, දඹදිව වන්දනා දඹදිව වන්දනා - BUDDHIST PILGRIMAGE TOURS TO INDIA: සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 41 - 45

ක්‍රි.පූ. 6 වැනි සියවසේ සිට ක්‍රි.ව. 11 වන සියවස පමණ වන තෙක්‌ භාරතීය අධිරාජ්‍යයන්හි, දේශපාලන ප්‍රවණතා, යුද්ධ රාජ්‍ය මර්දනය මෙන්ම බාහිර ආක්‍රමණ, බෞද්ධ දර්ශනය මර්දනය සඳහා මැදිහත් වූ ආකාරය...

.

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 41 - 45

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 41 

තුන් බිය දුරු කළ විසාලා නුවර

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාවෙන් පොසොන් පුර පසළොස්වක පෝදා විසාලා නුවර වන්දනාව ආරම්භ කළෙමු. අද එතැන් සිට වන්දනාව නැවත අරඹමු.
ඉතා රමණීය විසාලා මහනුවර පැවැති තුන් බිය දුරු කරගැනීම සඳහා බුදුරදුන්ට වඩිනා ලෙස ලිච්ඡවී රජ දරුවන් ආරාධනා කරන ලදී. දිනක් උන් වහන්සේ විසාලා නුවරට වඩින විට මහා පෙරහරකින් ලිච්ඡවී රජවරු නගරද්වාරයට පැමිණ සිටියහ.
සෑම සැදැහැවතකුම පාහේ මේ වන විට කට පාඩමින් කියන රතන සූත්‍රය බුදුරදුන් දේශනා කළේ විසාලා නුවර තුන් බිය දුරු කරනු පිණිසය.
පෙර විසාලා නුවර වැසි නොවැසීමෙන් මහා දුර්භික්ෂයක් ඇති විය. බොහෝ දෙනෙක් මිය ගියහ. මළ සිරුරු බැහැර කිරීම දුෂ්කර විය. එනිසාම වසංගත රෝග ද දරුණු ලෙස පැතිර ගියේය. මරණ සංඛ්‍යාවද දෙගුණ තෙගුණ විය. අමනුෂ්‍යයන්ගේ පැමිණීම නිසා අමනුෂ්‍ය උපද්‍රව ද බහුල විය.
දුර්භික්ෂ, රෝග, අමනුෂ්‍ය යන ත්‍රිවිධ බිය නිසා රට වැසියෝ අපමණ දුකින් පෙළුණාහ.
ලිච්ඡවී සමූහාණ්ඩුවේ ප්‍රත්‍යන්ත රජවරු හත්දහස් හතක් දෙනා රැස්වී සාකච්ඡා කළහ. ඒ තම පිළියම වන්නේ බුදුරජාණන් වහන්සේ වැඩම කිරීම බව ඔවුහු ඒකමතිකවම තීරණය කළහ. රජගහනුවර වැඩ සිටි බුදුරජාණන් වහන්සේ මහත් බුහුමන් සහිත පෙරහරකින් තම රාජ්‍යයට වැඩම කරවූහ.

රහතන් වහන්සේලාගේ ධාතු ස්තුප
බුදුරජාණන් වහන්සේ විසාලා නුවරට වැඩම කරනවාත් සමගම හිරිපොද වැස්සක් ද, මල් වැස්සක් ද, මුතු පිනි වැස්සක් ද, රිදී වැස්සක් ද, ආදි වශයෙන් සත්රුවන් වැස්සෙන් සියලු කුණු කසළ සේදී ගියේය. නගරය පිරිසුදු විය. විසාලා නුවර වැසියන්ගේ දුකින් පිරි ඉරිතලා තිබූ හදවත්වලට මහත් සැනසිල්ලක් දැනිණි.
බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් කැඳවා යංකිච්චි විත්තං ඉධවා හුරංවා... ආදි වශයෙන් රතන සූත්‍රය උගන්වා වැස්සෙන් පාත්‍රයට පිරුණු පිවිතුරු අහස් පැන්ද රැගෙන පිරිත් කියමින් නගරය පුරා පැන් ඉසින්නට නියම කළ සේක. රතන සූත්‍රය සජ්ඣායනය කිරීමෙන් සියලු උවදුරු පහ වී විසාලා නුවරට ශාන්තිය සැලසිණි.
සැදැහැවතුනි විසාලා මහනුවරට යන ඔබ එහි ඇති සිංහ කුලුන අසල හිද රතන සූත්‍රය සජ්ඣායනය කළ යුතුය. අප බෞද්ධයන් ලෙස මේ සූත්‍රය තුළ ඇති අපිරිමිත තුනුරුවන්ගේ ගුණ හොඳින් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ, ධර්මයේ ගුණ, සංඝරත්නයේ ගුණ ඇතුළත් කරමින් බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රය දේශනා කරන ලදී. ඔබද බෞද්ධ අනුගාමිකයන් ලෙස මේ සූත්‍රය හොඳින් කියවා එහි පිහිට ආරක්ෂාව ඔබ ජීවිතයටද ලබා ගන්න. නිසැකවම මේ සිංහ කුලුන පිහිටි තැන සිට බුදු හිමියන් මුලින්ම රතන සූත්‍රය දේශනා කරන ලද බවට පුරා විද්‍යාඥයන් සොයාගෙන ඇත.
යානීධ භූතිනා සමාගතානි
මේ භූමියේ හෝ අහසේ යම් අමනුෂ්‍ය කෙනෙක් රැස්ව සිටිත්ද, ඒ අමනුෂ්‍යයෝ සැම සතුටු සිත් ඇත්තෝ වෙත්වා මා කියනා මේ බස අසත්වා
තස්මානි භූතා නිසාමෙථ සබ්බේ
එබැවින් සියලු අමනුෂ්‍යයන් මාගේ දෙසුම අසන්න. මනුෂ්‍ය වර්ගයා කෙරෙහි මෛත්‍රී කරන්න. ඔබට පුද පූජා පවත්වන මනුෂ්‍ය වර්ගයා නොපමාව ආරක්ෂා කරන්න.

