සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 66
- නාරංවත්තේ ධම්මසිරි හිමි
ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කළ කුසිනාරාවේ ආදාහන චෛත්‍යය
සම්බුදු උපත සිදුවූ බුද්ධ භූමි වන්දනාවේදී එහි සියැසින් දැක බලා වන්දනා කිරීමට යන ප්‍රධාන ස්ථානයකි කුසිනාරාව. ශ්‍රී සර්වඥ ධාතු තැන්පත් කළ චෛත්‍ය පරිනිර්වාණ මන්දිරයට පිටුපසින් පිහිටා ඇත. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඉදිකරන ලද මෙම ස්තූපය භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් බුද්ධ වර්ෂ පහකට පසුව මල්ලරජ දරුවන් විසින් මෙම ස්තූපය ඉදිකර ඇත. පසු කලක අශෝක අධිරාජයා විසින් නැවත වරක් එම ස්තූපය අළුත්වැඩියා කර ඇත. පසුව කුමාර ගුප්ත යුගයේ ගඩොල් යොදා ඉදි කිරීම ආරම්භ කිරීමෙන් පසුව මෙම දාගැබ් වහන්සේ වඩාත් ශක්තිමත්ව තනවන ලදී.
පිරිනිවන් පෑ වදාළ ස්ථානය
ඉහත සඳහන් කළ ධාතු චෛත්‍යයට පහළ පිහිටා ඇති ස්ථානය බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ ස්ථානයයි. සල් ගස් දෙකක් අතර සැතපී පිරිනිවන් පා වදාළ ස්ථානය සිහිවීම සඳහා මල්ල රජදරුවන් විසින් බුද්ධ වර්ෂ 5 සහ 6 වර්ෂවල මුල්ම චෛත්‍ය සාදවන ලදී. නැවත අශෝක අධිරාජයා විසින් ප්‍රතිසංස්කරණය කරන ලද අතර ගඩොල් සොයා ගැනීමෙන් පසු විශාල චෛත්‍යයක් කර ඇති බවට සාධක ඇත.
මහා කාශ්‍යප කුටිය
මහා පරිනිර්වාණ මහා වෙහෙරට ඉදිරි පසින් දක්නට ලැබෙන්නේ කාශ්‍යප මහ රහතන් වහන්සේ වැඩ සිටියේ යැයි සැලකෙන විහාරයේ නටබුන්ය. එකල එම කුටිය උන්වහන්සේගේ පෞද්ගලික වාසස්ථානය ලෙස පරිහරණය වූ බව බෞද්ධ ඉතිහාසය කියයි. බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් වසර පහ හයකට පසුව මල්ල රජ දරුවන් විසින් මෙම මැදුරද තනවා කාශ්‍යප මහ රහතන් වහන්සේට පූජා කරනු ලැබීය. පසු කලෙක අශෝක අධිරාජයා එම ගොඩනැගිල්ල නැවත සුවිසල්ව තනවා ගරුතර මහා සංඝරත්නය විෂයෙහි පූජා කරන ලදී. මෙහි බිත්ති කෙතරම් පළල් ලෙස ශක්තිමත්ව තනා තිබේ දැයි කිවහොත් සමහර බිත්ති අඩි පහක් තරම් ඝනකමට සාදා ඇත. එසේ තනවා ඇත්තේ කලින් කල උද්ගතවන තද ශීතල තද උෂ්ණය සහ වර්ෂාවෙන් සිදුවන ගැහැට වළක්වනු පිණිසය. එහි පවතින ගී‍්‍රෂ්ම හෝ ශීත සමයන්හිද මහා සංඝරත්නයට ගැහැටකින් තොරව එහි සුවසේ වැඩ සිටිය හැකි විය. මල්ල රජ දරුවන්ගේ මෙන්ම අශෝක අධිරාජයන්ගේ රාජ්‍ය සමයන් අවසන් වනවාත් සමඟම මෙම ස්තූප, බුදුමැදුර හා වෙනත් ගොඩනැගිලිද වරින්වර කාලගුණය හේතුවෙන් සහ විවිධ උපද්‍රව හේතුවෙන් විනාශ මුඛයට පත්විය. පෞරාණික වශයෙන්ද ආගමික හා සංස්කෘතික වශයෙන්ද අගනා මෙම මහඟු දායාදවල නටබුන් වුවත් අද දක්නට ඇත්තේ සමස්ත ලෝකවාසි බෞද්ධ ජනතාවගේ පෙර පිනින් උපන් වාසනාව හේතුවෙන් යැයි සිතේ.
