාවක සමූහයාටද අයත්විය.
පූතිගත්ත තිස්ස තෙරුන්ගේ කුටිය 
යෝ ගිලානං උපටෙඨය්‍ය 
සෝමං උපටෙඨය්‍ය

(යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයිද එය මට කරන උපස්ථානයක් වන්නේය)

පූතිගත්තතිස්ස කුටිය
දිනක් අලුයම ලොව දෙස බැලූ බුදුරජාණන් වහන්සේගේ බුදුනෙතට හසුවූයේ දරුණු කුෂ්ට රෝගයකින් පෙළෙන තිස්ස නම් භික්ෂූන් වහන්සේ නමකි. බුදුහිමියන් ආනන්ද මා හිමි සමඟින් එම ස්ථානයට වැඩම කොට පූතිගස්ස තිස්ස තෙරුන්ගේ සිවුරු සෝදා එම භික්ෂූන් වහන්සේද නහවා පිරිසුදු කර ආසනයක වඩා හිඳුවා ධර්මය දේශනා කරන ලදී.
ධර්මය අසා පූතිගත්ත තිස්ස හාමුදුරුවෝ රහත් භාවයට පත්විය.නමුත් සුළු මොහොතකින් උන්වහන්සේ පිරිනිවන් පාන ලදී. ගිලනුන්ට පිහිටවීම උතුම් ආනිසංසදායක මහඟු ක්‍රියාවක් බව බුදුරජාණන් වහන්සේ දේශනාකරන ලද්දේ මේ උපස්ථානයෙන් අනතුරුවයි. මේ කුටිය සමීපයෙහි රාහුල කුටිය ද පිහිටා ඇත.
රාජිකාරාමය
“රාජිකාරාමය කරවන ලද්දේ පසේනදී කොසොල් රජතුමා විසිනි. බුදුරජාණන් වහන්සේට ලැබෙන ලාභසත්කාර දැක තීර්ථකයෝ මේ සියලු දෙයක්ම ලැබෙන්නේ සීල සමාධි ගුණයන් නිසා නොව භූමියේ ඇති පින් මහිමය නිසා යැයි සිතූහ. අපිත් මේ ජේතවනාරාමය ළඟ ආරමයක් තනා ගතහොත් අපට ලාභ සත්කාර ලබා ගතහැකි යැයි” ඔවුන්ගේ අදහස විය.

රාහුල කුටිය
තීර්ථක පිරිස තම අනුගාමිකයෝ ලවා කහවනු ලක්ෂයක් එකතු කර ගත්හ. ජේතවනය අසලින් තීර්ථකාරාමය තැනවීමට අවසර ලබා ගනිමින් කණු සිටුවමින් මහ හඬින් ඝෝෂා පවත්වන්නට වූහ. බුදුරජාණන් වහන්සේ ගඳ කිලියෙන් එළියට වැඩම කොට , “ආනන්දය මහා ඝෝෂාව කුමක්ද”? යැයි විමසූ විට ආනන්ද හිමියන් විසින් කාරණය පැහැදිලි කරන ලදී. කාරණයේ ඇති බැරෑරුම් බව තේරුම් ගත් බුදුරජාණන් වහන්සේ ආනන්දය මේ කාරණය දෙපසටම හිත නොදෙන්නෙකි. රජතුමන් හමුවී මෙහි ඇති විපත විස්තර කර මේ අයට මෙම ස්ථානය වෙනුවට වෙනත් ස්ථානයක් වෙන්කර සාදා දෙන්න යැයි රජතුමන්ට දන්වන්න යැයි දෙසූ සේක.

රාජිකාරාමය
පළමුවර ආනන්ද හිමියන් ඇතුළු මහා සංඝයාද දෙවන වර සැරියුත් මුගලන් ඇතුළු රහතන් වහන්සේලා ද වැඩම කළ මුත් රජතුමා මාලිගයෙන් එළියට ආවේ නැත. තෙවන වර බුදුරජාණන් වහන්සේ දන් වළඳා භික්ෂු සංඝයා සමඟ රජු හමුවීමට ගොස් “මහ රජතුමනි පැවිද්දන් අතර ගැටුම් ඇතිකර ගැනීම හොඳ දෙයක් නොවේ”. යැයි වදාළහ. කාරණය තේරුම්ගත් රජතුමා තම පිරිස් යවා තීර්ථක පිරිස එතැනින් යවන ලදී. එකී ස්ථානයේ විහාරයක් කරවා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයා වහන්සේ වෙත පූජා කරන ලදී.
එම විහාරය දැන් රාජිකාරාමය නමින් ප්‍රසිද්ධ වේ. මේ විශාල ආරාමයේ නටබුන් අද වන විට උයනේ කොනක තිබේ.