කූටාගාර ශාලාවේ නටබුන්
මේ ආදි වශයෙන් රතන සූත්‍රය සජ්ඣායනය කරමින් එහි සිංහල අරුත මෙනෙහි කරන්න. රතන සූත්‍රයේ මහිමයෙන් ඔබටද සෙතක් වේවායි. සිතන්න සැදැහැවතුනි, අපට නොපෙනෙන බලවේග මේ විශ්වයේ ක්‍රියාත්මක වන බව අප තේරුම් ගත යුතුය. මේ නොපෙනෙන බලවේගයන්ගෙන් අපට එල්ල වන උපද්‍රව දුරු කළ හැක්කේ එය නිශේධනය කළ හැකි ප්‍රතිනිනාදයක විශ්වයට යැවීමෙනි. පිරිතෙන් සිදු කෙරෙන්නේ එම වාග් ශක්තිය විශ්වයට යැවීමයි. එහි අරුත, එහි තේරුම හදවත පත්ලේ රඳවාගෙන විශ්වයට නිනාදය යැවීමෙන් ලබාගත හැකි ප්‍රයෝජන බොහෝය. මෙය අප හට හොඳින් කියවා අවබෝධ කරගත් කල්හි බොහෝ ප්‍රතිඵල ලබාගත හැකිය. එම නිසා රතන සූත්‍රය හොඳින් සජ්ඣායනය කර එහි අරුත ඔබේ ජීවිතයටද ලබා ගන්න.
දඹදිව චාරිකාවේ යෙදීමට තවමත් අවස්ථාවක් නොලද අයෙකුට විසාලා නුවර තුන් බිය දුරු කිරීමට අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩම කර සත් රුවන් වැසි මැද පාත්‍රයේ පැන් පුරවා ආනන්ද හිමි ලවා එය නගරයේ ඉසිමින් චාරිකා කළ මොහොත සිතින් දකිමින් සිහිපත් කරමින් රතන සූත්‍රය සජ්ඣායනා කිරීමෙන් බොහෝ යහපත් ප්‍රතිඵල ඔබ සැමට ලබාගත හැකිය. එම නිසා හොඳින් අවබෝධ කර ගනිමින් මේ සූත්‍රය සජ්ඣායනා කරන්න.
විශ්වයේ සැරිසරන අපද්‍රව්‍ය අපේ ජීවිතයට කාන්දු වීමට නොදි ඈත් කිරීමට පිරිත තරම් බලසම්පන්න සූත්‍රයක් තවත් නැත. තෙරුවන් නමැද පිරිසුදුව වත් පිළිවෙත් පුරා සජ්ඣායනා කිරීමෙන් සැදැහැවතුන්ට මහඟු ප්‍රතිඵල ලබාගත හැකිය.
මෙයට විසාලා යන නම ඇති වූයේ කෙසේද?

වජ්ජිරට වූයේ කෙසේද?

මේ ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි. පෙර බරණැස බ්‍රහ්මදත්ත රජුගේ බිසෝ කෙනෙක් මස් වැදැල්ලක් බිහි කළාය. මස් වැදැල්ලක් නිසා රජු එය බඳුනක දමා ගං දියෙහි පා කර හැරියේය. ගඟ අසබඩ සිටි තවුසෙක් ගඟේ පා වෙන රන් බඳුන අසපුවට ගෙනාවේය. විවෘත කළ කල්හි රන් පැහැති පිරිමි දරුවකු සහ ගැහැනු දරුවකු යනු දෙදෙනෙකු දුටුවේය. දරුවන් දුටු සැණින් තවුසාගේ සිතේ මහත් සෙනෙහසක් උපන්නේය. තවුසාගේ දසැඟිල්ලෙන් ක්ෂිර ධාරා වැගිරෙන්නට වන දෙදෙනා ඒ කිරි බී වැඩුණහ. සමත වූ ඡවී වර්ණ ඇති වූයෙන් ලිච්ඡවී යන නම ලැබූහ. දරුවෝ අඹුසැමිව වෙසෙන අතර විශාල දූ පුතුන් පිරිසක් ලදහ. මුනුපුරු මිනිපිරියෝද ඇති වූහ. ලිච්ඡවී පරපුර මෙසේ විශාල ලෙස පැතිර යෑම නිසා මගධයේ සෙසු වැසියෝ ඔවුන් වර්ජනය කළේය. රජු ඔවුන්ට වෙනම බිමක් වෙන් කළහ.
වර්ජිතයන් ජීවත් වූ බිම (වජ්‍ර) වජ්ජි නම් වියැ. දරු මුනුපුරන් දිගින් දිගටම වැඩි වීම නිසා ගමේ ඉඩ කඩ මදි වීමෙන් ගම වටා බැදි පවුර තෙවරක්ම විශාල කරන්නට සිදු විය. ලිච්ඡවීන් වජ්ජින් ජීවත් වූ පෙදෙස තෙවරක් විශාල කළ බැවින් එය විසාලා මහනුවර නම් විය.

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 42

දඹදිව බුද්ධ භූමි වන්දනාවේදී පසුගිය පොහොය දින දෙකකදී සැදැහැසිත් උපදවන විසාලා නුවර වන්දනා කළෙමු. අදත් එසේ වන්දනාවේ යෙදෙමු. ඒ සඳහා සැදැහැසිත් උපදවා ගනිමු. බුද්ධ කාලීන සමාජයේ විසූ නගර සෝබනියන් අතරට රජගහ නුවර සිරිමා, සැවැත්නුවර සුන්දරි බරණැස් නුවර අඩ්ඩකාසි වැනි නගර සෝබනියන් අතරට රූපයෙන් දෙවඟනක හා සම වු රූමතියක් විසාලා මහනුවර විසුවා ය. ඕ අම්බපාලී නම් වූවා ය. අඹගසක් මුල ඉපදි සිටි නිසා ඇයට අම්බපාලී යන නම ලැබී ඇත.
දිනක් බුදුරජාණන් වහන්සේ විසාලා මහනුවරට වැඩම කළ බව ඇසූ අම්බපාලීය තමා සතු අලංකාර අඹ උයන බුදුරජාණන් වහන්සේට පූජා කිරීමට තීන්දු කළා ය. එහි වෙහෙරක් ඉදි කළාය. අම්බපාලි කුටි යනුවෙන් හඳුන්වන්නේ එම වෙහෙරයි. විමල කොණ්ඩඤ්ඤ තෙරුන්ගෙන් බණ අසා අම්බපාලී රහත් බව ලැබුවා ය.
අපේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා නිධන්කැර ධර්මාශෝක අධිරාජයා විසින් ගොඩනංවන ලද චෛත්‍යයේ නටබුන් ද මෙහිදී දැකිය හැකිය.