කුසිනාරා නුවර ඓතිහාසික පසුබිම
කුසිනාරාව පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් කළ පුරාවිද්‍යා ආචාර්ය එම්.එච්. විල්සන් මහතා ගොරක්පූර් දුම්රිය පළට සැතපුම් 34 ක් නැගෙනහිරින් පිහිටි දැනට කසියා නොහොත් කුෂිනගර් යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශය භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ කුසිනාරා නුවර විය හැකි යැයි 19 වන සියවසේ මුල් භාගයේදී මුලින්ම ප්‍රකාශ කළේය. ඒ අනුව කුසිනාරා නුවර මතු කැර ගැන්ම සඳහා කැණීම් ආරම්භ විය.
පසු කාලයක ආචාර්ය කනිංහැම්, ආචාර්ය කාලයිල්,මහාචාර්ය හිරානන්ද ශාස්ත්‍රී යන පුරාවිද්‍යාඥයෝ කැණීම් කරමින් දිගටම පර්යේෂණ සිදු කළහ. මේ පර්යේෂණයන්ගෙන් පහත සඳහන් සාධක මතු විය.
සල් ගස් දෙකක් අතර සිවුරක් ඇතිරූ ඇඳක තබා ඇති බුදු සිරුර දැක්වෙන කැටයමක් හා මහා පරිනිර්වාණ විහාර භික්ෂූ සංඝ (මහා පරිනිර්වාණ විහාරයෙහි භික්ෂු සභාව) යනුවෙන් දැක්වෙන මැටි මුද්‍රාවක් ගිනි දැල්වෙන චිතකයට සටහනක් ද දණ බිම ඔබා එයට අභිවාදන නමස්කාර පූජා පවත්වන මිනිස් රුවක්ද ශී‍්‍ර මකුට බන්ධේ (උතුම් වූ මකුට බන්ධය හෙවත් ඔටුනු පලඳන රාජ ශාලාවේ රැස් වූ භික්ෂු සභාව) යන පාඨය ඇතුළත් කැටයමක්.
1876 ආචාර්ය ඒ.සී කාලයිල් මහතා මහා කැලෑව හෙළි කැර භූමිය දිගින් දිගටම කැණීම් කළ පර්යේෂණවලින් පසුව ගරා වැටුණු බිත්තිවලට යට වී තුබූ පරිනිර්වාණ බුද්ධ ප්‍රතිමාව හා පරිනිර්වාණ ස්තූපය සොයා ගැණිනි.
1911 දී පුරාවිද්‍යාඥ හිරානන්ද ශාස්ත්‍රී පඬිතුමන් මේ ස්තූපය මැදින් හෑරවීමේදී අඩි 14 ක් යට තුබූ ධාතු ගර්භය හමු විණි. එහි තුබු බඳුනක්ද, තඹ පාත්‍රයක්ද, දක්ෂිණාවෘත්ත සංඛයක්ද සොයා ගැනිණි. තඹ පත්‍රයේ සංස්කෘත අක්ෂරයෙන් ලියන ලද නිදාන සූත්‍රයක් විය. එය පටන් ගන්නේ මෙසේය.
(දො) ය ධමෝය අනෙ(ක) විහාර ස්වාමිතො හරි බලසභ(දේ අනු) පුණ්‍ය තද්(භ) වතු සර්ව සත්ථානා...ශාක්‍යධර්ම තන්දො නිර්වාණ චෛත්‍ය තාමුපට්ඨ ඉති...