අෂ්ඨ ස්ථූප
අෂ්ඨ ස්ථූප
මෙහි ස්ථූපයන් අටක් ඇති නිසා අෂ්ඨ ස්ථූප යන නම ලැබී ඇත. මේ අතුරින් හරි හතරැස් පදනමක් ඇති තරමක් විශාල ස්ථූපයට විශේෂත්වයක් දී ඇත. ඉතිරි ස්ථූප හත පරිවාර ස්ථූප විය හැක. මෙම ස්ථූපයන් අසල කැණීම් කිරීමේදී ක්‍රි.ව. පස්වන ශත වර්ෂයට අයත් මුද්‍රාවක් හමු වී ඇත. එහි බුද්ධ, දේව වශයෙන් ලියා තිබුණු අතර මේ ස්ථූපයන් තුළ මහරහතන් වහන්සේලාගේ ධාතු මෙහි නිධන්කර තිබෙන්නට ඇතැයි විශ්වාස කළ හැකිය.


සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 34


සාරිපුත්ත ස්ථූපය

සැවැත්නුවර ජේතවනාරාමයේ පිහිටි සැරියුත් මහරහතන් වහන්සේගේ ධාතු ස්ථූපය
සීවලි මහ රහතන් වහන්සේ සහ අංගුලිමාල මහ රහතන් වහන්සේ වැඩසිටි කුටිවලට නැගෙනහිර දෙසින් ඇති මෙය හතරැස් පදනමක් මත වෘත්තාකාරව තිබී ඇත. දැනට ඇත්තේ පදනම පමණි. පදනමේ විෂ්කම්භය මී. 6.7 කන් පමණ වේ. ආචාර්ය හොයේ මහතා විසින් මේ ස්ථූපය මී. 2.1 ක් යටට කැණීමේ දී පාත්‍රයක් හමු වී ඇත. එහි ධාතුන් වහන්සේලා සහිත කරඬුවක් විය. මේවා කුෂාණ යුගයට (ක්‍රි.ව. පළමු ශත වර්ෂයට) අයත්ය.
මෙහි අඩි 22 ක් යට දී මුනින් නවා තිබු විශාල පාත්‍රයක්ද ඒ තුළ පාෂාණමය කරඬුවක්ද තිබුණි.මේවා සැරියුත් හිමියන්ගේ ධාතුන් වහන්සේලා බවත් ස්ථූපය සාරිපුත්ත ස්ථූපය බවත් ආචාර්ය මොයේ හඳුන්වයි. මෙය අවට කුඩා පරිවාර ස්ථූප , ස්මාරක . ගල්ටැම් සහ බටහිර පැත්තේ ළිඳක් ද තිබී ඇත.
සැරියුත් රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට පෙර පිරිනිවන් පෑ සේක. පරිනිවීමට පෙර තම මෑණියන් වු සාරි බැමිණියට දහම් දෙසා නිර්වාණ මාර්ගයට යොමුකොට නාලන්දාවේ නාලක ගමේදී පිරිනිවන් පෑ සේක. ආදාහනයෙන් පසු එම ධාතුන් වහන්සේ චුන්ද හිමියන් විසින් සැවත්නුවරට වැඩම වන ලදී.ආනන්ද හිමියන් විසින් එම ධාතුන් වහන්සේලා පිළිගෙන බුදුරජාණන් වහන්සේට දීමෙන් අනතුරුව ගාථා 500 කින් සැරියුත් හිමියන්ගේ ගුණ ගයා එම ධාතුන් නිදන්කර අනේපිඩු සිටුතුමා ලවා චෛත්‍යයක් බැන්ද වු සේක. ධර්මාශෝක රජු සිද්ධස්ථාන සොයා ධර්ම යාත්‍රාවේ යෙදෙන විට උපගුප්ත මහරහතන් වහන්සේ විසින් මෙම ස්ථූපය පෙන්වන ලදී. ධාතුන් වහන්සේලා කීප නමක් මෙතැනම තිබෙන්නට හැර ඉතිරිය නාලන්දාවේ සාරිපුත්ත ස්ථූපයේ හා සාංචියේ නිධන් කරවු බව කියවේ. සාරිපුත්ත ස්ථූපය ළඟ එයට නැගෙනහිර දෙසින් වන්නට තවත් ස්ථූපයක පදනමක් ඇත.
සීවලී මහරහතන් වහන්සේ වැඩසිටි කුටිය