අභිෂේක පුෂ්කරණි පොකුණ


ජපන් සාම චෛත්‍යය
ලිච්ඡවී රජදරුවන් ඔටුනු පැළඳ අභිෂේකය ලැබූයේ මේ පොකුණේ ශුද්ධ ජලයෙනි. විසාලා යනු ලිච්ඡවී රජුන්ගේ රාජධානියයි. මේ රාජධානිය ලෝකයේ ප්‍රථම සමූහාණ්ඩුව බවද ඔවුන් රන්වන් පැහැයෙන් බබළන බවත් සඳහන් ය. ලිච්ඡවී රජවරුන් 7707 දෙනෙකු සමූහ වශයෙන් මේ රාජධානිය පාලනය කර ඇති බවත් ඔවුන් ඉතා සමගිව හා සහයෝගයෙන් තම රට පාලනය කළ බව සඳහන් ය. බුදුරජාණන් වහන්සේ ඔවුනට දේශනා කරන ලද සප්ත අපරිහාණී ධර්මවලටම අනුගතව රට පාලනය කරන ලදී. බුදුරජාණන් වහන්සේ පවා ඉතා පි‍්‍රය කරන ලද රාජධානියකි. වරකදී උන්වහන්සේ සඳහන් කර ඇත්තේ දෙවියන් නොදුටු කෙනෙකු දෙවියන් දැකීමට නම් මිහිපිට සිටිනා විසාලා නුවර ලිච්ඡවීන් දෙස බලන ලෙස සඳහන් කර ඇත. ඔවුන් ඒ තරමටම ගුණ ගරුක පිරිසකි.

අම්බපාලීය අඹ උයන පූජා කිරීම,

අම්බපාලී නගර සෝබනිය බුදුරදුන්ට විසාලා නුවර පිහිටි සිය අලංකාර අඹ උයන පූජා කිරීමේ සිද්ධිය දැන් ඔබ සියලු දෙනාම දන්නා කරුණකි. ඉන්පසු මහා පරිනිබ්බාණ සූත්‍රය කියැවීමේ දී එයට අදාළ තවත් සිදුවීම් පෙළක් හමුවෙයි.

විසාලා නුවර කොරියන් විහාරය
බුදුරජාණන් වහන්සේ විසාලා නුවර තමාගේ අඹ උයනේ වැඩ වෙසෙතැයි අම්බපාලියට අසන්නට ලැබිණ. ඇය අලංකාර ඇඳුම් ආයිත්තමින් සැරසී ඉතා අගනා රිය ඇතුළත් රිය පෙරහරකින් ගොස් (භද්දාන භද්දානි යානානි භොජාපෙත්වා භද්දං භද්දංයානං) බුදුරජාණන් වහන්සේ බැහැදුටුවාය. බුදුරජාණන් වහන්සේ ඇයට ජීවිතයේ යහපත හඳුන්වාදෙමින් සිත දියුණු කරන දහමක් දෙසූහ. එයින් පැහැදීමට පත් අම්බපාලිය දොහොත් මුදුනත් තබා ස්වාමීනි, මහා කාරුණිකයාණන් වහන්ස, භික්ෂු සංඝයා ද සහිතව මගේ නිවසට වැඩම කැර මාගේ දානය පිළිගන්නැයි බුහුමනින් ආරාධනා කළාය.
බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දව ඒ ආරාධනය පිළිගත්හ. විසාලා නුවර ලිච්ඡවී රජුන්ටද බුදුරජාණන් වහන්සේ අඹ උයනේ වැඩ සිටින පුවත සැළ විය. ඔහුද ඉතා අලංකාර පෙරහරකින් එහි ගියහ.
අම්බපාලිය තමන්ට ප්‍රථමයෙන් දානය සඳහා බුදුරදුන්ට ආරාධනා කළ බව දත් ලිච්ඡවී රජවරු අම්බපාලීය හමුවී නැගෙනියනි, හෙට දින බුදුරදුන්ට දන් පිරිනැමීමට අපට අවස්ථාව දෙන්න, අප ඔබට කහවනු ලක්ෂයක් දෙන්නෙමු රජ දරුවෝ ඇයට ආයාචනය කළහ.
රාජ පුත්‍රයෙනි, කහවනු ලක්ෂයක් නොව හත්දහසක් ජනපද සහිත වේසාලිය ම මට ලියා දුන්නත් මගේ මෙම දානමය පින්කම වෙනස් නොකරන්නෙමි අම්බපාලිය පැවසුවා ය. රජවරු ඇගේ කතාව ඉවසා බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් බුහුමන් ගෞරවාචාර දක්වා තම සිතැඟි කරුණ බුදුරජාණන් වහන්සේට දන්වාලූහ. මාහට හෙට අම්බපාලිගේ නිවසේ දානය පිළිගෙන ඇත. එය වෙනස් කළ නොහැකිය. අපි පිළිවෙත් සපුරා කටයුතු කළයුතු යැයි පවසා ලිච්ඡවීන්ට දැහැමි පිළිවෙත් පිරීමේ අගය පැහැදූ සේක.
දන් වළඳා අවසන් වීමෙන් පසුව බුදුරදුන් දෙසූ සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ කරුණු තුළින් සිත පහන් කරන අයුරු අසා ඉන් ධර්ම සංවේගය උපදවා අම්බපාලිය මහත් බැතියෙන් තම අලංකාර අඹ වනය බුදුරජාණන් වහන්සේට ගෞරව පූරස්සරව පූජා කළා ය. අභිෂේක පොකුණ පසුකර ඉදිරියට යනවිට කුඩයක් හැඩයට විසාල ස්තූපයක් ඇත. එම ස්ථානයට දැන් ඔබ පැමිණ ඇත. එම ස්ථානය නම් බුදුරජාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයෙන් හත් දවසකට පසුව ධාතුන් වහන්සේලා බෙදා දීම සිදු විය. එහිදී භාරතයේ පැවැති රාජධානි අටක් සඳහා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ධාතුන් වහන්සේලා බෙදා දුන්නේ ය. එහිදී වේශාලි ලිච්ඡවී රජුන්ට ලැබුණු ධාතුන් වහන්සේලා නිධන්කොට මේ ස්ථූපය ගොඩ නඟා ඇත. එහි තිබී හමුවූ ධාතුන් වහන්සේලා අදවන විට පැටිනා කෞතුකාගාරයේ තැම්පත් කර ඇත. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැම්පත් කර තැබූ මේ ධාතු ස්තූපය දැක බලා වන්දනා කර ගන්න.
අද වන විට විසාලා මහනුවර වෙනත් රටවල බෞද්ධ මධ්‍යස්ථාන ගොඩනඟා ඇත. එහි ඇති බෞද්ධ ස්ථාන අතර කොරියාව, බුරුමය ආදී රටවලද ලාංකික භික්ෂූන් වහන්සේලා වැඩ සිටින ලංකාරාමයද මෙහි ඇත.


සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 43

විසාලා නුවර සිදුවූ තවත් වැදගත් සිදුවීම්

සම්බුද්ධ පරිනිර්වාණයෙන් මාස තුනකට පසුව බුද්ධ ශාසනයේ ප්‍රථම ධර්ම සංගායනාව සිදුවූ අතර ඉන්පසුව බුද්ධ ශාසනය නැවත දිගු කලක් ඉතා විනයගරුකව තිබූ අතර සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයක් ඇතුළත නැවත ධර්ම සංගායනාවක් කිරීමේ පසුබිම සකස් විය. එම දෙවන ධර්ම සංගායනාව කාලාශෝක රජු සමයේ හා තුන්වන ධර්ම සංගායනාව ධර්මාශෝක රජු සමයේ පැවැත්වූයේ මේ විසාලා මහනුවර මූලික කරගනිමින්ය.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයක් ඉක්ම යාමට ප්‍රථම දෙවෙනි ධර්ම සංගායනාවක් සිදුකිරීමට මූලික වූයේ වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේලා විනය විරෝධී දස අකැප වස්තු දහයක් කැපයයි ප්‍රකාශ කිරීමත් ඒ අකැප වස්තු දහය අනුගමනය කරමින් බුද්ධ ශාසනයට විශාල හානියක් කිරීමට මාර්ගෝපදේශකත්වය ලබා දීමත් නිසාය. එකල වජ්ජි රාජ්‍යයේ රජ වූයේ කාලාශෝක රජතුමාය. සබ්බකාමී මහරහතන් වහන්සේ ප්‍රමුඛ හත්සියයක් මහරහතන් වහන්සේ සංගායනාවට සහභාගි වූහ. සංගායනාව පැවැත් වූයේ විසාලාමහනුවර වාළුකාරාමයේදීය. ප්‍රධාන දායකත්වය කාලාශෝක රජු විසින් දරන ලදී.
දෙවෙනි ධර්ම සංගායනාවට මූලික හේතුව වූ දස අකැප වස්තුව මෙසේය.
සිංගිලෝණ කප්ප

පැට්නා පාලම

ද්වංගුල කප්ප
ගාමාන්තර කප්ප
ආවාස කප්ප
අනුමති කප්ප
ආචින්න කප්ප
අමථිත කප්ප
ජලෝගි කප්ප
අදසක නිසිදන කප්ප
ජාත රූප රජත පට්ග්ගහණ කප්ප
ඉහත කී දස අකැප වස්තුව කැප වශයෙන් පිළිගන්නා ලෙස කරන ලද ප්‍රබල ඉල්ලීම මත මේවා බුද්ධ නීතිය, අනුව කැපද? නැතිනම් අකැපද? යන්න තීරණය කිරීම සඳහා දෙවෙනි ධර්ම සංගායනාව පවත්වන ලදී.
එහිදී ඊට සහභාගි වූ මහා සංඝරත්නය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පාවිත්තියට සහ විනයට සම්පූර්ණයෙන් පටහැනි නිසා අකැප වස්තු වශයෙන් ඒවා ප්‍රතික්ෂේප කළහ. එහි අනියම් ප්‍රතිඵලයක් වශයෙන් සංගායනාව අවසානයේදි වජ්ජි පුත්තක භික්ෂූන් ද තවත් මහා සංගායනාවක් කැඳවූහ. ඊට ද දස දහසක් භික්ෂූන් වහන්සේලා සහභාගි වූ බව සඳහන් වේ. මේ නිසා සංඝරත්නය දෙපිරිසකට බෙදුනු අතර බුද්ධ භාෂිතය අනුව යමින් අකැප වස්තු පරිහරණය නොකළ භික්ෂූන් වහන්සේලා ථෙරවාදී හෙවත් ස්ථීරවාදී භික්ෂූන් වූ අතර ඉතිරි භික්ෂූන් වහන්සේ මහා සාංඝික වශයෙන් හඳුන්වනු ලැබීය.අශෝක අධිරාජ්‍යයාගේ කාලයේදී සංඝ ශාසනයේ පිරිහීමක් පැවති බවත් එනිසා තෙවෙනි ධර්ම සංගායනාවද විසාලා නුවරදීම පවත්වන ලදී. ඒ ධර්මාශෝක මහ රජතුමාගේ කාලයේ සසුන පිරිහී තිබූ නිසා එවකට බුද්ධ ශාසනයේ වැඩ සිටි මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ධර්මාශෝක මහ රජතුමාගේ ප්‍රධාන දායකත්වය ඇතිව පාඨලී පුත්‍රයේ අශෝකාරාමයේදී දහසක් මහ රහතන් වහන්සේ සම්බන්ධ වී සිදු කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස රටවල් නමයකට බුදු දහමේ උතුම් පණිවිඩය රැගෙන යන ලදී. එයද සිදුවුවේ විසාලා මහනුවර මූලික කර ගනිමින්ය.