එහි සිංහල තේරුම නම් නොයෙක් විහාරයන්ට අධිපති හරි බලගේ පරිත්‍යාගයෙකි. සියලු සත්වයන්ගේ අනුත්තර ඥානයට මේ පරිත්‍යාගය හේතු වේවා. මෙය ශාක්‍ය මුණීන්ද්‍රයන්ගේ පරිනිර්වාණ චෛත්‍යයට පිදූ තඹ සන්නසයි. 1911 දී හිරානන්ද ශාස්ත්‍රී පඬිතුමා විසින් සොයාගත් එම තඹ පත්‍රය නිසා කුසිනාරාව ගැන තුබූ යම් සැකයක් වේද? ඒ සියලු සැක දුරු කළ හැකි විය. පරිනිර්වාණ බුද්ධ ප්‍රතිමා කැරවූයේද තඹ පතයෙහි සඳහන් හරි බල හිමියන් බව පසුව හමු වූ ශිලා ලිපියකින් සනාථ විය.
පසු කලෙක බුරුමයේ සැදැහැවත් බෞද්ධ දානපතියන්ගේ ධන පරිත්‍යාගයෙන් ප්‍රතිසංස්කරණය කළ මේ පරිනිර්වාණ චෛත්‍යය හා පරිනිර්වාණ විහාරය අද අප සැම තුළ සිත් පහන් කරවමින් ධර්ම සංවේගය උදාකරවයි.
අපේ ජීවිතයේ ස්වභාවය ගැන මෙනෙහි කිරීමට බුදුරදුන්ගේ පිරිනිවන් මංචකය තරම් සුදුසු තැනක් තවත් මේ මිහිපිට ඇත්දැයි සිතෙන තරමට පහන් සංවේගය ජනිත කරවයි. එබැවින් මේ පිරිනිවන් මංචකය ඉදිරියේ වාඩි වී හිත සන්සුන් ව තැන්පත් කරගෙන මරණානුස්සතිය භාවනාවේ යෙදීමද වන්දනා ගමනෙහි අනුස්මරණීය අවස්ථාවක් වේ. අප මොන අන්දමේ අපේක්ෂාවන් පොදි බැඳගෙන ජීවත්වූවද ජීවිතයේ සැබෑ යථාර්ථය ලොවට පසක්කළ බව එහිදී සිහියට නැගේ. පහත සඳහන් පරිදි මේ බවද සිහියට නගාගනිමු.
අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙන්ම මහා සම්පත් ඇතිව සිටි මහා පිනැති මහාමන්ධාතු ආදී නර ශ්‍රේෂ්ඨයෝද මරණයට පත් වූවාහුය. එසේම මමද ඒකාන්ත වශයෙන්ම මරණයට පත් වෙමි.මා කරා ද නොවරදවාම මරණය පැමිණේ.
විදුලියක්, දිය බුබුළක්,අහසින් වැටෙන වැසි පොදක් මෙන් ජීවිතය විනාශයට පත් වේ. සතුරකු සේ මරණය අප පසුපස හඹා එන්නේය.
මහා පිනැති මහා ඍද්ධිමත්හු මහ නුවණැත්තෝද මේ මරණයට පත් වූවාහුය.එසේ නම් වා වැන්නවුන් ගැන කවර කථාද?
උත්පත්තියත් සමඟම මරණය ද පැමිණේ. මරණය තම අවස්ථාව සලසාගැනීම සඳහා වධකයකු ලෙස හැම දා අප පසු පස පැමිණේ.
ශාන්තිනායක අමා මෑණි වූ බුදුරජාණන් වහන්සේත් මේ ධර්මයට යටත්ව පිරිනිවන් පා වදාළහ. අප ද එයට යටත්වීම ඒකාන්තය. ලෝ වැසි සියලු සත්ත්වයෝ ඒකාන්ත වශයෙන් මරණයට පත් වන්නාහුමය.
පහත සඳහන් ගාථාව කියා මේ චෛත්‍යය හා පිරිනිවන් මංචකය වන්දනා කරන්න.
කත්වාන ලොකහිත මත්ත හිතංච නාථො
ආසිති කොව උපවත්තන කානනම්හි
යස් මිං නිසජ්ජ භගවා නිරුපාධිසෙසං
නිබ්බාණ චේතිය මහං සිරසා නමාමි
කුසිනාරාවට ගෝරක්පුර් දුම්රිය පළේ සිට කි.මී. 57 යි. ලුම්බිණියේ සිට කි.මි. 176 යි. කපිල වස්තුවේ සිට කි.මී. 148 . විසාලා නුවර සිට කි.මී. 240 යි.උත්තර ප්‍රදේශ ප්‍රාන්තයට අයත් නගරයකි.
සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 67
ශ්‍රී සර්වඥ ධාතු පූජාව
මල්ල රජුන් ප්‍රමුඛ නගරවාසීහු භාග්‍යවත් සම්මා සම්බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පෑ පුවත අසා හඬා වැලැප ආදාහන කෘත්‍යයට වුවමනා සියලු උපකරණ ගෙන්වා ගෙන උපවර්තන ශාල වනෝද්‍යානයට රැස්ව බුද්ධ ශරීරයට උපහාර පූජා කරමින් සත්දිනක් ගෙවා, ඉක්බිති මහ පෙරහරෙන් උතුරු දොරින් පිවිස ‘කුසිනාරානුවර මැදින් පිටතට වැඩම කරවා නැගෙනහිර පැත්තෙහි වූ මල්ලරජුන් ගේ මුකුට බන්දන නම් චෛත්‍ය ස්ථානයෙහි තැන්පත් කළහ. මල්ල රජහු ශ්‍රී සර්වඥ දේහය කෙරෙහි පිළිපැදිය යුතු සැටි ආනන්ද හාමුදුරුවන් ගෙන් අසා දැන අලුත් කසී වස්ත්‍රයෙන් බුද්ධ ශරීරය වෙළා ඉන් පසුව මනාව නෙළු කපු පුළුනින් වෙළූහ. ඉන්පසු නැවතත් කසීවතින් වෙළූහ. මේ අනුව පන්සිය වරක් පන්සියක් පමණ කපු පුළුනෙන්ද, පන්සීයක් කසී වතින් ද බුද්ධ ශරීරය වෙළා සුවඳ තෙල් පිරූ රන් දෙණෙක බහා එබඳුම රන් දෙණෙකින් වසා සුවඳ දරින් එක් විසි රියන් උසැති කොට කරවන ලද දර සෑයෙහි රන්දෙණ තැන්පත් කළහ.
ඉක්බිති මල්ල රජහු සිවු දෙනෙක් සුවඳ දියෙන් ඉස් සෝදා නා අලුත් වස්ත්‍රයෙන් සැරසී චිතකයට ගිනි තැබූහ. එහෙත් ගිනි නොදැල්විණ. ඊට හේතුව මල්ල රජුන් විමසූවිට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වඩින තෙක් එය දැල්වෙන්නට දෙවියන් ඉඩ නොදෙන බව අනුරුද්ධ තෙරුන් වහන්සේ වදාළ සේක.
ස්වල්ප වේලාවකින් කාශ්‍යප මහ රහතන් වහන්සේ එහි වැඩම කළ සේක. එහිදී උන්වහන්සේ තෙවරක් දර සෑය ප්‍රදක්ෂිණා කොට ශ්‍රීපාදය පැත්තෙන් චිතකය හා රන් දෙණ විවෘත කොට සිරිපා යුවළ වන්දනා කළ සේක. උන්වහන්සේ සමඟ වැඩම කළ පන්සියයක් භික්ෂූහුද එසේ වන්දනා කළහ. ඉන් පසු දර සෑය දේවාතානු භාවයෙන් තෙමේම හාත්පස එක් පැහැර ගිනිදැල්වී ගියේය.
භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානය පරිදි සතර දන්ත ධාතු දෙ අකු ධාතු නලාට ධාතු යන ධාතුහු සත්දෙන නොවිසුරුණාහ. ඉතිරි ධාතුහු අබ කඩ සාල් මුං පියලි පමණට විසිර ගියහ. මෙසේ ධාතුන් පමණක් ශේෂ වූ කළ අහසින්ද පිරිවරා සිටි සල්රුක්වල කඳ අතු අතරින්ද දිය දහර නැඟ සෑයේ ගිනි නිවීය. මල්ල රජහුද සුවඳ දිය ඉස්සහ.
ධාතු පූජාව
මල්ල රජහු නුවර දෙවිපුරයක් සේ සරසා ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ රන් දෙණක තබා, එය මනාව සැරසූ ඇතකු පිටින් නුවරට වැඩම කරවා, එහි සන්ථාගාර ශාලාවෙහි මහඟු පර්යංකයට පැමිණවූහ. ඉක්බිති එහි වටේ රැකවල් තබවා මල්ලරජුන් ප්‍රමුඛ කුසිනාරා නුවර වැස්සෝ ගෞරව උපහාර පුදමින් සත් දිනක් ධාතුන් වහන්සේ පිදූහ.