සීවලී මහරහතන් වහන්සේ වැඩසිටි කුටිය
කල්ප ලක්ෂයකට පෙර පියුමතුරා බුදුරජාණන් වහන්සේ දවස “හංසවතී” රාජධානියෙහි ක්ෂත්‍රිය රජ කෙනෙක් උපත ලැබීය. මෙතුමා ධර්ම ශ්‍රවණය පිණිස විහාරයට ගිය අවස්ථාවෙහි “සුදර්ශන” නම් රහතන් වහන්සේට ප්‍රත්‍යලාභීන් අතරින් අග තනතුර පියුමතුරා බුදුරජාණන් වහන්සේ විසින් පිළිගන්වන අයුරු දැක මෙතුමා “මමත් යම් දවසක ඒ තනතුර ලබාගන්න යැයි අදිටන් කර ගත්තේය.මේ අදිටනින් බුදුරජාණන් වහන්සේ ඇතුළු ලක්ෂයක් මහරහතුන්ට දන් පිරිනමා තමාට යම් දිනක ප්‍රත්‍යලාභී භික්ෂූන් අතර අග තනතුර ලැබේවායි ප්‍රාර්ථනා කළේය. ඉන් අනතුරුව විපස්සි බුදුරජාණන් වහන්සේගේ සමයේ ඉපදී එක් ධනවතෙකු ළඟ සේවය කරමින් සිටින අතර මොහු මීකිරි සහ මී පැණි රැගෙන යන විට නගර වැසියන් විපස්සි බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයාටද දන් පිරිනමමින් සිටිනු දුටුවේය. මේ තරුණයාද බුදුරජාණන් වහන්සේට දන් පූජාකර තමන්ගේ ප්‍රාර්ථනා ඉටුකර ගන්නට උන්වහන්සේගෙන් විවරණ ලබා ගත්තේය. අනතුරුව විපස්සි බුදුරජාණන් වහන්සේ විසින් “තරුණය, ඔබගේ ප්‍රාර්ථනාව දෙව් මිනිස් ලොව ඉපිද කල්ප ගණනක් සැරිසරා ගෞතම බුද්ධ ශාසනය තුළ ඔබ හට එම තනතුර ලැබෙයි” වදාළහ. ගෞතම බුදුන් දවස බුදුරජාණන් වහන්සේගේ මව් පස ඥාතියෙකු වන කෝලිය රජතුමාගේ දියණියක වන සුප්පාවාසා කුමරියගේ කුස පිළිසිඳ ගත්තේය. සුප්පාවාසා කුමරියගේ ස්වාමියා වූයේ මහා ලිච්ඡවී රජතුමායි. අනේක විධ සැප සම්පත් මැද මේ දෙදෙනා ජීවිතය ඉතා සතුටින් ගත කළහ. සුප්පාවාසා දේවිය ගැබ් ගත්තත් මාස 09 ක් ඉකුත්ව ගියද දරුවා බිහි වූයේ නැත. අවසානයේදී ඇගේ ඉල්ලීම මත රජු බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූ සංඝයාට දන් දෙන්නට මාලිගාවට ආරාධනා කරන ලදී. අවුරුදු 07 ක්, මාස 07 ක් හා දින 07 ක් මව්කුස තුළ මව හා පුතු කරන ලද අකුසලය නිසා දෙදෙනාටම දුක් විඳීමට සිදු විය. නමුත් බුදුරදුන්ගේ මහා කරුණා බල මහිමය තුළින් වලාකුළු තුළින් මෑත් වන පූර්ණ චන්ද්‍රයා මෙන් පුන් සඳක් බඳු පින්වත් කුමරෙකු උපන්නේය. වසර හතක් මව් කුස තුළ කුමරු වැඩුණු හෙයින් ඉතා ශෝභා සම්පන්නව බිහිවු කුමරුට”සීවලී” යන නම තබන ලදී. කුමරු බිහිවූ මොහොතේ කතා කිරීමට හැකි විය.