ශ්‍රී ලංකාවේ දුටුගැමුණු මහ රජතුමන් විසින් සාදවන ලද රුවන්වැලි සැ ප්‍රතිෂ්ඨාපන උත්සවය සඳහා විසාලාවෙන්ද මහ සඟරුවන වැඩමවා ඇති බව ශ්‍රී ලංකාව තුළ ලියවූ මහාවංශයට අනුව පැහැදිලි වේ.
විසාලා මහනුවර සමීපයේම පිහිටා ඇති ගංගානම් නදිය ගැනද අප අවබෝධ කරගත යුතුය. හින්දු භක්තිකයන්ගේ පූජනීයම ගංගාව ගංගානම් නදියයි. හින්දු භක්තිකයන්ගේ ජීවිතයේ බොහෝ කටයුතු සිදුවන්නේ මේ ගංගාව මූලික කර ගනිමින්ය. හින්දු භක්තිකයන් ඉහළින්ම පුද පූජා කරනුයේ ශිව දෙවියන් හටය. මේ නදියද ශිව දෙවියන්ගේ ජටා මස්තකයෙන් ආරම්භ වන බවට ඔවුන් විශ්වාස කරයි. එම නිසා ගංගා තුළ උදෑසන කරවටක් දක්වා දියේ බැස සිටීම මරණයට පත්වන තම ඥාතීන්ගේ දේහය පුලුස්සා දැමීම සඳහාද ඔවුන් ගංගානම් නදියට රැගෙන ඒම සුවිශේෂී කරුණකි. ඉන්දියානු හින්දු භක්තිකයන්ගේ පූජනීයම ස්ථානය වන ගංගානම් ගඟ ඔබට දඹදිව වන්දනාවේ යෙදෙන විට ස්ථාන කිහිපයකදී හමුවේ. එහිදී ඔබට මේ ගංගාව දැක ගත හැකි විශේෂම ස්ථානය පැට්නා නගරය පසු කරමින් විසාලාවට යන අතර තුරේදීය. පැට්නා නගරය පිහිටා ඇත්තේ ගංගා නම් ගගේ දකුණූ ඉවුෙර්ය. විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණක් වන්නේ මෙහිදී ඔබට හමුවන ගංගා නම් නදිය හරහා ඉදිවූ කිලෝමීටර් හත හමාරක් පමණ දිගින් යුතු පාලමයි. මෙය චීන රජය විසින් ඉන්දියාවට නිදහස ලබාදීමට මූලික වූ අවිහිංසාවාදයේ පියා ලෙස හඳුන්වන ඉන්දියානු මිනිසුන්ගේ හදවත තුළ තවමත් ජීවත් වන මහත්මා ගාන්ධිතුමාට උපහාරයක් ලෙස ‘ගාන්ධි සේතුම්’ නමින් මේ පාලම නිර්මාණය කර ඇත. මේ පාලම මතින් යන ඔබ ගංගාව දෙස හොඳින් බලන්න. මහා සයුරක් සේ ගලා යන බව ඔබට දැකගත හැකිය. ලෝකයේ විශාලතම ගංගාවන්ගෙන් එකක් ලෙස වාර්තාවන් අතරට ගංගානම් නදියත් එකතු වේ.

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 44

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාවෙන් අදත් අපි විසාලා නුවර ගැන සිහියට නගා ගනිමු.
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසුව පස්වන වස් කාලය ගත කරන ලද්දේ විසාලා මහනුවර කූටාගාර ශාලාවේය. මුලින්ම මෙහෙණ සස්නට ඇතුළු වූයේ බුදුරජාණන් වහන්සේගේ සුළු මව වූ ප්‍රජාපතී ගෝතමින් වහන්සේය.

විසාලා මහනුවර කූටාගාර ශාලාව පිහිටි භූමියේ ඇති පොකුණ
භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයේ වැඩවසන අවස්ථාවේ ප්‍රජාපතී ගෝතමිය තුන් වරක් තථාගතයන් වහන්සේ බැහැදුටුවාය. ඒ පැවිද්ද ඉල්ලා ගැනීම සඳහාය. එහෙත් බුදුරජාණන් වහන්සේ ඊට අවසර ලබාදුන්නේ නැත.
අලං තෙ ගොතමි මාතෙ රුචිච මාතුගාමස්ස
ආදි ගාථා ධර්මයන් දේශනා කොට”
මෙම සර්වඥ ශාසනයෙහි දැන්ම ස්තී‍්‍රන් සඳහා පැවිද්ද නොපැවතුව මැනවැයි වදාළහ.
බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙන් වැඩමවා විසාලා මහනුවර කූටාගාර ශාලාව වෙත වැඩම කළහ. එසේ පිටත්වී යන්නට පෙර රෝහිණී නදිය අසලදී දේශනා කළ කලහ විවාද සූත්‍රය අසා පන්සියයක් රාජ කුමාරවරු පැවිදි වූහ. කුමාරවරුන් පැවිදි වීම නිසා ඔවුන්ගේ බිරින්දෑවරු (බිසෝවරු) තනිවූහ.
ප්‍රජාපතී ගෝතමිය හමුවු මේ බිසෝවරු අපේ ස්වාමිවරු බුදු බණ අසා පැහැදී පැවිදි වී සසුනට ඇතුළත් වූහ. ගෝතමියනි, අපටත් සසුනට ඇතුළත් වීමට අවස්ථාව ලබා දෙන්නැයි ආයාචනා කර සිටියාය.
මා තෙවරක්ම බුදුරදුන් වෙතින් පැවිද්ද ඉල්ලීමි, එහෙත් තථාගතයන් වහන්සේ මෙහෙණ සස්න අනුදැන වදාළේ නැත. මෙවර අප සියලු දෙනා එක්ව සාමූහික ව ගොස් පැවිද්ද ඉල්ලා සිටිමු යැයි යෝජනා වූවාය.
අප හැමදෙන හිස කෙස් බහා කහවත් හැඳ උන්වහන්සේ කරා ගොස් පැවිද්ද ඉල්ලම්හ.එසේ වූ කල්හි අප හැම දෙන කෙරෙහි උපන් අනුකම්පාවෙන් අපට පැවිද්ද අනුදැන වදාරනු ඇත. ගෝතමී මවුතොමෝ සියලු දෙන ගිවිස්වාගෙන කරනැවෑමියන් ලවා හිස මුඩු කරවාගෙන කසාවත් හැඳ විසාලා මහනුවර බලා ගමන් ආරම්භ කළාය.