මගධෙශ්වර අජාතශත්‍රැ රජතුමාද විසාලාපුර වැසි ලිච්ඡවී රජහුද, කපිල වස්තුපුරවාසී ශාක්‍ය රජහුද, අල්ලකප්පරට වැසි බුලි රජහුද, රාමග්‍රාම වාසි කෝලිය රජහුද වේඨදීපක නුවරවැසි වේඨදීපක බමුණාද පාවානුවර වැසි මල්ල රජහුද, එහි ගොස් කුසිනාරා වටකොට ගෙන අයිතිවාසිකම් කියා ධාතු කොටස් ඉල්ලා තමන්ද ස්තූප කරනු බව දන්වා කුසිනාරාපුර මල්ල රජුනට වෙන වෙනම පණිවුඩ යැවූහ. මල්ල රජහුද තමන් රටෙහි පහළ වූ රුවන් පිටතට නොදෙන බව දන්වා තෙපි යුධ කරනු කැමැතිනම් අපිත් යුද්ධ කරමිහයි කියා පණිවුඩ යැවූහ.
බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බෙදා ගැනීමට නොහැකිව ඔවුන් අතර ඇතිවන්නට ගිය මහා යුද්ධයක් වළක්වා මැදහත් සිතින් ද්‍රෝණ බමුණා විසින් ධාතුන් වහන්සේලා බෙදා වෙන් කරන ලද්දේ ඔවුනට කරුණු කියා සමාදාන කොට ඒ ධාතුන් අට කොටසකට බෙදා දුන්නේය.
ඉක්බිති ද්‍රෝණ බමුණාද තමාටත් පූජ්‍ය වස්තුවක් ඕනෑ බව කියා ධාතුන් වහන්සේ බෙදූ ස්වර්ණමය නාළිකාව ඔවුන්ගෙන් ඉල්ලා ගත්තේය.
පිප්පලීවන පුර වැසි මෝරිය රජහු භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පෑ බව අසා පසුව එහි පැමිණියේය. ධාතුන් වහන්සේ නොලැබූ හෙයින් ආදාහන ස්ථානයෙන් අඟුරු ගෙන ගියහ. ධාතුන් වහන්සේලා ගෙන ගිය ඒ ඒ රජවරු ඒවා නිදන්කොට ස්තූප කරවා පිදූහ. ද්‍රෝණ බමුණාද තමා ලත් ස්වර්ණ නාළිකාව නිදන් කොට “කුම්භථූප’ නම් චෛත්‍යයක් කළේය. මෝරිය රජුන් දර සෑයේ අඟුරු නිදන් කොට තැනවූ අංගාර ස්තූප දෙකද සමඟ සර්වඥධාතු නිදන් කළ චෛත්‍ය අටයි සියලු චෛත්‍යයෝ දස දෙනෙක් වූහ.
කුසිනාරා – මල්ලව රජ දරුවෝ
මේ ධාතුන් වහන්සේලා බෙදා දුන් බව සනිටුහන් කිරීම සඳහා ආදාහන චෛත්‍ය අසල කුඩා ස්තූප අටක් සකස් කර ඇත.
අසිරිමත් සම්බුදු උපත සිදුවු බුද්ධභූමි වන්දනාව මගින් පුරා වසරකට අධික කාලයක් අපි වන්දනාවේ යෙදුනෙමු. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ අසිරිමත් සම්බුදු සිරිතට අදාළ පූජනීය, වන්දනීය සිද්ධස්ථාන වන්දනා කර ගැනීමෙන් අපේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව, ගෞරවය තව තවත් එමගින් වර්ධනය කර ගැනීමට හැකි වූයේ යැයි විශ්වාස කරමු.
එම අසිරිමත් බුද්ධ වන්දනාව හැම විට සිහියට නඟා ගනිමින් තෙරුවන් කෙරෙහි වූ පහන් සිත දිවි තිබෙන තුරා ඇති කර ගැනීමට එම වන්දනාව හේතුවේවා!