අංගුලිමාල මහරහතන් වහන්සේ වැඩසිටි කුටිය
අනතුරුව මහණ වීමට කැමැත්ත දැක්වූ සීවලී කුමරු සැරියුත් හා මුගලන් මහරහතන් වහන්සේලා පැවිදි කළහ.පැවිදි වූ දින පටන්ම ප්‍රත්‍යලාභ අඩුවක් නැතිව ලැබුණූ නිසා කෙස්ස බා අවසන් කරන විටම රහත් භාවය ලබන්නට පවා පින්කර තිබූ සීවලී මහරහතන් වහන්සේට තමන් සසර ප්‍රාර්ථනා කරන ලද ප්‍රාර්ථනාවද ඉටු විය.උන්වහන්සේ ප්‍රත්‍යාලාභි භික්ෂූන් අතර අග තනතුරට පත් විය. සැවැත්නුවර ජේතවනාරාමයට පැමිණ සියලු සැදැහවතුන් සොයන කුටිය නම් සීවලී කුටියයි. ඒ උන්වහන්සේට තිබූ ආදරය ගෞරවය නිසාම විය හැකිය.සීවලී කුටිය අටකොන් ළිඳට උතුරු දෙසින් රන් ආලේප කරන ලද කුටිය නැගෙනහිරට මුහුණලා ඇත. මෙම ස්ථානයේදී ප්‍රාර්ථනා කළ යුත්තේ තණ්හාව දුරුව දන්දීම සඳහා සිත් ඇති කර ගැනීමටයි.
අංගුලිමාල මහ රහතන් වහන්සේ වැඩ සිටි කුටිය
සීවලි කුටියට මඳක් නුදුරින් පිහිටා ඇති මේ කුටියේ දොරටුව උතුරට මුහුණ ලා ඇත. මේ අංගුලිමාල මහ රහතන් වහන්සේ හා මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ වැඩ සිටි බවට කතා පුවත්වල සදහන් වේ. අහිංසක නමැති දරුවා සැවැත්නුවර මාර්ගව බමුණාගේ හා මන්තානි බැමිණියගේ පුතණුවන්ය. තම අධ්‍යාපනය සඳහා තක්සලාවේ දිසාපාමොක් ඇදුරුතුමා ළඟට ගොස් ශිල්පය ඉගෙන ගත් අතර අධ්‍යාපනයට දක්ෂ වු අහිංසක හා ගුරුවරයා අතර ගැටුමක් නිර්මාණය කිරීම සඳහා අනික් සිසුන් ගුරුවරයාට මුසා බස් කියා අහිංසකව වැරැදිකාරයකු බවට පත් කළහ. ගුරුවරයා ද මේ බස් පිළිගනිමින් ඔහුට දුන් ශිල්පය අවසන් බවත්, ගුරු පඬුරු පිණිස ඇඟිළි දහසක් ගෙනැවිත් දෙන ලෙසත් කීවේය. නමුත් අප්‍රමාණ ගුරු භක්තිය නිසා අහිංසක අවසානයේදී අංගුලිමාලයෙකු විය.ඇඟිලි දහස සඳහා අම්මා මරා හෝ ඇඟිල්ලක් ලබා ගැනීමට උත්සාහයක් ගත් අංගුලිමාලට එම අවස්ථාව මග හැරී තිබුණේ ඔහු සසර කරන ලද පින් මහිමය නිසාය. බුදුරජාණන් වහන්සේ අංගුලිමාල හමුවට ගොස් ඔහු දමනය කර ඔහුට දහම් දේශනා කරමින් මහ රහතන් වහන්සේ නමක් බවට පත් කළ සේක. අදටත් අංගුලිමාල රහතන් වහන්සේ සිහිපත් කරමින් ගර්භණී මාතාවන්ට හත් මාසයෙන් හෝ නව මාසයෙන් අංගුලිමාල පිරිත දේශනා කර ගනිමින් ආශිර්වාදය ලබා ගනී. එම පිරිතේ ආශිර්වාදය අදටත් මේ විශ්ව තලය තුළ පවතියි.


සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 35

ජේතවනාරාමයේ වැඩ සිටි මහරහතන් වහන්සේලාගේ කුටි

කෝසම්බ කුටිය
බුදුරජාණන් වහන්සේගේ පාවිච්චිය සඳහා ජේතවනාරාමයේ තිබූ කුටිවලින් එකකි මෙය. අනේපිඬු සිටුතුමා විසින් කරවන ලදී. ආනන්ද බෝධියට මීටර 76 ක් පමණ උතුරින් පිහිටා ඇත. මෙහි කැණීම් කරද්දී ඇලෙක්සැන්ඩර් කණිංහැම් මහතාට අක්ෂර සහිත බෝධිසත්ව පිළිමයක් හමුවිය. එය කුෂාන්, රාජ සමයේ දී බල නමැති භික්ෂුවක් විසින් පූජා කරන ලද්දක් බවට පුරාවිද්‍යාඥයන් විසින් තහවුරු කොට ඇත. එම කෝසම්භ කුටිය සක්මන් මළුව අසල පිහිටා ඇත.
සක්මන් මළුව
කෝසම්භ කුටියට ගිනිකොන දෙසින් ඇති සක්මන් මළුව පළල මී. 3 ක් හා දිග මී. 15ක්ද උස මී. 1.2 ක්ද වේ.එය මැදින් උතුරු පැත්තෙන් උඩට නැගීමට පඩිපෙළක් තිබී ඇත. මෙම මළුව බටහිර සිට නැගෙනහිර පැත්තට විහිදේ. කෝසම්භ කුටියෙන් හමු වූ බෝධි සත්ව පිළිමයක ලියා තිබූ සක්මන් මළුව මෙය විය යුතුය.
මේ නිසා එම සක්මන් මළුව බුදුරජාණන් වහන්සේ සක්මන් කිරීම සඳහා භාවිතා කළ එකක් ලෙස සැලකේ. බුදුරජාණන් වහන්සේ විසින් රාහු අසුරේන්ද්‍රයා දමනය කළේ එම ස්ථානයේදී බව සඳහන් වෙයි. අදටද එම ස්ථානය කෝසම්භ කුටිය ඉදිරිපසින් දකින්නට ඇත.
ජේතවන පොකුණ