විසාලා මහනුවර කූටාගාර ශාලාවේ නටබුන්
මහා ප්‍රජාපතී ගෝතමිය තවත් ස්ත්‍රීන් පන්සියයක් සමඟ මුඩු කළ හිසින් කසාවත් හැඳ මහා කාරුණිකයන් වහන්සේ හමු වී පැවිද්ද ඉල්ලන්නට යන ආරංචිය සැලවු විගස ශාක්‍ය කෝලිය රජ දරුවෝ මා හැඟිවූ රිය පන්සිය එකක් ගෙන්වා මේ රියෙන් වඩිනු මැන භගණියනි මේ රියෙන් වඩිනු මැන ආදි වශයෙන් ආයාචනා කර සිටියාහුය.
දරුවනි පැවිද්ද ඉල්ලීමට අපි මේ රියවලින් යන්න මෝහම් එය බුදුරජාණන් වහන්සේට ගෞරව පිණිස නොවන්නේය. අපගේ පැවිද්දට සුදුසු නොවන්නේය. අප සියුමැලිය, චාරිකාවට නුසුදුසු යැයි භාග්‍යවතුන් වහන්සේ සිතිය හැකිය. එබැවින් දුක් නොබලා පා ගමනින්ම යෑම යහපතියි ගෝතමී මාතාවෝ පැවසූහ. එබස සැම දෙනම අනුමත කළාය.
ප්‍රජාපතී ගෝතමිය හා කසාවත් පෙරවු බිසෝවරු මෙසේ පාද චාරිකාව ආරම්භ කළහ. විල්ලුද පස් මත ඇවිද ගිය ඇතැමුන්ගේ පා ඉතා සියුමැලිය. ඔවුන්ගේ පතුල් පුපුරා බිබිළි නැග මහා වේදනා ඇති විය පතුල් පැළී ලේ ගලන්නටද විය.
ඉදිරියෙන්ම යන ප්‍රජාපතී ගෝතමී මාතාව දුටු රට වැසියෝ බුද්ධ මාතාව පා ගමනින් කොහේ වඩින්නීද? යි දෑත් හිස් බැඳ කම්පා වූහ. වාහන ගෙන එන්නට පොර කන්නාහුය. වැඳ වැටෙමින් පාවාඩ ගෙන එන්නට අවසර ඉල්ලන්නාහුය.
ගෝතමී මාතාවෝ මේ සියල්ල කාරුණිකව ප්‍රතික්ෂේප කරති. තම සහෝදර බිසෝවරු සමඟ පා ගමනින්ම වැඩම කෙරෙති. ලේ ගලනා යටි පතුල් නිසා තැන් තැන්වල නැවතී ගිමන් නිවති. යළි ගමන් අරඹති.
මෙසේ පනස් එක්යොදුන් මගක් ගෙවා ප්‍රජාපති ගෝතමිය ඇතුළු පිරිස විසාලා මහනුවර බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කූටාගාර ශාලාව අබියසට පැමිණි අතර කූටාගාර ශාලාව නටබුන් අතර සිටි ගෝතමී මාතාව පන්සියයක් පිරිසද රැගෙන එහි පැමිණි දර්ශනය මොහොතකට ඔබ සිතින් මවාගන්න.
වෙහෙරට පැමිණි ගෝතමි මාතාවට මේ අන්දමට සිතිවිල්ලක් පහල වෙයි. ඒ කෙසේද යත්, මම බුදුරජාණන් වහන්සේ වෙතින් තෙවරක් පැවිද්ද ඉල්ලීම් නොලද්දෙමි. මා අද පැවිද්ද ඉල්ලන්නේ පන්සියක් දෙනා සමඟ පැමිණ ප්‍රසිද්ධියේය.
ගෝතමිය මාතාව එක වරම බුදු හිමි හමුවට නොගොස් ගඳ කුටියෙන් පිටත වී ආනන්ද මාහිමියන් පැමිණෙන තෙක් ඉවසීමෙන් යුතුව බලා සිටි අතර ගඳ කුටියෙන් එලියට පැමිණි ආනන්ද මාහිමියන්ට මහා ප්‍රජාපතී ගෝතමිය දුටු විගස අදහා ගැනීමට නොහැකි විය. මුඩු කල හිසද, කසාවතද, ලේ ගලන යටි පතුල් ද දැකීමෙන් සිත වික්ෂිප්ත විය. කම්පා විය. උන්වහන්ස්ගේ හිතටද මහත් ශෝකයක් දුක් වේදනාවක් ඇති විය.
මෑණියනි, මේ කුමක්වීද? ඉදිමී ගිය පාදයෙන් ලේ ගලන යටි පතුලෙන් දහදියෙන් තෙත් වු සිරුරෙන් විහාරය වෙත පිවිසියේ කවර කරුණක් සඳහාද? බුදු පියාණන් වහන්සේ හමුවට නොගොස් මෙසේ රැඳී සිටින්නේ කුමක් හෙයින්ද? කවර නම් විපතක් වීද? පවසන්න.
ආනන්ද හිමියන් වහන්ස, මා මෙයට පෙර තෙවතාවක්ම බුදුරදුන්ගෙන් පැවිද්ද ඉල්ලා නොලද්දෙමි. මෙවර මහණ වන්නට සූදානම්ව පන්සියයක් දෙනා සමඟ පැමිණියෙමි. මෙවරද පැවිද්ද ලැබේදෝ නොලැබේ දෝ සැක ඇතිවු නිසා එක වරම වෙහෙර ඇතුළට නොගොස් මෙහි නතර වී කල්පනා කළෙමි යැයි පැවසුවාය.
එම තෙපුල් ඇසු ආනන්ද හිමියන්ගේ හිත උණු විය. මහත් සංවේගයක් සිතේ උපතහ.
මෑණියනි, මදක් විඩා සංසිදුවාගනු මැනවි, මම බුදුරදුන් වෙත ගොස් කරුණු පැහැදිලි කරන්නම්
ආනන්ද හිමි ගොස් ප්‍රජාපති ගෝතමිය ඇතුළු පිරිස පැමිණ සිටින බවත් ඔවුන්ට පැවිද්ද ලබා දෙන ලෙසත් ඉල්ලා සිටින ලදී. ආනන්ද හිමිගේ බලවත් ඉල්ලීම මත කාන්තා විමුක්තිය උදා කරමින් පස්වන වස් කාලයේදී භික්ෂුණී සසුන ආරම්භ කිරීම සඳහා පෙර බුදුවරුන් අනුගමනය කරන ලද චර්යා ධර්ම කුමක්දැයි සොයා බලන ලදී. එහිදී අෂ්ඨ ගරු ධර්ම සමාදන් වීමට ඔවුන් කැමැතියි නම් මම භික්ෂුණි ශාසනය පිහිටවමි. ඔවුන් අෂ්ට ගරු ධර්ම වලට එකඟ විය.
මහා ප්‍රජාපතී ගෝතමිය මේ ගරු ධර්ම අට පිලිගෙන පැවිද්දත් උපසම්පදාවත් ලැබූ පසු ශාක්‍ය කුමාරිකාවෝ ද ඇය ගුරුකොට ගෙන උපසම්පදාව ලැබූහ. උපසපන් වු මහා ප්‍රජාපතී ගෝතමි තොමෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ වැඳ එකත්පසක සිටියාය. එසේ සිටි ඇයට භාග්‍යවතුන් වහන්සේ දම් දෙසු සේක. ඉක්බිති ඕතොමෝ කර්මස්ථාන ගෙන විදසුන් වඩා රහත් වූවාය. සෙසු මෙහෙණියෝ පන්සියයද නන්දක තෙරුන් කළ ධර්ම දේශනාව අසා රහත් වූවාය. ඉන්පසු යශෝධරාව ඇතුළු බොහෝ ශාක්‍ය කුමාරිකාවෝ ප්‍රජාපති ගෝතමිය කරා එළඹ පැවිදි වූවාය.