සක්මන් මළුව

කෝසම්බ කුටිය

භික්ෂූන් වහන්සේ ස්නානය කරන ලද පොකුණ
වරක් කොසොල් රට තුළ නියඟයක් ඇතිවී අස්වැන්න සියල්ලම විනාශ වූ අතර සියලුම ප්‍රාණීහු මහා ආපදාවකට පත් වූහ. මහා කරුණිකයාණෝ සියලු සතුන් වෙත මහා කරුණාවෙන් වැසි වැසීමට අධිෂ්ඨානය කර ආනන්ද හාමුදුරුවන් වහන්සේ අමතා”ආනන්ද ස්නානය සඳහා අඳනය ගෙන එන්න” යැයි වදාළහ.
මෙසේ වදාළේ ජේතවන පොකුණේ ස්නානය කිරීමේ අදහසිනි. බුදුරජාණන් වහන්සේ අඳනය පොරවා ජේතවන පොකුණේ පඩිපෙළේ වැඩ සිට සත්‍ය ක්‍රියා කළ සේක. නැගෙනහිර දෙසින් කළු වළාකුලක් ඇති වී තද වර්ෂාවක් ඇති විය.
පොකුණද පිරී ඉතිරී ගියේය. බුදුරජාණන් වහන්සේ සමඟින් මහා සංඝයා ඒ ජලයෙන් ස්නානය කළහ.
විශාඛා මහා උපාසිකාවගේ ඉල්ලීම පරිදි භික්ෂූන් ස්නානය කරන විට නානකඩයක් පාවිච්චි කළයුතු යන ඉල්ලීම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ස්නානය කරන විට නානකඩයක් අඳින ලෙස විනය නීතියක් ද පනවන ලදී. ඒ ජේතවන පොකුණ සමීපයේ සිටය. දැනට මේ පොකුණ බුදුරජාණන් වහන්සේ වැඩසිටි ගන්ධ කුටියට පිටුපසින් දැකිය හැක.
කරේරු කුටිය
කරේරු හෙවත් ලුණුවරණ ගසක් තිබුණු තැන ඉදිකළ නිසා මෙම කුටිය එම නමින් හඳුන්වා ඇත. දිනක් දවල් දානයෙන් පසු මෙම කුටියට රැස්ව භික්ෂූන් වහන්සේලා පූර්ව ජන්ම පිළිබඳ සාකච්ඡා සිදුකළ අතර ගඳ කිලියේ සිට දිවකනින් එය ශ්‍රවණය කළ බුදුරජාණන් වහන්සේ එම ස්ථානයට වැඩම කොට තමන්ගේ මෙන්ම අතීත බුදුවරුන්ගේ පුනර්ජන්ම පිළිබඳ දේශනයක් කළ බව සඳහන්ය. එපමණක් නොව බුදුරජාණන් වහන්සේ විසින් මහා අපධාන සූත්‍රයද මෙහිදී දේශනා කළහ. දිනක් බුදුරජාණන් වහන්සේ අසංවර භික්ෂූන් මේ කුටියෙන් පිටත්කර හරින ලදී. මෙම කුටිය අනේපිඬු සිටුතුමා විසින් කණු මත ගොඩනඟන ලද අතර එය දිව්‍ය විමානයක් හා සමාන වූවකි.
අට කොන් ළිඳ
අෂ්ට ස්ථූපයන් පසු කර ඉදිරියට ගිය විට ඉතා පැරණි කොන් අටකින් යුත් අපූරු ළිඳක් ඔබ සැමට දැකීමට හැකිවේ. ඉතා පැරණි මේ ළිඳ දැන් අලුත්වැඩියා කර උද්‍යානයට ජලය සැපයීම පිණිස යොදාගන්නා අතර ඉතා දරුණු ඉඩෝරයේදී පවා මෙම ළිඳ නොසිඳෙන උල්පතක් ඇති බවට ප්‍රදේශවාසීන්ගේ ජනප්‍රවාදවල සඳහන්ව ඇත.
මෙම නිර්මාණය ඉතාමත් අලංකාර නිර්මාණයකි. බුද්ධ කාලයේ සැවැත්නුවර සිටි බමුණෙකුගේ පුතුන් අට දෙනෙකු ජේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා පැහැදි ජේතවනාරාම වාසි භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය පිණිස ළිං අටක් කරවීමට කතිකා කරගත් අතර මේ සඳහා මුදල් ගැනීමට මේ දරුවන් අට දෙනා තම පියාට තමන් සිදු කිරීමට යන ක්‍රියාව පිළිබඳ කරුණු දක්වන ලදී. දැඩි මසුරුකමින් හා මිථ්‍යාදෘෂ්ටික භාවයෙන් යුතු වූ මේ පියා තම දරුවන්ට ළිං අට වෙනුවට එක ළිඳක් සාදන්නට යෝජනා කර එය නිර්මාණය විය යුතු අයුරුද පෙන්වා දුන්නේය. “ළිං අටක් සෑදීමට මුදල් වියදම් නොකර තමුන් අට දෙනාම සිහිපත් වීම පිණිස කොන් අටක් යොදා ගනිමින් ඔබ අට දෙනාම එක ළිඳක් නිර්මාණය කරන්න”යැයි ඔහු කීවේය. තම පියාගේ අදහසට එකඟ වූ දරුවන් පියාගෙන් ලද මුදලින් කොන් අටක් සහිත මේ අට කොන් ළිඳ නිර්මාණය කරන ලදී, අදට ද එහි ජලය පවතියි.