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 45

මහා ප්‍රජාපතී ගෝතමිය අෂ්ඨ ගරු ධර්ම පිළිගෙන පැවිදි උපසම්පදාව ලබා කමටහන් ගෙන විදසුන් වඩා රහත් වූවා යැයි ඉකුත් අධි ඇසළ පුර පුරපසළොස්වක පෝදා පත්‍රයෙහි සම්බුදු උපත සිදුවූ බුද්ධ භූමි වන්දනාවෙන් පැහැදිලි කළෙමු. අද එතැන් සිට ...
කාලයාගේ ඇවෑමෙන් තව නොබෝ කලකින් බුදු හිමියන්ට පෙර ශාරිපුත්‍ර මොද්ගල්‍යායන, අඤ්ඤා කොණ්ඩඤ්ඤ නන්ද රාහුල මාතාවන්ද පිරිනිවන් පාන බව ගෝතමීන් වහන්සේ දුටහ. මේ හැම දෙනා වහන්සේට පෙර තමා පිරිනිවනට සැපත් විය යුතු බවද ආයු සංස්කාරය අත්හල යුතු බවද සිතා බුදුරදුන් කමා කරවා ඒ සඳහා අවසර ගත යුතු යැයි සිතුවාය.
එවිට පන්සීයක් භික්ෂුණි හූ මෑණියන් වහන්ස, ගෞතම මාතාවෙනි, අප හැම දෙනා ඔබ වහන්සේ හා පැවිදි බව ලබාගෙන මහණ උපසපන් විඳින්නෙමු. ගිහි කල්හි ඔබ ඇසුරු කොට සිටියෙමු. මෙසේ ඔබ හා එක්ව ලෞකික ලෝකෝත්තර සැප විඳ දැන් ඔබ වහන්සේ පිරිනිවන් පාන්නට යන මොහොතේ අපිත් ඔබ වහන්සේ හා පිරිනිවන් පාම්හ යි කියා සිටියාය.
ඒ ඇසූ මහා ප්‍රජාපතී ගෝතමින් වහන්සේද ඔවුනගේ වදන් පිළිගෙන ඔවුහු හැම පිරිවරාගෙන මෙහෙණවරින් නික්ම කූටාගාර ශාලාවට පිවිස බුදුරදුන් වැඳ එකත්පස්ව සිට දොහොත් මුදුන් දී මනහර වූ ගාථා පෙළකින් මෙසේ කියති.
භාග්‍යවතුන් වහන්ස මම ඔබ වහන්සේට ධම්මපාල ජාතකය, චුල්ල නන්ද ජාතකාදි නොයෙක් ජාතීන් හි බිහි කළ මව් වීමි. මේ ජාතියෙහි ද බිහිකළ මවක් මෙන් ආදරයෙන් වැඩුවෙමි. එසේ හෙයින් නුඹ වහන්සේ මාගේ පුතුණුවෝය. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මම ඔබ වහන්සේගේ රූප කාය පමණක් ආදරයෙන් වැඩුවෙමි. එසේ බිහි කළ ඔබවහන්සේ ශාන්ත දාන්ත ශ්‍රද්ධා ශීලාදී ගුණයෙන් මාගේ ධර්ම කාය මනාව වැඩුවෙහිය. එහෙයින් මම මේ ලෝකෝත්තර සම්පත්තිය ලැබීමි. මා ඔබ වහන්සේට පිදු සෙනෙහසම සිය දහස් ගුණයෙන් අගනේය.

ආනන්ද ස්තූපය
ස්වාමීනි තථාගතයන් වහන්ස, පෙර මා ඔබවහන්සේට කිරි පොවා නළවා සැනසුවෙමි. දැන් වනාහි මම ඔබ වහන්සේගේ සාසන නමැති තන මඬලෙහි සදහම් නමැති අමා කිරි බී සංසාර දුකින් සුවපත් වීමි. අමා මෑණියන් වහන්ස ඔබ වනාහි මස්සකින් උපකාර කළ කෙනෙකුට ලක්ෂයකින් ප්‍රත්‍යුපකාර කළ මහා පුරුෂයාණන් කෙනෙකි. යනාදි නොයෙක් තෙපුල් කිය කියා මහත් භක්තියෙන් වැඳ ස්වාමීනි මම ඔබ වහන්සේගේ සසුනෙහි සියල්ලන්ටම පළමුව නිවන් යනු කැමැත්තෙමි. ඔබ වහන්සේ මට එයට අවසර දුන් මැනවැයි පිරිවන් පෑමට ඉල්ලා ඉක්බිතිවත් කියන්නීය. සෑම හදවත්ම කඳුළින් තෙමීගිය අසිරිමත් කථා පුවතකි. මේ කථාව බුදුරජාණන් වහන්සේ තම සුළු මවට කොතරම් ආදරය කරන්නට ඇත්ද?
ස්වාමීනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස බුදු කෙනෙකුන් දැකීම ඉතා දුර්ලභ වන්නේය. එසේ වුවත් මම ඔබ වහන්සේ දැක ගත්තෙමි. එසේ වෙතත් එක්සිය අටක් මඟුල් ලකුණකින් හෙබි සම්බුදු සිරි පා දිගු කළ මැනවැයි කීවාය. එකල්හි උන්වහන්සේ ඇය කී කථා අසා මහත් කරුණාවෙන් යුතුව රන් පියුම් පෙති යුවළක් සේ දිලිසෙන්නා වූ ශ්‍රී පාද යුග්මය දිගු කළ සේක.
ඕ තොමෝ ද බුදු සිරි පා බලා සතුටුව ආදරයෙන් වැඳ බුදුපියාණන් වහන්ස, සවණක් රැසින් බබළනා යුගල වූ ඔබ වහන්සේගේ ශ්‍රී දේහය දකිනු කැමැත්තෙමි. කුඩා අවදියේ මාගේම කුසින් වැදු දරුවෙකු සේ සලකා කිරි කැර පොවා ළය මඩලේ හොවා ඔබ වහන්සේ උස් මහත් කළෙමි.
ලෝක ධාතුව කම්පා කැර ස්වයංභු ඥානය ලබා තුන් ලොවට මැ ජගදානන්ද අභිෂේක නාමය දිනූ අප තථාගතයන් වහන්සේ කිරි දරුවෙකු හෙයින් අවනතව තම සුළු මවට පුදන මේ උපහාරය ගැන මොහොතක් සිතන්න. එය මේ මිහිමඩලේ ගුණබර සියලුම මව්වරුන්ට පිදු උපහාරයක් නොවන්නේද ?
පිරිනිවන් පාන්නට යන ගෝතමීන් මාතාවන් ගැන ඇතිවූ දුකින් ආනන්ද හිමියන් කඳුළු සඟවා හඬති. ප්‍රජාපතී ගෝතමීන් වහන්සේ ආනන්ද හිමි වෙත ගොස් උන්වහන්සේ අවසන මේ මොහොත ගැන සිතන්න.

ජපන් චෛත්‍යය
මා දයාබර පුතණුවනි, ආනන්ද තෙරුන් වහන්ස ඔබ මට බෝ උපකාර කළෙහිය. ඔබ මාගේ දරුවූවෙහිය. මාගේ කල්‍යාණ මිත්‍ර වූයෙහි. මට මේ නිවන් සාදා ගැනීම සඳහාත් බොහෝ ස්ත්‍රීන්ගේ යහපත සඳහාත් භික්ෂුණී සාසනය පිහිටු වීමෙහි අනුසස් දන්වා බුදුරදුන්ගේ අවසර ලබා දුන්නෙහිය. ආනන්ද ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ බහුශ්‍රැතයන් අතර අග්‍ර වූහ. අග්‍ර බුද්ධෝපස්ථායක වූහ. එසේ හෙයින් ඔබ වැනියන් මෙසේ හැඬීම නුසුදුසු වන්නේය. මේ හැඬීමට කාලයද නොවන්නේය. මේ මාගේ මංගල කාලය වන්නේය. තව මොහොතකින් එය බැලිය හැක්කේය. එසේ හෙයින් ඒ බලන්නට නොහඬා සිටිනු මැනවි.
ප්‍රජාපතී මාතා වහන්සේ භික්ෂුණීන් පන්සියයද සමග බුදු හිමි වෙත වැඩම කර ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ වනාහි මා ඔබ වහන්සේ දකින අවසන් අවස්ථාවයි. මින් පසු ඔබ වහන්සේගේ දර්ශනය නොවන්නේය. මට නිවනට යෑමට අවසර දුන මැනවි යි කියා අවසර ලබා ගෙන පිරිනිවන් මංචකයට වැඩම කළාය .
ප්‍රජාපතී දේවියගේ සිරුර රන්සිවි ගෙයක බහා ඉදිරියෙන් ගෙන යද්දී දහසක් දෙවියෝ අහසින් මල් වැසි වැස්සූහ.
ආනන්ද මාගේ සුළු මවගේ දෙණ පිටුපසින් ඇයගේ ගුණ සිහිපත් කරමින් මා ගමන් කළ යුතු යැයි පැවැසූ භාග්‍යවතුන් වහන්සේ මවගේ උදාර ගුණ කඳ සිහිපත් කරමින් දෙණ පසුපස පා ගමනින් වැඩම කළහ.
බුදුරජාණන් වහන්සේ මෙසේ ගමන් කරන ලද ප්‍රථම අවස්ථාව මෙය වන්නේය. ඒ මව්තුමියට දක්වන ලද උතුම් කරුණාවයි. මාතාවගේ සඳුන් දර සෑයට ගිනි දැල්වීමට පෙර අප තථාගතයන් වහන්සේ තම ශ්‍රාවකයන්ට මෙසේ පැවසූහ. මහණෙනි, බුදු කෙනෙකුන් මෙසේ වූ ආදාහන පූජාවක් කළ තැනෙක් තවත් නැත. මේ ආදාහන පූජාව ආදර්ශයක් කොට ගනිත්වා මව් ස්නේහය බුදු කෙනෙකු විසින් ද පුදන ලද්දේය වදාළ සේක.
ඉක්බිති ලිච්ඡවී රජ දරුවෝ සඳුන් දර සෑ සාදවා රන්සිවි ගෙවල් එහි තැන්පත් කොට සුවඳ ද්‍රව්‍යයන් ඉස නොවී දැවී ගියහ.
ශ්‍රාවක ඔබ මෙය කියවා තම දෙමාපියන් හට සැලකීමේ උතුම් කටයුතු නිරන්තරව සිහිපත් කරන්න.